
ඔබ මීට දින කීපයකට උඩදි ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ජගත් ධෛර්යවත් කාන්තාවට හිමි 2025 වසරේ සම්මානය දිනා ගනු ලැබුවා. ඒ ඇගයුම ගැන මොකද හිතන්නෙ?
අපිට ධෛර්ය තියෙනවා කියලා පිට අය තමයි හිතන්නෙ. අපි කරන්නෙ අපේ රැකියාව. මම හිතන්නෙ මාධ්‍යවේදය කියන්නෙ හදවතින් එන වෘත්තියක්. මාධ්‍යවේදීන්ට ලැබෙන්නෙ අවම වැටුප්. වෘත්තිය කරගෙන යද්දි නොයෙක් බලපෑම් එනවා. මේ සියලු දේත් එක්ක අපි මේ රස්සාව කරන්නෙ විශාල කැපවීමකින්. ඒ වෘත්තියට තියෙන ආදරේට. එහෙම නැතුව අපි ඇගයුමට ලක් වෙනවා කියලා හිතාගෙන කරන රස්සාවක් නොවෙයි. මේ සම්මානය සඳහා මගෙ නම යෝජනා වෙලා තියෙනවා කියලා දැනගත්ත වේලාවෙ මට ඇති වුණු පළමු වැනි ප්‍රශ්නය තමයි, ඔය කියන ධෛර්යවන්තභාවය මට තියෙනවද කියන එක. නාමයෝජනාව ආවෙ ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන්. ඒගොල්ලො මගෙන් ඇහුවා මේ සම්මානය සඳහා මගේ නම යෝජනා කළාට කමක් නැද්ද කියලා. මම ඒකට අපේ පත්තරේ කර්තෘතුමාගෙන් අවසර ගන්න කලින් මම තානාපති කාර්යාලයේ අයගෙන් ඇහුවෙ මේ සම්මානය සඳහා මගේ නම යෝජනා කරන්න තරම් මට ධෛර්යවන්තකමක් (සම්මානය සඳහා සලකා බලන) තියෙනවද කියලා. ඒකට ඒ අය දුන්නු උත්තරය තමයි, මේ සම්මානය සඳහා නාම යෝජනා වුණු ලෝකෙ අනිත් රටවල ගැහැනු අයත් අහන්නෙ මේ ප්‍රශ්නයම යි කියලා. මට මේ සම්මානය ලැබුණු එක ගැන සතුටුයි. ඒක රටටත් මාධ්‍යවේදයටත් හොඳයි.
වංචා දූෂණ අනාවරණ කිරීම් සහ ගවේෂණාත්මක මාධ්‍යකරණයට වැඩි උනන්දුවක් දක්වන ඔබට, මේ සම්මානය ලැබෙන්නෙත් වංචා දූෂණ අනාවරණය කිරීම සහ වගවීම ඉස්මතු කිරීම වෙනුවෙන්. ඒ ගැන ඔබට විශේෂ සතුටක් තියෙනවා ද?
පැවති යුද්ධය හා දේශපාලන අස්ථාවරභාවය නිසා ලංකාව ගැන ලෝකයට තිබුණෙ සෘණාත්මක ආකල්පයක්. මම හිතන විදිහට, මේ සම්මානය මට ලැබුණෙ මම කරන මාධ්‍යවේදයේ ස්වභාවයට. ලංකාව වෙන කවර අංශයකින් අසාර්ථක වෙලා තිබුණත් මාධ්‍යවේදය පැත්තෙන් අසාර්ථක වෙලා නෑ කියන මතයෙ මම ඉන්නවා. අපි අපේ රැකියාව හරියට කළා.
මේ සම්මානය පළමු වතාවට ද ලාංකිකයෙකුට ලැබුණෙ?
මීට කලින් මානව හිමිකම් ක්‍රියාකාරිනියකට ලැබිලා තිබුණා. නමුත් මාධ්‍යවේදිනියකට ලැබුණෙ පළමු වතාවට. මේ සම්මානය ලංකාවේ ගවේෂණාත්මක මාධ්‍ය කලාවට ලැබුණු විශාල පිළිගැනීමක්. යුද්ධය ඉවර වුණාට පස්සෙ මම අවුරුදු දහයක් තිස්සෙ ලිව්වෙ වංචා දූෂණ හා වගවීම ගැන. රට සහ ක්‍රමය හදන අරමුණින් තමයි අපි ගවේෂණාත්මක මාධ්‍ය කලාවෙ නිරත වෙන්නෙ. අපි ලියන දේවල්වලින් යම් යම් වෙනස්කම් සිදු වුණාට ඒවා මිනිස්සු දැකලා තියෙනවා කියලා අපි දැනන් හිටියෙ නෑ. මේ සම්මානයෙන් ඒකත් ඔප්පු වුණා.
ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ට විවිධ බාහිර හා අභ්‍යන්තර බලපෑම්වලට මූණ දෙන්න සිදුවෙනවා. ඔබේ වසර 30 ක මාධ්‍ය ජීවිතයේදී ඔබ මේ විදියෙ බලපෑම්වලට මුහුණ දුන්නෙ කෙසේ ද?
මේ මාධ්‍ය කලාවෙදි මම උපාය මාර්ගිකයි. ඒ සඳහා මට දිගටම උදව් කළේ කර්තෘවරු. ආයතන ඇතුළින් එන බලපෑම් තියෙනවා. හැමතැනින්ම එන බලපෑම් තියෙනවා. හැබැයි මම කරන්න පුළුවන් දේ කළා. මටත් තර්ජන තිබිලා තියෙනවා. ඒත් ඒවා රැකියාව එපා වෙන තැනට යන්න නොදී මම පාලනය කළා. නමුත් ඕනෑම කතාවක් එක්ක මම ඉස්සරහට යනවා. දැන් මම ලිඛිත සාක්ෂි නැතුව ගවේෂණාත්මක අනාවරණ කරන්නෙ නෑ. අපි ලියන දේකින් උසාවි යන්න වුණොත් ඒකෙන් ආයතනයටත් වියදම්නෙ. ගවේෂණාත්මක මාධ්‍ය කලාවෙන් මුදල් හම්බ වෙන්නෙ නෑ. මේක මහජන සේවයක් වගේ. ඒ නිසා අපේ ආරක්ෂාවත් රැකගෙන උපායමාර්ගිකව වඩාත් ප්‍රබල අනාවරණ කළ යුතුයි.
ගවේෂණාත්මක මාධ්‍ය කලාව රටේ දේශපාලන සංස්කෘතියට වගේම නීතියටත් සංවේදියි. මේ දෙක දැනගෙන සිටිය යුතුයි. ඒ දෙපැත්තෙන් එන අභියෝග උපායාත්මකව මගහරිමින් ඔබ මේ මාධ්‍ය කලාව කරගෙන ගියේ කොහොම ද?
ගවේෂණාත්මක මාධ්‍ය කලාවෙ කවුරුවත් තනියෙන් වැඩ කරලා නෑ. මගේ පිටිපස්සෙ ආයතන තියෙනවා. මම කවදාවත් නිදහස් මාධ්‍යවේදිනියක් වශයෙන් කටයුතු නොකළේ මට ආයතනික ආරක්ෂාවක් අවශ්‍යයි කියන එක කලින් ම තේරුණු නිසා. මම කරන අනාවරණ සම්බන්ධයෙන් එල්ල වෙන නීතිමය ප්‍රශ්නවලදි මට තනියෙන් නඩු කියන්න හැකියාවක් නෑ. මට ඒක කරන්න සල්ලිත් නෑ. මගේ අවුරුදු 30 ක මාධ්‍ය ජීවිතයේ දී එල්ල වුණු දේශපාලන හා වෙනත් තර්ජන වලදි මාව ආරක්ෂා කරන්න කතෘවරයෙක් හිටියා කියන විශ්වාසය තිබුණා. ඒ අය නැතුව මේක කරන්න බෑ. ලැබෙන කතා ගැන අපි සාකච්ඡා කරනවා. ඊට පස්සෙ එල්ල විය හැකි අභියෝග තක්සේරු කරලා තමයි පළ කරන්නෙ. තොරතුරුවල නිරවද්‍යතාව සියයට සියයකින් තහවුරු කර ගන්නවා. අපි හැම කතාවක්ම කඩාගෙන යන්නෙත් නෑ. වෙන අය ධෛර්යවත් වුණේ නැත්නම් අපිට ගවේෂණාත්මක මාධ්‍ය කලාව කරන්න බෑ. තර්ජන බලපෑම් තියෙන්නෙ අපිට විතරක් නොවෙයි. අපිට තොරතුරු දෙන අයත් විශාල අවදානමක් ගන්නවා. ඒ නිසා මට තොරතුරු දෙන පාර්ශ්වවලට මම නිතරම කියන්නෙ ඔවුන්ට තියෙන අවදානම මටයි මගේ ආයතනයටයි දෙන්න කියලා. මම එයාලට කියන්නෙ එක දෙයයි, ලබා දෙන තොරතුරු මත මම කරන අනාවරණයක් නිසා මට උසාවි යන්න වුණොත් ඒ තොරතුරුවලින් මට නඩුව දිනන්න පුළුවන් වෙන්න ඕනෑ. මට මේ වෙනකන් කිසිම නඩුවක් වැටිලා නෑ. මම කනිෂ්්‍ඨ මාධ්‍යවේදියෙක් වශයෙන් වැඩ කරන කාලෙ නඩුවක් වැටුණා. නමුත් ඒක විසඳුණා.
