විදුලි බිල වැඩිවීම කර්මාන්තවලට තවත් බරකි


2025 ජුනි සිට දෙසැම්බර්  කාලය දැක්වා වූ  ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ සියයට 18.3ක විදුලි ගාස්තු වැඩිවීමේ යෝජනාව පිළිබඳව,  සමාලෝචන  සහ මහජන උපදේශන  වලින් අනතුරුව,  ගාස්තු ඉහළ දැමීම සියයට 15කට  සීමා කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන්  සභාව තීරණය කළේය. මෙය කර්මාන්ත සහ ව්‍යවසායකයන්ට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳ අපි විමසීමක් කළෙමු.

 “විදුලිබිල වැඩිවීම සමස්ත කර්මාන්තකරුවන්ට ප්‍රබල තර්ජනයක්” 

ව්‍යවසායකයන්ට, කර්මාන්තවලට මෙන්ම සමස්ත ආර්ථිකයටම  විදුලිබිල  වැඩිවීම  කෙසේ බලපෑම් කර ඇත්දැයි සොයා බැලීමට ලාංකීය එක්සත් ව්‍යවසායකයන්ගේ සංගමයේ සභාපතිනී ටානියා අබේසුන්දරගෙන් කළ විමසීමේදී ඇය ලබා දුන්නේ මෙවන් වූ පිළිතුරකි.

“සමස්ත ආර්ථිකයේ කොඳු නාරටිය වෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්. එයාල තමයි රටට අවශ්‍ය කරන වගේම පිටරට යවන භණ්ඩත්   නිෂ්පාදනය කරන්නෙ. ඒ කර්මාන්ත පවත්වාගෙන යන්න අවශ්‍ය කරන මූලික ගාමක බලවේගය වෙන්නෙ විදුලියයි. විදුලිය තමයි භාණ්ඩයක මිල තීරණය කරන ප්‍රධානම සාධකය. විදුලිබිල වැඩිවෙනවා  කියන්නෙම කර්මාන්තකරුවන් ලෙස අපිට  ලොකු ගැටලුවක්. මොකද, එක පැත්තකින්  විදුලිබිල වැඩිවෙද්දි අපේ නිෂ්පාදන පිරිවැය වැඩිවෙනවා. නිෂ්පාදන පිරිවැය වැඩිවෙද්දි භාණ්ඩයක මිල සියයට 30කින් වගේ වැඩි වීමක් අපේක්ෂා කරන්න පුළුවන්. රටේ මේ තියෙන තත්ත්වයත් එක්ක, ව්‍යවසායකයො  විදිහට අපිට මේ තත්ත්වයට  ඇත්තටම මුහුණ දෙන්න අමාරුයි. වර්තමානය වෙද්දි මිනිස්සුන්ගෙ අතේ මුදල කියන  දේ ගැවසෙනව අඩුයි. මොකද, ගෙවන බදු  මුදල වැඩියි, බැංකු ණය, පොලී අනුපාතිකයන් වැඩියි. ඒ අතරට දැන් වැඩිපුර විදුලිබිලත් ගෙවන්න සිදුවෙලා. ඒ අයගෙ මූලික අවශ්‍යතා වෙලා තියෙන්නෙත්  මෙන්න මේ කියන එදිනෙදා ජීවන වියදම නඩත්තු කිරීම පමණයි. අතේ මුදලක් රැඳෙන්නෙ නැති නිසා මිනිස්සුන්ගෙ අවශ්‍යතා සීමා වෙලා තියෙනවා වගේම ව්දුලිබිල වැඩිවීම කියන කාරණයත් එක්ක එදිනෙදා දේවල් විතරයි මිනිස්සු සපුරගන්න පුරුදුවෙලා ඉන්නෙ.”

