කොළඹ, කොටුව යනු ව්‍යාපාරික පාරාදීසයක් බව එහි යන-එන ඕනෑම අයෙක් අත්දකින සත්‍යයකි. විශේෂයෙන් කොටුවේ පිහිටිි මල්වත්ත පාර’ යනු අතීතයේ සිට අද දක්වාම පරම්පරා ගණනාවක උදවිය යන එන ව්‍යාපාර කේන්ද්‍රස්ථානයකි. නමුත් මල්වත්ත පාර යනු කලින් කලට ප්‍රමුඛ ව්‍යාපාර වෙනස් වෙන කොළඹ පිහිටි එකම වීදිය යැයි කීවොත් එය වඩාත් නිවැරදිය.
උදාහරණයක් ලෙස, 70 දශකයේ රෙදිපිළි, ඔරලෝසු හා බෑග්වලට ප්‍රකටව තිබූ මල්වත්ත පාර 80 හා 90 හා 2000දශකවලදී සම්පූර්ණයෙන්ම පාහේ කැසට් පට හා සීඩී පට අලෙවි හා නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත් විණි. නමුත් මේ වෙනවිට ඒ තත්ත්වයද සපුරා වෙනස් වෙමින් සපත්තු, බෑග් හා ඔරලෝසු කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබේ.
මෙවන් පසුබිමක, එකළ පැවති කැසට් හා සීඩී කේන්ද්‍රස්ථානයට දැන් අත්ව ඇති තත්ත්වය කෙබඳු ද? සහ මේ වෙන විට මල්වත්ත කියූ සැණින් මතකයට නැඟෙන සපත්තු, බෑග්, ඔරලෝසු ව්‍යාපාරවල තත්ත්වය කෙබඳු ද? යන්න සොයාබැලීමට අපි මල්ලවත්ත පාරේ සංචාරය කරමින් ව්‍යාපාරිකයන් හා කතාබහක නිරත වුණෙමු.
“කොරෝනාවලින් පස්සෙ සීඩී විකිණෙන එක හොඳටම අඩාළ වුණා”
මෙසේ කීවේ මල්වත්ත පාරෙන් සිය ව්‍යාපාර දිවිය අරඹා මෙරට කැසට් ලොව ප්‍රමුඛ සන්නාමයක් බවට පත්වූ ‘සෙත්සිරි මියුසික් සෙන්ටර්’ හි අධිපති සම්පත් ශ්‍රී ජයවික්‍රම යි.
“මම මල්වත්තට ආවේ අවුරුදු 17 පමණ. දැන් මට 55යි. ඒ කාලේ අපේ තාත්තට ඔරලෝසු ව්‍යාපාරයක් තිබුණා. හැබැයි මට ඕනැ වුණා වෙනස් ව්‍යාපාරයක් කරන්න. ඒ අනුව තමයි ‘සෙත්සිරි මියුසික් සෙන්ටර්’ මල්වත්ත පාරේ ආරම්භ කළේ. එහෙම අරඹලා ‘නෙයිනගේ සූදුව’ කියලා කැසට් එකක් මුලින්ම නිෂ්පාදනය කළා.
ඉන් පස්සෙ සෝමසිරි මැදගෙදර, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, ප්‍රින්ස් උදය ප්‍රියන්ත, චන්දන ලියනආරච්චි වගේම මිල්ටන් මල්ලවාරච්චි, සනත් නන්දසිරි ආදී ප්‍රබුද්ධයන්ගේත් කැසට් සහ සීඩී මම නිෂ්පාදනය කළා. ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ පළමු කැසට් පටය වූ ‘සඳ කුමාරියක්’ නිෂ්පාදනය කළේ මමයි. ඒ වගේම චන්දන ලියනආරච්චිගෙ ‘සිතුම් ගංගා’, ‘සිහින කුමාරියක්’ නිෂ්පාදනය කළා.