තොරතුරු වෙත ප්‍රවේශ වීම මාධ්‍යවේදීන්ට තියෙන විශාල අභියෝගයක්. විශේෂයෙන්ම රාජ්‍ය අංශයෙන් තොරතුරු ලබා ගැනීම අපහසුයි. තොරතුරු දැන ගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් වී තිබුණත් තවමත් මාධ්‍යවේදීන් අඩුවැඩි වශයෙන් මේ අභියෝගයට මුහුණ දෙන බවක් නිරීක්ෂණය වෙනවා. ඔබ මේ ගැන මොකද හිතන්නෙ?
තොරතුරු දැන ගැනීමේ පනත එන්නත් කලිනුයි අපි මේ දේවල් කළේ. මම අලුත් අයට කියන්නෙ ගවේෂණාත්මක මාධ්‍ය කලාව ලේසි නෑ කියන එක. කෝල් දීලා තොරතුරු අරගෙන ලියන එකවත් මාධ්‍ය හමුවකට ගිහින් ඒ කියන දේවල් ලියන එකවත් උද්ඝෝෂණයක් ආවරණය කරන එකවත් නොවෙයි ගවේෂණාත්මක මාධ්‍ය කලාව කියන්නෙ. ඒ නිසා මේක ඉතාම අමාරුයි. අනිත් එක තමයි ක්ෂේත්‍රයට ආවහම විශ්වාසය ගොඩනඟා ගන්න ටිකක් කල් යනවා. ඒ නිසා අලුත් අය මේ ක්ෂේත්‍රයට එනවා නම් අඩුම අවුරුදු දහයක්වත් අල්ලගෙන ඉන්න ඕන. මට දැන් කතා විශාල වශයෙන් එනවා. ඒකට හේතුව විශ්වාසය ගොඩනගා ගෙන තිබීම. සන්ඩේ ටයිම්ස් පත්තරේ ඉන්න අනිත් ජ්‍යෙෂ්ඨ අයත් පළපුරුද්ද අත්දැකීම් තියෙන අය. අදට හෙටට බයි ලයින් (නම) දාගන්න බලාගෙන ඉන්න මාධ්‍යවේදීන්ට මම කරන දේවල් කරන්න බෑ. තොරතුරු කියන දේවල් ඉතාම වැදගත්. තොරතුරු දැන ගැනීමේ පනත පාවිච්චි කරන්න ඕන. හැබැයි ඒ පනත නැතුවත් තොරතුරු ලබා ගත හැකි ක්‍රම හදාගන්න අවශ්‍යයි. මොනවා හරි දෙයක් වෙනවා නම් කාගෙ හරි ළඟ ඒ තොරතුරු තියෙනවා. විශ්වාසය ගොඩනඟා ගන්න කියලා කිසිම ආණ්ඩුවක පැත්තෙ ඉන්නවා කියලා පෙන්නන්න හොඳ නෑ. කිසිම ආණ්ඩුවකට පක්ෂයකට පක්ෂපාතී විය යුතු නෑ. මොකද අපි ඉන්නෙ ජනතාව සමග. අපි තේරුම් ගන්න ඕන දේශපාලනඥයො කියන්නෙ තමන් ගැන හිතන පිරිසක්. මම උත්සව වලට යන්නෙ නෑ. කොක්ටේල් වලට යන්නෙ නෑ. මට ඒ වගේ දේවල් වලට ආරාධනා කරද්දි මම කෙළින්ම කියනවා මට ආරාධනා කරන්න එපා කියලා. ඒ නිසා දැන් මට ආරාධනා එන්නෙත් නෑ. එකපාරක් මට හැම්පර්ස් එකක් ආවා. නමුත් මම ඒක හරවලා යැව්වා. මම ඒ අයට කෝල් කරලත් කිව්වා මම හැම්පර්ස් බාර ගන්නෙ නෑ කියලා. අපි කරන දේ ගොඩක් අමාරුයි. වෙලාවකට ලොකු පාළුවකුත් දැනෙනවා.

