“ඇතැම් පිරිස් ටික් ටොක් සහ ජංගම දුරකථන නිසා තමන්ගේ අරමුණු සියල්ල විනාශ කරගන්න අතරේ, තවත් බොහෝ පිරිසක් ජීවිතය ඉතාම හොඳින් ජය අරගෙන - අපේ රටේ ආර්ථිකයටත් විශාල ශක්තියක් වෙනවා. හැබැයි එහෙම ස්වකීය ජීවිත දිණුම් කණුව වෙත ගෙන ගොස් රටේ ආර්ථිකයටත් ගැම්මක් වෙන අයට වඩා - ජීවිතේ විනාශ කරගන්න අය පිළිබඳව සමාජ මාධ්‍යයන් මහා ඉහළින් කතා කරලා නැති ගිනි අවුළුවනවා. මේ ප්‍රශ්නය කවුරුත්ම කතා කරලා නැහැ.”
මෙසේ අප සමග කියා සිටියේ කුවෙට් තානාපති ආචාර්ය ලක්ෂිත ප්‍රදීප් රත්නායකය.
පසුගිය 29 හා 30 යන දින දෙකෙහි දී - කුවේට් තානාපති කාර්යාලයේ වැඩසටහනක් සඳහා එක්වූ තානාපතිවරයා දැඩි සංවේගයෙන් යුතුව එසේ ප්‍රකාශ කරමින් - කුවේට් දේශයට පැමිණ දක්ෂ ලෙස ජීවිත ජයග්‍රාහී ඉම් කරා රැගෙන ගොස්, මව්බිමට විදේශ විනිමය ද සම්පාදනය කර දෙන ආදරණීය ලාංකිකයන් පිළිබඳව අප සමග සඳහන් කරන්නට විය.
ජනහිතකාමී සමාජ මාධ්‍ය පරිශීලකයෙකු වෙන, වසර ගණනාවක් තිස්සේ කුවේට් දේශයේ දිවි ගෙවන නිලන්ත විගොස් සොයුරාගේ ආරාධනාවක් අපට ලැබිණි.
“කුවේට් ලංකා සංස්කෘතික සංගමය” කුවේට් තානාපති කාර්යාලයේ සහයෝගය ඇතිව “කතරට දහම් නදිය” නමින් ආගමික වැඩසටහන් මාලාවක් පවත්වන්නට යෙදුණහ. එහිදී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, දර්ශනීය තොරණ, සිල් සමාදන්වීම, මහා දන්සල්, බෞද්ධ පෙරහැර ආදී සංස්කෘතික කටයුතු රැසක් සූදානම් කර තිබිණි.
වසර 40 ක් පුරා ලංකා සංස්කෘතික සංගමය කුවේට් තානාපති කාර්යාලය සම්බන්ධ වී සිදු කරන මෙම දහම් වැඩසටහනට වසර හතළිහක් ගතවීම නිසාම - ශ්‍රී ලංකාවේ ජනතාවට එහි තතු සන්නිවේදනය කරනු පිණිස එරටට පැමිණෙන්නැයි නිලන්ත අපට ආරාධනා කළේය.
ඒ අනුව දින කිහිපයක සංචාරයකට කුවේට් රටට ගිය අපට සංස්කෘතික සංගමයේ සභාපති දේශමාන්‍ය ආචාර්ය අජිත් කවිකුමාර, ප්‍රධාන ලේකම් ලයනල් එස්. පත්බේරිය ඇතුළු බොහෝ දෙනෙකු හමුවීමට හැකි විය.
මෙම ආගමික වැඩසටහන් සඳහා ලංකාවේ සිට සිව් කෝරළයේ උපප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී විචිත්‍රභාණි පූජ්‍ය කැටයාපතනේ පඤ්ඤාලෝක නායක ස්වාමීන් වහන්සේ ද එරටට වැඩම කරවා තිබිණි.
