රටට කඩාවැදුණු ඩෙංගු සුනාමිය


ඩෙංගු අධිවසංගත තත්ත්වය ලංකාව කරා ළඟාවීමත් සමඟ ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන පළාත්වල රෝහල් වෙත රෝගීන් භාර ගැනීමට නොහැකි අර්බුදකාරී  බවක් නිර්මාණය වී ඇති බව වෛද්‍යවරු පෙන්වා දෙති. මෙලෙස ඩෙංගු රෝගීන් ශීඝ්‍රයෙන් ඉහළ යන පසුබිමක ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර ඉරිදා ලංකාදීපයට පවසා සිටියේ 2026 වසරේ ගත වූ කාලයේ මුළු දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 49000කට ආසන්නව වාර්තා වී ඇති බවයි. පසුගිය 22 වැනි දින වන විට ගෙවී ගිය පැය විසි හතරක කාලයේ දිනකට වාර්තා වූ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ලෙස රෝගීන් 1069 ක් මෙරටින් හමු වී ඇත.

මේ වනවිට වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වනුයේ බස්නාහිර පළාතෙන් වන අතර එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 52.3 ක් වේ. ඉන් පසු පිළිවෙළින් දකුණු පළාතෙන් සියයට 16.7 ක් ද සබරගමු පළාතෙන් සියයට 9 ක් ද ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වන අතර මධ්‍යම, වයඹ සහ නැගෙනහිර යන පළාත්වලින් ද රෝගීන් වාර්තා වී ඇති බව ඔහු සඳහන් කරයි. මේ පළාත් 06 ට අදාළ වන දිස්ත්‍රික්ක 14 ක් මේ වනවිට අධි අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇත. ප්‍රධාන වශයෙන් කොළඹ, ගම්පහ, මාතර, කළුතර, රත්නපුර, ගාල්ල, මහනුවර, හම්බන්තොට, කෑගල්ල, කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. 

එම ප්‍රදේශවලට අදාළ වන සෞඛ්‍ය නිලධාරි කොට්ඨාස 112 ක් ද ග්‍රාම නිලධාරි කොට්ඨාස ආසන්න වශයෙන් හයසියයක් පමණ ද ඒ අධිඅවදානම් කලාප යටතේ පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. එසේම මේ වනවිට මුළු දිවයිනෙන්ම ඩෙංගු නිසා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 30 කි. 

ආසන්න දින කිහිපයක සිට දිනකට සාමාන්‍යයෙන් ඩෙංගු රෝගීන් 650- 750 අතර ප්‍රමාණයක් වාර්තා වන බව වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළ අතර මේ වන විට රට තුළ පැතිර යමින් තිබෙනුයේ DEN V2 යන කාණ්ඩයේ ඩෙංගු වෛරසය බවද ඔහු පැවසීය. ඊට අමතරව ඩෙංගු රෝග වාහක ඊඩිස් ඊජිප්ටයි මදුරුවන්ගේ ගහණය ද ශීඝ්‍ර ලෙස වැඩි වෙමින් පවතින බවත් එම මදුරුවන් නගරාශ්‍රිතව සහ ගෘහාශ්‍රිතව වාසය කරන බවත් මේ හේතුව නිසා නගරබද ප්‍රදේශ තුළ ඩෙංගු රෝගීන් ප්‍රමාණය ඉහළ යන බවත් ඔහු පැහැදිලි කළේය. 

කෙසේ වෙතත් මේ වන විට පැතිර යන DEN V2 වෛරසය 2017 වසරේදී ද ලංකාවේ පැතිර ගොස් ඇති අතර එහිදී ජීවිත 440 ක් පමණ බිලිගෙන ඇත. 

මේ තාක් කාලයක් මෙරට වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ DEN V3 වෛරසයට බැවින් මේ වසරේ DEN V2 පැතිර යාම නිසා අලුත් වෛරසයට ප්‍රජාවගේ ඇති ප්‍රතිශක්තිය හීන වීම හේතුවෙන් ඔවුන් ඉතා ඉක්මනින් රෝගයට ගොදුරු වීමේ හැකියාවක් පවතින බව වෛද්‍යවරයා තවදුරටත් සඳහන් කළ අතර එය තත්ත්වය දරුණු වීමට බලපා ඇති බවද සඳහන් කළේය. මේ වනවිට වාර්තා වන ඩෙංගු රෝගීන්ගෙන් සියයට හැත්තෑ පහක්ම DEN V2 වෛරසයට ගොදුරු වූ රෝගීන් බව ද ඔහු තවදුරටත් පැවසීය. 

