සැඩ සුළගින් බැටකෑ 2025 මේ දක්වා කුණාටු 41ක්


ග්‍රීක දේව සාහිත්‍යයට අනුව මුහුදට හා කුණාටුවලට අධිපති දෙවියා වන්නේ පොසෙයිඩොන් ය. 2025 වසර පොසෙයිඩොන් තදින්ම කෝප වී ඇති අවුරුද්දක් ලෙස සැලකීමට පුළුවන. ඒ ලොව කුණාටු බහුල කලාප දෙක එනම් අත්ලාන්තික් කලාපය හා පැසිෆික් කලාපය කුණාටුවලින් පුරවාලීම හේතුවෙනි.  වසරේ මේ දක්වා අත්ලාන්තික් කලාපයෙහි නම් කරන ලද කුණාටු 13ක් සහ ආසියානු කලාපයෙහි නම් කරන ලද කුණාටු 28ක් හටගෙන තිබේ. මේ අනුව යුරෝපයේ සිටින පොසෙයිඩොන් වැඩිපුරම කිපී ඇත්තේ ආසියාව ගැන විය යුතුය. වඩාත් නරක තත්ත්වය වන්නේ මේ අතරින් කුණාටු 9 ක් සුපිරි චණ්ඩ මාරුත හෙවත් සුළඟේ වේගය පැයට කිලෝමිටර 240 ඉක්මවූ ඒවා වේ. 

මේ අතරින් වඩාත්ම බලවත් වූයේ රගාසා නම්වූ සුළිකුණාටුව වන අතර එහි උපරිම වේගය පැයට කිලෝමීටර 270ක් දක්වා වාර්තා වී තිබිණ. ලොව පුරා විවිධ කලාපවල හටගත් සුළු පරිමාණ කුණාටු - එනම් නාමකරණයට ලක් නොවූ කුණාටු සංඛ්‍යාව කෙතරම්ද යන්න කිව නොහැක. සාමාන්‍යයෙන් නම් කෙරෙන්නේ සුළඟේ වේගය පැයට කිලෝමීටර 30ට වැඩි හා කාලයක් පවතින කුණාටු පද්ධති පමණි. 2025 අප අවට කාලගුණය හා වායුගෝලීය තත්ත්වයන් කොතරම් කැලඹිලි සහගතව පැවතුණේද යන්න අපට අවබෝධ කරගත හැකිය. 

දිට්වා, සෙන්යාර් හා කොටෝ

ඉහතින් නම් සඳහන් වන්නේ අග්නිදිග ආසියාවේ හා දකුණු ආසියාවේ මිනිස් ජීවිත දහස්ගණනක් බිලිගත් හා මිලියන ගණන් ජනතාවට උන්හිටි තැන් අහිමි කළ වගඋත්තරකරුවන්ගේ නම් ය. එකිනෙකට ආසන්න කාල පරාසවලදී මේ චූදිතයන් අතරින් සෙන්යාර් හා කොටෝ අග්නිදිග ආසියාවේ වියට්නාමය, මැලේසියාව හා ඉන්දුනීසියාව වැනි රටවලට පහර දුන්හ. ඒවායේ අතුරු බලපෑමෙන් පිලිපීනය හා චීනයේ දකුණු කොටස ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇද වැටිණ. දිට්වාගේ ප්‍රහාරයට ලක්වූයේ ශ්‍රී ලංකාව ය. එය අවුරුදු 47කින් පසු ශ්‍රී ලංකාවට කුණාටුවකින් එල්ල වූ වඩාත්ම විනාශකාරී බලපෑම සනිටුහන් කළේය. මේ අතරින් දිට්වා හා සෙන්යාර් කුණාටු අසාමාන්‍ය ය. කාලගුණ විද්‍යාඥයන්ට හා කුණාටු පිළිබද විශේෂඥයන්ට අනුව සෙන්යාර් හටගත්තේ සාමාන්‍යයෙන් කුණාටු හට නොගන්නා කලාපයකයි. ඒ මලක්කා සමුද්‍ර සන්ධියේය. එය විද්‍යාත්මක සාධක අනුව කුණාටු හටගැනීමට අවශ්‍ය සාධක පවතින කලාපයක් නොවේ. 

