ඔහු වෙනුවෙන් මීගහකිවුල නගරයේ පැවැති උද්ඝෝෂණයක්
“අනේ බුදු සර් මට මගේ දරුවගේ මිනිය එක වතාවක් හරි ඉඹින්න දෙන්න. මට මොනව උනත් කමක් නැහැ. මගේ දෙයියෝ....මගේ සුදු පුතේ ....මගේ ෂෂී....ඔයාගේ අතට දුන්න රෝසමල් පොකුර වගේම ඔයත් තාමත් ඒ විදිහටම ඉන්නවා. අනේ අපිට සල්ලි තිබ්බ නම් ගෙදරින් පිට කොහේවත් නොයවා හැමදාමත් ඔයාව ගේ ඇතුළෙ තියාගන්නවා.”
“මගේ පුතා මැරෙන්න ඉස්සර කොයිතරම් වද වේදනා විඳින්න ඇද්ද. ? අනේ මගේ බුදු පුතේ ....මම දවස් විසිගානක් තිස්සේ කෑවේ නෑ. අඬ අඬා ඉන්නේ....මම හිතාගෙන උන්නේ මගේ පුතා කුමාරයෙක් කරන්න. ඒක මට නැතිවුණා....”
තම දරුවාගේ අකල් මරණයෙන් කම්පිත වූ මවක් ඒ අයුරින් කඳුළු සලා හඬා වැලපෙමින් ළතෝනි දුන් ආකාරය දුටුවන්ගේ පවා නෙතඟට කඳුළක් නැංවුණු දසුනක් විය.
![]() |
![]() |
පියා තුෂාර | නිමේෂ්ගේ මව සමන්ති |
ඒ අම්මා විලාප දෙන්නට වූයේ - වැලිකඩ පොලිස් භාරයේ සිටිය දී මරණයට පත්වූවේ යැයි කියන සිය දරුවාගේ මළ සිරුර මිහිදන් කර දින 21 කට පසුව - ඉකුත් 23දා අධිකරණ නියෝගයක් ප්‍රකාරව ගොඩගැනීමෙන් පසුව හඳුනාගැනීම සඳහා ඇයට පෙන්වූ අවස්ථාවේ දීය.
මීගහකිවුල, පහළගෙදර, “තුරුලිය සෙවණ” හි පදිංචි මුතුවාඩියගේ සත්සර නිමේෂ් නමැති 25 වියැති තරුණයා ගේ මළ සිරුර මෙලෙස ගොඩගනු ලැබුවේ බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා ඉදිරියේ දීය.
එකී මළ සිරුර මෙලෙස ගොඩගනු ලැබුවේ ත්‍රිපුද්ගල අධිකරණ වෛද්‍ය විශේෂඥ මණ්ඩලයක් ලවා පශ්චාත් මරණ පරීක්ෂණයක් යළි පවත්වන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා විසින් ඉකුත් 09 වෙනි දා දුන් නියෝගයක් අනුව ය. එම නියෝගය දුන් දින සිට කන්දකැටිය පොලිසිය මගින් නිවස ආසන්නයේම වූ සුසානය වෙත ආරක්ෂාව සපයා දී තිබූ අතර , ලේකම්වසම් ලියනගේ සමන්ති නමැති මරණකරු ගේ මව් රහස් පොලිසියට කර තිබූ පැමිණිල්ල - එකී නියෝගය ලබාදීමට හේතු වූ නඩුකරය විය.
අධිකරණ නියෝගය ප්‍රකාරව ඉකුත් 23 වෙනි දින මළ සිරුර ගොඩ ගත් අතර, එම අවස්ථාව දැක බලා ගැනීම සඳහා ගම්වාසීහු විශාල පිරිසක් එදින එම ස්ථානය වෙත එක් රොක් වී සිටියහ.