කුවේට් තානාපති ආචාර්ය ලක්ෂිත ප්‍රදීප් රත්නායක ප්‍රථමයෙන් කීවේ, අප රටේ සිට ක්වෙට් දේශයට ගොස් එහි රැකියා කරන බොහෝ දෙනාගේ ප්‍රශ්න ගැටලු මේ වනවිට තමා නිසි ලෙස හඳුනාගෙන තිබෙන බවය. ඇතැම් ප්‍රශ්න හා ගැටලු ඔවුන් විසින් නිර්මාණය කර ගත් ඒවා බවත්, ඇතැම් ඒවා ඔවුන්ට පරිබාහිර ඔවුන්ට පාලනය කළ නොහැකි හේතු මත ඇතිවූ ඒවා බවත්, තමා හඳුනාගෙන තිබෙන බව ද හෙතෙම සඳහන් කළේය.
ඒ අනුව විදෙස් රැකියා නියෝජිත ආයතන හා අදාළ බලධාරීන් සමග සාකච්ඡා කොට මෙම ශ්‍රමිකයන්ගේ ප්‍රශ්න ගැටලු සියල්ල කඩිනමින් නිම කිරීමට තමන් මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් සිටින්නේ යැයි ද පැවසීය.
නිවෙස්වල වැඩ කරන කාන්තා පාර්ශ්වයේ බහුතරයක් ජංගම දුරකථනය හරහා විවිධ මාධ්‍ය උපයෝගී කරගෙන ටික් ටොක් වැනි සමාජ මාධ්‍ය ජාලා අසීමාන්විතව අනවශ්‍ය අයුරින් භාවිත කිරීම, වැඩි කාලයක් දුරකථනය භාවිතා කිරීම, තමන්ට පැවරී ඇති රාජකාරිය ඉටු නොකිරීම, ඒ වගේම පුරුෂ පාර්ශ්වයේ අය රාත්‍රී කාලයේ විවිධ සාදවලට සහභාගි වී උදෑසන සේවා මුර නොකිරීම ආදී කරුණු නිසා ඔවුන්ට සේවා ප්‍රශ්න පැන නැගී තිබෙන බව සඳහන් කළේය.
කෙසේ වෙතත් බුදු දහම අනුව ක්‍රියාත්මක වීම තුළින් ප්‍රශ්න ගැටලු රැසකට උත්තරය හොයා ගැනීමට හැකිවන බවත්, කුවේට් රටේ බොහෝ ජනතාව ඔවුන්ගේ ආගමානුකූලව වැඩ රාජකාරි සිදු කරන නිසාම ඔවුන් රටක් හැටියට දියුණු වී තිබෙන නිසා ශ්‍රී ලාංකික ජනතාව වන අපද තමන් අදහන ආගම හා බෞද්ධ දර්ශනය අනුව නිසි සිහියෙන් වැඩ කිරීම ඇරඹිය යුතු බවත්, මින් ඉදිරියට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කටයුතු ද බුදුරජාණන් වහන්සේගේ දර්ශනය අනුව ක්‍රියාත්මක කරන බවත්, ඒ අනුව ඔවුන්ගේ සියලු ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන මහගෙදර බවට කුවෙට් තානාපති කාර්යාලය පත්කිරීම තම අරමුණ වී ඇති බවත්, හෙතෙම පැවසීය.
කුවේට් දේශයට පැමිණ ජීවිත ජයගත්, සාර්ථක කරගත් පිරිස් සොයා රට පුරාම අපව රැගෙන යන්නට වූයේ - සමාජ මාධ්‍ය පරිශීලක නිලන්ත මහත්තයා ය. ඔහු අපට අපූරු තොරතුරු සමුදායක් අනාවරණය කරන්නට වූයේ වාහනය පදවන අතරතුර දීය.