ඉතිහාසයේ මින් පෙර මලක්කා සමුද්‍ර සන්ධියේ කුණාටුවක් හටගෙන ඇත්තේ වසර 135 කට පසුවයි. සමකයට ආසන්න මලක්කාවේ කුණාටුවක් හටගැනීමට අවශ්‍ය උණුසුම් හා වායුධාරා අතර සංකලනය නොමැති බව විද්‍යාඥයෝ පවසති.  මින් පෙර 1886 වසරේ දී මලක්කාවේ සුළිකුණාටුවක් හටගෙන තිබේ. එම දත්ත අනුව පෙනීයන්නේ සෙන්යාර් යනු සැබැවින්ම අභව්‍ය තත්ත්වයක් බවයි. එහි ගමන්මගද විශේෂය. සෙන්යාර් ගමන් කළේ ඉන්දුනීසියාවේ සුමාත්‍රා හා උතුරු මැලේසියා කලාපය හරහායි. එයද කුණාටු ගමන් නොකරන මාර්ගයකි. ඉන් ඉන්දුනීසියාවට සිදුවූ හානිය බරපතළය. මරණ සංඛ්‍යාව පමණක් දහසකට ආසන්නය. ජලගැලීම් හා නායයාම් මරණවලට ප්‍රධාන හේතුවයි. දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන්ව සිටිති. වැඩිපුරම හානියට පත්වූයේ බණ්ඩා අචේ ප්‍රදේශයයි. එය යම් හෙයකින් ලංකාවට ද හානියක් වන අවස්ථාවක අපත් සමග එකටම හානි ලබන සහෝදර කලාපයකි. ශ්‍රී ලංකාව සුනාමියෙන් බැටකද්දී බණ්ඩා අචේ පොළොවටම සමතලා වී තිබිණ. 2004 දකුණු ආසියානු සුනාමියෙන් වඩාත්ම බරපතළ ලෙස හානියට පත්වූයේ බණ්ඩා අචේ ය. දෙවැනි තැන ශ්‍රී ලංකාවට ය. සුනාමිය ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ ගිලගනිද්දී, එදා බණ්ඩා අචේහි ප්‍රදේශ රැසක් එම පළාත හරහා ගමන් කළ සුනාමි රළ මගින් විනාශ කළේය. මෙවරද එසේය ශ්‍රී ලංකාව දිට්වාගෙන් බැට කද්දී බණ්ඩා අචේ සන්යාර්ගෙන් බැට කෑවේය. හානිය දෙරටටම බරපතළ ලෙස බලපෑවේය. දෙරටම මේ වනවිට තම සහන සේවා මෙහෙයුම් උපරිම ශක්තියෙන් ක්‍රියාත්මක කිරීම අරඹා තිබේ. 

කොටෝ සුළි කුණාටුවේ බලපෑමට ලක්වූයේ පිලිපිනය, තායිලන්තය හා වියට්නාමය යන රටවල්ය . පිලිපීනය දෙසින් අරඹා උතුරු දෙසට ගොස් අවසානයේ තායිලන්තයට හා වියට්නාමයට මහ වැසි ගෙනදෙන කාලගුණ තත්ත්වයක් නිර්මාණය කිරීමට කොටෝ සමත් විය. ඉන් වියට්නාමයේ සිදුවූ මරණ සංඛ්‍යාව 100 ඉක්මවන අතර තායිලන්තයේ මියගිය සංඛ්‍යාව 8කි. බරපතළම ප්‍රශ්නය වන්නේ මේ සුළිකුණාටු තුනම අඩු මට්ටමේ ප්‍රබලත්වයක් සහිත ඒවා වීමයි. කොටෝහි සුළඟේ වේගය උපරිම අවස්ථාවේදි පැයට කිලෝමීටර් 150ක් වූ අතර සන්යාර් හා දිට්වා සුළි කුණාටුවල සුළඟේ වේගය උපරිම මට්ටමේදී එතරම් ප්‍රබල නොවීය. සෙන්යාර් කුණාටුවේ උපරිම වේගය සටහන් වූයේ පැයට කිලෝමීටර් 85ක් ලෙසිනි. 

