
මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ ගැටුමකින් පසු එහි රැඳවියන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනකු මිය ගිය බව වාර්තා විය. බන්ධනාගාර දෙපාර්තමේන්තුව රජයේ දෙපාර්තමේන්තුවකි. එහි කාර්ය මණ්ඩලය පත්වීමේ ස්වභාවය අනුවම ස්ථීර, විශ්‍රාම වැටුප් සහිත නිලධාරීන් වශයෙන් සැලකිය හැකිය. එහි අදහස නිසි පරිදි රාජකාරි ඉටු කොට විශ්‍රාම ලැබීමෙන් අනතුරුව ඔවුන් විශ්‍රාම වැටුපකට හිමිකම් කියන බවයි.
රාජකාරිය ඉටු කරමින් සිටියදී අවදානමට ලක්වන හා මිය යා හැකි නිලධාරීන් ගණනාවක් අපගේ රාජ්‍ය සේවය තුළ සිටිති. යුද, ගුවන් හා නාවික හමුදා නිලධාරීන් හා සෙසු නිලයන් ඒ අතර ප්‍රමුඛ වේ. තිස් අවුරුදු යුද්ධයේදී මෙම ඉරණමට මුහුණ පෑ නිලධාරීන් දහස් ගණනකගේ මතක අප හදවත් තුළ පවතී. පොලිස් නිලධාරීන්, වනජීවී, සිවිල් ආරක්ෂක හා බන්ධනාගාර නිලධාරීන් ද බොහෝ විට තම රාජකාරි ස්වභාවය අනුවම අනතුරු හා දිවි අහිමි වීම්වලට ගොදුරු වී ඇති නිලධාරීන් පිරිසක් බවට බොහෝ සාක්ෂි හා උදාහරණ පවතී.
රාජකාරියේදී මිය ගියහොත් මරණ පාරිතෝෂිකයට යැපෙන්නෝ උරුමකම් කියති. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉල්ලීම් මත විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මෙම මරණ පාරිතෝෂිකය හිමි ගන්වයි. මෙය හිමි වන්නේ යැපෙන්නන්ටය. මිය ගිය නිලධාරියා විවාහක නම් ඔහුගේ කලත්‍රයා (භාර්යාව) හා රැකියා විරහිත අවිවාහක දරුවෝ මේ සඳහා හිමිකම් ලබති. අවිවාහක නිලධාරියකු වුවද ඔහුගේ යැපෙන්නන් මේ සඳහා හිමිකම් කියනු ලැබේ. අවිවාහක නිලධාරියකුගේ දෙමාපියන්ට හෝ දෙමාපියන් නොමැති නම් අවිවාහක රැකියා විරහිත සහෝදර සහෝදරියන්ට මෙම මරණ පාරිතෝෂිකයට අයිතිවාසිකම් කිව හැකිය. මරණ පාරිතෝෂිකයක් හිමි ගැන්වීමේදී මිය ගිය නිලධාරියා ස්ථීර විශ්‍රාම වැටුප් සහිත පත්වීමක් ලබා තිබීමත්, ඔහුගේ සේවය ස්ථීර කොට තිබීමත්, එමෙන්ම ඔහුගේ සක්‍රීය (ශුද්ධ) සේවා කාලය වසර 05ක් සම්පූර්ණ කොට තිබීමත් වැදගත් සාධක වේ.
මිය ගිය නිලධාරියා වෙනුවෙන් මරණ පාරිතෝෂිකයක් හිමි ගන්වන්නේ විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයෙහි ප්‍රතිපාදන අනුව ය. ඊට අමතරව වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ආඥා පනතේ ප්‍රතිපාදන අනුව ඔහු වෙනුවෙන් වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුපක් ද ගෙවනු ඇත.