කැසට් කාලෙනම් හොඳටම කැසට් විකුණුනා. එතරම්ම නැති වුණත් සීඩී කරන කාලයෙත් හොඳ අලෙවියක් තිබුණා. ඉන් පස්සෙ පෙන් (Pen Drive) ආවට පස්සෙ සීඩී විකිණෙන එකත් එන්න එන්න අඩු වුණා. විශේෂයෙන් කොරෝනාවලින් පස්සෙ සීඩී විකිණෙන එක හොඳටම අඩාළ වුණා. ”
“මේකට බලපාපු තවත් කාරණයක් තමයි, නුගේගොඩ තිබුණු සීඩී රයිට් කරනිපෙන්ගුයින්’ ආයතනය වසා දැමීම. ඒකෙන් පස්සෙ දැන් කවුරුවත් සීඩී රයිට් කිරීම වෘත්තීය මට්ටමෙන් සිද්ධ කරන්නෙ නෑ. මේකත් සීඩී නිෂ්පාදනය අඩාළ වෙන්න තදින්ම බලපෑවා.
ඔය සියලු තත්ත්ව එක්ක මල්වත්ත පුරා තිබුණු කැසට් කඩ ටිකෙන් ටික වැහුණා. මම ගාව කලින් නිෂ්පාදනය කරපු සීඩීවල තොග තිබුණු නිසා තාමත් මේ ව්‍යාපාරය කරගෙන යන්න හැකියාව තිබෙනවා. ඒ වගේම මල්වත්තෙ බොහෝ සීඩී කඩ වැසී යාමත් එක්ක මට තාමත් බිස්නස් එකක් තියෙනවා.
දැන් ආයිත් පැරණි ගීත හොයාගෙන එන ප්‍රවණතාවයකුත් තියෙනවා. ඒ වගේම සමහර ගායක ගායිකාවෝ අලුතින් සීඩී එකක් කරන්න කැමැත්තෙන් හිටියත්, පෙන්ගුයින් එක නැති නිසා ඒ කටයුත්ත එහෙම්ම අතහැරලා දමන්න අපට සිදු වෙලා තිබෙනවා. පෙන්ගුයින් නැතිවීම නිසා පැරණි ගීත හොයාගෙන එන අයට ඇතැම් සීඩී ලබාදීමට නොහැකි වෙලා තිබෙනවා.”
“ඒ වගේම, අපෙන් ඔරිජිනල් සීඩී අරගෙන යන සමහරු ඒවා ෆෙස්බුක්හි අධික මුදලට විකුණන අවස්ථාත් ඕනැතරම් තිබෙනවා. අපි තාමත් ඔරිජිනල් සීඩී එකක් විකුණන්නේ රු. 500 - 600 වැනි මුදලකටයි.
මගේ මල්ලිලා දෙන්නා. සජීව, සජීව ෆැන්සි පැලස් නමින් කැසට් හා සීඩී නිෂ්පාදනය කළා. ඒ වගේම අනික් මල්ලි වන ඉන්දික, ඉන්දික මියුසික් සෙන්ටර් නමින් කැසට් නිෂ්පාදනය කළා. නමුත් මල්වත්ත පාරේ තිබුණු ඒ ආයතන දෙකම දැන් වැහිලා ගිහින්. ඒ වෙනුවට සපත්තු බිස්නස් තමයි දැන් කරන්නෙ.
මට වෙනත් ව්‍යාපාර තිබුණත් මම මුලින්ම පටන්ගත්තු බිස්නස් එක නිසා මම තාම කරගෙන යනවා. අනික, කලාකරුවන් හා කලාවට ආදරය කරන පිරිස් ඇවිත් කතාබහ කරලා යන එකත් ලොකු සතුටක්”.
“තාමත් වැඩිම ඉල්ලුමක් තියෙන්නෙ ජෝති අයියගෙ, මොහිදින් බෙග්ගෙ, මිල්ටන් පෙරේරාගේ ගීතවලට තමයි”
එකල කැසට් ලොව දිග්විජය කළ නාමයක් වූ ජයනන්ද ස්ටෝර්ස් හෙවත් වර්තමානයේ ජයනන්ද සීඩී මියුසික් වර්ල්ඞ් හි අධිපති ජයසේන ද අල්විස් (ජයනන්ද) මෙසේ පවසයි.