දිට්වා පොඩි කුණාටුවක්, ඒත් ලංකාවේ හිටිය කාලය වැඩියි

ඒ අනුව බලන කල ශ්‍රී ලංකාවට මෙතරම් හානියක් කළ දිට්වා අතිශයින් ප්‍රබල සුළි කුණාටුවක් නොවේ. එහි සුළ‌ඟේ උපරිම වේගය පැයට කිලෝමීටර් 65ක් විය. එය සැෆර් සිම්සන් හරිකේන් කුණාටු වර්ගීකරණය අනුව පළමු ගණයට හෝ නොවැටේ. ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වර්ගීකරණයට අනුව එය පළමු ගණයේ එනම් සාමාන්‍ය සුළි කුණාටු ගණයට අයත් වන්නකි. වර්ගීකරණ දෙකටම අනුව පස්වන ගණයේ සුළිකුණාටුවක් වන්නේ පැයට කිලෝමීටර 220 ඉක්ම වූ සුළං වේගයක් සහිත සුළිකුණාටු වේ.  කුණාටුවල වේගය ගැන සලකා බැලීමේදී වේග දෙකක් ගැන සඳහන් කළ යුතුය.  වර්ගීකරණ අනුව පැයට කිලෝමීටර් සිය ගණන්වලින් කතා කරන්නේ කුණාටුවේ අඩංගු සුළඟ හෙවත් එතුළ කැරකෙන සුළඟේ වේගයයි. මෙය හරියට ග්‍රයින්ඩර තලයක් කැරකෙන තත්ත්වයට උදාහරණ වශයෙන් ගෙනහැර දැක්විය හැකිය. ග්‍රයින්ඩර තලයක් ආර් පී එම් එනම් මිනිත්තුවකට වට 6000-12000 දක්වා වූ වේගයක් ලබාගනී. එය යමක් කපාගෙන ඉදිරියට යන්නේ සාපේක්ෂ වශයෙන් ඊට අඩු වේගයකිනි. කුණාටුවක්ද එසේමය. පැයට කිලෝමීටර 240 ක සුළං  සහිත සුපිරි සුළිකුණාටුවක් පවා ඉදිරියට යන්නේ පැයට කිලෝමීටර් 10-15 අතර වේගයකිනි. උදාහරණයක් ලෙස දිට්වා සුළි කුණාටුව ගනිමු. එය වායුගෝලීය කැලඹීමක් ලෙස සිය ව්‍යසනකාරී ගමන අරඹන්නේ ශ්‍රී ලංකාවට දකුණු දෙසින්  නොවැම්බර් 25 වෙනිදා අලු‍යම් කාලයේය.  එය සුළිකුණාටුවක තත්ත්වය ලබා ‘දිට්වා’ යනුවෙන් බෞතිස්ම ලබන්නේ නොවැම්බර් 27 වෙනිදා උදේ මඩකලපුවට ඉහළ අහසේදීය. එය මුලතිව්වලට ඔබ්බෙන් වූ වෙරළ තිරය හරහා ලංකාවෙන් නික්ම යන්නේ නොවැම්බර 29 වෙනිදා දහවල් කාලයේදිය. මඩකලපුවේ සිට මුලතිව් දක්වා වූ කිලෝමීටර් 200කට මඳක් වැඩි ගුවන් දුර ගමන් කිරීමට දිට්වාට පැය 51 පමණ ගතවී තිබේ. හානිය වඩාත් බරපතළ කිරීමට එක් හේතුවක් ලෙස විද්‍යාඥයන් දකින්නේ සුළිකුණාටුව වැඩි කාලයක් ශ්‍රී ලංකා භූමිය තුළ රැඳී සිටීම නිසා ඒ කාලයෙහි ඇදහැළුණු අධික වර්ෂාවෙන් ඇතිවූ ජලගැලීම් හා නායයාම් වැනි තත්ත්වයන්ය. 

දිට්වා සුළිකුණාටුවෙන් ශ්‍රී ලංකාවට වැඩි හානි ගෙන දුන්නේ එහි ඍජු ඵලය වන සුළඟ නොව අතුරුඵලය වන වැස්ස මගිනි. දිට්වා මෙරට  රැඳී සිටි දෙදිනක කාලය හා ඉන් පෙර දිනකට වැඩි කාලසීමාවක සිට ශ්‍රී ලංකාවේ මධ්‍යම, බටහිර හා නැගෙනහිර කලාප ඇතුළු ප්‍රදේශ රැසකට නොකඩවා මහ වැසි ඇදහැළුණු ආකාරය අපට දැකගත හැකි විය.

