“අපරාධ නීතිය අනුව තැනැත්තන් වෙළඳාම් කිරීම ඉතාමත් බරපතළ වරදකි. විශේෂයෙන් කුඩා දරුවෙකු යමකු විසින් මුදලට හෝ එවැනි ප්‍රතිලාභයකට විකුණනවා නම් මානුෂීය සංහතියම පිළිකුල් කරන අමානුෂීය වරදකි ” යනුවෙන් ප්‍රකාශ කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ - දින දෙකක් වයසැති බිළිඳෙකු රුපියල් 75000.00 ක මුදලට විකුණූ තිදරු මවක් වූ හෙදියකට වසර හතක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළේය.
බාල වයස්කාර දියණියන් දෙදෙනෙකු සහ තවත් දැරියක සිටින මවක යන කරුණු සලකා චූදිත තැනැත්තියට ලිහිල් දඬුවමක් පැනවිය නොහැකි බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා, නීතිපතිවරයා ඉදිරිපත් කළ අධි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් වී ඇති බව ද සඳහන් කළේය.
චූදිත තැනැත්තියට පෙර වැරදි නොමැති වීම හේතුවෙන් මෙම දඬුවම නියම කරන බව සඳහන් කළ විනිසුරුවරයා, දඬුවමට අමතරව රුපියල් විසිදහසක දඩයක් ද නියම කර එම දඩය නොගෙවන්නේ නම් තවත් මාස හයක සාමාන්‍ය සිර දඬුවම් නියම කළේය.
මෙම දඬුවම් නියම වූයේ කොල්ලුපිටියේ පදිංචි 46 හැවිරිදි තිදරු මවකට ය.
රුපියල් 75000 කට අලවි වූ එම කිරිකැටියා අද 16 වියැති දරුවෙකි. සිය මිත්තනිය භාරයේ හැදී වැඩී හොඳින් අකුරු කරන එම දරුවා ඉගෙනීමෙහි නිපුණයෙකු බව පාසලේ විදුහල්පතිවරයා අධිකරණයට වාර්තා කර ඇත.
2009 දෙසැම්බර් මස 09 දින පේරාදෙනිය රෝහලේ දී උපත ලද පුතු තමන් ඉපදී දින දෙකකට පසු තම මව මුහුණ දුන් ඛේදවාචකය අදටත් නොදන්න බව නඩුවේ සාක්ෂි මගින් සනාථ වී ඇත.
2009 දෙසැම්බර් 11 වෙනි දින කොල්ලුපිටිය ගාලු පාරේ පිහිටි වෛද්‍යවරයෙකුගේ නිවසට අඹුසැමි යුවලක් ඇතුළු වන්නේ බිළිෙඳකු මිල දී ගැනීමටය.
මුදලට දරුවෙකු විකුණන බවට පුද්ගලික ඔත්තුකරුවකු ලබාදුන් තොරතුරකට අනුව - අඹු සැමියන් ලෙස මෙම මෙහෙයුමට එක් වනුයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අමිල ප්‍රභාත් සහ කාන්තා උප පොලිස් පරීක්ෂක විතානගේ දෝන රේණුකා චන්ද්‍රකාන්ති ය.
ආගිය තොරතුරු කතා කර රුපියල් 75000 මුදල පෙන් වූ පසු චූදිත තැනැත්තිය විසින් උප පොලිස් පරීක්ෂකවරියට දරුවා බාර දුන්නාය.
“අපි පොලිසියෙන්. කරපු වරදට තමුන්ව අත්අඩංගුවට ගන්න වෙනවා. පොලිසියට යන්න ලෑස්ති වෙන්න.”
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පවසද්දී එම කලබැගෑනිය සවන් වැකී එම නිවසේ කාමරයක සිටි කාන්තාවක් හා බිළිඳා ගේ සැබෑ මව එළියට පැමිණියහ. සියලු දෙනා අත්අඩංගුවට ගන්නා පොලිසිය නිවසේ හිමිකරු වූ චූදිත තැනැත්තියගේ සැමියා වූ වෛද්‍යවරයා ද පොලිස් අත්අඩංගුවට ගෙන විමර්ශන කිරීමෙන් අනතුරුව සියලු උධෘත නීතිපතිවරයා වෙත යොමුකර ඇත.
විමර්ශන ගොනු සලකා බැලූ නීතිපතිවරයා 2018 වසරේ දී හෙදියට සහ දරුවාගේ මවට අධි චෝදනා ඉදිරිපත් කර නඩු පැවරීය.
චූදිතයන් දෙදෙනාට 2006 අංක 16 දරන පණතින් සංශෝධිත ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 360 ඈ (2) වගන්තිය යටතේ වන තැනැත්තන් වෙෙළඳාම් කිරීමට එරෙහිව මෙම අධි චෝදනා ඉදිරිපත් කෙරිණි.