“මුලින්ම මල්වත්ත පාරේ කැසට් පට කඩයක් දැම්මෙ මමයි. ඒ 1972දී. ඒ කාලේ අපි වික්කෙ රෙකෝඞ්ස්. 1978 තමයි ලංකාවෙ කැසට් කරන්න පටන් ගත්තෙ. රුක්මනී දේවි මියගිය කාලේ නිසා ඇයගේ ගීත වලට වගේම මොහිදින් බෙග්ගේ ගීතවලටත් ලොකු ඉල්ලුමක් තිබුණා. පැරණි ගීත දාලා තමයි එකළ කැසට් නිෂ්පාදනය කෙරුණෙ.
කෙසේ නමුත් 1978දී මම මොහිදින් බෙග් ගේ කැසට් එකක් කළා. අනතුරුව එච්.ආර්. ජෝතිපාල, මොහිදින් බෙග්, මිල්ටන් පෙරේරා, හරූන් ලන්ත්‍රා, ලතා වල්පොළ, සුජාතා අත්තනායක, ඇන්ජලීන් ගුණතිලක, ජී.එස්.බී. රාණි, ඩෙස්මන් ද සිල්වා, ඇන්ටන් ජෝන් යන ගායක ගායිකාවන්ගේ කැසට් සහ සීඩී කළා.
ඒ වගේම එකල නවකයන් වූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත, නාමල් උඩුගම, අතුල ශ්‍රී ගමගේ, ප්‍රියන්ත රන්මණ්ඩල ආදීන්ට මම අත දුන්නා.මම වැඩිපුරම කළේ ජෝති අයියගෙ කැසට් තමයි. මට මතක විදිහට කැසට් 20ක් විතර කරලා තියෙනවා.”
“මම හිතන විදිහට කැසට් කර්මාන්තයේ හොඳම යුගය තමයි 1978 - 1983 කාලය. ඉන් පස්සෙ සීඩී යුගය ආවා. දැන් සීඩී යුගයත් ඉවර වෙලා පෙන් ඩ්‍රයිව්වලට සින්දු දාගෙන යන කාලෙ තමයි ඇවිත් තියෙන්නෙ. දැන් කාලෙ රෙකෝඩ්බාර් එකක් කරගෙන යනවා කියන්නෙ ලේසි කටයුත්තක් නෙවෙයි. නමුත් පැරණි ගීතවලට ප්‍රිය කරන රසික රසිකාවියෝ තාමත් ඔවුන්ට අවශ්‍ය සින්දු ගහගන්න අපේ ළඟට තමයි එන්නෙ. ඒ වගේම පැරණි සීඩී මිලදී ගැනීමටත් අවස්ථාව තිබෙනවා. සින්දුවක් අහනවා කියන්නෙ ඖෂධයක් වගේ දෙයක්නෙ.
තාමත් වැඩිම ඉල්ලුමක් තියෙන්නෙ ජෝති අයියගෙ, මොහිදින් බෙග්ගෙ, මිල්ටන් පෙරේරාගේ ගීතවලට තමයි. අද ඒ වගේ ගීත ලියවෙන්නෙ නැති හින්දද මන්දා තාමත් ඒ ගී වැජඹෙනවා.
අද ගායක ගායිකාවන්ට සීඩී එකක් කරලා නිකුත් කරලා මාර්කට් වෙන්න බෑ. දැන් ගීත 16ක් කරනවා කියන එකත් ලෙහෙසි කටයුත්තක් නෙවෙයි. ඒ වෙනුවට දැන් කරන්නේ ගීත 2ක් හෝ 3ක් කරලා යූ ටියුබ් දාලා ප්‍රසිද්ධ වෙන්නෙ. නමුත් බලධාරීන් මැදිහත්වීමක් කරනවා නම් දැනුත් සීඩී කරලා මාර්කට් කරන්න පුළුවන්. ව්‍යාපාරයත් පවත්වාගෙන යන්න පුළුවන්. ”
“මම මෙතන කැසට් ව්‍යාපාරය පටන් ගත්තට පස්සෙ තමයි මල්වත්ත කැසට් වීදියක් බවට පත්වුණේ. මොකද, ඉන්පස්සේ කැසට් කඩ අතිවිශාල ප්‍රමාණයක් මල්වත්ත පාරේ ආරම්භ කෙරුණා. සමහරු මගෙන් ඇහැව්වා ඔයා පටන් ගත්තු බිස්නස් එක අනික් අයත් පටන් අරන් තියෙන නිසා ඔයාට තර්ජනයක් නේද කියලා. මගේ පිළිතුර වුණේ, නැහැ, රත්තරන් බඩු ගන්න හෙට්ටිවීදියට යනවා වගේ කැසට් එකක් ගන්න ඕනැ වුණහම මල්වත්ත පාරට එනවා, ඒක මටම වෙන්වුණු ව්‍යාපාරයක් නෙවෙයි, අපි හැමෝටම බෙදිලා යනවා යනුවෙන්. නමුත් අන්තිමට මල්වත්ත පාරේ කැසට් කඩ කරපු අයගෙන් ඉතිරි වෙලා ඉන්නෙ මමයි, සෙත්සිරි මියිසුක් සෙන්ටර් එකයි පමණයි. මොකද ව්‍යාපාරයක් හෘදයාංගමව කරන්න ඕනැ.
