වසරකට විභාග 300ක් තියන්න කාන්තා නායකත්වයක්


බලය පැවරීම, ක්‍රියාත්මකිරීම යනාදිය පුරුෂ ආධිපත්‍ය මත පමණක් ගොඩනැගී තිබූ යුගයක, කාන්තාවට තිබුණේ ඉතා අඩු සැලකිලිය. ගෙදර දොරට පමණක් සීමා වී තිබූ කාන්තාවකගේ භූමිකාව වෙනස් කිරීම ආරම්භ කිරීමට පුරෝගාමී වූයේ, ලංකාවේ පළමු අගමැතිනිය ලෙස එවකට පත් වූ සිරිමාවෝ බණ්ඩාරනායකයි. ඉන් ඇරඹි කාන්තාවගේ ප්‍රතාපවත් භූමිකාව, යුගයක් යුගයක් පාසා අඩු වැඩි වශයෙන් සමාජයෙන් රැව්පිළි‍රැව් දෙන්නට විය. විශාරදයින්, නීතිඥයින්, වෛද්‍යවරුන් , ගුරුවරුන් යනාදී බොහොමයක් උගතුන් තෝරා පත්කර ගැනෙන ලාංකී‍ය විභාග පද්ධතිය තුළ, ප්‍රථම නියමුවරිය ලෙස ඉතිහාසයට එක්වීමට ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේට හැකියාව ලැබුණි. ඒ  මෙරට එකොළොස් වැනි විභාග කොමසාරිස් ජනරාල්වරිය ලෙස තේරී පත්වෙමිනි. 

දකුණු පළාතේ ගාල්ල මාපලගමට නෑකම් කියූ ඇය, මාපලගම  මධ්‍ය මහා විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය සඳහා ඇතුළත් වෙන්නේ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයටය. විද්‍යා අංශයෙන් උසස්පෙළට මුහුණ දුන් ඇය රුහුණු විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියත්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනවේ දී උපාධියත්, කැලණිය විශ්වවිද්‍යාලයෙන් වාග්විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් හදාරනු ලැබීය. අඛණ්ඩ විශ්වවිද්‍යාල අධ්‍යාපන දිවියෙන් අනතුරුව ගුරුවරියක ලෙස ගාල්ල මාපලගම විද්‍යාලයටම ලබාගන්නා ඇය, තමා කුඩා කල සිටම සිප්සතර හැදෑරූ පාසලට කෘතගුණ සලකන්නට  අමතක නොකළාය.   ඉන් ඇරඹූ ඇයගේ ගුරු ජීවිතය වසර කිහිපයක් යන තුරුම විවිධ වූ දුෂ්කර පාසල්වලටම සේවය කරන්නට යොදාගනු ලැබ ඇත්තේ නගරබද පාසල්වල සිටින දරුවන්ට සේම ගම්වල සිටින දුවා  දරුවන්ට ද ඔවුන් නොදකින ලෝකය දකින්නට වරම් හිමිකර දීමේ අරමුණෙනි.  

“මම ඉපදුණේ  සාමාන්‍ය පවුලක. මගේ අම්මාට දරුවෝ තුන්දෙනයි. මම තමයි පුවලේ වැඩිමල්ම දරුවා. තව මට බාල සහෝදරයෙක් සහ සහෝදරියක් ඉන්නවා. මගේ අම්මා පෙරපාසල් ගුරුවරියක්, තාත්තා  ඉංජිනේරු සංස්ථාවේ කාර්මික ශිල්පියෙක් ලෙස සේවය කළා. පුංචි කාලේ ඉඳලාම මම ඉගෙන ගන්න ආසයි වගේම දක්ෂයි. මම ශිෂ්‍යයත්ව විභාගයත් ඉහළින්ම සමත් වුණා. ගමේ පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබලා ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා තමයි ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධානතම බාලිකා පාසලක් වන ගාල්ල සංඝමිත්තා විදුහලයට ඇතුළත් වෙන්නේ. 

