සමාජ මාධ්‍යයට වහ වැටීමෙන් ආදරයත් තාක්ෂණික වෙලා


සමාජ මාධ්‍ය යනු නූතනය වන විට ලොව අතිබහුතරයක් ප්‍රජාවගේ ජීවිත විවිධාකාරයෙන් පාලනයට නතු කරගෙන සිටින බලවේගයකි. සජීවී භෞතික සබඳතා මෙන් ම අවශ්‍යතා ද යටපත් කරන මට්ටමට සමාජ මාධ්‍ය විසින් මිනිසා ග්‍රහණයට ගෙන ඇත. ඒ අනුව මෙමඟින් සමාජ සන්දර්භය සැකසෙන ආකාරය මෙන් ම, එහි අනාගත ගමන් මාර්ගය පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ අංශාධිපති, ආචාර්ය මනෝජ් ජිනදාස අදහස් දක්වන්නේ මෙසේ ය.

ප්‍ර සමාජ මාධ්‍ය මඟින් නූතන ජීවිතයට සිදුවන බලපෑම කෙබඳු ද?

සමාජ මාධ්‍ය ක්‍රියාත්මක වෙන්නේ සෑම විට ම කුමක් හෝ පාර්ශ්වයකට පක්ෂපාති විදියට. එය ජනමාධ්‍යවල පවතින කතිපයාධිකාරිභාවයට වඩා වෙනස්. සමාජ මාධ්‍ය මඟින් තමන්ගේ කැමැත්ත මත ඕනෑ ම කෙනෙක් සමඟ සම්බන්ධ වෙන්න පුළුවන්. හෙන්රි කෝල් එලිසන්, ජෙසිකා විටේක් වැනි පර් යේෂකයන් සමාජ මාධ්‍ය මඟින් මේ වන විට ගොඩනැගෙමින් පවතින ආදර, රෝමාන්තික හෝ ලිංගික සබඳතා යනාදී සමීප සම්බන්ධතා පිළිබඳ සාකච්ඡා කරනවා. 

භෞතික සමාජයේ දී ගොඩනැගෙන ප්‍රකෘති සබඳතාවලට වඩා සමාජ මාධ්‍ය මඟින් මිනිසුන් හඳුනාගන්නේ ඔවුන් උඩුගත කරන පින්තූර, ලියන ආකාර ආදියෙන්. ඒ වගේ ම ටින්ඩර්, ග්‍රින්ඩර්, බම්බල් වැනි ඩේටින් ඇප්ස් මඟින් වර්තමානයේ ඉතා සමීප සබඳතා, ලිංගික සබඳතා ආදිය ඇති කරගන්නවා. ඒවා භෞතික ලෝකයේ දී ක්‍රියාත්මක කරන ආකාරය වර්තමානයේ උද්ගත ව ඇති විශාල ගැටලුවක්.

වර්තමානය වන විට ගෙදර ඉන්න අම්මා, තාත්තා, ආච්චි, සීයා, සහෝදර සහෝදරියන් වැනි අය සමඟ තිබුණ සමීපතාව අඩුවෙලා, මිනිස්සු සමාජ මාධ්‍යයෙහි ගුහාගත වී තිබෙනවා. 

එය ඉතාලි ජාතික යානිස් වොරොෆකිස් හඳුන්වා දී ඇත්තේ ‘තාක්ෂණික වැඩවසම්වාදය’ ලෙසයි. මෙහි දී සිදුවන බරපතළ ම හායනය තමයි නිවස තුළ පවතින සබඳතා බිඳවැටීම. මාර්ටින් හෙයිඩෙගර් නම් ජර්මන් පර් යේෂකයා ‘තාක්ෂණයත් සමඟ මිනිසුන්ගේ පැවැත්ම අනියත වී ඇති බවත්, සමාජ මාධ්‍ය මිනිසුන්ගේ පැවැත්ම තීරණය කර ඇති බවත්’ පෙන්වා දෙනවා. මිනිසුන්ගේ ආහාර පාන, ඇඳුම් පැලඳුම්, පෙනුම ආදි සෑම දෙයක ම සම්මතයන් තීරණය කරන්නේ සමාජ මාධ්‍ය මඟින්. අපි කැමති රූප සමාජ මාධ්‍යයේ තියෙනවා. එහෙම නැත්නම් නූතනයේ AI වැනි තාක්ෂණයක් මඟින් ඒවා හදාගන්න පුළුවන්.