දිගින් දිගටම වැඩිවන රෝගීන් සංඛ්‍යාවත් සමඟ විශාල පීඩනයක් හමුවේ වුවද සෞඛ්‍ය අංශ විසින් ගනු ලබන පියවර පිළිබඳව ඔහු පැහැදිලි කළේය.

පැතිර යන DEN V2 කාණ්ඩයේ ඩෙංගු 2017 දී 440 ක් බිලි අරන්. මේ වනවිට රටේ පැතිර යන්නෙත් DEN V2 කාණ්ඩයේ ඩෙංගු වෛරසයයි.

"ජනතාවට අපි කියන්නෙ උණ තත්ත්වයක් තිබෙනවා නම් සහ එය දින දෙකක් පමණ පවතිනවා නම් රෝහල් ගත වී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුයි බවයි. රෝහල් වෙත එන සියලුම රෝගීන් සුදුසුකම් සහිත වෛද්‍යවරුන් යටතේ පරීක්ෂා කෙරෙන බැවින් රෝහල් වෙත නොපැමිණීමෙන් වැළකීමට ජනතාව වග බලා ගත යුතු වෙනවා. මේ දිනවල රෝහල් බොහොමයක් තමන්ගේ උපරිම ධාරිතාවලට ඇවිත් තිබෙනවා. රෝගීන් සංඛ්‍යාව වැඩිවීම රෝහල් කාර්ය මණ්ඩලයටත් ලොකු පීඩාවක්. නමුත් ඔවුන් තවමත් ශක්තිමත්ව ඒ කටයුතු කරගෙන යනවා."

ඩෙංගු රෝගීන් ගණන තවදුරටත් ඉහළ ගියහොත් එය රෝහල් පද්ධතියට දරා ගත නොහැකි මට්ටමට ආ හැකි බවත් එහි පාඩුව වන්නේත් ජනතාවටම වන බවත් ඔහු සඳහන් කළේය. 

මෙම තත්වයේ ඇති බරපතළ බව ඉස්මතු කරමින් ඔහු කියා සිටියේ එකවර විශාල පිරිසක් ඩෙංගු රෝගයට ගොදුරු වීමෙන් එය රටේ ආර්ථිකයට ද විශාල බලපෑමක් සිදු කරන බවයි. රෝගයට ගොදුරු වී ඇති බොහොමයක් අවුරුදු 20 -49 අතර වැඩ කරන වයසේ ජනගහනයට අයත්  ය. 

වෛද්‍ය කපිල කන්නන්ගර තවදුරටත් අදහස් දක්වමින් ඩෙංගු රෝගය වැලඳුණ අයෙක් සාමාන්‍ය උණ රෝගියකුගෙන් වෙන්කර හඳුනාගන්නා ආකාරය පිළිබඳවද සඳහන් කළේය. 

උණ තිබෙනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ගන්න

"උණ කියන්නෙ ඕනෑම කෙනෙකුට වැලඳෙන්න පුළුවන් රෝග තත්ත්වයක්. මේක ඩෙංගු, චිකුන්ගුන්යා, ඉන්ෆ්ලුවන්සා හෝ මෙනින්ජයිටීස් තත්ත්වයක් වෙන්න පුළුවන්.මේ හැම අවස්ථාවකම උණ කියන්නෙ පොදු තත්ත්වයක්. නමුත් විශේෂයෙන්ම මේ දිනවල ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නෙ තමන්ට හෝ තමන්ගෙ සමීපතමයකුට උණ තත්ත්වයක් තිබෙනවා නම්  මුලින්ම ඒ ඩෙංගු කියලා සැක කරන්න කියලයි. ඊට පස්සෙ වෛද්‍ය උපදෙස් අරගෙන , පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව අපට නිශ්චය කරන්න පුළුවන් ඒ ඩෙංගු ද නැත්නම් වෙනත් තත්ත්වයක් ද කියලා. 

ඒ අනුව ලේ වාර්තාවලට අනුව වෛද්‍යවරුන්ට රෝගියා රෝහල් ගත විය යුතුද නැත්නම් නේවාසිකව වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා දිය හැකිද යන්න තීරණය කිරීමේ හැකියාව තිබෙනවා."

