ලුණු නැතිවෙන විට සීනි වැඩිවෙයි


රටේ වැඩිමනත් කතාබහට ලක්වෙන මාතෘකා අතර දින කිහිපයක් තිස්සේ පෙරමුණේ පසුවෙන්නේ ලුණු ය. ඊට බලපා ඇති ආසන්නතම හේතුව, වෙළෙඳපොළේ උද්ගතව ඇති ලුණු හිඟයයි. ඒ අල්ලපනල්ලේ, පසුගිය සතියේ සිට සීනි ගැන කතාවක් ද කරළියට ආවේ ය. ඒ සීනි හිඟයක් ගැන නම් නොවේ. ඊට නිමිත්ත වී තිබුණේ දේශීය සීනි නිෂ්පාදන ආයතනවලින් නිෂ්පාදනය කෙරෙන සීනි තොග ගොඩගැසී ඇති පුවතකි. ඉවක් බවක් නැතිව කෙරෙන සීනි ආනයන හේතුවෙන් එම තත්ත්වය උදා වී ඇති බව ද එම මාධ්‍ය වාර්තාවලින් ප්‍රකාශ විණි. ලුණු සහ සීනි වෙළෙඳපොළේ වෙන්නේ කුමක් ද? මේ සොයා බැලීම ඒ ගැනයි.

මුලින්ම ලුණු ප්‍රශ්නයට ආවොත්, ලුණු හිඟ ප්‍රවෘත්ති, මාධ්‍යවල අතොරක් නැතිව ප්‍රචාරය වේ. දින කිහිපයකට ඉහත දී, පාර්ලිමේන්තුවට ද ලුණු ප්‍රශ්නය ආවේය. දිවයිනේ සාමාන්‍ය හා සුපිරි වෙළෙඳසල්වල මිලදී ගැනීමට ලුණු නොමැති බව පාරිභෝගිකයෝ පවසති. ඊට අඩුවැඩිය එක්කරමින්, පාරිභෝගිකයන් ප්‍රශ්න කරන්නේ, රට වටේ මුහුද තිබියදීත් හිඟයකින් තොරව ලුණු සැපයිය නොහැකි මන්ද කියාය. කතාව අනෙකකි.

ලුණු යනු ආහාර පිසීම ඇතුළු තවත් පරිභෝජන කටයුතු රාශියක් වෙනුවෙන් යොදා ගන්නා කුළුබඩුවකි. එසේම එය කර්මාන්ත කටයුතු සඳහා යොදා ගන්නා ද්‍රව්‍යයක් ද වෙයි. ජාතික ලුණු සමාගමේ වෙබ් අඩවියේ තොරතුරුවලට අනුව, ලොව ඉහළම ලුණු නිෂ්පාදකයන් වෙන්නේ චීනය, ඇමෙරිකාව සහ ඉන්දියාවයි. 2021 දී පමණක් ලෝකයේ නිෂ්පාදනය කර ඇති මුළු ලුණු ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 290 කි.

ලුණු පරිභෝජනය සම්බන්ධ ශ්‍රී ලංකාවේ දත්තවලට අනුව, මෙරට වාර්ෂික ලුණු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 180,000 ක් වෙන අතර එයින් මෙට්‍රික් ටොන් 120,000 ත් 130,000 ත් අතර ප්‍රමාණයක් පරිභෝජනයට ද ඉතිරි ප්‍රමාණය කර්මාන්ත කටයුතුවලට ද යොදා ගනු ලැබේ. මෙරට වාර්ෂික ලුණු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 160,000 ක් පමණ වේ. ඒ අනුව වෙනත් පාරිභෝගික භාණ්ඩවලට සාපේක්ෂව, ලුණු ආනයනය කෙරෙන්නේ ඉතා අඩුවෙනි. දේශීය ලුණු සැපයුම ඒසා හොඳ මට්ටමක තිබියදී ත් ලුණු හිඟයක් නිර්මාණය වූයේ ඇයි? ඊට අධික වැස්ස හරස් වූයේ ද?