ප්‍ර සමාජ මාධ්‍ය මඟින් මිනිසාගේ සබුද්ධිකභාවය පටු කර ඇත්තේ කෙසේ ද?

මාක් ටේෂරි නම් සමාජ විද්‍යාඥයා සඳහන් කර ඇත්තේ 1980න් පසු කාලයේ සමාජ මාධ්‍ය හරහා මිනිසාට එතෙක් කල් නොලැබී තිබූ තොරතුරු ලැබී දැනුවත්භාවය වර්ධනය වූ බවයි. නමුත් වර්තමානය වන විට අනාවරණය වන්නේ තොරතුරුවලට වඩා මිනිසාගේ හැඟීම් පාලනය කරන, භාවයන් උලුප්පන අතිශය භාව විෂයයික බලයක් සමාජ මාධ්‍ය වෙත ලැබී ඇති බවයි. 

ඉතා ප්‍රාථමික සමාජවල ඇති සාක්ෂ්‍ය නොමැති කතා, එනම් නිදසුන් ලෙස ‘තල් අත්තකට බෙලි ගෙඩියක් වැටුණු විට අහස කඩන් වැටුණු බව’ විශ්වාස කළා මෙන් නූතනයේ සමාජ මාධ්‍ය කෙරෙහි ඇති අන්ධ විශ්වාසය නිසා මානව හැඟීම් අහේතුක ලෙස පාලනය කිරීමේ හැකියාව ලැබී ඇත. මානව සම්බන්ධතා බරපතළ තාක්ෂණික සම්බන්ධතා බවට පත් ව තිබෙනවා. තාක්ෂණය සමඟ මිනිසුන් අතර විශ්වසනීය බව බිඳවැටී ඔවුන් තම සමීපතමයන්ට පවා තේරුම්ගත නොහැකි නිර්සංවේදී කොට්ඨාසයක් බවට පත් වෙනවා. 

එසේ ම සමාජ මාධ්‍ය මඟින් මානව සම්බන්ධතා විශාල ප්‍රමාණයක් ඇතිවෙනවා. ඇති වූ සැණින් නැතිවෙනවා. උත්තුංග, සම්භාවනීය, සාරධර්මවලින් පරිපූර්ණ සමාජ සම්බන්ධතා වෙනුවට එකිනෙකාගෙන් ලිංගික හෝ වෙනත් ලාභ  ප්‍රයෝජන ගැනීමේ අරමුණින් නිර්මාණය වන සබඳතා තමයි විශාල වශයෙන් පවතින්නේ. ඒ වගේ ම ශක්තිමත් මාධ්‍ය සාක්ෂරතාවක් වගේ ම ලිංගික අධ්‍යාපනයක් නැතිකම නිසා බරපතළ කායික, මානසික ව්‍යාධීන්ට නූතන ඩිජිටල් පුරවැසියා ගොදුරුවීමේ දැඩි අවදානමක් පවතිනවා.

ප්‍ර ඩිජිටල් යුගයේ මිනිසාගේ ජීවන තත්ත්වය හා ප්‍රමිතීන් නිර්ණයට සමාජ මාධ්‍ය බලපාන්නේ කෙසේ ද?