“සංඝමිත්තෙදී මම අධ්‍යාපනයෙන් වගේම බාහිර කටයුතුවලිනුත් කැපී පෙනෙන ශිෂ්‍යාවක් වුණා. පාසලේ සාහිත්‍ය සමිති, ක්‍රීඩා සමිති මෙන්ම නොයෙකුත් සමිති සමාගම්වල මුලසුන හොබවූවා. විදුහලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායිකාවක් ලෙසත්,  කැඩෙට් ඝනයේ නිලධාරියක ලෙසත් කටයුතු කරලා තියෙනවා. ක්‍රීඩාව පැත්තටත් ලොකු ඇල්මක් තිබුණා. මලල ක්‍රීඩා ඇතුළු තරග ඉසව්  රාශියකින් කලාප, පළාත් සමස්ත ලංකා යන සෑම අංශයකින්ම ජයග්‍රහණ ලබා ගෙන තියෙනවා. හැබැයි මම ඒ කිසිම දේකින් ඉගෙනීම් කටයුතුවලට බාධාවක් කර ගත්තේ නැහැ. ’’

‘‘මම දකින දේ තමයි, ඉගෙන ගන්නවා කියන්නේ පොතපතේ දැනුම පමණක් ඉගෙන ගැනීම නෙමෙයි. හැම දරුවෙක්ම ඊට එහා ගිය සමාජ  කුසලතාවලින් පරිපූර්ණ දරුවකු විය යුතුයි. මම මගේ තරුණ කාලේ පාසල් ජීවිතේ ගැන අද සතුටුයි. මොකද මම බාහිර කටයුතුවල අත්දැකීම්, සමාජ ආශ්‍රය ලබපු කෙනෙක්. 

“ඉගෙන ගන්නවා කියන්නේ පොතපතේ දැනුම පමණක් ඉගෙන ගැනීම නෙමෙයි. හැම දරුවෙක්ම  ඊට එහාගිය සමාජ  කුසලතාවලින් පරිපූර්ණ දරුවකු විය යුතුයි”  

මම විවාහකයි. මගේ සැමියා විශ්වවිද්‍යාල දේශකවරයෙකු ලෙස සේවය කරනවා. මට දරුවන් තිදෙනෙක් ඉන්නවා. මවක් බිරියක් සහ මගේ වෘත්තිය කටයුතුත් බොහොම සමබරව කරගෙන යන්න මගේ ගෙදර අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. “ 

2005 අධ්‍යාපන පරිපාලන සේවා තරග විභාගයෙන් විශිෂ්ට ලෙස සුදුසුකම් ලබමින් තේරී පත් වූ ඇය, එම සේවාව ද කොන්දේසි විරහිතව පාසල් දරුවන්ගේම දැනුම කුසලතාදිය ඔප් නැංවීම අරමුණු කර ගත්තාය. ඒ පරිපාලන සේවාවට ඇතුළත් වීමෙන් පසුත් සේවය කිරීමට පාසල්ම තෝරාගත් නිසාවෙනි. ඒ  ඇයගේ  පළමු පත්වීම ගාල්ල නෙළුව ජාතික පාසලට  ලබා ගනිමිනි. ඇය එහි නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස වසර ගණනාවක් සේවය කරනු ලැබූ අතරම පසුව කළුතර බාලිකා විද්‍යාලයේ ද වසර හයක කාලයක් නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස සේවය කරනු ලැබීය. වසර ගණනාවකින් පසුව කොළඹ ඩී.එස්. සේනානානය විදුහලේ පරිපාලන නියෝජ්‍ය විදුහල්පතිනිය, අධ්‍යාපන සංවර්ධන, විෂ‍ය සමගාමී කටයුතු භාර යන අංශ තුනෙහිම භාරකාරීත්වය කරට ගෙන තම සේවාව නොපිරිහෙළා ඉටු කරන්නට ඇය සමත් වූවාය. එහි තවත් එක් සුවිශේෂත්වයක් වූයේ ඩී.එස්. සේනානායක වැනි පිරිමි පාසලක පළමු කාන්තා විදුහල්පතිනිය ලෙස ඇය තේරී පත්වීමය.