“ඒ කාරණය සෑම අංශයකටම බලපෑම් කරනව වගේම කර්මාන්තකරුවො විදිහට  අපිටත්  ලොකු බලපෑමක් වෙනව. කර්මාන්තයක් දියුණු වෙන්නෙ, නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත්කරල ලබන මුදලින් වුවත් නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත්කළ  පමණින්ම ලාභයක් උපයන්න බැහැ. ලාභයක් උපයන්න නම් ඒ නිෂ්පාදන අලෙවි වෙන්නත් ඕනෑ. නිෂ්පාදන අලෙවි වෙන්න නම් මිනුස්සු අතේ මුදල් තියෙන්න ඕනෑ. එහෙම මුදලක් තියෙන්නත් ජීවන වියදම අඩු වෙන්න ඕනැ. එහෙම ලාභයක්  ලැබුවොත් තමයි  කර්මාන්තකරුවො විදිහට අපිටත් සාමාන්‍ය මිනිස්සුන්ට වගේම බැංකු ණය ගෙවන්න, මිනිස්සුන්ට පඩි දෙන්න, ලයිට් බිල් ගෙවන්න පුළුවන් වෙන්නේ. නමුත් මේ කියන කාරණයේදී  සමස්තයක් විදිහට විදුලිබිල වැඩිවීම කර්මාන්තවලට ලොකු බලපෑමක්. ඒ කියන්නෙ සියයට 15කින් විදුලිබිල වැකිරීමත් සමග දැන් අපි ප්‍රශ්න ගොන්නක් ඉතුරු වුණ ව්‍යවසායකයො බවට පත්වෙලා තියෙනවා.“

“රටේ නිෂ්පාදනයක් අඩුවෙනවා කියන්නෙ ව්‍යවසායකත්වයට ලොකු බලපෑමක්. ව්‍යවසායකත්වයට බලපෑමක් කියන්නෙ බදු ගෙවීමට හැකියාවක් නැතිවෙනවා කියන එක. මෙයාලට පහර වදිනවා කියන්නෙ රටේ ආර්ථිකයට අනිවාර් යෙන්ම පහර වදිනවා.මේක රජයටත් සිදුවෙන අතිවිශාල බලපෑමක් බවට පත්වෙලා.මේ ක්‍රියාදාමය  දම්වැලක පුරුක් වගේ. තව කෙනෙක් රැකුණොත් තමයි අනෙක් කෙනාවත් රකින්න හැකියාව තියෙන්නෙ. ව්‍යවසායකයො වැටුණොත් රටේ ආර්ථිකය වැටෙනවා, ආර්ථිකය වැටෙනවා කියන්නෙ රජයට වගේම මුළු මහත් රටටම සිදුවෙන බලපෑමක්. අපි හිතුවෙ නැති උනාට, මේ විදුලිබිල වැඩිවීම කියන කාරණය සමස්තයටම ලොකු බලපෑමක්.මේකෙන් වෙන්නෙ නිෂ්පාදනය අඩුවෙන එක. නිෂ්පාදනය අඩුවෙනවා කියන්නෙ  මහා පරිමාණ ව්‍යාපාරිකයො මේ රටට එන එක අඩුවෙන එක. හැමදේම අයි.එම්.එෆ්. එකට පටවලා අපිට බලන් ඉන්න බැහැ. ඒ වගේම තමයි නිෂ්පාදනය අඩුවෙනවා කියන්නෙ මිනිස්සුන්ට අලෙවි කරන භාණ්ඩ ප්‍රමාණය අඩුවෙන එක. එසේ අඩුවෙන්නේ ඉල්ලුම අඩු නිසා.ඉල්ලුම අඩුවෙද්දි සැපයුම අඩුවෙනවා.  සැපයුම අඩුවෙද්දි  නිෂ්පාදනය අඩුවෙනවා. නිෂ්පාදනය අඩුවෙනවා කියනෙ සේවකයන් නඩත්තු කරගන්න බැරිවෙනවා. එතකොට අපිට සිදුවෙනවා සේවකයන් ඉවත් කරන්න. නමුත් එහෙම රැකියාවලින් අස් කරන්න බැහැ. එයාල උද්ඝෝෂණ කරන්න පටන් ගන්නවා.ඒකෙන් ආපහු බලපෑමක් වෙන්නෙ  අපිටමයි. 

රටේ පාලකයො ගන්න හැම තීරණයක්ම අවසානයේ බලපාන්නෙ ව්‍යවසායකයාට. සියයට 15කින් විදුලිබිල වැඩිවෙනවා කියන්නෙම සියයට 30කින් පමණ භාණ්ඩ මිලත් ඉහළ යන්න පුළුවන් කියන කාරණය. අද හෙට නැති වුණත් විදුලි බිල වැඩි කිරීමේ බලපෑම සිදුවෙන්නෙ තව මාස 7කින් 8කින් වෙන්න  පුළුවන්. ඒ කොහොම වුණත්, විදුලිබිල වැඩිවෙනවා කියන්නෙම සමස්ත කර්මාන්ත කරුවන්ට ප්‍රබල තර්ජනයක් කියන එක අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුයි" 

රට තුළ අලෙවි කරන භාණ්ඩවලට මෙන්ම අපනයනය කරන භාණ්ඩ සඳහාත් මෙයින් විශාල  බලපෑමක් සිදුවෙන බවත්, සෑම  කර්මාන්තයක්ම පවත්වාගෙන  යාමට   සියයට30ක  පමණ  විදුලියක් අවශ්‍ය බවත්  ඇය සඳහන් කළාය. එමගින් සමස්තයක් ලෙස මෙකී විදුලිබිල වැඩි කිරීම සමස්ත ව්‍යවසායකයන්ටම ප්‍රබල වූ බලපෑමක් අදහෙට නැතත් මතුවට සිදුවිය හැකිබව ඇය තව දුරටත් කරුණු දක්වමින් කියා සිටියාය.