වර්තමානයේ කන බොන ආකාරය, වාහනයක් ගත් විට වැනි සෑම අවස්ථාවක ම ඉතා පෞද්ගලික දේවල් සමාජ මාධ්‍යයේ පළ කරනවා. ඒ මඟින් සුපිරි මනමෝහනීය තත්ත්වයක් ඇති වෙනවා. එය හඳුන්වන්නේ ඩිජිටල් ෆැන්ටසියක් ලෙසයි. සමාජ මාධ්‍යවල පළ කරන පින්තූර පවා සැබෑ ලෝකයේ මිනිසුන්ට වඩා ඉතා ආකර්ෂණීයයි. මිනිසුන්ගේ මනස තුළ ඇති ආශාවන් සමාජ මාධ්‍ය විසින් නිර්මාණය කරමින් පවතිනවා. නව ලිබරල්වාදී සමාජයෙහි මිනිසා විමුක්තියක් අත්විඳින බව ප්‍රකාශ කළත් වර්තමානයේ සිදුවනුයේ බිල් ගේට්ස්, ස්ටීව්?, මාර්ක් සකර්බර්ග් වැනි සමාජ මාධ්‍ය නිර්මාපකයන් ලෝකයේ අධිබලවතුන් බවට පත් කරමින් ඔවුන්ගේ සාක්කු පිරවීමයි. 

මෙය තාක්ෂණික වැඩවසම්වාදයක් ලෙස හඳුන්වන්නේ ඒ නිසයි. ඒ වගේ ම සමාජ මාධ්‍ය හරහා නිර්මාණය කරන සම්මත ප්‍රමිතීන් මත සියලු දෙනා අධිසුඛෝපභෝගී පාරිභෝගික සමාජය වෙත ළඟාවීමට උත්සාහ කරනවා. මේ සමඟ මහපොෙළාවේ සමාජ යථාර්ථයෙන් වෙන්වෙලා මිනිසා ෆැන්ටසි ලෝකයක් වෙත ළඟාවෙනවා. කාර්මික විප්ලවයට පෙර මිනිසා ඉඩම් හිමි රදලයන්ට දාසකම් කළා. නමුත් ලිබරල් යැයි කියන මේ යුගයේ මිනිසා පෙරටත් වඩා මේ සමාජ මාධ්‍ය කර්මාන්තයට වහල් වෙලායි සිටින්නේ. මේ මනෝමූලික තත්ත්වය මිනිසාට උන්හිටි තැන් පවා අමතක කරවීමට තරම් ප්‍රබලයි. මත්ද්‍රව්‍ය භාවිතයටත් වඩා දරුණුයි. 

ප්‍ර සමාජ මාධ්‍ය මඟින් දේශපාලන සන්දර්භයට බලපෑම් ඇති කරන්නේ කෙසේ ද?

මහාචාර්ය මැනුවෙල් කැස්ටල්ස් ප්‍රකාශ කරනුයේ 2000 වර්ෂයේ පමණ මැදපෙරදිග සමාජවල සිදු වූ අරගලවලට සමාජ මාධ්‍ය බලපෑ බවයි. 

එසේ ම මෙරට පැවති ආර්ථික අර්බුදය හා අරගලයේ දී ෆේස්බුක් මඟින් ජනතාව එකතු වී නගරවලට සංවිධානය වූහ. 

මේවායෙහි යම් සාධනීය තත්ත්වයන් පැවතිය ද, සංවේදී සාවද්‍ය දේශපාලනික තොරතුරු සංසරණයවීම බොහෝ අවස්ථාවන්හි දී දැකිය හැකි ය. එසේ ම ඇතැම්විට දේශපාලන කඳවුරු විසින් ම වාර්ගික හා ආගමික ගැටුම් ඇති කිරීම සඳහා පොලඹවන අවස්ථා ද බොහෝ ය. 

කෙසේ නමුත් වර්තමානය වනවිට අසත්‍ය දේශපාලන තොරතුරු එක්වර ම ග්‍රහණය නොකර විචාරශීලී ව තේරුම් ගැනීමට සමාජ මාධ්‍ය ඔස්සේ ම විශේෂයෙන් තරුණ පරපුර පෙලඹීමේ ප්‍රවණතාවක් ද පවතී. ආසන්නතම සිදුවීමක් ලෙස පසුගියදා සංසරණය වූ ගුවන්තොටුපළේ දී අමාත්‍යවරයෙකු දණ ගසා වඳින ඡායාරූපය AI තාක්ෂණයෙන් සාදන ලද්දක් බව ජනතාව ග්‍රහණය කරගැනීමේ සිදුවීම දැක්විය හැකි ය.