ලුණු නිෂ්පාදනයට අදාළව ප්‍රධාන ආයතන දෙකක් මෙරටේ ක්‍රියාත්මක වේ. එකක් ජාතික ලුණු සමාගම ය. එය කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ. අනෙක ලංකා ලුණු සමාගමයි. එය මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ. දැනට වෙළෙඳපොළේ උද්ගත ව ඇති ලුණු හිඟය ගැන ඉඟි පළ වූයේ 2024 වසරේ අවසාන කාර්තුවේ සිටය. ඒ අනුව එම වසරේ දෙසැම්බර්වල ලුණු ආනයනයට පියවර ගත්ත ද එයින් හිඟය මුළුමනින් ම පියවීමට හැකි වූයේ නැත. උද්ගතව ඇති ලුණු හිඟය හමුවේ, ලබන මස 10 වැනිදා දක්වා ලුණු ආනයනයට අවසර ලබා දී ඇති අතර, රජයේ ප්‍රධාන ලුණු සමාගම් ද ලුණු ආනයනයට පියවර ගෙන තිබේ.


  • 2024 නොවැම්බර් කාලයේ ඉඳන් ලුණු හිඟයක් ගැන දැනන් ඉඳලා
  • ලංකා ලුණු සමාගම දිනපතා වෙළෙඳපොළට ලුණු දැම්මත්, පාරිභෝගිකයන් ලුණු එක්රැස්කිරීම නිසාත් ලුණු හිඟය තවත් වැඩිවෙලා. -ලංකාලුණු සමාගම. 
  • පැල්වත්තේ පමණක් දුඹුරු සීනි ටොන් 17,000 ක් ගොඩගැහිලා.
  • දේශීය සීනි සමාගම් සීනි කිලෝවකින් දළ වශයෙන් රුපියල් 50 ක පාඩුවක් ලබනවා
  • ඉන්දියා-පාකිස්තාන යුද්ධය හේතුවෙන්, ඉන්දියාවේ වරායන් තවම හරිහැටි ක්‍රියාත්මක නොවීමෙන් ලුණු ආනයනයට බාධා.
  • යල කන්නයේ ලුණු අස්වැන්න මෙට්‍රික් ටොන් 28,000 කින් පහතට

පැවති වර්ෂාපතනය හා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යල කන්නයේ අපේක්ෂිත ලුණු අස්වැන්න අඩුවීම වෙළෙඳපොළේ දැන් උද්ගත ව තිබෙන ලුණු හිඟයට ප්‍රධාන හේතුව බව ප්‍රකාශ වේ. 2024 වසරේ අගභාගයේ පටන් මේ ආකාරයේ ලුණු හිඟයක් ඇති විය හැකි බවට ඉරිදා ලංකාදීපය ද වාර්තා කර තිබිණි. ඒ කෙසේ වෙතත්, මේ වෙද්දි ලුණු ආනයනයට අවසර දී තිබේ. ඒ අනුව ජාතික ලුණු සමාගමේ සභාපති ගයාන් වෙල්ලාල, ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේ තම ආයතනය ඇනවුම් කළ ලුණු තොගයේ පළමු කොටස ඉකුත් බ්‍රහස්පතින්දා (22) රාත්‍රී වෙනවිට වරායට පැමිණීමට නියමිතව ඇති බවත් ලුණු නිසි වේලාවට ලංකාවට පැමිණියහොත් මේ ලුණු හිඟය පැවතිය හැක්කේ තවත් සතියක කාලයක් පමණක් බවත් ය. 