බෙංගාල බොක්ක සුළි සුළං හා ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පිහිටි බෙංගාල බොක්ක අධිසංවේදි දේශගුණික කලාපයක් වන අතර සුළි කුණාටු සඳහා තෝතැන්නකි. ඊට සාපේක්ෂව මෙරටට බටහිරින් පිහිටි අරාබි මුහුදු කලාපය එවැනි සංවේදිතාවක් නොපෙන්වයි. වසරකට දළ වශයෙන් බෙංගාල බොක්කේ සුළි කුණාටු අවම වශයෙන් 5-6ක් පමණ හටගනී. ඒවා අතිමහත් බහුතරයක ගමන් මග වන්නේ බෙංගාල බොක්කේ දකුණේ සිට උතුරටයි. ඒ නිසා වසරකට ඉන්දියාවේ අග්නිදිග, නැගෙනහිර හා ඊසානදිග ප්‍රදේශ මෙන්ම ඇතැම් විට බංග්ලාදේශය සුළිකුණාටුවල නිරන්තර බලපෑමට ලක්වේ. ඒ අතින් ශ්‍රී ලංකාව වාසනාවන්තය. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ වෙබ් අඩවියට ඉංජිනේරු (ආචාර්ය) ජේ.ජේ. විජේතුංග විසින් රචිත පර්‌යේෂණාත්මක ලිපියක දැක්වෙන දත්ත අනුව වසර 130 ක කාලයකදී ශ්‍රී ලංකාව හරහා හමාගොස් ඇත්තේ සුළිකුණාටු 16ක් පමණි. 

අන්තර්ජාතික දත්ත මත පදනම් ව උපකල්පනමය ගණනයක් සිදුකළහොත් අදාළ කාලය එනම් වසර 130 කාලයෙහි බෙංගාල බොක්කේ හටගත් කුණාටු සංඛ්‍යාව 650-780 අතර ප්‍රමාණයක් විය හැකි යැයි අනුමාන කළ හැක. එම කාලයේ අරාබි මුහුදේ හටගෙන ඇත්තේ කුණාටු දෙකක් පමණක් බව දත්ත අනුව පෙනීයයි. එවැනි කුණාටු විශාල සංඛ්‍යාවකින් ශ්‍රී ලංකාව හරහා වසර 130 තුළ හමාගොස් ඇත්තේ කුණාටු 16කි.  ඒ අතරින් දරුණුතම සුළි කුණාටුව ලෙස සැලකෙන්නේ 1964දී නැගෙනහිර ප්‍රදේශය හරහා පැයට කිලෝමීටර් 240කට අධික වේගයක් සහිත සුළංද රැගෙන හමාගිය ‘සුපිරි’ සුළිකුණාටුවයි. ඉන් සිදූ වූ මරණ සංඛ්‍යාව 650 ඉක්මවූ බව ගණන් බලා ඇත. අතුරුදන් වූ ගණන 400කට අධික බව අතීත වාර්තා පෙන්වා දෙයි. දෙවැනුව 1978 මඩකලපු ත්‍රිකුණාමල හා අභ්‍යන්තර ප්‍රදේශ ඉලක්ක කරගත් මහා සුළිකුණාටුවයි. එය ද පැයට කිලෝමීටර් 220 ඉක්ම වූ සුළං වේගයක් සහිත වූ බව දත්ත - වාර්තා පෙන්වා දෙයි. ඉන් සිදුවූ මරණ ගණන 300-900 අතර වන බව විවිධ වාර්තා විශ්ලේෂණ අනුව පෙනී යයි. සුප්‍රකට ගායක ඇන්ටන් ජෝන්ස් “ සුළි සුළං හමා ලා - මහ මුහුද ගොඩගලා” යන ගීතය ගැයුවේ 1978 සුළි සුළඟ පදනම් කරගනිමිනි. ගීතයේ සඳහන් ආකාරයටම ප්‍රචණ්ඩ මුහුදු රළ හෙවත් Storm Surge නිසා බරපතළ හානි සිදුවූ බව වාර්තා වේ. 