මළ සිරුර ගොඩගත් අවස්ථාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි කීර්තිසිංහ, පොලිස් පරීක්ෂක පොල්වත්ත, උප පොලිස් පරීක්ෂක ප්‍රදීප්, කොළඹ අධිකරණ වෛද්‍ය සහ විශේෂවේදී ආයතනයේ ප්‍රධාන අධිකරණ විශේෂඥ වෛද්‍ය ශ්‍රියන්ත අමරරත්න, විශේෂඥ අධිකරණ වෛද්‍ය පී.ආර්. රුවන්පුර, කරාපිටිය සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයන්හි විශේෂඥ වෛද්‍ය නිලධාරීන්,
බදුල්ල පොලිස් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හා කන්දකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දීපාල් ජයතුංග ඇතුළු නිලධාරීහු ද, රහස් පොලිසියේ නිලධාරීහු ද එක්ව සිටියහ.
අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය හා උපදෙස් යටතේ, පොලිස් නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් - මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ කම්කරුවන් විසින් පැය කිහිපයක පරිශ්‍රමයකින් පසුව පොලිතීන් උරයකින් ආවරණය කර තිබූ සත්සර නිමේෂ් ගේ මෘතදේහය සහිත දෙණ ගොඩ ගනු ලැබූ අතර - එය මව, පියා, සහෝදරයින් ඇතුලු ඥාතීන්ට ද පෙන්වීමෙන් පසුව, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන යාම සිදුකෙරිණි.
මළ සිරුර මිහිදන් කර තිබුණේ මියගිය සත්සර නිමේෂ් ගේ නිවසට මීටර් තුන හතරක් ආසන්නයට වෙන්නටය. එය ගොඩගැනීම ආරම්භ කළ මොහොතේ සිටම වරින් වර නැගුණු සත්සර නිමේෂ්ගේ මවගේ විලාපය හමුවේ සසර නිමේෂ් ගේ වැඩිමහල් සහෝදරියත්, බාල සහෝදරයාත්, සත්සරගේ පියා තුෂාරත් ඉකිබිඳිමින් හඬා වැටෙන්නට වූයේ, රැස්ව සිටි පිරිසගේ ද හදවත් කම්පනය කරමිනි.
මළ සිරුර ගොඩගත් අවස්ථාවේ වැලපෙන මව සහ පියා
සත්සර නිමේෂ් මිය ගියේ කුමන අයුරකින් දැයි අපි නොදන්නෙමු. එහෙත් ඔහුගේ මව ලසන්ති පවසන්නේ - එය කිසියම් පිරිසක් විසින් සිදුකළ ඝාතනයක් බවය. දරුවා ගැන ඇය මෙසේ පවසන්නීය.
“මම ආමි එකේ හිටපු නිලධාරිනියක්. විශ්‍රාම ගිහින් ඉන්නේ. පුංචි වෙෙළඳාමක් කරනවා. මිය ගිය සත්සර අපේ පුතා හැම දේටම හරිම දක්ෂයි. සාමාන්‍ය පෙළ, උසස් පෙළ කරලා හොඳට විභාග සමත් වුණා. ඊට පස්සේ එයා නර්තනයට යොමු වුණා. විවිධ තරගවලින් විවිධ දක්ෂතා පෙන්නුවා. ගුරුවරු, ගමේ අය වගේම යාළුවො එයාට හරියට ආදරය කළා. හරිම දක්ෂ දරුවෙක්. එයාට නර්තනයෙන් ඉහළට යෑමේ අවශ්‍යතාව තිබුණා. ඇතැම් රූපවාහිනී නාළිකාවල පවා නර්තන වැඩ සටහන්වලට ඔහු පෙනී සිටියා.”
“කොහොම වුණත් එයාට රැකියාවක් හොයා ගෙන තමයි 2018 දී මුලින්ම එයා කුරුණෑගලට ගියේ. එහි කාලයක් සේවය කරලා ඊට පස්සේ කොළඹට ගියේ වෙන තැනක රැකියාවක් කරන්න. ඔය අතරේ විදෙස්ගත වෙන්න පෞද්ගලික රෝහලක පුතා පාඨමාලාවක් හැදෑරුවා. මමත් උදව් කළා. මුලින්ම විහාරස්ථානයක තමයි නැවතිලා හිටියේ. ඊට පස්සේ ඔය සිද්ධිය වෙන දවසට කලින් දවසේ, මාර්තු 31 වෙනිදා දවල් මට කතා කරලා කිව්වා ‘‘අම්මා මම වෙන බෝඩිමකට යනවා. සල්ලි ඉතුරු කරගන්න ඕනැ නිසා කියලා. හැම වෙලාවේම හැම දේම පුතා අපිට කතා කරල කියනවා. එයා අඩුම ගාණේ දවසකට සැරයක් දෙකක් අපිට කතා කරනවා. බැරි වුණොත් අපිත් කතා කරනවා. ඊට පස්සේ එදා ආයේ හවසත් තුනට කතා කරල කිව්ව බෝඩිමකට යනවා, බෝඩිම හොඳයි ඒකේ ඇන්ටි ආවම තීරණේ දෙනව කියල.”