අධිකරණ නියෝග පරිදි දරුවාගේ මව 2018 අගෝස්තු 27 වැනි දින කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියාය. මහාධිකරණ තෝල්ක මුදලි විසින් චෝදනාව කියවා දීමෙන් පසුව ඉදිරිපත් කරන ලද චෝදනාවට තමන් වරද පිළිගන්නා බව ඇය සඳහන් කළාය.
“ස්වාමීනි මම අවුරුදු 20 විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක ලෙස අධ්‍යාපනය හදාරන අවධියේ දී මේ අවාසනාවන්ත අත්දැකීමට මුහුණ දුන්නා. මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. දරුවාව හදා වඩා ගන්න මාපිය යුවළකට දෙන්න තීරණය කරලා තමයි මෙහෙම කළේ. මා දරුවා මුදලට විකුණුවේ නැහැ. පසුව මා අධ්‍යාපනය හදාරලා. දහම් පාසල් අධ්‍යාපනය ද පරතෙරටම හැදෑරුවා .පාලි භාෂාව ද හොඳින් ඉගෙන ගත්තා.” යනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ විත්තිකාර මව එම අධ්‍යාපන සහතික ද අධිකරණයට ඉදිරිපත් කළාය.
“දැන් මම හොඳ විවාහ ජීවිතයක් ගතකරන මවක්. මගේ දරුවා මිත්තණිය භාරයේ හොඳින් හැදී වැඩෙනවා. අධ්‍යාපනය ලබා දීමට සියලු පහසුකම් සපයන්නේ මම. දරුවා හොඳින් ඉගෙන ගන්නවා. ඊට අදාළ දරුවා අධ්‍යාපනය ලබන පාසලේ සහතිකපත් හා විදුහල්පතිවරයාගේ සහතික මා මේ අධිකරණයට ඉදිරිපත් කරනවා.” යනුවෙන් අධිකරණයේ දී ප්‍රකාශ කළ මව ඇයට ලිහිල් දඬුවමක් ලබාදෙන ලෙස අයැද සිටියාය.
දෙපාර්ශ්වයට සවන් දුන් මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ දරුවාගේ මවට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කළේය. ඇය විසින් දරුවා රැක බලා ගැනීම හා එයට වියහියදම් දැරීම යන කරුණ සලකා බලා එම දඬුවම වසර පහළොවකට අත්හිටුවීමට තීරණය කළ විනිසුරුවරයා, රුපියල් ලක්ෂයක දඩයක් ද නියම කළේය.
දරුවා මුදලට විකුණන ලද මෙම නඩුවේ පළමු චූදිත හෙදියට එරෙහි නඩු විභාගය 2023 ජුනි මස 14 වැනි දින ආරම්භ විය. ඇය අධිකරණය ඉදිරියේ පෙනී සිටිමින් කියා සිටියේ චෝදනාවන්ට තමන් නිවැරදිකාරිය වන බවය. ඒ අනුව නඩු විභාගයට විභාගය ආරම්භ කිරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා පැමිණිල්ලේ සාක්ෂි විභාගය ආරම්භ කළේය.
පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබා දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂක අමිල ප්‍රභාත් සහ උප පොලිස් පරීක්ෂක විතානගේ දෝන රේණුකා චන්ද්‍රකාන්ති සිය මෙහෙයුම අධිකරණයට විස්තර කළහ. පොලිස් සැරයන් දෝන රත්නප්‍රිය දයානන්ද, පොලිස් පරීක්ෂක හසිත් නිරෝෂන් පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි මෙහෙයවීම සිදු කළහ .
දරුවාගේ මව වන දෙවන විත්තිකාරියගේ මව ද සාක්‍ෂි ලබා දුන්නාය.