අනතුරු ඇඟවීම් හා දෝෂාරෝපණ ක්‍රීඩාව

ලොව දියුණුතම කුණාටු අනතුරු ඇඟවීම් පද්ධතිය ක්‍රියාත්මක වන්නේ අමෙරිකා එක්සත් ජනපදය හා කැරිබියානු කලාපය ආශ්‍රිතවයි. ඒ වසරකට එම කලාපය කුණාටු 6-7කට වත් මුහුණ දෙන නිසාවෙනි. එම කලාපයේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය ශක්තිමත්ව ක්‍රියාත්මක වෙයි. අමෙරිකාව පමණක් නොව කියුබාව වැනි කුඩා රාජ්‍යයන් ද ඉතා හොඳින් එම යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන බව පෙනේ. එහෙත් මේ වසරේ ඔක්තෝබර් 21 - නොවැම්බර් 4 කාලයෙහි හමාගිය මෙලිසා සුපිරි හරිකේන් කුණාටුවෙන් අමෙරිකාවේ 102දෙනෙකු මියගිය අතර 29 දෙනෙකු අතුරුදන් වී ඇත. සිදුවු අලාභය ඩොලර් බිලියන 10 ඉක්මවයි. ඉන් පෙනී යන්නේ අනතුරු ඇඟවීම් හා ආපදාකළමනාකරණ ක්‍රියාවලිය කොතරම් විධිමත් වුවත් ව්‍යසනය ඊට වඩා ප්‍රබල නම් හානිය වළක්වාලිය නොහැකි බවයි. 2011 සුනාමියෙන් ජපානයට සිදුවූයේද මෙයයි. ජපානය යනු සුනාමියට වඩාත්ම හොඳින් සූදානම්ව ඇති රටයි. එහෙත් සෙන්දායි සුනාමිය පැමිණියේ සියලු සුනාමි බාධක බැමිවලට වඩා ඉහළිනි. ඇතැම් බැමි හා ආරක්ෂක ගේට්ටු පොඩිපට්ටම් කර දැමීමට තරම් සුනාමිය ප්‍රබල විය. සුනාමි රැකවරණ මධ්‍යස්ථාන ජනතාව ද සමග විනාශ විය. එම වකවානුවේ ජපානයට ගිය අන්තර්ජාතික මාධ්‍ය කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස මේ අත්දැකීම් සැබැවින්ම මා හට ලබාගැනීමට හැකිවිය. ඒ අනුව පෙනී යන කරුණක් වන්නේ ඕනැම අවස්ථාවක  ස්වාභාවික ආපදාවක පුරෝකථනය, පෙර සූදානම හා විපතේ සැබෑ ස්වරූපය අතර පැහැදිලි වෙනසක් තිබිය හැකි බවයි. එම වෙනස යනු ජනසමාජය මුහුණ දෙන ව්‍යසනකාරී හානියයි. 

අනෙක් අතට අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණය ගැන සැලකිලිමත් විය යුතුය.  අනතුර පිළිබඳ පුරෝකථනය, රතු නිවේදන හෝ අදාළ වර්ණ නිවේදන නිකුත් කිරීම,  ජනතාව ඉවත් කිරීමේ ක්‍රියාවලිය ඇරඹීම ආදි වූ පියවර නිසි ක්‍රමවේදයක් තුළ අදාළ ආයතනික සම්බන්ධීකරණය යටතේ ක්‍රියාත්මක විය යුතුය. එවැන්නක් පැවතුණාද එය ක්‍රියාත්මක වීද නොවීද, නොවුණේ නම් ඇයිද යන්න සොයාබැලිය යුතුය. එය සම්පූර්ණ ජාතික මට්ටමේ අනතුරු ඇඟවීමේ ක්‍රියාවලියක් විය යුතු වීම මිස අදාළ ආයතනයක බලධාරියෙකු යම්කිසි තැනකදි, නාළිකාවකට හෝ පුවත්පතක් හෝ වෙනත් මාධ්‍යයකට කරන උපකල්පනාත්මක ප්‍රකාශයක් ජාතික අනතුරු ඇඟවීමක් නොවන බව අවබෝධ කරගැනීමට සිදුවේ. දැන් සොයාබැලිය යුත්තේ ඒවැනි ජාතික ක්‍රියාවලියක් සඳහා වන පදනම ගැනයි. අනෙක් අතට ඉහත ඡේදවල සඳහන් කළ දත්ත අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ කුණාටු අවදානම අඩුම රාජ්‍යයන් අතර වන බවයි. ඒ නිසා ඊළඟ සුළි කුණාටුව ඇතැම් විට තවත් අවුරුදු 50කින් ඇතිවිය හැක. එමෙන්ම ලබන වසරේ බෙංගාල බොක්කේ ඇතිවන සුළි කුණාටුවක් මෙරට දෙසට කැරකීමට ඇති ඉඩකඩද බැහැර කළ නොහැක. ප්‍රශ්නය වන්නේ වත්මන් ජාතික ව්‍යසනය පදනම් කරගනිමින් සෝඩා බෝතල් න්‍යායෙන් බැහැරව ලබන වසරේ මෙන්ම තවත් වසර 50කින් ඇතිවන සුළි කුණාටුවකට එක ලෙස ශක්තිමත්ව හා නිරන්තර සූදානමක් සහිතව මුහුණ දිය හැකි කල්පවත්නා මෙන්ම ගෝලීය තාක්ෂණයට අනුකූලව නිරන්තරයෙන් යථාවත්වන ජාතික පද්ධතියක් මෙවැනි තත්ත්වයන්ට ඇති සුදුසුම විසඳුම බව අවබෝධ නොවීමය. 