එන්න එන්නම මේ ව්‍යාපාරය කරගෙන යන්න අපහසු වෙලා තිබෙනවා. මොකද රේඩියෝ හා ටීවී චැනල් 100ක් විතර රටේ තියෙනවා. ඒ වගේම යූ ටියුබ් මාර්ගයෙන් සින්දු අහෙනවා. ඒක අපට බලපෑමක් වෙලා තිබෙනවා. හැබැයි කොච්චර සින්දු ඇහුණත් කොලිටි එකට සින්දුවක් අහන්නනම් අපි ගාවට ඇවිත් තමයි අරගෙන යන්න වෙන්නෙ”.
“සීඩී අලෙවිය ටිකෙන් ටික අඩුවෙන්න ගත්තම එතන දුරකථන හා උපාංග අලෙවි සැලක් දැම්මා”
එකමුතු වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ උප සභාපති, 50 හැවිරිදි නිශාන්ත ප්‍රියදර්ශන සිය අත්දැකීම් මෙලෙස අප හා පැවසීය.
“මම මල්වත්ත පාරට යන්නෙ 1991දී. ඒ මගේ අයියගේ ඔරලෝසු කඩේ සේවය කිරීම සඳහායි. එතකොට මගේ වයස අවුරුදු 17යි. ඒ කාලේ මල්වත්ත පාරේ වැඩිපුරම තිබුණෙ කැසට් කඩ තමයි. හැබැයි අපේ ඔරලෝසු කඩේටත් හොඳ අලෙවියක් තිබුණා.
එතනින් පස්සෙ මම පිටකොටුවෙ බෝගහ ගාව, අයියට ලැබුණු ව්‍යාපාර ස්ථානය කැසට් හා සීඩී නිෂ්පාදන ආයතනයක් ‘ලක්සිරි සීඩී හවුස්’ නමින් ආරම්භ කළා. එකෙන් තමයි කොටුවේ පොඩි හාමුරුවන්ගේ බණ සීඩී නිෂ්පාදනය කළේ. අනතුරුව සුනිල් ජයශාන්තගේ ‘මම කැමතියි නෑනට - නෑන කැමති නෑ මට’ නමින් විරිදු සීඩී එකක් කළා. ඒවගේම සරෝජිනී කවිරත්නගේ ‘රජ විරිදු’ නමින් සීඩී පටයක් කළා. ඒ වගේම විරිදු හපනා සීඩී පටයත්, මෙහෙමත් දරුවෝ නම් කවි බණ සීඩී පටයත් නිෂ්පාදනය කළා.
ඉන් පස්සෙ සීඩී අලෙවිය ටිකෙන් ටික අඩුවෙන්න ගත්තම ඒක වහලා එතන දුරකථන හා උපාංග අලෙවි සැලක් අරඹා පවත්වාගෙන යනවා”.
“ඔන් ලයින් හරහා කරන බෑග් බිස්නස් වලින් දැනට නම් අපිට බලපෑමක් නෑ”
එසේ කීවේ මල්වත්ත පාරේ දිගු කාලයක සිට ව්‍යාපාර කටයුතු සිදුකරන රත්නසිරි (66) වය.