“ලුණු මෙට්‍රික් ටොන් 20,000 ක් ඉන්දියාවෙන් ගෙන්නන්න කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. හෙට (22) රාත්‍රියේ දි පළමු ලුණු තොගය ලංකාවට එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉන්දියා-පාකිස්තාන යුද්ධය නිසා තවම ඉන්දියාවේ සමහර වරායන් හරිහැටි ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ලුණු ආනයනයේ දී අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නය ඒක තමයි. යල කන්නයේ දී මුළු ලංකාවෙන්ම ලුණු අස්වනු මෙට්‍රික් ටොන් 35,000 ක් බලාපොරොත්තු වුණත් ලැබුණෙ මෙට්‍රික් ටොන් 7,000 ක වගේ අඩු ප්‍රමාණයක්. දැන් අපි මහ කන්නයේ ලුණු අස්වනු නෙළන්න සූදානමින් ඉන්නෙ. ඒක පටන් ගන්නෙ ජුලි මාසෙ. ඒ දක්වා, ඒ කියන්නෙ දවස් 40 ක කාලයකට තමයි ලුණු මේ විදිහට ගෙන්නන්නෙ. ලබන සතිය වෙන කොට ලුණු හිඟය නැති වෙන්න ඕනැ. ඒ වගේ ම ලුණු මිල පහළ යන්නත් ඕනැ” සභාපතිවරයා හෙළි කළේ ය.

ප්‍රශ්නය තිබෙන්නේ මේ වසරේ මාර්තු සහ අප්‍රේල්වල ඇදහැළුණු අධික වර්ෂාව නිසා අපේක්ෂිත ලුණු අස්වනු අඩුවීමෙහි නම්, කාලගුණ දත්ත වාර්තා සමග ඒ ගැන පූර්ව පුරෝකථනයක් මේ ආයතන සතුව තිබිය යුතු ය. ඒ අනුව යමින්, පසු වසරට (2025 ට) ප්‍රමාණවත් ලුණු තොග ආනයනය කළ යුතු ය. ලංකා ලුණු සමාගමේ සභාපති ඩී. නන්දනතිලක, අප පුවත්පතට ප්‍රකාශ කළේ, මේ ආකාරයේ ලුණු හිඟයක් ඇති විය හැකි බවට 2024 නොවැම්බර්වල සිට රජය දැන සිටි බවත්, ඒ අනුව යම් ලුණු තොගයක් ආනයනය කිරීමට පියවර ගත් බවත් ය. එසේ ආනයනය කර තිබියදීත් ලුණු හිඟයක් ආවේය.

“2024 අවුරුද්දෙදි හම්බන්තොට ලුණු ලේවායන් තුනෙන් ලුණු මෙට්‍රික් ටොන් 125,000 ක් ගන්න ඇස්තමේන්තු කළත් ගන්න පුළුවන් වුණේ 40,000 ක් විතරයි. 2022 හා 2023 අවුරුදුවල වැඩි ලුණු අස්වැන්නක් ලැබුණු නිසා 2024 වසරේ දී හිඟයකින් තොරව වෙළෙඳපොළට ලුණු සපයන්න පුළුවන් වුණා. 2024 අවුරුද්දෙ හොඳ ලුණු අස්වැන්නක් නොලැබුණු නිසා ඒකෙ බලපෑම 2025 වසරට ආවා.

මේ වසරේ පෙබරවාරි මාර්තු වෙනකොට රටේ ලුණු හිඟයක් ඇති වෙයි කියලා 2024 අවුරුද්දෙ නොවැම්බර්වලදි අපට තේරුණා. ඒ නිසා 2024 දෙසැම්බර්වලදි කැබිනට් තීරණයක් ගත්තා ලුණු මෙට්‍රික් ටොන් 30,000 ක් ඉන්දියාවෙන් ආනයනය කරන්න. ඒ ගෙනාපු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් 8,270 ක් අපේ ආයතනයට ලැබුණා. ඉතිරි ප්‍රමාණය රටේ කර්මාන්තකරුවන්ට ලබා දුන්නා. ඒ වෙලාවෙ, රජය විශාල ලුණු ප්‍රමාණයක් ආනයනය නොකළෙ 2025 මාර්තු වෙනකොට ලුණු කඩන්න පටන් ගන්න නිසා. මාර්තු 20 වෙනකොට දේශීය ලුණු නිෂ්පාදනය කරන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වුණා. ඒත් නොහිතපු විදිහට වහින්න ගත්තා. ඒ නිසා අස්වනු ලැබුණෙ නෑ. අපි මාර්තු 24 වැනිදා ලුණු මෙට්‍රික් ටොන් 40,000 ක් ගේන්න කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගත්තා. එයින් ලුණු මෙට්‍රික් ටොන් 10,000 ක් ආනයනය කිරීමේ වගකීම ලංකා ලුණු සමාගමට පැවරුණා. ජාතික ලුණු සමාගමටත් ධීවර අමාත්‍යාංශයටත් ඉතිරි ලුණු ආනයනය කිරීම භාර දුන්නා.

