වසංගත වනසන වෙදකමක වග


මූලික ඖෂධය වන ආහාරය හා එහි ආධ්‍යාත්මික පසුබිම පිළිබඳ ව අපි පසුගිය සතියේ සාකච්ඡා කළෙමු. අද අපි මේ ආහාරය මූලික වූ වෙදකම හා ඊට පාදක වන්නා වූ අාධ්‍යාත්මය පිළිබඳව මෙතැන් සිට තවදුරටත් විමසමු. වත්මන් වසංගත තත්ත්වය සමඟ අත්වැල් බැඳගත් සෞඛ්‍ය පරිහානියට අමතරව නියං හා ගංවතුර උවදුර මෙන්ම පොළොව වස විසෙන් දූෂණය වීම නිසා අප රටේ ප්‍රධාන ජීවනෝපාය වන ගොවිතැනේ සිදුවන අස්වනු පරිහානිය ගැනත් අප අවධානය යොමු කළ යුතු වේ. එපමණක් නොව එදා ඉතිහාසයේ සිටම ලාංකිකයා බත බුලතින් සරුසාරව, අත මිට සරුව, නිරෝගීව එක්ව සතුටින් සමරමින් අප අතර අන්‍යොන්‍ය සබැඳියාව ඔප් නංවන්නාවූ අපගේ සුවිශේෂී ම සංස්කෘතිකාංගයන් වන බක් මහ සැණකෙළිය, වෙසක් උත්සවය, පොසොන් උත්සවය, මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය මෙවරත් අපට නැති වේද? එසේ නම් සිටින්නේ සෞඛ්‍ය, කෘෂිකාර්මික, ආර්ථික හා සංස්කෘතික පරිහානියක අභිමුවෙහි නොවේ ද? විසාලා මහනුවර තුන් බිය නොවේ ද අපට සිහිවන්නේ'
 
 
දියුණු වන සෞඛ්‍ය පහසුකම් හමුවේ අප නිරෝගී වී ඇති ද? 
 
   මූලාශ්‍රය: 2014 මහ බැංකු වාර්තාව   
 
 තත්ත්වය මෙසේ වුවත් අප රටේ සෞඛ්‍ය ඉහළ නැංවීම වෙනුවෙන් දරණ වියදම ද වසරෙන් වසර ඉහළ ගොස් ඇති බව 2014 මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි. එපමණක් නොව 2008 සෞඛ්‍ය අමාත්‍යංශ සංඛ්‍යා ලේඛනවලට අනුව අප රටට සෞඛ්‍ය සේවාව ලබා දෙන වෛද්‍යවරුන්, හෙදියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පවුල් සෞඛ්‍ය සේවිකාවන් ද වසරක් පාසා ඉහළ යමින් පවතී. උදාහරණයක් ලෙස ගත හොත් අප රටේ මිනිසුන් 100,000 ක් සඳහා සිටින වෛද්‍යවරුන් සංඛ්‍යාව 2005 සිට 2007 දක්වා වන විට පිළිවෙළින් 51.9 සිට 55.1 දක්වා වැඩි වී ඇත. මේ අතර, අප රට සෞඛ්‍ය දර්ශක අතින් ආසියාවේ ඉතා යහපත් තත්ත්වයක තිබෙන බව ද කියැවේ. එසේ නම් වෛද්‍යවරයකු ලෙස පමණක් නොව සාමාන්‍ය පුරවැසියෙකු ලෙස නිතැතින්ම මා තුළ නැගෙන ගැටලු‍ව නම්, ලබාදෙන සෞඛ්‍ය සේවාවේ සංඛ්‍යාත්මක අගය ඉහළ ගියත් ජනතාවගේ නිරෝගී බව ශීඝ්‍රයෙන් අඩුවන්නේ ඇයි? ද යන්නය. එසේ නම් වරද ඇත්තේ ලෙඩුන්ගේ ද? වෛද්‍යවරුන්ගේ ද? වෙදකමේ ද? සෞඛ්‍ය ප්‍රතිපත්තිවල ද? පරිසරයේ ද? යනාදී වශයෙන් ගැටලු ගණනාවක් සමාජය තුළ සාමාන්‍යයෙන් පැනනැගිය යුතුය. එවන් ගැටලුවක් ඔබට ඇති නොවන්නේ ද? නමුත් සමාජය තුළ එවන් පුළුල් කතිකාවක් ඇති නොවන්නේ මන් ද? මෙතරම් රෝග උත්සන්න වෙමින් පවතිද්දීත්, දරුවන් මවුපියන්ට කලින් මිය යමින් සිටියදීත් මේ පිළිබඳ ව සිතා බැලීමට තරම් වත්මන් සමාජයට ඉස්පාසුවක් නැත්තේ නොදැනීම නිසා ද?, නොතැකීම නිසා ද? මා හට නොවැටහේ. එබැවින් මේ ප්‍රශ්න හෙළ සුවයේ අපිම නඟමින් අපිටම පිළිතුරු දීමට සිදු වී තිබේ.   
 