“මම මල්වත්ත පාරෙ ව්‍යාපාර පටන් ගත්තෙ හැත්තෑ ගණන්වල. ඒ කාලේ අපි කළේ රෙදිපිළි. විශේෂයෙන් හෑන්ඩ්ලූම් රෙදි අපි හැදුවා. නමුත් 80 ගණන්වල හෑන්ඩ්ලූම් කර්මාන්තය කඩා වැටීමත් එක්ක අපි බෑග් ව්‍යාපාරයට පිවිසුනා. අපි මල්වත්තට අව මුල් කාලේ රෙදිපිළි, ඉලෙක්ට්‍රික් බඩු, සපත්තු, බෑග්, ඔරලෝසු ආදි හැම දෙයක්ම මල්වත්ත පාරෙ තිබුණා. හැබැයි 80 ගණන්වලින් පස්සෙ මල්වත්ත පාරෙ වැඩියෙන්ම තිබුණෙ කැසට් කඩයි. නමුත් කැසට් කඩ ක්‍රමයෙන් වැහිලා ගියා.
අපි දීර්ඝ කාලයක් බෑග් ව්‍යාපාරයේ නිරතව සිටින නිසා අපිත් එක්ක ගනුදෙනු කරන පිරිසක් ඉන්නවා. හැබැයි දැන් සීසන් ඔක්කොම ඉවර නිසා මේ දවස්වල බිස්නස් අඩුයි.
ඔන් ලයින් හරහා කරන බෑග් බිස්නස් දැනට නම් අපිට බලපෑමක් වෙලා නෑ. නමුත් ඉදිරියේදී ඒකත් යම් බලපෑමක් ඇති කරයි කියලා හිතෙනවා”.
“අපිට වැඩිම සපත්තු අලෙවියක් තියෙන්නෙ ඔන්ලයින් බිස්නස් එක හරහායි”
මල්වත්ත පාරේ සපත්තු අලෙවියේ ප්‍රමුඛයෙකු වෙන 41 හැවිරිදි චමිල, තමන් ව්‍යාපාරිකයෙකු ලෙස ගොඩනැගුණු සාර්කත්වයේ කතාව අප සමග පැවසුවේ එලෙසිනි.
“මම මුලින්ම මල්වත්තට ආවෙ 1999 සපත්තු කඩේක සේවකයෙක් ලෙසටයි. ඉන් පස්සෙ මම මගේම සපත්තු කඩයක් ඇරඹුවා ‘ඔසාන් ෂූ මාට්’ නමින්. මේ වෙද්දි මගේම සපත්තු කඩ දෙකක් තියෙනවා. අපි ඒ නමින්ම සපත්තු බ්‍රෑන්ඩ් එකකුත් නිර්මාණය කරලා සපත්තු නිෂ්පාදනය කරනවා. විශේෂයෙන් පොලිස් නිලධාරිනියන්ගේ සපත්තු අපි නිපදවනවා.
ඒ වගේම ඩුබායි, ඉන්දියාවලින් සපත්තු ගෙන්වනවා. කලින් නම් තායිලන්තයට ගිහින් සපත්තු ගෙනාවා. නමුත් එකල 3.30ට තිබුණු බාත් එක (තායි මුදල් ඒකකය) දැන් 9.30 වෙනවා. ඒ නිසා මිල අධික වෙන නිසා තායිලන්තයෙන් රැගෙන ඒම නවතා දැම්මා. නමුත් වැඩිපුරම උත්සාහ කරන්නෙ කොටිකාවත්තෙ පිහිටි අපේම ෆැක්ටරියේ නිපදවන සපත්තු වැඩිපුර විකුණන්නයි.
අපිට මේ කාලේ වැඩිම සපත්තු අලෙවියක් තියෙන්නෙ ඔන්ලයින් බිස්නස් එක හරහායි. සමහර දවස්වල කඩේ බිස්නස් එක අඩුවුණත් ඒක බැලන්ස් කරගන්නෙ ඔන්ලයින් බිස්නස් එක හරහායි. ඔන්ලයින් බිස්නස් එක වැඩි දියුණු කරන්න මම හැමවිටම උත්සාහ කරනවා. මොකද, අපි තාක්ෂණයත් එක්ක ඉදිරියට යන්න ඕනැ. ඒ වෙනුවෙන් කළ හැකි උපරිම දේ මම කරනවා.