නිලධාරියා මිය ගිය වහාම භාර්යාව වැන්දඹුවක් බවට පත් වේ. නිත්‍යානුකූල භාර්යාවට මුළු දිවිය පුරාවට මෙවැනි විශ්‍රාම වැටුපක් තම ස්වාමියා වෙනුවෙන් හිමි වේ. මරණ පාරිතෝෂිකය එකවර ගෙවනු ලබන දීමනාවක් වන අතර, වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප මාසිකව හිමි ගැන්වෙන ප්‍රතිලාභයකි. මෙම ප්‍රතිලාභය ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ගෙවීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව බැඳී සිටී. නිලධාරියා රාජකාරියේදී මිය යන විට ඔහුගේ භාර්යාව ද කිසියම් හේතුවක් මත මිය ගොස් සිටියේ නම් මෙම විශ්‍රාම වැටුප, අනත්දරු විශ්‍රාම වැටුපක් සේ ගෙවනු ඇත. මෙහිදී අනත්දරුවන් යනු වයස අවුරුදු 26ට අඩු රැකියා විරහිත දූ දරුවෝ වෙති.
අවිවාහක නිලධාරියකු මිය ගිය විට මරණ පාරිතෝෂිකය දෙමාපියන්ට හිමි වුවද, අවිවාහක නිලධාරියකු වෙනුවෙන් වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප දෙමාපියන්ට හිමි ගන්වනු නොලැබේ. හේතුව 1896දී සම්මත වූ මෙම ආඥා පනතේ විධිවිධානවලට අනුව මෙම විශ්‍රාම වැටුපට හිමිකම් කිව හැක්කේ වැන්දඹුවට හා අනත්දරුවන්ට පමණක් වීමයි.
මරණ පාරිතෝෂික ගෙවීමේදී මෙන්ම වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප ගෙවීමේදී ද යම් යම් කොන්දේසි බලපානු ඇත. ස්ථීර විශ්‍රාම වැටුප් සහිත පත්වීමක් තිබීම හා නීත්‍යානුකූල විවාහයක් පැවතීම ඉතා වැදගත් කොන්දේසි වනු ඇත. කෙසේ වුවද සේවය ස්ථීර කොට තිබීම හා අවම සේවා කාලයක් සපුරා තිබීම මෙම කාර්යයේදී වැදගත් සාධක වශයෙන් පිළිනොගැනේ.
සේවයේ යෙදී සිටියදී කුමන හේතුවක් මත මිය ගියද ඉහත සඳහන් කළ මරණ පාරිතෝෂික හා වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප හිමි වුවද, මරණයට බලපෑ හේතු සාධක අනුව තවත් ප්‍රතිලාභ ගණනාවක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හිමි ගන්වන බව බොහෝ දෙනකු නොදන්නා කරුණකි.
සේවයට පැමිණීමේදී, සේවය නිම කොට නිවසට යාමේදී හා රාජකාරිය ඉටු කරමින් සිටියදී හදිසි අනතුරු හෝ කැරලි කෝලහාල හේතුවෙන් යම් රාජ්‍ය නිලධාරියකු මිය ගියහොත් ඔහු වෙනුවෙන් විශේෂ ප්‍රතිලාභ කිහිපයක් හිමි ගැන්විය හැකි වන පරිදි රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ ගණනාවක් නිකුත් වී තිබේ. 22/93 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය හා එහි සංශෝධන මෙහිදී ඉතා වැදගත් වේ. ඒ අනුව රාජකාරියේදී මිය යාම හෝ පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වන නිලධාරීන්ට තම වැටුප මෙන් 120 ගුණයක එකවර දීමනාවක්, එනම් විශේෂ වන්දියක් ලබා ගත හැකි වේ. පූර්ණ ආබාධිත තත්ත්වයට අඩු වන අයට එම ආබාධිත තත්ත්වයේ ප්‍රතිශතය සලකා බලා වන්දි ලබා ගත හැකි වේ. මෙම වන්දි දැනට මිය ගොස් සිටින බන්ධනාගාර නිලධාරීන්ට මෙන්ම තුවාල ලබා සිටින නිලධාරීන් වෙනුවෙන් ද හිමි ගැන්විය හැකිය.