එදා නිරෝගීභාවත් අද නිරෝගීභාවත් අතර වෙනස මතක් කර ගනිමු.   
 
එදා නිරෝගීභාව 
 
නූතන විද්‍යාවේ දියුණුව නිසා අපි අතීතයට වඩා නිරෝගී වෙතැයි සිතන මට්ටමට අද සමාජයේ අවබෝධය පිරිහී ඇත. හෙළ සුවයට සම්බන්ධ වීමට පෙර මා ද එසේ සිතුවේය. නමුත් හෙළ සුවයේ සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්ගේ මගපෙන්වීමෙන් හා හෙළ සුවය නිර්මාතෘ ප්‍රියන්තා සේනානායක මහත්මියගේ උපදේශනයෙන් සැබෑ නිරෝගීකම යනු කුමක්දැයි මා හට අවබෝධ විය. ඒ සඳහා අප මුතුන්මිත්තන්ගේ නිරෝගීකම පිළිබඳ ව ඓතිහාසික මූලාශ්‍ර බෙහෙවින් වැදගත් විය. එදා බටහිර වෙදකම හෝ බටහිර විද්‍යාව නොමැති යුගයේ, එනම් ක්‍රි.ව. පළමු සියවසේ අප රටේ වැසියන් අවුරුදු 100 ක් ආයු ලැබ මියයන කෙනෙකු දෙස බැලු‍වේ අකල් මරණයක් ලෙසටය යන්න රෝම දාර්ශනිකයකු වූ ප්ලීනි සඳහන් කොට ඇත. (මේ තොරතුරු පසුගිය හෙළ කිරණ කලාපයේ සඳහන් කළෙමි). රොබට් නොක්ස් ට අනුව එවකට ශ්‍රී ලාංකිකයින් අවුරුදු 80 දීත් ඔත්පල නොවෙති.   
 
අද නිරෝගීභාවය   
 
වර්තමානයේ නම් අවුරුදු 70-80 සාමාන්‍යයෙන් උපතේ දී ආයු කාලය වන අතර එසේ ජීවත්වන්නට සිදු වී ඇත්තේ බටහිර ඖෂධ අහුරක උපකාරයෙන් ද, ශල්‍ය කර්මවල අාධාරයෙන් ද, ආහාර පාලනයෙන් හා අනෙකුත් වේදනාවන්ගෙන් ද දුක් විඳිමින්ය. අප බලාපොරොත්තු වන ගුණාත්මක ජීවිතය (quality life) මෙම කෙටි ආයුෂය තුළ පවා තිබේ ද? නැත. මීට වසර දෙකකට පමණ පෙර මොනරාගල දිස්ත්‍රික්කයේ ඈත ගමකට අපි ගියෙමු. එවකට මොනරාගල වකුගඩු රෝගීන් හඳුනා ගැනීමේ සේවයේ යෙදී සිටි වෛද්‍යවරයාගේ ඉල්ලීම වූයේ සෑම ප්‍රදේශයකම වකුගඩු රෝගීන් ඇති බවට සාධක ඇති රෝගීන් වාර්තා වුවත් එම ගමේ එසේ රෝගීන් වාර්තා නොවන බැවින් ඒ පිළිබඳ ව සොයාබලන ලෙසය. එම ගමේ රෝගීන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 100 කට ආසන්න බවත්, කිසිවෙක් දුක් විඳ නොමැරෙන බවත් දැනගත් අප පුදුම විය, මන්ද, 17 වන සියවසේ නොක්ස් කළ ප්‍රකාශය සනාථ කරන සාක්ෂි අදටත් තිබීමය. නිරෝගීභාවය තිබෙන ගමක් සෙවීම වෛද්‍යවරුන්ට කළුනික සෙවීමකි. පසුව කරුණු සොයා බැලීමේ දී අප දැන ගත්තේ එය 1818 ඌව වෙල්ලස්ස කැරැල්ලේ දී සුද්දන්ගේ විනාශයට හසු නොවූ පාරම්පරික ගම්මානයක් ලෙසටය. කඳු වළල්ලකින් වට වූ එම ගමට ප්‍රවිෂ්ට වීමේ දුෂ්කරත්වය මෙයට එක් හේතුවක් බව කියයි.   
 
 
එසේ නම් සැබෑ නිරෝගීභාවයක් උදෙසා මඟ හෙළිකර ගනිමු ද?   
 
