මහ සමන් දෙවි අඩවියේ අද්භූත සිදුවීම්


නළුවෙකු වූ ක්ලැරන්ස්ගේ හා පොඩි ඇනස්ලිගේ රංගනයෙන් උද්දාමයට පත් වූ මම- පසුබිමෙන් ඇසෙන ක්ලැරන්ස් ගේ “සිංහල නොවන වෙස්ටර්න් මියුසික් සිංහලයෙන්” මන්මත්ව ප්‍රේක්ෂකාගාරයේ පුටුවක් මත හරිබරි ගැහී ශීලා දෙස බලා හුනිමි. චිත්‍රපටයේ දී කන්‍යා සොයුරියක් වෙන්නට ඔන්න මෙන්න තියා මැරුණු පියාගේ ආශීර්වාදය කිසිදා නොලැබුණු අල්ලපු ගෙදර “මියුසික් කරන එකා” නොහොත් “ක්ලැරන්ස්” සමග ප්‍රේමයෙන් වෙළෙන ශීලා සැබෑවටම මත් වූයේ ක්ලැරන්ස්ට අනන්‍ය “පිරිමි හඬට” ද , එසේත් නොමැති නම් ක්ලැරන්ස්ට අනන්‍ය පිරිමි හඬ ඇතුළු ක්ලැරන්ස් ගේ“සම්පූර්ණ පැකේජයට” ද යන්න තීරණය කිරීම ප්‍රේක්ෂකයාට භාර දී චිත්‍රපටය නිමාවුණි.

චිත්‍රපටය නිමාවුව ද ශීලාගේ කතාව නිමා නොවුණු බව මට ප්‍රත්‍යක්ෂව දැනුණි. එනිසාම ශීලාගේ නිමා නොවුණු කතාව චිත්‍රපටයෙන් ඔබ්බෙහි ලිහා බැලීමට මසිත් වේ. නමුත් ශීලා වෙනුවෙන් මේ ලිහා දැමෙන්නේ චිත්‍රපටයෙන් නොකියා කියැවුණු, නොලියා ලියැවුණු ,නොගයාම ගැයුණු ගීතයේ සංධ්වනිය යි.

ක්ලැරන්ස් චිත්‍රපටය පුරාම දිවෙන රන්හුය වන්නේ Music එහෙමත් නැත්නම් සංගීතය ගැන පිරිපුන් යෞවනයේ පසුවන තරුණයන් දෛනෙකු තුළ මතුවන උන්මාදය හා ලංකාවේ අංක එකේ සංගීත කණ්ඩායම බවට තමන්ගේ “Moonstones”  සංගීත කණ්ඩායම පත්කර ගැනීමට දිවා රෑ නොමැතිව සරලවම චිත්‍රපටයේ ආකාරයටම කිවහොත් උගුර කට ලේ රහ වෙන තෙක්ම ගී ගයන තාරුණ්‍යය සමගම ගෙවෙන රමණීය ආදරයයි.

ක්ලැරන්ස් හා ඇනෙස්ලි ගේ music උන්මාදය මැද musicනො එසේ නම් සංගීතය යන්නට නිවැරදි නෛතික විග්‍රහයක් තිබේ ද යන්න සොයා බැලීම වැදගත් යැයි සිතෙයි. 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත (මින් මතු ’බුද්ධිමය දේපළ පනත’ ලෙස හැඳින්වෙන) මේ කතාබහේ දී කරළියට පැමිණෙන්නේ එකී ගවේෂණයේ ප්‍රතිඵලයක් ලෙසයි.

බුද්ධිමය දේපළ පනතේ පූර්විකාවේ සඳහන් වන්නේ බුද්ධිමය දේපළ පිළිබඳ නීතිය සඳහා හා ලියාපදිංචි කිරීම පාලනය කිරීම සහ පරිපාලනය කිරීම පිණිස කාර්යක්ෂම කාර්ය පටිපාටියක් සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස හා ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස අදාළ පනත පනවනු ලැබූ බවයි.

බුද්ධිමය දේපළ පනතෙහි, නිර්මාණකරුවකුට ස්වකීය නිර්මාණය සම්බන්ධයෙන් වන ප්‍රකාශන අයිතිය කියා පා හැකි ආරක්ෂිත කෘති පිළිබඳ ලැයිස්තුවක් අන්තර්ගත වේ. එකී පනතේ 6(1) වගන්තියේ සඳහන් වනුයේ අදාළ උපවගන්තියේ ලැයිස්තුගත නිර්මාණ ඇතුළත් වන ශාස්ත්‍රීය, කලා සහ විද්‍යාත්මක පරාසයකට ඇතුළත් මුල් බුද්ධිමය නිර්මාණ, ශාස්ත්‍රීය, කලාත්මක සහ විද්‍යාත්මක නිර්මාණ වශයෙන් ආරක්ෂා කරනු ලැබිය යුතු බවයි.