සම්මානය ප්‍රදානය කළ අවස්ථාව
මාධ්‍යවේදීන්ට විවිධ වරප්‍රසාද හා වරදාන ලබා දෙන්න නොයෙක් පාර්ශ්ව විශාල උනන්දුවක් දක්වනවා. දේශපාලන පක්ෂත් මේ දේ කරන තත්ත්වයක් දකින්න ලැබෙනවා. එවැනි ආරාධනා පිළිගැනීමෙන් ස්වාධීන මාධ්‍යවේදියා දියවීමක් වෙනවා ද?
නොයෙක් විදියෙ මාධ්‍ය කලාවන් තියෙනවා. උදාහරණයක් විදියට කොක්ටේල් පාටිවලට ගිහින් හදා ගන්නා සම්බන්ධතා ව්‍යාපාර මාධ්‍යවේදයට ඉතාම වැදගත්. ඒ ඒ විදියට ඒවා පාවිච්චි කරලා තමන්ගෙ සීමාවන් ඇතුළේ ඉන්න එක වැදගත්. ඒත් නිකන් ලැබෙන දේවල් මම කවදාවත් පිළිගන්නෙ නෑ. කවුරුවත් මාධ්‍යවේදීන්ට නිකන් දේවල් දෙන්නෙ නෑ. දෙන දේවල් අපිට දෙන්නෙ ආදරේට නොවෙයි. ගවේෂණාත්මක මාධ්‍යකරණයෙහි නිරත වෙන මාධ්‍යවේදීන් සමාජ උත්සවවලට යන එකෙන් වළකින්න ඕන. අනිත් අය තමන් අයත් මාධ්‍ය කලාවට අගතියක් නොවෙන විදියට ඒවට ගියාට කමක් නෑ. තමන් වැඩ කරන මාධ්‍ය ආයතනය මහජනතාවට සම්බන්ධ වේදිකාවක් කියන එක ඔළුවෙ තියාගන්න ඕන. අපි කරන්නෙ තොරතුරු අරගෙන ආයතනික වේදිකාව පාවිච්චි කරලා ඒ තොරතුරු සමාජගත කිරීම. ඒකෙන් අපිට නමක් හැදෙනවා. මට හම්බ වුණු සම්මානයයි ප්‍රසිද්ධියයි පසුපස මගේ ආයතනයයි තව ගොඩක් අයයි ඉන්නවා. අපි ඒ ගරුත්වය රකින්න ඕන.
ඔබ වසර දහයක් තිස්සේ වංචා දූෂණ අනාවරණ කළ බව කීවා. ඔබේ අනාවරණ ඔස්සේ රටේ වංචා දූෂණවල යම් අඩුවීමක් එයින් සමාජයට ධනාත්මක බලපෑමක් වෙලා තියෙනවා කියලා හිතනව ද?
එක වෙනස් වීමක් මම දැකලා තියෙනවා. විශේෂයෙන්ම වංචා දූෂණ වැළැක්වීමට අදාළ නීති හැදිලා තියෙනවා. නමුත් ඒ නීති ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් සෑහීමකට පත් වෙන්න බෑ. ඒ කියන්නෙ අපි වගේ අයට කවදාවත් වැඩ නැති වෙන්නෙ නෑ. මම වංචා දූෂණ ගැන කරපු අනාවරණවල බලපෑමක් තිබිලා තියෙනවා කියලා දැනගත්තෙ අරගලය කාලේ. මොකද අපි ලියපු දේවල් පාරෙ ඉන්න මිනිස්සු කතා වෙන්න පටන් ගත්තා. ඒ කාලෙ තමයි මට විශාල බලාපොරොත්තුවක් ඇති වුණේ වෙනස්වීමක් වෙයි කියලා. විදුලිය, තෙල්, ඉන්ධන ලැබිලා අරගලය ඉවර වුණාට පස්සෙ හැමෝම ගෙවල් වලට ගියත් අපි තවම ඒ අරගලයෙ ඉන්නවා. එදා ඉඳන්ම අරගලය අපි තමයි. අපි මේ දේවල් ගැන නොලිව්වොත් ඒ පණිවුඩය කොහෙන් ද සමාජයට යන්නෙ. සමාජ මාධ්‍යවලින් මේ දේවල් සමාජගත කළ හැකියි කියල සමහරු කියනවා. ඒත් සමාජ මාධ්‍යවල තියෙන ඒවා ඇත්ත ද කියලා සමහරු මට කතා කරලා අහනවා. සදාචාරාත්මක මාධ්‍ය වෘත්තිය සමාජ මාධ්‍යයෙන් ආවරණය කරන්න බෑ.