මොකද දැන් කඩේට ඇවිල්ලා සපත්තු ගන්න පිරිස ක්‍රම ක්‍රමයෙන් අඩුවෙමින් යනවා. ඒ නිසා මම වැඩිපුර උත්සාහ කරන්නෙ ඔන් ලයින් හරහා බිස්නස් කරන්නයි.
අපි ඒ වගේම හැම මාසෙම වගේ අවශ්‍යතාව සහිත පාසල් දරුවන්ට නොමිලේ සපත්තු ලබාදීම සිදුකරනවා”.
“ෂොප් එකෙත් ඔන්ලයින් බිස්නස් එකෙත් අලෙවිය අඩුයි”
අපිට මීළඟට මුණ ගැසුනේ තරුණ ව්‍යවසායකයෙකු ලෙස තමන් ඇරඹූ ව්‍යාපාරය සමගින් ඉදිරියට යාමට වෙර දරන හෆීස් වය.
“මගේ තාත්තා අවුරුදු 10ක් විතර තිස්සේ සපත්තු ව්‍යාපාරය තමයි කළේ. මම මේ කඩේ දාලා දැන් අවුරුදු 03ක් විතර වෙනවා. ආනයනික සපත්තු වගේම අපිම නිෂ්පාදනය කරන සපත්තුත් මෙතන තියෙනවා. ස්නිකර්ස් අයිටම් වලට තමයි මේ කාලේ වැඩි ඉල්ලුමක් තියෙන්නෙ. සුදු තමයි වැඩියෙන්ම විකිණෙන වර්ණය වෙන්නෙ. රු. 2500 සිට 9000 වැනි මිලට සපත්තු තියෙනවා. මෙතන බිස්නස් කරන ගමන් ඔන්ලයින් මගිනුත් සපත්තු අලෙවි කරනවා.
ෂොප් එකේ වගේම ඔන්ලයින් බිස්නස් එකෙත් අලෙවියේ අඩුවක් තමයි තියෙන්නෙ”.
අපට හමුවූ කුමාර්, කැසට් වෙළෙඳ පොළ කඩාවැටීමත් සමග පදික වේදිකාවේ සපත්තු අලෙවි කරන්නෙකු ලෙස කටයුතු කරමින් සිටී.
“1992 දී කැසට් පීස් විකුණන ව්‍යාපාරයක් තමයි අපි මුලින්ම ඇරඹුවෙ. ඒ කාලේ හොඳට බිස්නස් තිබුණා. නමුත් 2002 වෙන විට අලෙවිය හොඳටම පහළ බැස්ස නිසා ඒ ව්‍යාපාරය නවතා දමලා සපත්තු ව්‍යාපාරය ආරම්භ කළා. ඉන්දියාව, චීනය, ඩුබායි, තායිලන්තයෙන් සපත්තු ආනයනය කරන අයගෙන් තමයි අපි සපත්තු ගන්නෙ. ලංකාව පුරාම මිනිස්සු අපෙන් සපත්තු ගන්නවා. කොහොම වුණත් දැන් සපත්තු ආනයනයේදී වැඩි මුදලක් ගෙවීමට සිදුව තිබීම නිසා අපිටත් වැඩි මිලකට විකුණන්න සිදුවෙලා තිබෙනවා. ඒ තුළ දැන් බිස්නස් තත්ත්වය දුර්වල වෙලා”.
“හොඳට පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි පරණ සපත්තු විකුණන්නෙ”
භාවිත කළ සපත්තු සඳහාද මල්වත්තේ යම් වෙළෙඳපොළක් පවතී. මොහොමඩ් රිස්වාන් ද එලෙස ව්‍යාපාර කටයුතු සිදුකරන්නෙකි.