බුද්ධිමය දේපළ පනතේ 6(1) (ඉ) වගන්තියට අනුව සංගීතය සමග ගයන වචන ඇතුළත් හෝ නොවන සංගීතමය කෘති ආරක්ෂිත කෘති ලෙස සැලකිය හැකි වේ.

කෙසේ නමුදු බුද්ධිමය දේපළ පනතේ අර්ථ නිරූපණ වගන්තිය වන 05 වැනි වගන්තියේ කිසිදු ස්ථානයක සංගීතය යන වචනයෙහි අර්ථ විවරණයක් දක්නට නොලැබේ. විශේෂයෙන්ම  බුද්ධිමය දේපළ පිළිබඳ මූලික ප්‍රතිපාදන රැගත් සාහිත්‍යය හා කලාත්මක කෘති ආරක්ෂා කිරීම සඳහා වූ අන්තර්ජාතික බර්න් සම්මුතිය (Berne Convention for the Protection of Literary and Artistic Works)  තුළ ද සංගීතය යන වචනයට අර්ථ නිරූපණයක් දක්නට නොලැබේ. Oxford ශබ්දකෝෂය තුළ music යන වචනය අර්ථ නිරූපණය කර ඇත්තේ,‘ The arrangements of sounds in a pleasing sequence or combination to be song or played on instruments’ ලෙසයි. 1988 එක්සත් රාජධානියේ ප්‍රකාශන අයිතිය, නිර්මාණ හා පේටන්ට් නීතිය (Copyright, Designs and Patents Act,1988) හි 3(1) වගන්තියේ සංගීතමය කෘති යන්හි a work consisting of music exclusive of any words or actions intended to be sung spoken or performed with the music.ලෙස සඳහන්ව ඇත. ඒ අනුව සංගීතය යන්න වචන සහ භාවයන්ගෙන් විනිර්මුක්ත නිර්මාණයක් ලෙසට එක්සත් රාජධානිය සලකනු ලබන බවට සඳහන් කළ හැක.

අපට අසල්වැසි ඉන්දියාවේ 1957 ප්‍රකාශන අයිතිය පිළිබඳ පනතේ 2 වගන්තියට අනුව musical work” means a work consisting of music and includes any graphical notation of such work but does not include any words or any action intended to be sung, spoken or performed with the music ලෙස සඳහන් වී තිබේ. ඒ අනුව ඉන්දියාව, එක්සත් රාජධානියේ සංගීතය පිළිබඳ නෛතික දැක්මට සාපේක්ෂව තවත් පියවරක් ඉදිරියට ගොස් සංගීතයට සම්බන්ධ ස්වර ප්‍රස්තාර ද සංගීතය නමැති වචනය තුළට අන්තර්ගත කර ඇති බව නිරීක්ෂණය වේ.

ඉහත සඳහන් නෛතික ප්‍රතිපාදනවලින් පැහැදිලි වනුයේ සංගීතමය කෘතියක් පද රචනයෙන් ස්වායක්තව නිර්මාණය විය හැකිය යන සියුම් නමුදු ගැඹුරු රීතියයි. ඒ අනුව පද රචනයට හා සංගීතයට එකිනෙකා ගෙන් වෙනස් වූ අනන්‍යතාවක් නෛතිකව හඳුනාගත හැකිය. ඒ අනුව පද රචකයා හා සංගීතඥයා ගීය නමැති විවාහය අරඹයා එකම මඟුල් පෝරුවකට නැගුණ ද, මඟුල් ගී ගැයෙන විට එම මඟුල් පෝරු මස්තකයේම සිට දෑඟිලි දිගුකර විවාහාපේක්ෂාවෙන් දෙපසකින් සිටින මනාල සහ මනාලි යුවල සේ වෙනස් කතා ස්වරූපවලින් පෙනී සිටියි.

සංක්ෂිප්තවම සඳහන් කරන්නේ නම් ගීයක පද රචකයාට එම ගීයේ තමාගේ පද රචනය පිළිබඳ කතෘ අයිතිවාසිකම් ද, එම ගීතයේ සංගීත අධ්‍යක්ෂවරයාට තමා විසින් නිර්මාණය කරන ලද සංගීතයට සම්බන්ධ තම කතෘ අයිතිවාසිකම්වලට ද හිමිකම් පෑ හැක.