විදුලිය වැඩිවීම ප්ලේන්ටියෙ ඉඳන් බස් ගාස්තු දක්වාම මිල වැඩිවීමක් 

නව විදුලි සංශෝධනය සමස්ත ආර්ථිකයට කෙසේ බලපෑම් කරයි ද? මිනිසුන්ට එය දරාගත හැකි ද? යන ගැටලුවට මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා  දැක්වූයේ  මෙවන් වූ අදහසකි.

"රටක භාණ්ඩ හා සේවාවල මිල ගණන් වෙනස් කරද්දි අපි බලන්න ඕනෑ ආර්ථික මර්මස්ථාන මොනව ද  කියල. ආර්ථිකයට දැඩිව බලපාන කරුණක් තමයි බලශක්තිය. බලශක්තිය කිව්වම පෙට්‍රල්, ඩීසල්, විදුලිය කියන සෑම දෙයක්ම මේ බලශක්තියට අයත් වෙනවා.අපේ හැම පිරිවැයක්ම තීරණය වෙන්නෙ මේ බලශක්ති පිරිවැය මතයි. විදුලිබිල වැඩිවෙනව කියන්නෙ, ප්ලේන්ටියක මිලේ ඉඳන්ම  බස් ගාස්තු දක්වාම මිල වැඩිවීමක්. 

අනෙක් කාරණය තමයි, අපිට අපනයන ඉලක්ක සපුරාගැනීමට නොහැකි වීමත් විශාල අර්බුදයක් බවට පත්වෙලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට දීල තියෙනවා බිලියන 16ක  අපනයන ඉලක්කයක්. නමුත් අපි දැනට ඉන්නෙ බිලියන 13ක 14ක වගේ මට්ටමක. අනෙක් කාරණය තමයි ට්‍රම්ප්ගෙ බදු  පැනවීමත් සමග  අපිට ගැටලුවක් තියෙනව අපිට ඒ  ඉලක්කවලට යන්න පුළුවන් ද කියන කාරණාව.

අපනයන ක්ෂේත්‍රයේ වැඩිම මුදලක් අපි උපයන්නෙ ගාමන්ට් ෆැක්ටරි වලින්. ගාමන්ට ෆැක්ටරිවල වැඩිම පිරිවැයක් වැයවෙන්නෙ විදුලියට. විදුලි   ගාස්තු වැඩිවෙනව කියන්නෙ ඒ කර්මාන්තශාලාවලටත් විශාල අර්බුදයක් එල්ල වීමක්. ට්‍රම්ප්ගෙ බදු මාස කීපයකට අත් හිටුවලා තියෙන්නෙ. විදුලි ගාස්තුත් වැඩි කරපු කාල සීමාවක ට්‍රම්ප්ගෙ බදුත්  සියයට 44ක් කරල, සියයට 30ක ආදයම බදුත් ගෙවල, සියයට 18ක වැට් බදුත් ගෙවන්න  ගියොත්  අනිවාර්යයෙන්ම මේ කර්මාන්තය කඩාගෙන වැටෙනවා. අනික් පැත්තෙන්, අපේ අපනයන ඉලක්කවලට විශාල බලපෑමක් එල්ල වෙනවා.අනික් පැත්තෙන් රැකියා විරහිත ප්‍රමාණයකුත්  නිර්මාණය වෙන්න පුලුවන්.මේ  සෑම  කරුණක් ගැනම සලකා බලන්න ඕනැ. මොකද, විදුලිය කියන්නෙ මුළු මහත් සමාජයටම බලපෑම් කරන්න පුළුවන් කාරණාවක් නිසා.