අනෙක් අතට ගෝලීය ආපදා ප්‍රතිචාර තත්ත්වයන් අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ ගලවාගැනීමේ හා සහන මෙහෙයුම් ක්‍රියාවලියේදී ආරක්ෂක හමුදා වෙත ඉතා බරපතළ වගකීමක් පැවරෙන බවයි. වෙනදා මෙන් මෙවරත් ජනතාව බේරාගැනීමේ ක්‍රියාවලියට මූලික වශයෙන් උරදුන්නේ ආරක්ෂක හමුදාවන්ය. විදේශීය රටවලින්ද අපට සහාය පිණිස පැමිණියේ ආරක්ෂක හමුදාවන්ය. ඉන්දීය හමුදාව, පකිස්ථාන හමුදාව, අමෙරිකානු මෙරින් බළකාය ආදිය ඊට උදාහරණ වේ. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා ජීවිතාරක්ෂකයන් ගත් කල මෙවර ඔවුන්ගේ ජීවිත ද අවදානමකට ලක්වූ අවස්ථා මෙවර බහුලව දක්නට ලැබිණ. හෙලිකොප්ටරයක් කඩා වැටීම, නාවික සෙබළුන් පිරිසක් මියයාම ආදි සිදුවීම් ඒ අතර වේ. ඒ නිසා ඉදිරියේදී ආරක්ෂක අංශවල පුහුණුව මෙන්ම උපකරණවල යථාවත් බව හා යටිතල පහසුකම් වඩාත් පුළුල් ලෙස සංවර්ධනය කිරීම සැලකිය  යුතු වෙයි. 

උදාහරණ වශයෙන් හානියට ලක්වූ ප්‍රදේශ වෙත ළඟාවිය හැකි ALL TERRAIN VEHICLES හා බාධක සහිත ජලයෙන් යටවුණු ප්‍රදේශ හරහා ගමන් කළ හැකි පතුල පැතලි එන්ජිම ජලයෙන් ඉහළට ඇති SWAMP BOATS ආදී උපකරණ මෙවැනි තත්ත්වයන් යටතේ ආපදාවට පත්වූවන් වෙත ළඟාවීමට ඇති පහසුකම් ඉහළ නංවයි. නුසුදුසු උපකරණ භාවිතය විපතට පත්වූවන් මෙන්ම ජීවිතාරක්ෂකයන්ද අවදානමට ලක්කරයි. උදාහරණයක් ලෙස මෙවර ජීවිතාරක්ෂක කටයුතු සඳහා ජෙට් ස්කී යන්ත්‍ර යොදාගැනීමට උත්සුක වන අයුරු දක්නට ලැබිණ. එය බෙහෙවින් අවදානම් සහගත වන්නේ එන්ජිම අභ්‍යන්තරයට ජලය ඇදගැනීමෙන් බල ගැන්වෙන ජෙට් ස්කී, මඩ හා සුන්බුන් සහිත ජලයේදි ඉතා ඉක්මනින් අක්‍රිය වී පදවන්නාත් බේරාගනු ලබන්නාත් යන දෙදෙනාම අවදානමකට ලක් කරන බැවිනි.  අනෙක් අතට සාමාන්‍ය ජනතාව ජීවිතාරක්ෂක ක්‍රියාවලිය සඳහා සම්බන්ධ වේ නම් ඔවුන්ද පුහුණු ආරක්ෂක සාමාජිකයන්ගේ අධීක්ෂණය සහිතව එක්කරගැනීම ජීවිත වඩාත් සුරක්ෂිත කිරීම සදහා වැදගත් වේ. ලොව දියුණු ජීවිතාරක්ෂක පද්ධතිවල මෙවැනි ක්‍රියාකාරකම් පවතී. 