කෙසේ නමුත් ලෝක දේශපාලනය සකස් කිරීමෙහිලා විශේෂයෙන් ඇමරිකාව ප්‍රමුඛ අධිපතිවාදී ලෝක බලවතුන්ගේ දේශපාලනික මතවාද සෑම විට ම බලපාන ආකාරය ද සමාජ මාධ්‍යයේ දේශපාලනික කාර්යභාරය විමසීමේ දී කැපී පෙනෙන ප්‍රවණතාවකි.

සමාජ මාධ්‍ය භාවිතයට පෙර තත්ත්වය හා වර්තමානය 

සමාජ මාධ්‍ය ආරම්භ වෙන්නේ 1970 දශකයේ පමණය. 1980 දශකය වන විට බුලටින් බෝඩ් සිස්ටම් වැනි ක්‍රමවේද ආරම්භ වනවා. 1994 දී ජියෝසිටීස්, ට්‍රයිපොඩ් වැනි ජාලාත්, 1997 දී සික්ස් ඩිග්‍රීස් වැනි මාධ්‍ය ජාලාත් ආරම්භ වෙනවා. 2000 වර්ෂයෙන් පස්සෙ තමයි අපි අද දකින සමාජ මාධ්‍ය සංස්කෘතිය ආරම්භ වෙන්නේ.

2003 දි ලින්ක්ඩ් ඉන්, 2004 දි ෆේස්බුක්, 2005 දී යූටියුබ්, 2006 දි ට්විටර් ආදිය ආරම්භ වෙනවා. 2010 වැනි සමයේ තමයි ස්මාට් ෆෝන්වලට හුරුවෙන්නෙ. 2020න් පස්සෙ ඇල්ගොරිදම්, AI වගේ ප්‍රවණතා හොඳින් ම ඉස්මතු වෙනවා. 

ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම්වල නැගීම ආරම්භ වෙන්නෙත් සමකාලීනවයි. මේ මාධ්‍ය නැති සමාජයේ මිනිස්සු ගනුදෙනු කළ විදිය ගැන සාකච්ඡා කිරීම වැදගත්. මළගෙයක් වැනි හදිසි අවස්ථාවක් උද්ගත වූ විට ටෙලිග්‍රෑම් එකක් යවනවා. එහෙම නැත්නම් කවුරුහරි ගිහින් කියනවා. නමුත් සමාජ මාධ්‍ය නොතිබුණා කියලා මිනිස්සු දැනුවත් නොවී හිටියෙ නෑ. ආදරේ කළේ පෙම්හසුන් ආදිය ලියලා. ඒ මානව සමාජය ශක්තිමත්. 

ගෙදර විදුලිය විසන්ධි වීමක දී පවුලේ සියලු දෙනා සාලෙට එකතු වුණහම ඇති වන කතාබහ කොතරම් ප්‍රබල ද? අද වෙද්දි ලොකු ගෙවල් හදලා ටයිල් කරලා මිනිස්සු කාමර ඇතුළට වෙලා ඉන්නවා. මේක තමයි තාක්ෂණික වහල්භාවය කියල කියන්නෙ. අතීතයේ කුඩා ගෙදරක දෙමව්පියන් සහ දරුවන් අතර තිබූ බැඳීම අද වෙද්දි නෑ. ඒක හොයාගන්න අපි විවිධ දේවල් කරනවා. ට්‍රිප් එහෙම යනවා. නමුත් ඒ බැඳීම ඇතිවෙන්නෙ නෑ. 

ප්‍ර මෙම තත්ත්වය අනාගතයේ ගමන් කරනුයේ කොතැනට ද?

දැන් කෘත්‍රිම බුද්ධියත් ඇවිත් තිබෙනවා. මේ නිසා විශාල වශයෙන් පීඩාවට පත්වෙන්නේ ස්නායු. ස්නායුවලට කිරීමට ඇති වැඩවල වෙහෙස අඩුවෙනවා. මේ නිසා සමාජය දියවැඩියාව, ස්ථූලත්වය වගේ ගැටලුවලට මුහුණදෙනවා. නිවසේ සිට ම දැන් රැකියාව කරන්නත් පුළුවන්. කෑම ටික පවා කාමරයට ම ලැබෙනවා. මානව බැඳීම් අඩු වෙනවා. 