එතෙක් ආ ගමන් මග තුළ, අධ්‍යාපන ක්ෂේත්‍ර තුළ වැඩි කාලයක් කටයුතු කළ ඇය ,එසේ පැමිණ  එකී ගමන් මග තුළ පළමු විභාග කොමසාරිස් ජනරාල්වරිය ලෙස තේරී පත්වීමට පෙරාතුව තේරී පත්වෙන්නේ  නියෝජ්‍ය විභාග කොමසාරිස් ධුරයට. ඉන් පසුව විභාග කොමාසරිස් ධුරටය තේරී පත්වූ ඇය පාසල් විභාග රහස්‍ය ශාඛාව ද, පාලන හා විමර්ශන විභාග කටයුතුද  යන දෙඅංශයම භාරව කටයුතු කරන්නට අවස්ථාව ලැබී ඇත්තේ එතුමියගේ  විනිවිදභාවයෙන් යුක්ත වූ සේවාව නිසාමය.  එවැනි ප්‍රබල තනතුරකට පත්වීමට තමාට පූර්වයෙන් සිටි විභාග කොමසාරිස් ජනරාල්වරු තිදෙනාම නොම සහයෝගයක් ලබාදුන් බවත් මෑත කාලීනව මාණ්ඩලික නිලධාරීන්ගේ සිට අනෙකුත් අංශවල සිටින අය ද විභාග කටයුතුවල දී තමාට නොමද සහයෝගයක් ලබා දුන් බවද ඇය කියා සිටියාය.
ලාංකීය අධ්‍යාපන ක්‍රමවේදය කුමන හෝ වෙනසකට බඳුන් කළ යුතු බව ඔබ මම කවුරුත් පිළිගන්නා සත්‍යතාවකි. පසු කාලීනව පැවති කොරෝනා වසංගතය හමුවේ අධ්‍යාපන ක්‍රමවේදය මෙන්ම විභාග කටයුතු ද යම්තාක් මට්ටමකට පසුබෑමකට ලක්විය. එසේ පැවති විභාග කටයුතුවල අසමතුලිතභාවය තවමත් ඇත. ඒ පිළිබඳව නව විභාග කොමසාරිස් ජනරාල්වරියගෙන් කළ  විමසීමක දී ඇය ලබා දුන්නේ මෙවන් වූ පිළිතුරකි.

“ප්‍රධාන වශයෙන්ම ජාතික විභාග යටතට ගැනෙන්නේ  ශිෂ්‍යයත්ව විභාගය, සාමාන්‍ය පෙළ විභාගය, උසස්පෙළ විභාගය, සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය යන පාසල් විභාග මෙන්ම ගුරු විද්‍යාල විභාග, විද්‍යාපීඨ විභාග, විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල  විභාග මෙන්ම විවිධ වූ උසස් කිරීම්, කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අරමුණු කරගත් විභාග ආදියයි. එවැනි විභාග සමස්තයේම එකතුව වසරකට සාමාන්‍යයෙන් විභාග 300ක්. පසුගිය කාලයේ එල්ල වූ කොරෝනා වසංගතය හමුවේ ඇතැම් පාසල් විභාගවල යම් යම් ගැටලුකාරී  තත්ත්වයන් පවතිනවා, ප්‍රමාදයන් පවතිනවා. මෙවැනි විභාග අතපසුවීම්වලින් සිදුවෙන්නේ දරුවන්ගේ වයස්ගතවීම. නිසි කලට ඔවුන්ට ඉලක්කයන් කරා ළඟාවීමට නොහැකි වීම.  ඒ සඳහා ඉදිරියේ දී, පැවති ප්‍රමාදයන් මගහරවා ගනිමින් 2027 පමණ වෙනවිට ඒ ඒ කාලවකවානුවට අදාළ ලෙස පාසල් විභාග කටයුතු පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා.”