අනෙක් අතට ආපදාවෙන් පසුව ඉස්මතු වී ඇති තවත් සංවාදයක් වන්නේ ජලාශවල වාන්දොරටු නොඇරීම පිළිබද කතාබහයි. ගෝලීය ආපදා කළමනාකරණ ක්‍රියාවලියේදී එවැනි පිළිගත් ක්‍රියාමාර්ගයක් පවතී. ඒ ජලගැලීම් පාලන විධිමත් හා විද්‍යානුකූල සැලැස්මක් යටතේය. ඉතා තියුණු ගණිතමය හා විද්‍යාත්මක ක්‍රමවේදයක් ඒ හා බැඳී පවති. ඒ මන්ද ජලාශ යනු ගංවතුර පාලනයට පමණක් නොව කෘෂිකර්මය හා පානීය ජල සම්පාදනය මෙන්ම විදුලිබල උත්පාදනය වැනි බහුකාර්ය ක්‍රමවේදයක් හා බැඳී තිබීම නිසාය. ප්‍රශ්නය වන්නේ අපේ රටේ ඒවැනි සැලැස්මක් පවතීද යන්නයි. මෙරට දැනට ක්‍රියාත්මක ක්‍රමවේදය වන්නේ පිටාර මට්ටමේදී ජලාශය අවදානමකට ලක්කිරිමෙන් තොර ජලය මුදාහැරීමකි. ඇතැම් ජලාශවල එය ස්වයංක්‍රීයව සිදුවේ. ගංවතුර පාලන ජලාශ මෙහෙයුම් සැලැස්මක්  නැත්නම් එහි වගකීම බලයේ සිටින රජයට පමණක් නොව බලයේ සිටි අයට ද පැවරෙයි. ඊට හේතුව නම් ඉහත කී ආකාරයේ සැලැස්මක් ආප්ප බානවාක් මෙන් සැකසිය නොහැක. වසර ගණනාවක විධිමත් අධ්‍යයනයන් සහිත විද්‍යාත්මක සැලැස්මකින් පමණක් එවැනි කටයුත්තක් සාර්ථක කරගත හැකි වන බැවිනි. ඉන්දියාව නිරන්තරයෙන් කුණාටු සහිත වැසි තත්ත්වයන්ට මුහුණ දෙන නිසා දකුණුදිග ප්‍රාන්ත ආශ්‍රිතව එවැනි වැඩපිළිවෙළක් පවතී. සත්‍ය තත්ත්වය වන්නේ මෙවර අධික වැසි සහිත ව්‍යසනය සිදුවන තාක්කල් ශ්‍රී ලංකාවට, මා ඉහත සඳහන් කළ ආකාරයේ සැලැස්මක අවශ්‍යව නොතිබීමයි. එවැන්නක් ඉදිරියට සැකසීම වැදගත් වන්නේ අනාගතයේ යම් දිනෙක ඇතිවිය හැකි මේ ආකාරයේ ව්‍යසනයකට මුහුණ පෑමේ සූදානමක් වශයෙනි. එසේ නොමැතිව “වහිනවෝ කීවා - ඇරියෙ නැතෝ” කියමින් මොරදීම තවත් සංදර්ශනයක් පමණක්ම බව රට ලෝකය ගැන දැනුමක් ඇති පොදු මහජනතාවට පෙනී යයි.

අකටයුතුකම් පාලනය

ස්වාභාවික ආපදාවකදී ජනතාව හා ආරක්ෂක අංශ මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ බොරදීයේ මාළුබෑමට එන හොර මැර තක්කඩින්ගේ ක්‍රියාවලියයි. මෙය ලංකාවේ පමණක් නොව අමෙරිකාවේද එසේමය. හරිකේන් තත්ත්වයකදී අමෙරිකාවේ ෆ්ලොරිඩා, ටෙක්සාස්, ජෝර්ජියා ආදි දකුණු ප්‍රාන්තවල ෂෙරිෆ්වරු හා මාෂල්වරු මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන අතරතුරම කඩසාප්පු කැඩීමට එන සොර මැරයන්ගෙන් ජනතා දේපළ ආරක්ෂා කිරීමයි. මෙහෙත් එසේමය. වත්මන් ආපදාවේදීද ලංකාවේ මෙවැනි සංවිධානාත්මක කල්ලි ක්‍රියාත්මක වන ආකාරය දක්නට ලැබිණ.එසේම ආධාර සොරකම් කිරීම, ජනතාව බේරාගැනීමට බාහිරින් ගෙනා බෝට්ටු සොරාගැනීමට තැත්කිරීමේ සිද්ධි ආදිය වාර්තා විය. මේවා පාලනයට පියවර අවශ්‍ය වේ.  විශේෂයෙන්ම දැඩි නීති යොදා මැඩපැවැත්විය යුතු තවත් කල්ලියක් වන්නේ ආතල්කරුවන් ය. ජොලියට ගංවතුර බලන්න යන උන්දලා, කැමරා ෆෝනය උරුක් කර ගනිමින් උමතුවෙන් මෙන් එහෙමමෙහෙ දුවන වීඩියෝ සුකිරිබටිල්ලන් හා ටික්ටොක් ටික්කන් ආදීන් අල්ලා දැඩි දඬුවම් දෙන ක්‍රියාවලියක් අවශ්‍ය වන්නේ ඔවුන් නිසා ජන ජීවිත බේරාගැනීමට ගෙන යන ක්‍රියාමාර්ග අවදානමට ලක්වන බැවිනි.