“ඊට පස්සේ මගේ පුතාගේ යාළුවෙක් වන තේනුක පුතා මට රෑ අටට විතර කතා කරල කිව්වා, ‘’අම්මා නිමේෂ් මල්ලි කලබලෙන් වගේ කතා කළා. පොලිසියට අරන් යනවා වගේ තමයි මට දැනුණේ. පොඩ්ඩක් මල්ලිට කතා කරල බලන්න’ කියලා”. මම එහෙමම අනිත් පැත්තට මගේ පුතාට කෝල් එකක් ගත්තා. එතකොට එයා මට කතා කරල කිව්වා ‘‘අම්මේ මං පොලිසියෙන් අරගෙන යනවා. මාව විනාශ කරයි ද දන්නෑ. මාව අල්ල ගෙන කොහෙටද ඇරන් යනවා’’ කිව්වා. එතකොටම ෆෝන් එක කට් වුණා. පුතා සාමාන්‍යයෙන් හැම දේම එක දිගට කියලා ඉවර කරන කෙනෙක්. මං කල්පනා කරා ඇයි මෙහෙම වුණේ කියලා. ඊට පස්සේ එක දිගට දාහතර පාරක් ගත්තා. ෆෝන් එක ඉස්සුවේ නැහැ. ආයෙත් ටිකකින් ට්‍රයි කරා. ඊට පස්සෙ කෙනෙක් කතා කළා .‘කවුද ඔයා‘‘ කියලා අනිත් පැත්තෙන් ඇහුවා. මම ‘දරුවාගේ අම්මා කියලා,‘‘ ‘කවුද ඔයා කියලා‘‘ ආයෙත් මම ඇහුවා. එහා පැත්තෙ එක්කෙනා “සර්.... සර්....මෙයාගේ අම්මා කතා කරනවා” කියලා ෆෝන් එක කාටද දුන්නා. ඊට පස්සේ මම ඒ කතා කරපු එක්කෙනාට කිව්වා, “සර්...ඔය මගේ දරුවා කියල”. ඊට පස්සේ ඒ අය කීව ‘අපි වැලිකඩ පොලිසියෙන්. එයා මේ අල්ලගෙන යන ගමන්, හරි ඇරන් යන ගමන් හරි කියලා මොකක් ද එකක් කිව්ව. මට තේරුණේ නෑ. මං එතකොට ඒ නිලධාරියට කතා කරලා කිව්වා‘ බුදු සර් ඔය ඉන්නෙ මගේ දරුවා. මගේ දරුවට මගේ මැණිකට ගහන්න එපා’ කියල මම බැගෑපත් වුණා. එයාට ගහන්න එපා මුකුත් කරන්න එපා. මං හෙට උදේ වෙනකොට ඔතෙන්ට එනවා කියල.’
“ඊට පස්සේ එයාල කිව්වා ‘මෙයා කොන්ට්‍රෝල් කරන්ඩ හරි අමාරුයි, දඟලනව’ කියලා. මං කිව්වා ‘දරුවට දම්වැල් හරි දාලා තියාගන්න’ කියලා. එතකොට එයාල කිව්ව ‘‘අපිට දම්වැල් දාන්න බැහැනෙ” කියලා. මං ඊට පස්සේ කිව්වා ‘මම දරුවගේ අම්මනේ. මමයි කියන්නේ කැළැල් මොනාහරි ආවොත් මං ඒව මකා ගන්නම් කියලා.‘‘ ඊට පස්සේ මම මගේ ෆෝන් එක බහිනකම් ම ගත්ත ගත්තා. ආන්සර් කරේ නැහැ. කමක් නෑ මං හෙට උදේ යනවනේ කියලා හිත හදාගත්තා. පාන්දර 1.20 ට මීගහකිවුලෙන් තියෙන බස් එකේ මම කොළඹ ගියා. උදේ 7.45ත් 8.30 ත් අතර මම වැලිකඩ පොලිසියට ගියා.”