ස්වාභාවික පරිසරයෙන් ඈත් වෙනවා. විශේෂයෙන් එසේ ඈත් වූ විට සිදුවෙන විටමින් ඌනතා ආදිය නිසා වැලඳෙන රෝග පවතිනවා. අපි ඉන්නේ කෘත්‍රිම ලෝකයක. නියුරෝන ක්‍රියා විරහිත වෙනවා. මොනතරම් උගත්කම්, සල්ලි තිබුණත් කොතන හරි තැනක හිස්කමක් ඉතිරි වෙනවා. ඒ වගේ ම මේ මනමෝහනීය ඩිජිටල් ලෝකය ඉදිරියට යනවිට සිදුවෙන්නේ සුළුතරයක් පිරිස ධන කුවේරයන් බවට පත් වන විට බහුතරය රෝගී, මානසික ව ඔද්දල් වුණ, වහල් පිරිසක් බවට පත් වීම.

නමුත් අතිශය සුළුතරයක් සිටිනවා සමාජ මාධ්‍ය භාවිත නොකරන. මේ ඩිජිටල් සමාජය තුළ වැඩිවෙන්නේ මානසික ප්‍රශ්න. සමාජය සමඟ ඇති ගනුදෙනු අඩු වෙනවා. මානසික තෙහෙට්ටුව ඇති වීම මත කය නිරායාසයෙන් ක්‍රියා නොකරන තත්ත්වයට පත් වෙනවා.

මානව බැඳීම්වලට වඩා යන්ත්‍ර සමඟ බැඳීම් ඇති කරගන්නා බව නෝබට් වීනර් පවසනවා. මෙයට හොඳ ම නිදසුනක් තමා කෘත්‍රිම බුද්ධිය. තමන්ගේ සහකරු සතුටු කිරීමට අද වන විට රොබෝ තාක්ෂණය යොදා ගන්නවා. ප්‍රේම කිරීමට වගේ ම ලිංගික කටයුතු සඳහාත්, පාළුව, තනිකම මකා ගැනීමටත් මේ යන්ත්‍ර භාවිත කරනවා. සතුන් විඳින ප්‍රීතියවත් මිනිස්සුන්ට නැතිවෙලා යනවා. ජෛව විවිධත්වය අස්ථාවර වෙන්න පවා මෙය බලපානවා.

මේ තාක්ෂණය පිළිබඳ අධ්‍යාපනය, සාක්ෂරතාව සහ දැනුවත්භාවය ලබා නොදුන්නොත් බරපතළ ආකාරයේ දූෂිත, වැඩවසම් පාලකයන් සහ ප්‍රජාව බිහිවෙනවා. ඉතා ඉක්මනින් මෙම අධ්‍යාපනය ලබා දිය යුතුයි. 1965 දී පමණ ගෝලීය විශ්ව ගම්මානය පිළිබඳ සාකච්ඡා කළ මාෂල් මැක්ලුහන් වැනි අය තාක්ෂණය මඟින් මිනිසාගේ ස්නායු පද්ධතියට එල්ල වන බලපෑම සාකච්ඡා කළා. ජෙෆ්රි හින්ටර් කෘත්‍රිම බුද්ධිය ගැනත් එලෙස ම සාකච්ඡා කරනවා.

තාක්ෂණය භාවිතයේ දී කාලය යනවා දැනෙන්නේ නෑ. මත්ද්‍රව්‍යයක් ගත්තා වගේ තමයි. දැන් අතීතයේ වගේ මිනිස්සු පොත් කියවන්නෙත් නෑ. නමුත් දියුණු සමාජවල මිනිස්සු පොතුත් කියවනවා. එය තමයි සමතුලිතතාව. නමුත් අපේ සමාජ ඩිජිටල් මාධ්‍යයට ම ඇබ්බැහි වෙලා. රටවල අධ්‍යාපන ක්‍රමය මඟින් තමයි මෙම තත්ත්වය සමබර කළ හැක්කේ.

ලවංගා මාධවී දෑරංගල