ජනතාව දැනටත් විදුලිය සඳහා සැලකිය යුතු ගාස්තු ගෙවීමක් සිදු කරනවා. විදුලි ගාස්තු වැඩි කළාට මිනිස්සුන්ගේ ආදායම වැඩි කිරීමක් සිදුවන්නෙ නැහැනෙ. මේ තියෙන ජීවන වියදමත් එක්ක මිනිස්සු ජීවත් වෙන්නෙ හරි අමාරුවෙන්.  විදුලි ගාස්තු වැඩිවුණා කියන්නෙම ඒ මිනිස්සුන්ගෙ ඔළුවට අනවශ්‍ය බරක් පැටවීමක් විදියට හඳුන්වන්න පුළුවන්. කන්න ගන්න ලූනු ගෙඩියෙ, හාල්මැස්සගෙ ඉඳන්ම මිල වැඩිවෙන එකයි   මේකෙන් වෙන්නෙ. අපිට මේක සුළුවට හිතන්න බැහැ. හැම මනුස්සයටම එක වගේ සල්ලියක් ලැබෙන්නෙ නැහැ. අන්න ඒ ගැනත් හිතන්න ඕනැ. ඒ වගේම තමයි, දැනට මේ තියෙන තත්ත්වය  තවත් වැඩිවෙන්නත් පුළුවන් .අපිට ඒක නිශ්චිතව කියන්න අමාරුයි. අනෙක් කාරණාව,  දැනටමත් ලාංකිකයන් රට හැර යනව. ඒ කියන තත්ත්වයත් එක්ක කර්මාන්තශාලා අභියෝගයට ලක්වෙනවා. අන්න ඒ හේතුවත් පදනම් කරගෙන තවත් දේශීය ශ්‍රමිකයන් අපිට අහිමි වෙන්න පුළුවන්. එයත් වක්‍රාකාරව සමස්ත ආර්ථිකයටම බලපාන කාරණාවක්.

ජීවන  මට්ටම පහත  වැටිල තියෙන කාල සීමාවක, මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදුවීම ඉතාමත් අසීරු කාරණාවක්.විදුලි බිලට මාසෙට රුපියල් 100ක් ගෙවුව නම් දැන් රුපියල් 115ක් ගෙවන්න  සිදුවෙලා. අපි දන්නව හාල් කිලෝවක් පරිප්පු කිලෝවක මිල වැඩි උනා මිසක් අඩු වුණේ නැහැ. මේක අපි නොහිතුවාට ගැටලුවක් වෙනව."  

විදුලි ගාස්තු ඉහළ යාම සෘජුවම පාරිභෝගිකයන්ට, ව්‍යාපාරවලට සහ රටේ සමස්ත ආර්ථිකයමට බලපාන සංකීර්ණ සම්බන්ධතා සහිත ක්‍රියාවලියකි. ඒ මඟින් ජාතික පරිභෝජනය, නිෂ්පාදන, ආදායම්, පාරිභෝගික විශ්වාසය, ආයෝජන ආදී ක්ෂේත්‍ර ගණනාවකටම ඍජු බලපෑමක් එල්ල කරයි. මේ ඔබ අප දකින පැතිකඩය.නමුත් මෙහි අප නොදකින පැතිකඩක්ද ඇතුවාට සැකයක් නැත.මොහොතින් මොහොත වෙනස්වෙන මිල ගණන්  යටතේ පාඩුවත් අලාභයත් විඳදරා ගන්නේ සාමාන්‍ය ජනතාවයි.රුපියල් සියය එකසිය පහළොවක් වීම අතමිට මුදල් ගැවසෙන්නවුන් හට එතරම් කාරණයක් නොවුණත් එදාවේල හම්බ කරගන්නා මිනිසුන්ට එය මහමෙරක් වැනිය.

ඉහළ දමන ලද විදුලිබිල සියයට 15ක් වුවත් සමාජයේ එක් එක් මට්ටම්වල ජිවත්වෙන අයට එය එක සමාන ලෙස බලපාන්නේ නැත. කෙසේ වුවත් ඉන් ලද බලපෑමනම් සුළුපටු නොවේ.හාල් කිලොවක සිට හැමදේකම මිල ගණන් අහස උසට වැඩි වූ කාලසීමාවක, විදුලි බිලද වැඩි කිරීම සාධාරණීකරණය කළ හැකිද? කිසිසේත්ම නැත.කළයුත්තේ සැමට ජීවත්විය හැකි වටපිටාවක් සැකසීම නොවේ ද? කෙසේ වුවත් සමස්තයක් ලෙස බලන කල පෙනීයන්නේ වැඩිකරන ලද විදුලි ගාස්තුව හමුවේ මහජනයා මෙන්ම මුලු මහත් සමාජයම එක පිඬට අසරණව ඇති බවයි.

මදූශා දිල්ශානි