“එතන හිටිය කිසි කෙනෙක් මගේ දරුවා ගැන කිව්වෙ නෑ. රිමාන්ඩ් එකේ ඉන්න අයත් මං දිහා සැරින් සැරේ බැලුවා. සිර කූඩුවේ වත් මගේ දරුවා ඉන්නව ද කියල බැලුව. ඒත් පේන්න හිටියේ නැහැ. කිසි කෙනෙක් මගේ දරුවා ගැන කිව්වෙත් නෑ. පැය දෙකක් විතර ගියාට පස්සේ තමයි ඕ.අයි. සී. මාව කාමරයට ගෙන්නුවේ. ඊට පස්සේ ඕ.අයි.සී මගෙන් වෙන වෙන ඒවා ඇහුවේ. ඊට පස්සේ මගෙන්‘‘ මොනවා හරි කාලා තේ එකක් බොනව ද‘‘ කියලා ඇහුවා.‘මට තේවත් - වතුරවත් එපා, මගේ දරුවා පෙන්නන්න‘‘ කියලා මං කිව්වා. ඊට පස්සේ මං කන්නම් කිව්වා. එතන හිටිය පොලිස් නිලධාරිනියකුත් මාව තේ බොන්ඩ එක්කගෙන යන්න මහන්සි වුණා. ඒ වෙලාවේ ඕ.අයි.සී මහත්තයා කිව්වා‘ ’දරුවා මුල්ලේරියාව රෝහලේ නවත්තල ඉන්නවා, තව ටිකකින් යමු බලන්න‘‘’ කියලා. මමත් ඒක අහල ආයිත් ඇවිල්ලා එළියෙන් වාඩි වුණා.”
“එළියේ ඉඳගෙන ඉන්නකොට මිරිහාන පොලිසියේ එස්.අයි. මහත්තයෙක් එතෙන්ට ආව. එයා තමයි මේ පරීක්ෂණය කරේ. එයා ඇහුවා ‘‘ මේ අර මැරිලා ඉන්න දරුවගේ අම්ම ද” කියලා. මම නෑ කිව්වා. කීයටවත් මං හිතුවේ නෑ මගේ දරුවා මැරිල කියල. මොකද, පොලිසියෙන් කිව්වෙත් දරුවා රෝහලේ ප්‍රතිකාර ලබනවා කියලයි. හැබැයි එයාලගේ හැසිරීමෙන් මට පොඩ්ඩක් සැක හිතුණා. ඊට පස්සේ මං කිව්වා‘‘ අනේ සර් මැරිලා ඉන්නේ මගේ පුතාවත් ද.? මට කියන්න මට කියන්න‘‘ කියලා. එතකොට එයාල දැනගත්තා මං කලබල වුණා කියලා.”
“ඊට පස්සේ ඕ.අයි.සී. මහත්තය මට ආයෙත් ඇතුළට කතා කළා. ඒ කරල කිව්ව ‘අම්මේ ඔයාගේ පුතා අසනීප වෙලා මුල්ලේරියාව අංගොඩ මානසික රෝහලට ඇතුළත් කරා. එහිදී මිය ගියා ‘‘ කියලා‘. එයා කෑ ගැහුව. දැඟලුවා. ඒ නිසා කොන්ට්‍රෝල් කරගන්න බැරි වුනා. අපි රෝහලට ගෙනිච්චා.‘‘ කියලත් ඕ.අයි.සී. මහත්තය කිව්ව. මම කිව්වා‘‘ මගෙ පුතා අංගොඩ ගෙනියන්න පිස්සෙක් නෙවෙයිනේ කියලා.‘‘ මට යන්න දුන්නෙත් නැහැ. ගොඩක් වෙලා තියාගත්ත. බැරිම තැන මම මගේ මහත්තයාගේ අයියට කතා කළා. විනාඩි විස්සක් විතර යද්දි එයා ආව. ඊට පස්සේ හවස එකත් පහුවෙලා තමයි අපිව රෝහලට අරන් ගියේ. ඒත් දරුව පෙන්නුවේ නෑ. නඩුකාර උන්නාන්සේ එනකන් ඉන්න ඕනැ කිව්ව.” .