සමස්තයක් වශයෙන් ගත් කල මෙවර ආපදාව ශ්‍රී ලංකාවට බොහෝ දේ අවබෝධ කරගත යුතු අවස්ථාවකි. අප වෙනුවෙන් අන්තර්ජාතික ප්‍රජාව කොතරම් කැපවී සිටීද යන්න අපට අවබෝධ වූ අවස්ථාවකි. කුඩා මාලදිවයිනේ ජනතාව තම සාක්කුවේ තිබූ මුදල මෙන්ම අමෙරිකාව ආදී රටවල් ලබාදුන් ‌ඩොලර් ලක්ෂ ගණන එක හා අගනේය. එමෙන්ම අප අසල්වැසියා වන ඉන්දියාව හැමදා මෙන්ම ප්‍රථමයෙන් අපට සහාය වීමට පැමිණි අතර “සාගර් බන්ධු” යනුවෙන් නම්කළ ජීවිතාරක්ෂක මෙහෙයුමක් ඇරඹීය. ඉන්දු පකිස්තාන චීන එදිරිවාදිකම් අප නිසා මඳකට අමතක වූ බවක් පෙනිණ. එම අන්තර්ජාතික සහාය සුරැකීම මෙන්ම ලැබෙන ආධාර නිසි කළමනාකරණයෙන් ආපදා හානි පූරණය අප සතු වගකීමකි. එමෙන්ම විවිධ දේශපාලනික පාර්ශ්ව මෙවරත් සුපුරුදු ඇනුම් බැනුම් ක්‍රීඩාව අරඹා ඇති බවක් පෙනේ. පොදු මහජනතාව ලෙස අපට අවබෝධ වන්නේ එම දෝෂාරෝපණ සෙල්ලම පිටුපස දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාත්මක වන අතර ඒවා තම තමන් හිතවාදි මිස ජනතා හිතවාදී නොවන බවයි. මෙවැනි විජ්ජාවලින් කොතරම් කලක් ජනතාව මුළා කිරීමට දේශපාලු‍වන්ට හැකිවේද යන්න නැගිය යුතු ප්‍රශ්නයකි.

අවසන් වශයෙන් මාධ්‍ය ක්‍රියාකාරිත්වය මෙවරත් විවිධ ආකාරයෙන් සංවාදයට ලක්වූ මාතෘකාවකි. ආපදාවක් යනු මාධ්‍ය වෘත්තියභාවය වඩාත් සක්‍රිය විය යුතු අවස්ථාවකි. දිට්වා හානියට දෙදිනකට පෙර එනම් නොවැම්බර් 26 වෙනිදා කොළඹදී අවසන් වූ, ආසියා ශාන්තිකර විකාශන සංගමයේ මෙහෙයවීමෙන් හා ජාතික රූපවාහිනි සත්කාරකත්වය යටතේ මෙරට සියලු‍ මාධ්‍ය ආයතන නියෝජිතයන්ගේ සහභාගිත්වය යටතේ පැවති 2025දේශගුණික ක්‍රියාකාරකම් හා ආපදා වැළැක්වීම පිළිබඳ සමුළුවේදි, යුනෙස්කෝ ආයතනයේ මෙහෙයවීම යටතේ ආපදා පෙරසූදානම හා ප්‍රතිචාර සැලැස්ම පිළිබඳ මාධ්‍ය මොඩලය ගැන සියලු‍ මාධ්‍ය ආයතනවල අවධානය යොමුවීම වැදගත් වේ. ආපදාවකදී ජාතික මට්ටමේ සහන මාධ්‍ය මෙහෙයුම විධිමත් කිරිමට එම මොඩලයෙන් මාර්ගෝපදේශනයක් ලබාගත හැකි අතර එය ඉතා වැදගත් කටයුත්තකි.

ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩ‌ගේ