මෙහිදී දියවැඩියාව, අක්මා රෝග, අධි රුධිර පීඩනය, වකුගඩු රෝග වැනි නිදන්ගත රෝග ඇති අය මෙන්ම කුඩා දරුවන් සහ ගැබිනි මව්වරුන් ද වයසක උදවියද මේ තත්ත්වය යටතේ ඉතාමත් ප්‍රවේශම් විය යුතු වන්නේ ස්වාභාවිකවම ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ මට්ටම අඩු මට්ටමක පවතින නිසා බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

ඩෙංගු වෛරසය සම්පූර්ණයෙන්ම තුරන් කළ නොහැකි බව සඳහන් කළ ඔහු කියා සිටියේ වෛරසය ශරීරයට ඇතුළු වීම වළක්වාගැනීමට කටයුතු කළ යුතු බවය. 

එනම් ඩෙංගු වාහකයා හෙවත් ඩෙංගු පතුරුවන මදුරුවන් තුරන් කිරීමට කටයුතු කළ යුතු බවය. ඒ සඳහා මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීම කළ යුතු අතර එයට රටේ සියලු දෙනා, විශේෂයෙන් ජනතාව එක් වී කටයුතු කළ යුතු බව කපිල වෛද්‍ය කන්නන්ගර පවසා සිටියේ එය රටේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටත්, රජයටත් එවැන්නක් තනිව ක්‍රියාත්මක කළ නොහැකි නිසාය.

ඒ අනුව ඩෙංගු රෝගින් ශීඝ්‍ර ලෙස ඉහළ යාම මරණවලට අත වැනීමක් විය හැකි බැවින් වසංගත තත්ත්වය පාලනය කිරීම ඉතා ඉක්මනින්ම කළ යුතු බව ඔහු පැවසුවේය.

සෞඛ්‍ය කීට විද්‍යා සංගමයේ සභාපති නජිත් සුමනසේන කියා සිටියේ ඩෙංගු පතුරුවන ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරු වර්ග දෙකෙන් එකක් හෝ දෙකම යම් පුද්ගලයකුට දෂ්ට කිරීමෙන් ඩෙංගු වෛරසය ශරීරගත වන බවය. ඉන් පසු ආසන්න වශයෙන් සතියක පමණ ආසාදිත කාලයක් ගත වීමෙන් අනතුරුව වෛරසය ශරීරයට ඇතුළු වීම නිසා ඩෙංගු උණ රෝගය වැලඳීමේ හැකියාව පවතින බවය.

මදුරුවන් වර්ධනය වීමට සුදුසු පරිසර තත්ත්වයන් නිර්මාණය කිරීම මෙවැනි බරපතළ වසංගත තත්ත්වයක් ඇතිවීමට තුඩු දෙන බව ඔහු පැහැදිලි කළේය. 

මිනිස් ක්‍රියාකාරකම් මත ඩෙංගු මදුරුවන්ට බෝවීමට හිතකර පරිසරයක් ගොඩනැගෙන අතර ඩෙංගු මදුරුවාට බිත්තර දැමිය හැකි පිරිසිදු ජලය එක් රැස් වෙන කෘත්‍රිමව නිර්මාණය කරන ලද ස්ථාන බෙහෙවින් හේතු වන බවද ඔහු කියා සිටියේය. මීට අමතරව කඩින් කඩ ලැබෙන වර්ෂාපතනය ද ඩෙංගු රෝගය වසංගත තත්ත්වයක් ලෙස ව්‍යාප්ත වීමට බලපායි.  කොළඹ , ගම්පහ , කළුතර මේ වනවිට වැඩිම ඩෙංගු රෝගින් පිරිසක් වාර්තා වන දිස්ත්‍රික්ක බවට පත්වීමට බලපා ඇත්තේ ජනාකීර්ණ බව සහ මදුරුවන් බෝ වීමට ඉඩ කඩ ඇති ස්ථාන ද බහුල වීම බව ඔහු පැවසීය. එබැවින් වැඩි පිරිසකට දෂ්ට කිරීමේ හැකියාව මදුරුවාට ද පවතී. ඒ හේතුව බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන් සියයට 50කට වැඩි ප්‍රමාණයක් ඉක්මවාලීමට බලපායි. 