අප අතීත මුතුන්මිත්තන්ගේ නිරෝගීභාවයට හේතු වූ සාධක මොනවා ද? මේ පිළිබඳ ව හෙළ සුවය නිර්මාතෘ ප්‍රියන්තා සේනානායක මහත්මිය සමඟ සාකච්ඡා කිරීමේ දී අපට වැටහී ගියේ ඉහත පැනයට පිළිතුර සාධක සහිතව ඉදිරිපත් කිරීමට නම් අද රටේ පවතින බටහිර හා ආයුර්වේද වෙදකම්වල ඉතිහාසය හොඳින් අධ්‍යයනය කොට එය වර්තමානය සමඟ සැසඳිය යුතු බවය. පහත දැක්වෙන්නේ අප ව්‍යාපෘතියට සම්බන්ධ බටහිර, ආයුර්වේද හා හෙළ නිල වෙදකමේ වෛද්‍යවරුන් විසින් එසේ අධ්‍යයනය කරනු ලැබූ කරුණු ඇසුරෙන් මා කරන ලද විවරණයකි.   
 
අතීත බටහිර වෙදකමෙහි පදනම කුමක් ද?   
 
අපත් සමඟ බටහිර වෙදකම පිළිබඳ ඓතිහාසික ගවේෂණයක යෙදුණු මාතර දිස්ත්‍රික් මහ රෝහලේ සැලසුම් වෛද්‍ය මාලින් බටගොඩ මහතාගේ දැනුම ද ඇසුරින් විවරණයක් කිරීමෙන් මෙම සාකච්ඡාව ආරම්භ කරන්නේ අද සමාජය සුලභව ප්‍රතිකාර ලබන්නේ බටහිර වෙදකමෙන් නිසාවෙනි. නූතන බටහිර වෙදකමේ ඉතිහාසය ක්‍රි.පූ. 400 දක්වා දිවේ. එහි පියා ලෙස සැලකෙන්නේ හිපොක්‍රටීස් නම් වූ ග්‍රීක ජාතික වෛද්‍යවරයා ය. එය එසේ බව වෛද්‍යවරුන් මෙන්ම සමාජය ද යම් මට්ටමකට හෝ දැනුවත් ඇතැයි මම විශ්වාස කරමි. නමුත් ඔහු එම වෙදකම ඉගෙනගත්තේ කෙසේ ද? ඔහුගේ ගුරුවරයා කවුද? ඔහු එය තනිව උගත්තේ ද? බටහිර විද්‍යාත්මක ක්‍රමවේදය, විද්‍යාගාර හෝ වෛද්‍ය විද්‍යාල නොතිබූ යුගයක ඔහු එය උගත්තේ කෙසේ ද? මෙය හැදෑරීමට ඔහුගේ ඇති විශේෂත්වය කුමක් ද? යන්න මේතාක් වෛද්‍යවරුන්ගේ හෝ සමාජයේ හෝ අවධානය යොමු වී නොමැත. නූතන බටහිර විද්‍යාව උගත් අපටවත් එම වැදගත් කරුණු පිළිබඳ ඉගැන්වීමක් හෝ එම දැනුම උරගා බැලීමක් අප විෂය නිර්දේශයේවත් නොවීය. පුදුමය නම් හෙළ සුවයට සම්බන්ධ වන තෙක් එසේ සෙවීමට අපට ද උනන්දුවක් නොතිබීමයි.   
 
හිපොක්‍රටීස්ට අනුව රෝගීකම/නිරෝගීකම යනු කුමක් ද?   
 
නිරෝගීකම යනු ගින්දර, වාතය, ජලය හා පොළොව යන ස්වාභාවික සිවු මහා ධාතූන්ගේ හා ඒ සමඟ වෙනස් වන උෂ්ණත්වය, සීතල, වියළි බව හා තෙත් බවෙහි (Four Humors) සමතුලිතතාවයි. රෝගය යනු මෙම සමතුලනය බිඳීයාමයි.   
 
හිපොක්‍රටීස් රෝගය හඳුනා ගත්තේ කෙසේ ද?   
 
රෝගය මූලිකව හඳුනාගන්නේ රෝගියා ජීවත්වන දේශගුණ තත්ත්වය, ඔහුගේ ආහාරය හා නක්ශස්ත්‍ර එනම් ග්‍රහලෝකවල බලපෑම ඇතුළු පුළුල් පසුබිම සැලකිල්ලට ගෙන බව සඳහන්ය. රෝගය සඳහා එම රෝග නිධාන සම්ප්‍රයුක්ත බලපෑම පිළිබඳ ඔහුට තිබූ දැනුම සුවිශේෂී විය.  
 
හිපොක්‍රටීස්ට අනුව රෝග ප්‍රතිකාරය කුමක් ද? ඖෂධ පෙති ද?   
 