“මේ රටේ ජීවත්වෙන එක පුරුදු වෙනකම් ටිකක් දුෂ්කරයි. මොකද කාලෙකට සීතල. කාලෙකට උහුලන්න අමාරු රස්නය. ගහක් කොළක් දකින්න ඇත්තෙ හරි අඩුවෙන්. කොහොම නමුත් මෙහේට ඇවිත් ජීවිතේ සාර්ථක කරගත් උදවිය අනන්තවත් ඉන්නවා. සමහර අතිසාර්ථක ව්‍යවසායකයෝ ඉන්නවා. ඔවුන් අලුත් රැකියා උත්පාදනය කරලා ඒවාට ලංකාවේ අය බඳවා ගෙනත් තියෙනවා.”
“මගේ අම්මත් වැඩ කරන්නේ මේ රටේ මාධ්‍යවේදියෙකු ගේ නිවසක. මගේ මල්ලිත් ඒ නිවසේම වැඩ කරනවා. මමත් නිතරම ඒ ගෙදරට යනවා. මේ රටේ අපිට උදව් කරන මාධ්‍යවේදියා හරිම හොඳ කෙනෙක්. මටයි මල්ලිටයි ලොකු පුතා පොඩි පුතා කියලා කතා කරන්නේ. මගේ මල්ලිට සුදු පුතා කියලත් කතා කරනවා. අම්මට අම්මා කියලා කතා කරනවා. කරුණාවන්තයි. එහෙම මාධ්‍යවේදීන් ගැන කතා කරන්න ලැබීමත් හරිම සතුටුයි.”
ඔහු එම මාධ්‍යවේදියාගේ නිවසට ද අපව කැඳවාගෙන ගොස් ඔහුගේ මව සහ මලනුවන්ද මුණගැස්සවීමට අමතක නොකළේය.
පසුව අපව හඳුන්වා දුන්නේ කුවේට් දේශයේ වසර කිහිපයක් තිස්සේ දිවිගෙවමින් සැලකිය යුතු මට්ටමක සාර්ථකත්වයක් අත්පත් කරගෙන සිටින, ඉතා සමාජශීලී ජීවිතයක් ගතකරන අමිත් මධුශංඛ හෙවත් කුවේටයේ බොහෝ දෙනා හඳුනන “මචං අමියා” නම් තරුණයාය.
අමිත් තම ආදරණීය බිරිඳ සමග එක්ව එරට ව්‍යාපාර කිහිපයක් පවත්වා ගෙන යයි. මේ ඔහු අප සමග සඳහන් කළ කරුණුය.
“මම මේ රටට ඇවිල්ලා ජිවිතේ සාර්ථක කර ගත්තු කෙනෙක්. මම රටේ මිනිස්සුන්ට අසනීප වුණහම ලේ ටිකක් ලබාදෙන වැඩසටහනක් මුලින්ම ආරම්භ කළා. ඒකට අපේ රටේ සිට මෙරටට වැඩ කරන්න ඇවිල්ල ඉන්න ජනතාව තමයි ලේ දන් දුන්නේ. පස්සේ කුවේට් රටේ ඉන්න අයත් ලේ දන් දෙන්න පටන් ගත්තා. වසර ගණනාවක් තිස්සේ අපි විශාල ලේ ප්‍රමාණයක් කුවේට් එකේ ලේ බැංකුවට ලබාදෙනවා. ශ්‍රී ලාංකික අපිට කුවේට් ජනතාව පුදුම ආදරයක් ගෞරවයක් දක්වනවා. අපි මෙවරත් ලේ දන් දීමේ පින්කම ඉතාමත් සාර්ථකව කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.”