මෙම විශේෂ වන්දිය විවාහක හෝ අවිවාහක බව නොසලකා නිලධාරියාට හෝ යැපෙන්නන්ට ලබා ගත හැකි වේ. මෙම විශේෂ වන්දි මුදල අඩු කිරීමකින් තොරව හිමි ගන්වා ඇති විට ‘වන්දි විශ්‍රාම වැටුප‘ නමින් හැඳින්වෙන තවත් මාසික විශ්‍රාම වැටුපක් ද කලත්‍රයාට හා අනත්දරුවන්ට ලැබිය හැකි වේ. මෙම වන්දි විශ්‍රාම වැටුපෙහි දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයක් වන්නේ මිය ගිය නිලධාරියා අවිවාහක තැනැත්තකු නම් එය මවට ද ලබාගැනීමේ හැකියාව පැවතීමයි.
මේ අනුව මෙවැනි සිදුවීමකදී මරණ පාරිතෝෂිකය, වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප, විශේෂ වන්දි මෙන්ම වන්දි විශ්‍රාම වැටුප ආදී වශයෙන් ප්‍රතිලාභ ගණනාවක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් හිමි ගන්වන බව සඳහන් කළ යුතු වේ.
රජයේ සේවයට බැඳුණු නිලධාරීහු අග්‍රහාර රක්ෂණ ක්‍රමයට අනිවාර්යයෙන්ම දායකත්වය ලබති. එබැවින් එම අරමුදල ලබා දෙන ප්‍රතිලාභ සඳහා ද තවදුරටත් හිමිකම් පෑ හැකි වේ. එමෙන්ම ඉතා විශාල කාර්ය මණ්ඩලයක් සිටින පොලීසිය, බන්ධනාගාර වැනි දෙපාර්තමේන්තුවල සේවක සුභසාධනය වෙනුවෙන් පිහිටුවා ඇති විවිධ අරමුදල් දැකිය හැකිය. එම අරමුදල්වලින් ද විශේෂ මරණාධාර හා රක්ෂණාධාර ගෙවනු ලබන අවස්ථා දැකගත හැකිය.
මේ ගෙවීම් සියල්ලටම අමතරව ඇති වූ තත්ත්ව සැලකිල්ලට ගෙන, රාජකාරියේදී මිය යන හෝ ආබාධිත තත්ත්වයට පත් වන නිලධාරීන්ට සුවිශේෂී වරප්‍රසාද හා ප්‍රතිලාභ හිමි ගැන්වීමට අමාත්‍ය මණ්ඩලයට හා ජනාධිපතිවරයාට අවකාශ පවතී. හිටපු මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය රාජකාරිමය වශයෙන් කටයුතු කරමින් සිටියදී මිය ගිය අවස්ථාවේදී මෙවැනි විශේෂ සහන හා ප්‍රතිලාභ අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දීම ඊට උදාහරණයකි.
නිලධාරියකු මිය ගිය අවස්ථාවකදී විවිධාකාර වූ මෙම ප්‍රතිලාභ හා සහන කලත්‍රයාට, යැපෙන්නන්ට හා අනත්දරුවන්ට හිමි ගැන්වීමට නීතිමය ප්‍රතිපාදන සලසා ඇත්තේ රාජ්‍ය සේවයට ගරු කිරීමක් වශයෙන් යැයි ඇතැම් විට සැලකිය හැකිය. එය වෙනත් ආකාරයකින් කිවහොත් මිය ගිය ස්වාමියා හෝ පියා යළි ගෙනදීමට රජයට කිසිදු හැකියාවක් නොමැත. ඒ වෙනුවෙන් ලබා දෙන වන්දිය මෙම ප්‍රතිලාභ වශයෙන් හැඳින්විය හැකිය.
ආචාර්ය
කේ. ඒ. තිලකරත්න
හිටපු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් හා හිටපු බන්ධනාගාර කොමසාරිස්