ලුණු පරිභෝජනය සම්බන්ධ ශ්‍රී ලංකාවේ දත්තවලට අනුව, මෙරට වාර්ෂික ලුණු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 180,000 ක් වෙන අතර එයින් මෙට්‍රික් ටොන් 120,000 ත් 130,000 ත් අතර ප්‍රමාණයක් පරිභෝජනයට ද ඉතිරි ප්‍රමාණය කර්මාන්ත කටයුතුවලට ද යොදා ගනු ලැබේ. මෙරට වාර්ෂික ලුණු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 160,000 ක් පමණ වේ. ඒ අනුව වෙනත් පාරිභෝගික භාණ්ඩවලට සාපේක්ෂව, ලුණු ආනයනය කෙරෙන්නේ ඉතා අඩුවෙනි. දේශීය ලුණු සැපයුම ඒසා හොඳ මට්ටමක තිබියදී ත් ලුණු හිඟයක් නිර්මාණය වූයේ ඇයි? ඊට අධික වැස්ස හරස් වූයේ ද?

ප්‍රසම්පාදන ක්‍රියාවලියට යම් කාලයක් ගතවෙන නිසා අපේ ආයතනයට ලුණු ආනයනය කරන්න යම් කාලයක් ගත වුණා. ජාතික ලුණු සමාගම ඇනවුම් කළ ලුණු තොගයෙන් පළමු කොටස ගිය සතියෙ එන්න තිබුණෙ. ඉන්දියා-පාකිස්තාන යුද්ධය නිසා උතුරු ඉන්දියාවේ වරායන් වහලා තිබුණු නිසා ඒ ලුණු එන එක ප්‍රමාද වුණා. නැතිනම් ඒ ලුණු තොගය එන්න තිබුණෙ ගිය සතියෙ”.

ලංකා ලුණු සමාගම දෛනිකව ලුණු වෙළෙඳපොළට නිකුත් කළ ද ඇතැම් පාරිභෝගිකයන් ලුණු එක් රැස් කර ගැනීම ද උද්ගතව ඇති ලුණු හිඟයට හේතුවක් බව සභාපතිවරයා කීවේය.

“ලංකා ලුණු සමාගම දවස ගානෙ ලුණු ටොන් 20 ත් 30 ත් අතර ප්‍රමාණයක් වෙළෙඳපොළට දානවා. ලංකා ලුණු සමාගම කිලෝ ග්‍රෑම් 400 ලක් ලුණු පැකට් එකක් දාන්නෙ රුපියල් 400 ක් වගේ මිලකට. පාරිභෝගිකයො වැඩි වශයෙන් ලුණු මිලදී ගන්න නිසා යම් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ජාතික ලුණු සමාගමයි අපේ ආයතනයයි ගෙන්වන ලුණු තොගයට අමතරව ජූනි 10 වැනිදා දක්වා ඕනෑම ගැනුම්කරුවෙකුට ලුණු ගේන්න අවසර දීලා තියෙනවා. ලුණු ටොන් 40,000 ත් 50,000 ත් අතර ප්‍රමාණයක් ගෙන්වන්න ඉඩ තියෙනවා. කර්මාන්ත ලුණු සහ අයඩීන් ලුණු දෙවර්ගයම ගෙන්වන්න අවසර දීලා තියෙන්නෙ. ඒ ලුණු වෙළෙඳපොළට ආවහම මේ ප්‍රශ්නය සමනය වෙයි කියලා අපි හිතනවා. රටේ අවශ්‍යතාවෙන් මාස පහ හයකට ප්‍රමාණවත් ලුණු ප්‍රමාණයක් ආනයනයෙන් එයි.”