සමාජ මාධ්‍යවල බලපෑමත් සමග ලංකාවේ ගවේෂණාත්මක මාධ්‍ය කලාව යම් පසුබෑමක තියෙනවා කියලා ඔබ හිතනව ද?
තියෙනවා. ඒකට හේතුව තමයි සුළු පිරිසක් විතරයි මේ මාධ්‍ය කලාව කරන්නෙ. ඒ නිසා තමයි අපිට වැඩි කතා ප්‍රමාණයක් ලැබෙන්නෙ. අපි මේ වයෙ හැමදාම ඉන්නෙ නෑ. අත අරින්න ඕන. ඒ නිසා කීප දෙනෙක්ව හරි පුහුණු කරන්න ඕන. නමුත් ලංකාවේ මාධ්‍යවේදීන්ට ලැබෙන්නෙ අඩු වැටුප්. විදේශ මාධ්‍ය ආයතනවල ලංකාවේ වාර්තාකරණ කටයුතු කරන නිසා තමයි මටත් ආර්ථික අපහසුතාවලින් තොරව මේ රැකියාව කරගෙන යන්න පුළුවන් වුණේ. ඉංග්‍රීසි මාධ්‍යයෙන් වැඩ කරන අයට ඒ වගේ අවස්ථා තිබුණට සිංහල හා දෙමළ මාධ්‍යයෙන් වැඩ කරන මාධ්‍යවේදීන්ට එවැනි අවස්ථා ලැබෙන්නෙත් අඩුවෙන්. ඒකයි මිනිස්සු මේ රස්සාවෙන් අයින් වෙලා යන්නෙ. ඒකට ඒ අයට දොස් කියන්න බෑ. අමාරු රැකියාවක් මෙච්චර කට්ට කාගෙන කරන්නෙ ඇයි කියලා අන්තිමට හිතෙනවා නෙ. රස්සාවට කොච්චර ආදරේ වුණත් පෞද්ගලික ජීවිතය හොඳ මට්ටමක පවත්වාගෙන යන්න ඕන. ළමයින්ව ඉස්කෝලෙ යවන්න කොච්චර අමාරු ද. පන්තිවලට කොච්චර වියදම් කරන්න වෙනවා ද.
නිසි වැටුප් නොලැබීමත් මාධ්‍යවේදීන්ට අභියෝගයක්. බොහෝ මාධ්‍යවේදීන් මේ ක්ෂේත්‍රයෙන් පිටමං වීමටත් මෙය හේතුවක්. ජනමාධ්‍ය අමාත්‍යාංශයකුත් තියෙනවා. මේ අභියෝගය ජයගන්න රජය පැත්තෙන් කළ හැකි දේවල් තියෙනවා ද? නැතිනම් මාධ්‍යවේදීන් මේ අභියෝගය ජය ගත යුත්තේ කෙසේ ද?
රජයෙන් නම් කිසිම දෙයක් භාර ගන්න හොඳ නෑ. ලැප්ටොප්, මෝටර් බයික්, ගෙවල් මේ කිසි දෙයක් භාර ගන්න හොඳ නෑ. රජයෙන් විතරක් නොවෙයි කිසිදු දේශපාලන පක්ෂයකින් දේශපාලනඥයෙකු ගෙන් ලැබෙන දේවල් භාර නොගත යුතුයි. බැඳියාවන් අතර ගැටුමක් නැති ඕනෑම දෙයක් කරන්න කියලයි මම මාධ්‍යවේදීන්ට කියන්නෙ. විය යුතු වැදගත්ම දෙය නම් මාධ්‍යවේදීන්ගේ වැටුප් වැඩි වීම. ඒක මාධ්‍ය ආයතනවල වගකීමක්.
සාකච්ඡා කළේ
උපුල් වික්‍රමසිංහ
ඡායාරූප: සුමුදු හේවාපතිරණ