“ටික වෙලාවකින් දරුවාගේ මිනිය එළියට ගත්ත. මම අඳුනගත්ත මගේ දරුව කියල. මට මිනිය අල්ලන්න දුන්නේ නැහැ. පුතාගේ ඇස් දෙක උඩ ගිහිල්ල තිබුණ. දරුවගේ මයිල් ගහක් ගානේ ගහපු පාරවල් තිබුණා. පිටේ කේබල් පාරවල් තිබුණ කියල මෝචරිය ඇතුළට ගිය මස්සිනා කිව්වා. හැම තැනම ගහපු පාරවල්. ඉදිමිලා. ලස්සන අතපය කොණ්ඩෙ තිබුණු දරුවගේ නියපොතු ටික ඉඳල කළුවෙලා. දරුවගේ මේ තුවාලවලට කිසිම හේතුවක් කිව්වේ නෑ.‘මං දරුවාගේ නළල විතරයි ඉම්ඹේ.‘‘ සමන්ති හැඬූ කඳුළින් කියාගෙන ගියාය.
දරුවාගේ මළ සිරුර පරීක්ෂා කරද්දී ඔහුට අන්දවා තිබුණේ ඔහු සතු ඇඳුමක් නොවන බව සමන්ති පවසන්නී ය.
“මගේ දරුවා කලිසම් අඳින්නේ ඉණට හරි යන විදිහට. හැබැයි ඒක මගේ දරුවගෙ කලිසම නෙවෙයි. මම ඇහුව දරුවගේ ඇඳුම් කෝ කියලා. එයාල කිව්ව ඒවා හොස්පිටල් එකේ කියලා. මං සැකයට නිකං පොලිසියේ කුණු බක්කිය එහාට මෙහාට කරලා බලද්දී එතන ලේ තැවරුණු මගේ දරුවාගේ කලිසම, පාවහන් ගොඩක් යට තිබිලා හම්බ වුණා. මම ඒක අඳුන ගත්ත. දරුවගේ ෆෝන් එකත් කුඩු වෙලයි තිබුණේ. ඒව මට දීල ආපහු ආයේ පොලිසිය ඉල්ලගත්තා.”‘‘
“අනිත් එක තමයි මේ දරුවා පොලිස් අත්අඩංගුවට අරන් තියෙනවා කියන්නේ නාවල දී. ගෙදරක තාප්පෙකින් පනින්න ගිහිල්ල ඉද්දි ගෙදර අය අල්ලලා 119 ගහලා පොලිසියට බාර දුන්න කියල තමයි එයාල කියන්නේ. දරුවා ඒ ගෙදර අය ගැටගහලා හිටිය කියලත් කතාවක් කියනවා. මේ එකක් වත් පිළිගන්න අපිට කිසිම විස්තරයක් කියන්නේ නැහැ. පුතා තාප්පෙන් පැන්න කියන ගෙදර පුද්ගලයත් පොලිසියට ඇවිල්ල හිටියා. රෑ නමයයි තුනට ගත්ත ෆොටෝ එකකුත් මට පෙන්නුවා. ඒ ෆොටෝ එක ඉල්ලුවට දුන්නේ නැහැ. පුතාගේ බෙල්ල කඩා වැටිලා බිම බලාගෙන ඉන්න ෆොටෝ එකක් තමයි තිබුණේ. නමයයි තුනට ඒ ගෙදරදි ෆොටෝ ගත්ත නම් අටයි තුනට පුතා මට කොහොමද පොලීසිය බාරේ ඉඳල කතා කළේ. දරුවාගේ ඇඳුම් ඇයි හැංගුවේ. ඇයි මාව පැය ගණන් රස්තියාදු කළේ. මේවා තමයි මට තියෙන ප්‍රශ්න.”