“මම ජංගම දුරකථන වෙළෙඳසැලක් හා රෙදිපිළි වෙළෙඳසැලක් පවත්වාගෙන යනවා. ඒවගේම අපේ රටේ තැන තැන ගෙවල්වල සේවය කරන කණ්ඩායම්වලට ළඟටම ගිහින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරන අලුත් වැඩ සටහනකුත් කරගෙන යනවා. ලංකාවේ රැකියා නැතුව හිටපු විස්සකට අධික පිරිසක් මම ක්වෙට් රටට ගෙනල්ලා රැකියා දීල තියෙනව. ඒ අයත් අද ජීවිත ඉතාමත් සතුටෙන් ගත කරනවා. මේ රටේ කණ්ඩායම් හරිම ආසයි උත්සව පවත්වන්න. අපි ඒකට අලුත් රිද්මයක් ලබා දීලා රටේ ඉන්න අයට උත්සවයට සිංහල සින්දු වලින් හිත පිනවන තවත් වැඩසටහනක් මම කුවේට් එකේ ආරම්භ කළා. ඒකට ජනතාවගේ ඉහළ ප්‍රතිචාර තියෙනවා. මිනිස්සු උදව් කරල මිනිස්සුන්ව සතුටු කරලා මිනිස්සුන්ව ජීවත් කරවලා ජීවිතය ජයගත්ත කෙනෙක් හැටියට මම අද මේ රටේ සතුටෙන් ජීවත් වෙනවා.”
පසුව අප ගමන් කළේ රටේ බොහෝ දෙනකු ආදරයෙන් ආමන්ත්‍රණය කරන “ලංකා බිනූ” නමින් හඳුන්වන තරුණයාගේ ව්‍යාපාරික ස්ථානයටයි. ඔහු නමින් බිනොත් සංකල්ප. මෙරටේ තරුණ තරුණියන් හතළිහකට අධික පිරිසකට මේ තරුණයා විසින් රැකියා ලබාදී තිබීම විශේෂත්වයකි.
“මම කුවේට් රටට ආවේ වාහනයක් පදවන රියැදුරු රස්සාවකට. කාලයක් ඒ වැඩේ කරගෙන ඉන්න කොට ඉගෙන ගන්න ලැබුණා මේ රටේ මිනිස්සු ගැනත් අපේ රටේ මිනිස්සු ගැනත්. පසුව මම මේ රටේ ඉන්න හිතවතුන් කීප දෙනෙකුගේ සහයෝගය ඇතිව ව්‍යාපාර කිහිපයක් පටන් ගත්තා. ජංගම දුරකථන විවිධ උපාංග අලෙවිය, ඒවගේම ඔන්ලයින් හරහා ජනතාවට අවශ්‍ය භාණ්ඩ සැපයීම. ලංකාවේ අයට කුවේට් එකෙන් විවිධ අවශ්‍යතාවයන් සපයා දීම වගේ දේවල් කරන්නට පුරුදු වුණා.”
“දැන් මම අපේ රටෙන් ගෘහ සේවය සඳහා මෙහේට එන බොහෝ දෙනාට ලංකාවට යද්දි සහ මෙහෙ ඉඳලා ගෙවල්වලට මොනවා හරි යවන්න අවශ්‍යතාවක් තියෙනවා නං ඒ සේවාව සැලසීම තමයි මම දැන් සිද්ධ කරන්නේ. අපි කුවේට් රටේ ඉන්න ගෘහ සේවිකාවන් වැඩ කරන ගෙදර ළඟටම ගිහිල්ලා ඒ අයගේ ගෙවල්වලට යවන්න තියෙන පාර්සල් වගේම විවිධ බඩු සුරක්ෂිතව පාර්සල් කරලා විනිවිද භාවයකින් වගකීමකින් ලංකාවට එවලා ලංකාවේ ඉන්න කණ්ඩායමක් හරහා ඒ අයගේ නිවෙස්වලටම ගිහින් දීල දුන්නු බව නැවත ඒ අයට දැනුම් දීම සිද්ධ කරනවා”
“අපේ කණ්ඩායම් හරිම කැමතියි මා එක්ක වැඩ කරන්න. මා සමග වැඩ කරන කවුරුත් සේවකයො නෙවෙයි. ඔවුන් මගේ සහෝදරයෝ වගේ. ඉහළ වැටුප් ලබා දීල ඒ අයත් ඉතාමත් හොඳින් මාත් එක්ක වැඩ කරනවා. මගේ බිරිඳත් දැන් ඉන්නේ මෙහේමයි. අපේ ගොඩක් දෙනෙක් දැන් මේ රටේ මව් රට වගේ සලකගෙන ඉතාමත් සතුටින් ජීවත් වෙනවා.”