විශාල ලෙස එකවර ඩෙංගු රෝගීන් වැඩි වීම රටේ සමස්ත සෞඛ්‍ය පද්ධතියට දැඩි බලපෑමක් කරන අතර රෝහල් පද්ධතිය එවැනි දැඩි තත්ත්වයක් සඳහා සෑමවිටම සූදානම්ව නොපවතින බව ඔහු සඳහන් කළේය. සෑම රෝගියකු හටම සෞඛ්‍ය සේවාව මගින් ලබාදෙන සියලු ප්‍රතිකාර එවැනි තත්ත්වයක් මතු වුව හොත් ලබා දෙන බවත් මේ ප්‍රතිකාර මේ වසරේ මේ දක්වා ඩෙංගු නිසා සිදු වූ මරණ සංඛ්‍යාව මේ තරමට අඩු මට්ටමක පවත්වාගැනීමට උපකාරී වී ඇති බවත් ඔහු සඳහන් කළේය. 

ඩෙංගුවලට සරසවි සිසුන් ගොදුරු වීමේ මූලික හේතුව බෝඩිම්වල අවට පිරිසිදුකමේ ඇති අඩුපාඩු 

වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය අංශත් වසංගත රෝගවලට අදාළ විද්‍යාඥයනුත් දිගින් දිගටම ඩෙංගු වෛරසයේ ඇති බරපතළ බව හෙළිදරව් කරන පරිසරයක ඉතාමත් මෑත දිනක ඩෙංගු රෝගයට ගොදුරු වීම නිසා මිය ගිය සරසවි ශිෂ්‍යාවකගේ අනුවේදනීය සිදුවීමක්ද වාර්තා විය. මෙලෙස මිය ගොස් ඇත්තේ රුහුණු විශ්වවිද්‍යාලයේ 46 වැනි කණ්ඩායමේ සාමාජිකාවක වූ සඳලි තාරකාය.ඇය මානව ශාස්ත්‍ර හා සමාජවිද්‍යා පීඨයේ ඉගෙනුම ලබමින් සිටි විද්‍යාර්ථිනියකි. සඳලිගේ මරණය පිළිබඳව ඇගේ විශ්වවිද්‍යාලයේ හොඳම මිතුරිය ඉරිදා ලංකාදීපයට මෙසේ පැවසුවාය. 

"සඳලි අන්තිමට කැම්පස් ආවේ ගිය අඟහරුවාදා. වෙනදා වගේම සතුටින් කතා බහ කරලා ඉඳලා තමයි බෝඩිමට ගියේ. එදා කැම්පස් ගිහින් යන ගමනුත් මට කතා කළා. එයා කිව්වා උණ හැදිලා ඉන්නෙ හරි අමාරුයි කියලා. ඊටපස්සෙ එයාගෙ ගෙදරටත් කතා කරලා ගෙදර එක්කන් ගියා අම්මලා ඇවිත්. ඊටපස්සෙ තමයි දෙණියාය හොස්පිට්ල් එකට ඇඩ්මිට් කළේ. දවස් පහක් විතර හිටියා හොස්පිට්ල් එකේ. ඊටපස්සෙ පහුවදා තමයි එයාට අමාරු වුණේ. එතනින් 22 වෙනිදා කරාපිටියට මාරු කරලා. "

සඳලිගේ බෝඩිම් කාමරයේම තවත් ඩෙංගු රෝගයට ගොදුරු වූ තරුණියක් සිටි බව ඇගේ මිතුරිය සඳහන් කළාය. ඩෙංගුවලට සරසවි සිසුන් ගොදුරු වීමේ මූලික හේතුව බෝඩිම් අවට පිරිසිදුකමේ ඇති අඩුපාඩුව බවද ඇය සඳහන් කළාය. 

මුදල් ගෙවා බෝඩිම්වල රැඳී සිටින දරුවන්ගේ ජීවිත හෑල්ලුවට ලක්වීම  කණගාටුදායක කරුණකි.