එහි දී, ඔහුගේ ප්‍රධාන රෝග ප්‍රතිකාර විදිය ආහාරය බව පැහැදිලිය. ආහාරය නිරෝගීභාවයට පදනම බව එම ක්‍රමවේදයේ අවබෝධයයි (“Let Food Be Thy Medicine”). සිව් මහා ධාතූන් අතර සමතුලිතභාව ඇති කිරීමට සමත් ආහාරය කුමක් ද යන්න එම වෛද්‍යවරයා සතු මූලික ප්‍රඥාවයි. එය පහත සඳහන් ඉපැරණි පොක්‍රටීස් දිවුරුමේ (Classical Hippocratic Oath) ආරම්භයේ දීම පැහැදිලිව සඳහන් කොට ඇත. එය “I will apply dietetic measures for the benefit of the sick according to my ability and judgment; I will keep them from harm and injustice” එසේ නම් රෝගීන්ට හානියකින් හා අයුක්තියකින් තොර ව, ජීවිතය පවත්වා ගැනීමේ අවශ්‍යතාව මෙම ආහාරමය ප්‍රතිකාරය මත රඳා පවතින බව විශේෂයෙන් සඳහන්ය.   
 
 හිපොක්‍රටීස් ගේ දැනුම් පරාසය කොතරම් ද ඔබ දන්නවා ද?   
 
හිපොක්‍රටීස් සංග්‍රහය (Hippocratic Corpus) නමින් හිපොක්‍රටීස් හා ඔහුගේ ශිෂ්‍යයින් ලියා ඇති ලිපි එකතුව දෙස බලන විට ඔහුගේ දැනුම් පරාසය ඉතා පුළුල් බව පෙනීයයි. ලිපි 60 කින් යුත් එම සංග්‍රහය තුළ පහත දැනුම් සම්භාරය අනතර්ගත වේ.   
 
1. වාතය, ජලය හා ස්ථාන ගැන ලියවුන ලිපි එකතුව   
 
මෙහි වෙදකම හා සම්බන්ධ කාලගුණ විද්‍යාව, දේශගුණ විද්‍යාව, භූගෝල විද්‍යාව හා මානව විද්‍යාව පිළිබඳ ව ලියැවී ඇති අතර එය මෙම ක්ෂේස්ත්‍ර පිළිබඳව වූ පළමු සංක්ෂිප්ත වාර්තාව ලෙස සැලකේ. (Airs, Waters and Places, the first major work on medical meteorology, climatology, geography and anthropology)   
 
2. ආහාරය, රෝගයේ අනාගත ස්වභාවය හා ප්‍රතිකාර ක්‍රමය පිළිබඳ ප්‍රඥාවන්ත හා සංක්ෂිප්ත උපදෙස් මාලාව (Aphorisms - a collection of wise, pithy sayings giving advice on practical matters of diet, prognosis and therapeutics)  
 
3. ප්‍රත්‍යක්ෂය මත පදනම් වූ සිවු මහා ධාතූන් සමඟ සම්බන්ධ වූ වෙදකම   
 
(Ancient Medicine - a defense of the empirical study of medicine against one biased by preliminary axioms and assumptions. Also deals with the Four Humors)   
 
හිපොක්‍රටීස් මෙවන් පුළුල් වූ දැනුමක් ඔහු ලබා ගත්තේ කෙසේ ද?   
 
දැනුම ලබා ගැනීම කෙරෙහි පිපාසයෙන් පෙළෙන වර්තමාන සමාජයට මෙය ඉතා හොඳ ගැටලු‍වකි.   
වර්තමානයේ මෙම දේවල් ගැන ඉගෙනගන්නේ පත පොත කියවීමෙනි, පර්යේෂණ කිරීමෙනි. නමුත් ඔහු මෙම දැනුම ලබාගත්තේ බටහිර ශිෂ්ටාචාරයේ “නූතන විද්‍යාත්මක ක්‍රමවේදය” ආරම්භ වීමට පෙර, එනම් ක්‍රි.ව. 1600 ට පෙර ය. විශ්වවිද්‍යාලයක් හෝ විෂය නිර්දේශයක් (syllabus) හෝ නොමැතිවය, විද්‍යාගාරයක් නොමැතිවය. එසේ නම් ඔහුගේ පෘථුල දැනුමට පදනම කුමක් ද? එහි මූලාශ්‍රය කුමක් ද? එදා සමාජයේ රෝග නිවාරණයට මෙම පුළුල් දැනුම වූයේ ද? අප මෙය විග්‍රහ කරගත යුතු වේ. ලබන සතියේ අපි මේ පිළිබඳ ව තවදුරටත් සාකච්ඡා කරමු.   

 

 

 

වෛද්‍ය කුමුදු දහනායක   
(MBBS,DLM,MD)