අප කුවේට් රටට ගිය අවස්ථාවේ දී ව්‍යාපාර කිහිපයක් සිදුකරන නිලූ මහත්මිය හමුවිය. එදින ඇයගේ වෙළෙඳසලක් කුවේට් හි විවෘත කෙරුණු අතර, එම අවස්ථාවට සහභාගිවීමට ද අපට හැකියාව ලැබිණි. ඇය තමන්ගේ වෙළෙඳසැල විවෘත කිරීමේ කටයුත්ත අප අතින්ම සිදු කර ගැනීමට කැමැත්ත පළ කිරීම විශේෂත්වයකි.
නිලූ සඳහන් කළේ වසර කිහිපයකට ඉහතදී තමන් කුවේට් දේශයට පැමිණ මේ වන විට ව්‍යාපාරිකාවක් බවට පත්ව තිබෙන බවය. ඒ සඳහා තම සැමියාගෙන් ද විශාල ශක්තියක් ලැබුණු බවත්, මේ රටේ ව්‍යාපාර පවත්වාගෙන යන ශ්‍රී ලාංකික පිරිසක් තමන්ට උදව් උපකාර කිරීම නිසා විශාල මුදල් ප්‍රමාණයක් ලංකාවට යැවීමට දායකත්වය දෙන්නට හැකි බවත් ඇය සඳහන් කළාය.
ගෘහ සේවය සඳහා පැමිණ සිටින ලාංකික කාන්තාවන්ට මෙන්ම එරට කාන්තාවන්ට පෞද්ගලික අවශ්‍යතාවන් සඳහා රෙදිපිළි සහ විවිධ දෑ ඇණවුම් ලබාගෙන, පසුව ඔවුන් සිටින නිවසට ම ගොස් අතටම ලබාදීම තමන්ගේ රැකියාව බව නිලූ අප සමග සඳහන් කළාය.
මේ අතර ලංකාවේ තරුණයන් 40ක් දෙනාට රැකියා ලබාදී කුවේට් රටේ ජනතාවගේ උත්සව මල්වලින් අලංකරණය කරන නව රැකියා ආයතනයක් පවත්වාගෙන යන නන්දසිරි මහතා ද තවත් බොහෝ දෙනකු සමග කතා කරන්නට අපට අවස්ථාව උදා වූ අතර, එරට විදේශ රැකියා නියෝජිත කණ්ඩායම් ද තම සතුට අප සමග බෙදාගන්නට වූහ.
කතරට දහම්නදිය බෞද්ධ පුනරුදය ඇති කරන වැඩසටහන සංවිධානය කරන ලද ශ්‍රී ලංකා සංස්කෘතික පදනමේ සභාපති දේශමාන්‍ය ආචාර්ය අජිත් කවිකුමාර කියා සිටියේ - ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් මෙම වැඩසටහන දීර්ඝකාලීනව ක්‍රියාත්මක කරන බවය.
සංගමයේ ප්‍රධාන ලේකම් ලයනල් එස්. පත්බේරිය අදහස් දක්වමින් කියා සිටියේ, මෙම සංස්කෘතික සංගමය වසර හතළිහක ප්‍රෞඪ ඉතිහාසයක් ඇති ලෝකයේ පැරැණිතම විදේශීය රටකින් ලියාපදිංචි ස්වේච්ඡා සංවිධානයක් බවය.
කුවේට් දේශයේ සංචාරයකට පසු.
කාංචන කුමාර ආරියදාස