මීළඟ කතාව සීනි ය 

රටේ වාර්ෂික සීනි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 660,000 කි. එයින් සියයට 90 ක් පමණ ආනයනය කරන අතර, ලංකා සීනි (පෞද්ගලික) සමාගම යටතේ ඇති පැල්වත්ත හා සෙවණගල යන රජයේ කර්මාන්තශාලාවලින් සහ තවත් පෞද්ගලික සීනි සමාගමකින් නිපදවන සීනිවල එකතුව සියයට 10 ක් පමණ වේ. ඒ දුඹුරු සීනි ය. ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රසිද්ධ කර ඇති දත්තවලට අනුව, 2023 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා වූ කාලයේ දී, දේශීයව නිපදවා ඇති මුළු සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 66,177 කි. 2024 වසරේ සමාන්තර කාලයේ දී එසේ නිෂ්පාදනය කර ඇති සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 79,986 කි. එම දත්ත විශ්ලේෂණය කිරීමේ දී පැහැදිලි වෙන්නේ, 2023 වසරට සාපේක්ෂව 2024 දී දේශීය සීනි නිෂ්පාදනය සියයට 20 කින් පමණ ඉහළ ගොස් ඇති බවය. ආනයනයට අවසර ලැබෙන්නේ සුදු සීනි පමණි. එපරිදි දුඹුරු සීනි ආනයනයට අවසර ලබා දී නැත්තේ දේශීය සීනි නිෂ්පාදකයන් ආරක්ෂා කිරීමටය. එහෙත් ප්‍රශ්නය තිබෙන්නේ, දේශීය සීනි නිෂ්පාදන ආරක්ෂා වී තිබේ ද යන්නෙහි ය. එම නිෂ්පාදනවලට හොඳ වෙළෙඳපොළක් නිර්මාණය වී තිබේ ද යන්නෙහි ය.

ලංකාවේ ප්‍රධාන සීනි නිෂ්පාදන කර්මාන්තශාලාවලට සමීප සම්බන්ධතා ඔස්සේ අප මේ ගැන කළ සොයා බැලීමක දී දැනගන්නට ලැබුණේ, අලෙවි කර ගත නොහැකිව මේ වෙද්දි දුඹුරු සීනි ගොඩගැසී ඇති බවය. ඒ අනුව, 2024 අවසන් වෙද්දි, පැල්වත්ත සීනි කර්මාන්තශාලාවෙහි සීනි ටොන් 16,000 ක පමණ ප්‍රමාණයක් ඉතිරි වී තිබී ඇති අතර මේ වෙද්දි එම ප්‍රමාණය ටොන් 17,000 කි. 2024 වසරේ දී එම සමාගමට අලෙවි කර ගැනීමට හැකි වී තිබෙන්නේ ටොන් 10,000 ක පමණ සීනි ප්‍රමාණයකි. මේ වෙනවිට සෙවණගල සීනි කර්මාන්තශාලාවෙහි ඇති සීනි ප්‍රමාණය ටොන් 1500 ක් බව ද වාර්තා වේ. 