දරුවාගේ පියා මුතුවාඩිගේ පියුමාල් තුෂාර ට ද සොහොයුරා මෙන්ම සොහොයුරියට ද ඥාතීන්ට ද සිදුවූයේ කුමක් ද? යන්න තවමත් ප්‍රහේලිකාවකි. අඩුම තරමින් තමුන්ගේ දරුවාට සිදුවූයේ කුමක්ද? යන්න විමසා දැනගන්නට පොලීසිය හෝ තාප්පයෙන් පැන්නාය කියන ගෙදර නිවැසියා හෝ කිසිවෙකුත් දුරකථනයකට පවා ප්‍රතිචාර නොදක්වන බව ඇය පවසන්නීය.
මියගිය සත්සර නිමේෂ් සාමාජිකයින් තිදෙනෙකු ගෙන් යුතු පවුලේ දෙවැනියා ය. අක්කා වැඩිමලාය. බාල සොහොයුරා තවමත් පාසල් වියේය.
“මගේ පුතාට මැරෙන්න කිසිම හේතුවක් නැහැ. අඩුම තරමේ මගේ පුතාට වුණේ මොකද්ද? ඇයි එහෙම උනේ? කියලවත් මට දැනගන්න අයිතියක් නැද්ද? ඒකයි මං අධිකරණයට ගියේ. මට දැනගන්න ඕනෑ මගේ දරුවට මොකද කළේ කියන එක. මට කිසි දෙයක් එපා. මගේ දරුවට යුක්තිය ඉෂ්ට කරන්න.”‘
සත්සර නිමේෂ්ගේ මව පවසන්නීය.
ගොඩගනු ලැබූ සත්සර නිමේෂ් ගේ මළ සිරුර කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත රැගෙන යෑම සිදු කළ අතර, මෙම මස 28 වැනි දින යළි නඩුව කැඳවීමට නියමිතය.
පොලිස් ප්‍රහාරයෙන් මිය ගිය බව කියන නිමේෂ් ට යුක්තිය ඉටු කරන්නැයි ඉල්ලා - මීගහකිවුල නගරයේ මෙන්ම කොළඹ ප්‍රදේශ කිහිපයක ද පසුගිය දිනවල උද්ඝෝෂණ හා නිහඬ විරෝධතා පැවැත්විණි.
සැබවින්ම සත්සරට පමණක් නොව මෙලොව එළිය දකින ඕනෑම අයෙකුට ජීවත්වීමට අයිතියක් ඇත්තේය. එම අයිතිය කිසිවෙකු හෝ අහිමි කරන්නේ නම් එය මහා අපරාධයකි.
සිය දරුවාගේ මරණය කාලයේ වැලි තලාවෙන් යට වෙන්නට ඉඩ නොදී, ගැහැනියක ලෙස සත්සර ගේ මව සමන්ති සටන්කරන්නේ මිනිසෙකු ලෙස එළිය දුටු තම දරුවාට ජීවත් වීමේ අයිතිය අහිමි කළවුන් නීතිය හමුවට පමුණුවන්නට ය.
ඇගේ පවුලේ උදවිය හා එක් වූ මීගහකිවුලේ මෙන්ම කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජනතාවද සත්සර වෙනුවෙන් උද්ඝෝෂණ සංවිධානය කරමින් හඬ ගා කියන්නට වූයේ - සත්සර ගේ මරණයට සාධාරණයක් ඉටුකරන ලෙසය. දැන් සියල්ල ඇත්තේ රහස් පොලීසිය හා අධිකරණය හමුවේය. මව ලසන්ති මෙන්ම නිමේෂ්ට ආදරය කළ අයත් ඔහුගේ හිතවතනුත් බලා හිඳින්නේ ඔහුට සිදුවූයේ කුමක්දැයි යන්න අධිකරණය හමුවේ විසඳෙන තෙක්ය.
විස්තර සහ ඡායාරූප -
වියලුව නිශාන්ත කුමාර