“පොලිස් අත්අඩංගුවට පත්වන තෙක් දන්නෙ නෑ, දරුවා මුදලට විකුණනවා කියලා. මමත් දුවත් හිටියේ වෛද්‍යවරයාගේ නිවස ඇතුළේ කාමරයක. අපි එළියට ආවේ නෑ. දුවට මේ අවාසනාවන්ත ඉරණම සිද්ධ වුණාට පස්සේ මෙම වෛද්‍යවරයා විසින් වෛද්‍ය උපදෙස් ලබා දුන්නා. කුරුණෑගල ඔහුගේ සායනයට ගොස් ප්‍රතිකාර ලබාගෙන ද තිබෙනවා. පසුව දරු ප්‍රසූතියේ දී පේරාදෙණිය රෝහලට දරුවා ඇතුළත් කරන්න උදව් කළෙත් ඔහු. දරුවා ඉපදුණාට පස්සේ කොළඹට එන්න වෑන් එකක් එවලා, ඒ මුදල් ගෙව්වෙත් වෛද්‍යවරයා” යැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
විත්තියේ සාක්ෂි විභාගය ආරම්භ කිරීමෙන් පසුව චූදිත හෙදිය සාක්ෂි ලබාදෙමින් කියා සිටියේ තමන් වරදට ද සම්බන්ධව නොමැති බවය. ඇය වෛද්‍යවරයාගේ සහායක හෙදියක් ලෙස කුරුණෑගල පිහිටි වෛද්‍ය සායනයට ගොස් සේවය කර ඇති බවත්, වෛද්‍යවරයා විවාහ කර ගැනීමෙන් පසුව ඔහුගේ තාඩන පීඩන නිසා මෙම තත්ත්වයට පත් වී ඇති බවත් පැවසුවාය.
“මම මේ ගැන දන්නේ නෑ. මගේ මහත්තයා කිව්වා කට්ටියක් එයි බලන්න කියලා. මම හිටියේ උඩුමහලේ. මං දරුවට කිරි හදාගෙන එනකොට තමයි මේ සිද්ධිය වෙලා අත්අඩංගුවට ගන්න හැදුවේ.”
චුදිත තැනැත්තිය වෙනුවෙන් ඇයගේ නීතිඥවරයා තවත් තර්කයක් මතු කළේය.
“පොලිස් නිලධාරීන් කියන ඔය පුද්ගලික ඔත්තුකාරයා කාසල් රෝහලේ උපස්ථායකයෙක්. ඔහුව තමයි පොලිසිය මුලින් අත්අඩංගුවට ගත්තේ. පස්සේ ඔහුගෙන් සල්ලි අරගෙන ඒ සල්ලි මහජන බැංකුවේ ගිණුමකට දාලා, ඔවුන් වෛද්‍යවරයාගේ නිවසට ආවා. ඒ ඇවිත් මගේ සේවාදායිකාව අත්අඩංගුවට ගත්තා කියලා මම යෝජනා කරනවා ස්වාමීනි.”
යනුවෙන් පළමු සාක්ෂිකාර පොලිස් පරීක්ෂක හමුවේ හරස් ප්‍රශ්න යොමු කරමින් කරුණු ඉදිරිපත් කළේය.
පළමු චූදිතයගේ සැමියා වන වෛද්‍යවරයා ද විත්තිය වෙනුවෙන් සාක්ෂි ලබා දුන්නේය.
“මා මේ රටේ රෝහල් කිහිපයක වැඩ කළ අත්දැකීම් බහුල වෛද්‍යවරයෙක්.”
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය ප්‍රශ්න කරමින් මෙසේ විමසුවාය.
“ඔබ කියන විදියට විශේෂඥ වෛද්‍යවරයෙක්ද? මොකක්ද විශේෂඥභාවය?”
සාක්කිකරු : මම නාරිවේදය පිළිබඳව තමයි රෝහල්වල ප්‍රතිකාර ලබා දුන්නේ.
රජයේ නීතිඥවරිය: ඒ කියන්නේ ඔබ විශේෂඥ වෛද්‍යවරයෙක් නෙවෙයි. නමුත් ඔබ තැන තැන පුද්ගලික සායන කළා. ඇයි ඔබ රජයේ සේවයට සමු දුන්නේ.
සාක්කිකරු : රජයේ චක්‍රලේඛ අනුව කලින් විශ්‍රාම ගියා. මේ දරුවා දූෂණයට ලක්වෙලා මගේ ගාවට ආවේ ඇබෝෂන් කරන්න.
රජයේ නීතිඥවරිය: ඒ කියන්නේ ඔබ ඒවට ප්‍රසිද්ධයි?
සාක්කිකරු: නාරිවේදය පිළිබඳ තමයි ස්වාමීනි මගේ විෂය. එම නිසා ඒ ගැන ප්‍රතිකාර ගන්න මගේ ගාවට සේවාදායිකාවෝ එනවා. මේ දරුවා ආවෙත් එහෙම. මම තමයි කිව්වේ ඇබෝෂන් කරන්න එපා මේ දරුවා හදාගමු කියලා.
රජයේ නීතිඥවරිය: ඔබ විවාහකයි? දරුමල්ලන් එහෙමත් ඉන්නවනේ.
සාක්කිකරු: ඔව්, මම විවාහකයි. විවාහ හතරක් කරගෙන තියෙනවා. මට දරුවෝ දොළොස් දෙනෙක් ඉන්නවා.