කළුතර ප්‍රදේශයේ  කර්මාන්තපුරයකටම  ඩෙංගු 

පුලටර්න් වත්ත ග්‍රාම නිලධාරි වසම සහ රජවත්ත අලුත් කොටස යන ප්‍රදේශ ඩෙංගු රෝගයට ගොදුරු වී ඇති බව එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක උදයංගගෙන් කළ විමසීමකදී සඳහන් කළේය. මෙම ප්‍රදේශයෙන් දැනට රෝගීන් 45 ක් පමණ ආසන්න වශයෙන් වාර්තා වන බවත් කිසිදු මරණයක් වාර්තා නොවන බවත් ඔහු පැවසීය. කර්මාන්තපුරයකට යාබදව පිහිටි ගම් දෙකක් වන මේ ප්‍රදේශවල කර්මාන්තපුරය ආසන්නයේම පවතින ගෙවල්වල මෙලෙස ඩෙංගු රෝගීන් වාර්තා වන බව ඔහු විසින් තවදුරටත් සඳහන් කළේය. දැනුවත් කිරීම් සිදු කර තිබුණ ද ඇතැම් පිරිස්වල නොසැලකිලිමත්කම නිසා මෙන්ම කර්මාන්තපුරයේ ඇති කර්මාන්ත කිහිපයකම මදුරුවන් ඉවත් කිරීමේ කටයුතුවල ඇති අඩුපාඩු මෙලෙස ඩෙංගු වෛරසය ව්‍යාප්ත වීමට හේතු වී ඇති බව ද ඔහුගේ අදහසයි. 

මේ වනවිට තත්ත්වය පාලනය කිරීම සඳහා දිගින් දිගටම නිවාස පරීක්ෂා කිරීම, අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම, දුම්හරණය කිරීම වැනි ක්‍රියාමාර්ග කිහිපයක්ම ක්‍රියාත්මක කෙරෙමින් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ඉදිරි සතියෙහි දී ඩෙංගු රෝගීන් වාර්තා වීම අඩු කර ගත හැකි වෙතැයි අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය. 

හිතනවාට වඩා තත්වය භයානකයි

දිනෙන් දින ශීඝ්‍රයෙන් ඉහළ කාලසීමාවක ජනතාවට කරන දැනුම්වත් කිරීම් නොසලකා හරිමින් කටයුතු කරන පුද්ගලයන්ට නීතිමය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මහජන සෞඛ්‍ය සංගමයේ වැඩ බලන සභාපති උපුල් රෝහණ පැහැදිලි කළේය.

"මදුරුවන් බෝවන ස්ථාන පවත්වා ගෙන යන්නන්ට එරෙහිව මේ වනවිට නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. බස්නාහිර පළාත් සෞඛ්‍ය ප්‍රඥප්තිය යටතේ පළාත් සභාවට හදපු නීතියක් යටතේ මදුරුවන් බෝවන ස්ථානවලට ස්ථානීය දඩ රුපියල් දෙදහස දක්වා වූ උපරිම දඩ නිකුත් කරනවා. මහේස්ත්‍රාත් අධිකරණයක පළවෙනි වරට වරදකරුවෙක් වූ විට රුපියල් විසිපන්දහසක් දක්වා දඩයක් අය කිරීමේ හැකියාව තිබෙනවා.  දෙවන වර හා ඊට පසු පනස්දහස දක්වා දඩ නියම කිරීමට හැකියාව පවතිනවා. ඊට අමතරව  දණ්ඩ නීති සංග්‍රහයේ පවතින වගන්තිවලට අනුව දඩ නියම කිරීමත් සිදු කෙරෙනවා."

කොළඹ, ගම්පහ, මාතර, කළුතර, රත්නපුර, ගාල්ල, මහනුවර, හම්බන්තොට, කෑගල්ල, කුරුණෑගල අධි අවදානම්

මෙවැනි අසීරු මොහොතක රාජ්‍ය අංශය හෝ පෞද්ගලික අංශය හෝ  වගකිව යුතු සෞඛ්‍ය සේවා අංශ අත්තනෝමතික ලෙස ක්‍රියා කරන්නේ නම් එය මුළු යාන්ත්‍රණයටම ප්‍රබල කම්පනයක් ඇති කරයි. මෙවැනි මොහොතක බස්නාහිර පළාතේ ඩෙංගු මර්දන කාර්ය සාධක බළකාය විසිරුවා ඇති බවට තොරතුරු වාර්තා විය.මේ පිළිබඳව උපුල් රෝහණ ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

"බස්නාහිර ඩෙංගු මර්දන කාර්ය සාධක බළකාය විසිරුවා හැරියේ ඇයි කියන දේ ගැන මට අවබෝධයක් නැහැ. පළාත් සභාවක් ඇතුළෙ එවැනි ඒකකයක් තිබීම ඉතාමත් වැදගත්. බස්නාහිර පළාතෙ පමණක් නොවෙයි අනෙක් පළාත් තුළත් එවැනි ඒකක ක්‍රියාත්මක කිරීම ඉතාම වැදගත්."

ඉමේෂි මන්දිරා ජයරත්න