මෙපරිදි දේශීයව නිෂ්පාදනය කරන දුඹුරු සීනිවල අලෙවිය පහත බැසීමට හේතු කිහිපයක් බලපා තිබෙන බව අප කළ සොයා බැලීමක දී දැනගන්නට ලැබිණි. ප්‍රධානතම හේතුවක් වෙන්නේ, අතොරක් නැතිව කෙරෙන සුදු සීනි ආනයනය යි. සීනි යනු හොඳ ලාභ ඉපැයිය හැකි ව්‍යාපාරයකි. සීනි සම්බන්ධ කුප්‍රකට වංචාවක් සිදු වූයේ 2021 දී ය. ගෝඨාභය රාජපක්ෂගේ රජය, ආනයනික සීනි කිලෝවක් සඳහා අය කෙරුණු රුපියල් 50 ක බද්ද ශත 25 දක්වා අඩු කළ අතර එයින් එක්තරා සීනි ආනයනකරුවෙකු අතිමහත් ලාභයක් ඉපැයූ බවත් එයින් රජයට කෝටි ගණනක පාඩුවක් සිදු වූ බවත් අපි දනිමු.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් කෘෂිකාර්මික අංශයේ 2025 ජනවාරිවලට අදාළව නිකුත් කරනු ලැබ ඇති වාර්තාවෙහි සඳහන් දත්තවලට අනුව, 2023 දී ආනයනය කර ඇති මුළු සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 652,876 කි. 2024 එම අගය මෙට්‍රික් ටොන් 582,906 කි. ලංකාවේ ඉහළ සීනි නිෂ්පාදනයක් සිදු නොවන නිසා සීනි ආනයනය කිරීම ගැටලුවක් නොවුණත්, එම කටයුතු සිදුවිය යුත්තේත් සීනි සඳහා පාලන මිලක් දැමිය යුත්තේත් දේශීය සීනි කර්මාන්තය ආරක්ෂා වෙන විදිහට ය. දේශීය නිෂ්පාදිත සීනි මත සියයට 18 ක වැට් බද්දක් ද සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්දක් ද ක්‍රියාත්මක වෙන අතර, මේ බදු ද සීනි කර්මාන්තය අඩාළ වීමට බලපා තිබේ. විශේෂයෙන් ම දුඹුරු සීනි කිලෝවක් නිෂ්පාදනය කිරීමට වැය වෙන මුදල සහ වෙළෙඳපොළේ අලෙවි කරන මිල අතර ඉහළ පරතරයක් තිබීමත් ,දේශීය සීනි කර්මාන්තය කෙරෙහි ඉතා අහිතකර ලෙස බලපා ඇති බව අප කළ සොයා බැලීම්වල දී දැනගන්නට ලැබිණි. ඒ අනුව, මේ වෙනවිට වෙළෙඳපොළේ දුඹුරු සීනි කිලෝවක් රුපියල් 235 ත් 240 ත් අතර මිලකට අලෙවි වුව ද, ඒ වර්ගයේ සීනි කිලෝවක් නිෂ්පාදනය කිරීමට රුපියල් 286 ත් 290 ත් අතර මුදලක් වැය වේ. ඒ අනුව දළ වශයෙන් දේශීය සීනි සමාගම්, දුඹුරු සීනි කිලෝවක් අලෙවියෙන් රුපියල් 50 ක පාඩුවක් ලබයි. 
“ආනයනික සුදු සීනි කිලෝවක මිල රුපියල් 225 ත් 230 ත් අතර අගයක් ගන්නවා. දුඹුරු සීනි කිලෝවක මිල රුපියල් 340 සිට රුපියල් 235-240 දක්වා අඩු වෙලා තියෙනවා. නමුත් දුඹුරු සීනි කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 286 ත් 290 ත් අතර අගයක්. 2024 ඒ වියදම 286 ක්. මේ වෙද්දි සීනි කිලෝවක මිල රුපියල් 218 දක්වා අඩුවෙලා තියෙනවා. මේ වෙලාවෙ පාඩු පිටවත් සීනි විකුණගන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ. සීනිවලට පාලන මිලක් දානකොට ඒක කළ යුත්තෙ දේශීය නිෂ්පාදන වලටත් ගළපලා. දුඹුරු සීනිවලට රුපියල් 250 ක වගේ පාලන මිලක් දාන්න පුළුවන් නම් හොඳයි” නම හෙළි කිරීමට අකමැති වූ එක් සීනි නිෂ්පාදන ආයතනයක නිලධාරියෙකු උද්ගතව ඇති තත්ත්වය පැහැදිලි කළේ එලෙසිනි. 