පැවති ප්‍රමාදයන් මගහරවා ගනිමින් 2027 පමණ වෙනවිට ඒ ඒ කාලවකවානුවට අදාළ ලෙස පාසල් විභාග කටයුතු පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා.”

සත්‍ය ලෙසම මෙය සිදුවිය යුතු  ක්‍රියාවකි. මන්ද මේ වෙනවිට විභාග කටයුතු අතපසුවීම හේතුවෙන් ඇතැම් ළමුන් බලාපොරොත්තුවෙන් ඉලක්කයන් කරා ළඟා වීමට ඔවුන්ට නොහැකි වී ඇත. දේශීය මෙන්ම විදේශීය රැකියා වෙළෙඳපොළ තුළ පෙර ගමන්කරුවන් වීමට අවශ්‍ය නිසි කාලය ගත වී හමාරය. පාසල් විභාග කටයුතු මෙන්ම අනෙකුත් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල විභාග කටයුතු සම්බන්ධයෙන් ද ඇය කියා සිටියේ එකී ආයතනවල පවතින ඉල්ලීම් මත කරුණු සලකා බලා අවශ්‍ය කාලයට විභාග කටයුතු පැවැත්වීමට අදහස් කරනා බවයි.

“දැනට පාසල් හා ජාතික මට්ටමින් තක්සේරු හා ඇගයීම් කිරීමේ කටයුතු සිදුකරගෙන යනවා. සාමාන්‍යයෙන් පාසල් මට්ටමින් ඇගයීම් කටයුතු සිදුකරන්නේ විභාග පවත්වා වසර අවසානයේදී යම් යම් ශ්‍රේණිගත කිරීමකට ලක් කිරීමෙන් අනතුරුවයි. නමුත් අපිට ප්‍රශ්න පත්‍රයෙන් මැනිය නොහැකි මට්ටමක දරුවන්ගේ දක්ෂතා පවතිනවා. නැටුම් ,ගැයුම්, වැයුම් වගේම වෘත්තීය මට්ටමේ  හැකියාවන් සහිත දරුවනුත් ඕනෑ තරම් අපිට මුණ ගැහෙනවා. ඉතින් ඒ දරුවන්  හඳුනාගෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුදැනුම මත  ඔවුන්ගේ දක්ෂතා, කුසලතා තක්සේරු කිරීමේ ක්‍රියා පටිපාටිය ද වෙනසකට බඳුන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා”

අධ්‍යාපනයේ  හිණිපෙත්තටම ගමන් කළ ඇය, නිදහස් අධ්‍යාපනයේ වටිනාකම ද ලොවක් ඉදිරියේ විදහා දක්වා ඇත්තේ සමාජයේ දුවා දරුවන්ට ද ආදර්ශයක් වෙමිනි. විභාග දෙපාර්තමේන්තුවක් වැනි අතිවිශාල කාර්යභාරයක් හිමි දෙපාර්තමේන්තුවක නියමුවරිය වීම එතරම් සුළුපටු කාරණයක් නොවේ. ඇයද සාමාන්‍ය මවකි, බිරිඳකි. නමුත් අද වෙන විට  පළමු විභාග කොමසාරිස් ජනරාල්වරිය ලෙස  ලාංකීය  ඉතිහාසයට එක් වී හමාරය. මේ කියන්නා වූ ඇයගේ දක්ෂතාව සහ සේවාව පිළිබඳව කෙදිනක හෝ කතාබහට ලක්වෙනු නොඅනුමානය.

මදූශා දිල්ශානි.