“මීට වසර තුන හතරකට පෙර තමයි මම මේ ව්‍යාපාරය ආරම්භ කළේ. පරණ බඩු එකතු කරන අය තමයි මට සපත්තු සපයන්නෙ. ඔවුන් ගේන එවායින් තෝරාගත්තු සපත්තු විතරයි මම මෙතන විකුණන්න අරගන්නෙ. ඒ වගේම, ඒවායේ යම් අලුත්වැඩියාවන් කළ යුතුව තිබෙනවා නම් ඒ සියල්ල අවසන් කරලා හොඳට පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි සපත්තු විකුණන්නෙ. රු.1000 -1500 අතර මිලට තමයි මේ සපත්තු විකුණන්නෙ”.
“සපත්තුවක් විකුණාගන්න දැන් හරි අමාරුයි”
මල්වත්ත පාරේ ප්‍රමුඛ ව්‍යාපාර කලින් කලට වෙනස්වෙන බව අප මුලින්ම පැවසුවෙමු. ඒ අනුව සපත්තු ව්‍යාපාරයටද එවැනි තත්ත්වයක් ඇතිවෙමින් ඇති බව 43 හැවිරිදි රොෂාන් අප හා පැවසීය.
“මම මේ ව්‍යාපාරය පටන් ගත්තෙ 2000. අපි ඩුබායි, චීනය, වියට්නාමය, තායිලන්තය ආදි රටවලින් ආනයනය කරන සපත්තු විකුණන්නෙ. ඒ කාලේ සපත්තු හා බෑග් තමයි මල්වත්ත පාරේ වැඩිපුරම විකුණුනේ. දැන්නම් ඒ කාලේ මැරිලා. සපත්තුවක් විකුණාගන්න දැන් හරි අමාරුයි. මොකද බදු ප්‍රශ්න, ඔන්ලයින් ව්‍යාපාර වගේම කාලගුණයත් මේ ගැටලුකාරී තත්ත්වයට බලපාලා තියෙනවා”.
“අපේ බිස්නස් අඩුවෙන්න මේ රටේ අධික නිවාඩු පැවතීම ප්‍රධාන වශයෙන් බලපාලා තියෙනවා”
සපත්තු අලෙවි සැලක සේවකයෙකු ලෙස මල්වත්ත පාරට පැමිණි 45 හැවිරිදි තුවාන්, මේ වෙනවිට සපත්තු ව්‍යාපාරිකයෙකු බවට පත්ව සිටී. ඔහුද මෙම ක්ෂේත්‍රය වත්මන මුහුණ දී ඇති ගැටලු පිළිබඳව මෙලෙස අප හා අදහස් දැක්වීය.
“මම මල්වත්ත පාරට ඇවිත් දැන් අවුරුදු තිස් ගානක් වෙනවා. මම මුලින්ම ආවේ කඩේක සේවය කරන්න. මීට අවුරුදු හය හතකට කලින් තමයි මගේම බෑග් කඩයක් ආරම්භ කළේ. මේ වෙනවිට මට ෂොප් 4ක් තියෙනවා.
අපි මල්වත්තට ආව මුල් කාලෙයි දැන් අතරයි ලොකු වෙනසක් තියෙනවා. ඒ කාලේ අපිට ෂොප් එක අරින්නවත් බෑ, ඒ තරමට සෙනග. වෙළෙඳාමත් හොඳටම සිද්ධ වුණා. අපිත් හැම තිස්සෙම කාර්යබහුලයි. සමහර අවස්ථාවල ෂොප් එක වහන්න හදනකොටත් සෙනග එන්න ගත්තම ඒ අය හරවලා යවනවා. ඒ තරමට බිස්නස් එකක් තිබුණා. හැබැයි ඒවානම් දැන් හීනයක්. ”
“අපි කඩ කුලී ලෙස මාසෙකට රු.150,000 - 160,000 විතර ගෙවනවා. එච්චර කුළියක් ගෙවන්න ආදායමක් හොයාගන්න දැන් හරි අමාරුයි. කඩේ උදේ 8ට ඇරියම සමහර දවස්වලට රෑ 10 -11 වෙනකම් ඇරගෙන ඉන්නවා, දවසේ වියදම් පියවා ගන්න. ඒ තරම් ආමාරුවෙන් තමයි මේක කරගෙන යන්නෙ. අපි පොඩි කාලෙ ඉඳන් පුරුදුවෙලා ඉන්නෙ වෙළෙඳාමට නිසා අපිට දැන් වෙන දෙයක් කරන්නත් බෑ.