දේශීය සීනි සමාගම් සීනි නිෂ්පාදනය කළ ද එම ආයතන සීනි නිෂ්පාදනයෙන් ලාභ ලබා නොමැත. පැල්වත්ත සමාගම 2024 දී රුපියල් මිලියන 800 ක ශුද්ධ පාඩුවක් ද සෙවණගල සීනි කර්මාන්තශාලාව රුපියල් බිලියනයකට ආසන්න පාඩුවක් ද වාර්තා කර ඇත. දේශීය සීනි සමාගම්වල ලාභය රඳා පවතින්නේ සීනිවල අතුරු ඵලයක් වශයෙන් නිපදවෙන මොලෑසස් වලින් නිපදවන එතනෝල්වලිනි. නම හෙළි කිරීමට අකමැති වූ අදාළ නිලධාරියා පැවසුවේ, රුපියල් 1,100 කට පමණ අලෙවි කළ එතනෝල් ලීටරයක මිල මේ වෙනවිට රුපියල් 500 ත් 600 ත් අතර අගයක් දක්වා පහත වැටීමෙන් එතනෝල් ආදායමට ද දැඩි අහිතකර බලපෑම් එල්ල වී ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස සීනි කර්මාන්තශාලවල මූල්‍ය තත්ත්වය පිරිහිය හැකි බවත්ය.

“දේශීය සීනි නිෂ්පාදනයට අවුරුදු 35 ක් 40 ක් විතර වුණත් කවදාවත් සීනි නිෂ්පාදනයෙන් ලාභ ලබලා නෑ. සීනිවල අතුරු ඵලයක් වෙන මොලෑසස්වලින් නිපදවන එතනෝල් අලෙවියෙන් තමයි සීනි සමාගම් ලාභ ලබන්නෙ. රුපියල් 1,100 ක මුදලකට අලෙවි කළ එතනෝල් ලීටරයක් දැන් අලෙවි කරන්නෙ රුපියල් 560 කට. 2021-2022 කාලෙ මතු වූ ඩොලර් හිඟය හේතුවෙන්, එතනෝල් පිටරටින් ගේන එක නතර කරපු කාලෙ ලංකාවේ එතනෝල්වලට ඉහළ ඉල්ලුමක් ලැබුණා. එතනෝල්වලටත් රුපියල් 800 ක වගේ පාලන මිලක් දානවා නම් හොඳයි. අපේ නිෂ්පාදන ධාරිතාව වැඩි කරගන්න පුළුවන්” හේ විස්තර කළේ ය.

ප්‍රධාන වශයෙන් මධ්‍යසාර නිෂ්පාදනයට යොදා ගන්නා එතනෝල් ද ලංකාවට ආනයනය කෙරෙන අතර, මෙරට වාර්ෂික එතනෝල් අවශ්‍යතාව ලීටර් බිලියන 26 ත් 27 ක් පමණ වේ. සීනි සමාගම්වල මූල්‍ය කාර්යසාධනය එතනෝල් අලෙවිය මත රඳා පවතින හෙයින්, රජයේ අවධානය මේ සඳහා යොමු විය යුතු ය. 

සීනි - ලුණු කතාවේ මුල මැද මෙසේය. අග කෙසේ වේදැයි කියන්න අපි නොදනිමු. කතාවේ හරය, පෙර සූදානමේ වැදගත්කමයි. වැස්ස යට ලුණු ප්‍රශ්නය සැඟවිය යුතු ද නැත. වැස්සේ බලපෑමක් තිබුණ ද කාලගුණ දත්ත වාර්තා මත පදනම්ව නිවැරදි වේලාවේ නිවැරදි ප්‍රමාණයක් ආනයනය කළ යුතු ය. ආනයනික සුදු සීනි තරමටම දුඹුරු සීනි ගැන රජයත් පාරිභෝගිකයාත් සිතිය යුතුය. දේශීය සීනි කර්මාන්තයට පණ එන්නේ එවිටය. 

උපුල් වික්‍රමසිංහ