විත්තියේ සාක්ෂි සඳහා ජනක නමැති රියැදුරකු ගෙන්වන බවට විත්තිය ප්‍රකාශ කළද, එම සාක්ෂිකරුට නොතිසි නිකුත් කළ ද, අධිකරණයේ පෙනී නොසිටියේය.
දීර්ඝ වශයෙන් සාක්ෂි විභාග කළ මහාධිකරණ විනිසුරුවරයා පසුගිය 05 වැනි දින නඩුවේ තීන්දුව ලබා දීමට තීරණය කළේය.
ඒ අනුව පැමිණිල්ල සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බව ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරුවරයා, විත්තිකාරිය අදාල චෝදනාවන්ට වරදකාරිය කරන බවට තීන්දු කළේය.
අදාළ තීන්දුව ලබා දීමෙන් පසු දඬුවම් අඩු කිරීමට හේතු ඇත්නම් ප්‍රකාශ කරන ලෙස විත්තියේ නීතිඥවරයාට දන්වා සිටියේය.
විත්තියේ නීතිඥවරයා දඬුවම් අඩුකර ගැනීම සඳහා කරුණු දක්වමින් කියා සිටියේ - වරදකාරිය වූ තැනැත්තිය අවුරුදු 10, 17 හා 21 වයසේ ගැහැණු දැරියන් තිදෙනෙකු සිටින මවක් බවත්, සාමාන්‍ය පෙළ හදාරන දියණියන් හා බලවයස්කාර දියණියන් සිටින බවත්, එම කරුණු සලකා බලන්නැයි අයැ ද සිටින බවත්, ය.
ඇයගේ සැමියා වන වෛද්‍යවරයා පුද්ගලික සායනයේ රැකියාව සඳහා පැමිණි ඇයව රවටා ගෙන විවාහ කරගෙන ඇති බවත්, ඔහුගේ තාඩන පීඩන හමුවේ මෙවැනි වරදකට පත්ව ඇති බවත්, එබැවින් ලිහිල් දඬුවමක් ලබාදෙන ලෙස තවදුරටත් අයැද සිටින බවත් ය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යේෂ්ඨ නීතිඥ කේශානි විජේවර්ධන බරපතළ වරදක් සිදු කර ඇති චූදිත තැනැත්තියට දැඩි දඬුවම් ලබාදෙන ලෙසට ඉල්ලා සිටියා ය.
දෙපාර්ශ්වයට ඇහුම්කන් දුන් විනිසුරුවරයා සඳහන් කර සිටියේ චූදිත තැනත්තිගේ මෙම වරද ලඝුකොට තැකිය නොහැකි බවය.
ගැහැනු දරුවන් තිදෙනෙකු සිටින ඇය මෙම වරදට පෙලඹී ඇත්තේ ඇයගේ සැමියා වන වෛද්‍යවරයාගේ බලපෑම මතම නොව ඇයගේ ද මනා අවබෝධයකින් බව පැමිණිල්ල මගින් ඔප්පු කර ඇති බව ද පෙන්වා දුන්නේය. විශේෂයෙන් ඇය හෙදියක් දක්වා අධ්‍යාපනය ලබා තිබීම, වෛද්‍යවරයාගේ සායනයේ හෙදියක ලෙස කටයුතු කර තිබීම, යන කරුණු සැලකිල්ලට ගැනීමේ දී දෙවෙනි විත්තිකාරියට දරුවෙකු පිළිසිඳ ගෙන, ඊට කුරුණෑගල වෛද්‍ය සායනයෙන් ප්‍රතිකාර ලබාගත් බව යන කරුණු ඇය නොදන්නවා යැයි කීම පිළිගත නොහැකි බව පෙන්වා දුන්නේය. එහෙත් චූදිත සම්බන්ධයෙන් පෙර වැරදි හෝ පසු වැරදි නොමැති බැවින් දඬුවම් නියම කිරීමේ දී එයද සලකා බලන බව ද ප්‍රකාශ කළේය.
ඒ අනුව, චුදිත තැනැත්තියට වසර හතක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් හා රුපියල් විසිදහසක දඩයක් ද නියම කළේය.
අදාල දඬුවම් නියම කළ විනිසුරුවරයා - විත්තිය වෙනුවෙන් සාක්ෂි ලබා දුන් වෛද්‍යවරයා, අධිකරණය ඉදිරියේ දිවුරුම් පිට සාක්ෂි ලබා දෙමින් තමන් බහු විවාහ කරගෙන ඇති බවට සඳහන් කර ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකර කරුණු වාර්තා කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට නියෝගයක් ද කළේය. ඔහුගේ සාක්ෂියේ දී වෛද්‍යවරයෙකු ලෙස සිදු කළ තවත් අපරාධමය කරුණු රැසක් හෙළි වී ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශනයක් කරන ලෙසට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
රෝෂන් තුෂාර