ඉස්සර අපිට බැංකුවලින් හොඳ සහයෝගයක් තිබුණත් දැන් එවැනි සහයෝගයක් නෑ. ඒකට ඔවුන්ට දොස් කියන්නත් බෑ. මොකද වෙලාවට මුදල් දාන්න බැරිවෙලා චෙක් රිටර්න් උනහම අපිට ලෝන් එකක්වත් ගන්න බෑ, ක්‍රිබ් ප්‍රශ්න. කොහොමහරි හැම පැත්තෙන්ම අපිට වැදීගෙන වැදීගෙන යනවා කියලා විතරයි කියන්න තියෙන්නෙ.”
“අපේ බිස්නස් අඩුවෙන්න මේ රටේ අධික නිවාඩු පැවතීම ප්‍රධාන වශයෙන් බලපාලා තියෙනවා. නිවාඩු තියෙනවා කියලා කඩ කුලී නොගෙන ඉන්නෙ නැහැනෙ. අප්‍රේල් මාසයේ දවස් 15ක් විතර නිවාඩු. මැයි මාසයේ දවස් 10ක් විතර නිවාඩු. නිවාඩු ඉවර වුනහම වැස්ස, ගංවතුර කියලා මිනිස්සු එන්නෙ නෑ.
දැන් මම යටතේ සේවකයෝ 8ක් විතර වැඩ කරනවා. ඒ අයගේ වැටුප්, EPF, ETF ගෙවීම පහසු දෙයක් නෙවෙයි.
“ඔරලෝසුවක් ගන්නවාට වඩා එදිනෙදා කෑම බීම වලට වැය කරන්න මිනිස්සු පෙලඹිලා”
1980 මල්වත්ත පාරේ ඔරලෝසු ව්‍යාපාරිකයෙකු ලෙස සිය වෘත්තීය දිවිය ඇරඹූ 60 හැවිරිදි ජෙෆ්රි, අද ඔරලෝසු ව්‍යාපාරය පත්ව ඇති තත්ත්වය ගැන මෙලෙස අදහස් දැක්වීය.
“මම මල්වත්ත පාරට ඇවිත් ඔරලෝසු ව්‍යාපාරය අරඹලා දැන් අවුරුදු 45ක් විතර වෙනවා. චීනෙන් ගෙන්වන ඔරලෝසු තමයි විකුණන්නෙ. ඉස්සර හොඳ සේල් එකක් අපිට තිබුණා. නමුත් එය ක්‍රමයෙන් අඩුවෙලා ගිහින්. දැන් ඔරලෝසුවක් ගන්නවාට වඩා එදිනෙදා කෑම බීම වලට වැය කරන්න තමයි පෙලඹිලා තියෙන්නෙ. මොකද, ඉස්සර අපි රු. 1000ට විකුණූ ඔරලෝසුවක් දැන් රු. 3000ක් විතර වෙනවා.
අනික් අතට, පදික වේදිකාවේ තිබෙන, ගුණත්වයෙන් අඩු සහ ඔන්ලයින් හරහා විකුණන ඔරලෝසු ගැනීමත් අපේ අලෙවිය අඩුවෙන්න හේතුවෙලා. නමුත් වගකීමක් තියෙන හොඳ ඔරලෝසුවක් ගන්න අවශ්‍ය අය තාමත් අපි ගාවට එනවා”.
මල්වත්ත පාරේ වර්තමානයේ ව්‍යපාර කටයුතු මෙලෙස සිදුවෙමින් පවතී. මේ වෙනවිට සපත්තු හා බෑග් කේන්ද්‍රස්ථානයක්ව ඇති මල්වත්ත පාර, අනාගතයේදී කුමන ව්‍යාපාර ක්ෂේත්‍රයක කේන්ද්‍රයක් බවට පත්වේද? අපි ඒ ගැන අවධානයෙන් බලාසිටිමු.
විශේෂ ස්තූතිය - නිශාන්ත ප්‍රියදර්ශන සහ ප්‍රියන්ත වන්නිආරච්චි
නිරෝෂාන් ප්‍රේමරත්න
ඡායාරූප - ගයාන් අමරසේකර