පද රචකයා හා සංගීතඥයා නම් මනාල මනාලි යුවල පසෙකින් සිටිය දී මට නැවත ශීලාව සිහිපත් වේ. Moonstone නම ප්‍රදර්ශනය කළ රතු හා සුදු පැහැ පැරණි වොක්ස්වැගන් වෑන් රථයේ වහලයට නොහොත් ක්ලැරන්ස් ගේ වචන වලින්ම කියනවා නම් තමා musicකරන තැනට ශීලා සඳ පායපු රැයේ මංගෝ ට හොර රහසින් ම තමාගේ මන්දිරයේ සිට ඇදී එන්නේ පද රචනයෙන් හා සංගීතයෙන් ඔබ්බට ගිය තරුණ ක්ලැරන්ස්ගේ හඬට වශී වී යැයි මසිත කියයි. ශීලා ක්ලැරන්ස් music කරන තැන වහලයට නගින්නේ ද, සඳ රැස් හමුවේ  ගිගුම් දෙන ක්ලැරන්ස්ගේ ගායන විලාශයෙන් මන් මත් වී බැව් ප්‍රේක්ෂකයා පසක් කර ගනියි. ඒ අනුව මීළඟ ට මනැස යොමු කළ යුත්තේ ගීයක ගායකයාට තම ගායනාවට තිබෙන අයිතිය ගැන විමර්ශනය කිරීමටයි.

බුද්ධිමය දේපළ පනතේ 6(1) (ආ) වගන්තිය අනුව කතා, දේශන, ඇමතීම්, අනුශාසනා සහ වෙනත් වාචික කෘති ප්‍රකාශන අයිතිය යටතේ ආරක්ෂිත කෘති ලෙස සැලකිය හැකි වුව ද ගීතයක ’ගායනාව’ යන්න එම 6(1) වගන්තියේ නෛතික සාරයට නොගැළපෙන බැවින් ගීත ගායනාවක් අදාළ 6(1) වගන්තියේ පරිචය තුළට අන්තර්ගත කිරීමට නොහැක.

ඒ අනුව ගීයක් පිළිබඳව ගායකයාට ඇතේ බුද්ධිමය දේපළ පනතේ II වන පර්ච්ඡේදයේ සඳහන් ’සම්බන්ධිත අයිතිවාසිකම්’යටතේ හඳුනාගෙන ඇති ’ඉදිරිපත් කරන්නාගේ’ (Performers’ right)  අයිතීන් ලෙසට වර නැගිය හැකිවේ.

බුද්ධිමය දේපළ පනතේ II වන පරිච්ඡේදය සම්බන්ධිත අයිතිවාසිකම් යටතේ ඉදිරිපත් කරන්නන්ගේ ශාබ්ධික පටිගත කිරීම් හෝ තැටිගත කිරීම් නිෂ්පාදකයන්ගේ සහ විකාශන සංවිධානයන් ගේ අයිතීන් ආරක්ෂා කිරීම ලෙස සඳහන් වුවද,  පනතේ 5 වන වගන්තිය හෙවත් අර්ථ නිරූපණ වගන්තිය තුළ ’ඉදිරිපත් කරන්නන්’යන වචනය එහි ඉංග්‍රීසි අනුවාදිත වචනය වන performersයන වචනයට අනුරූපීව රංගන ශිල්පීන් ලෙස සිංහලයෙන් දක්වා ඇති බවද නිරීක්ෂණය කළ යුතු වේ. කෙසේ නමුත් පනතේ 5 වන වගන්තියේ සඳහන් රංගන ශිල්පීන් යන වචනය තුළ ගායකයින් වාදන ශිල්පීන් සහ ශාස්ත්‍රීය හෝ කලාත්මක කෘති හෝ ජනප්‍රවාද ප්‍රකාශනය කරන, ගායනා කරන, ඉදිරිපත් කරන, කථනය කරන, නිරූපණය කරන හෝ අන්‍යාකාරයෙන් රඟ දක්වන වෙනත් තැනැත්තන් අදහස් වන බැව් දක්වා ඇත. ඒ අනුව ගීතයක ගායකයාට ඇත්තේ ගීතය ඉදිරිපත් කිරීම පිළිබඳව වන සම්බන්ධිත අයිතිවාසිකම් පමණක් වන අතර, බුද්ධිමය දේපළ පනතේ 21 වන වගන්තියේ විධිවිධාන වලට යටත්ව පනතේ 17(1) වගන්තිය යටතේ වන ක්‍රියාවක් කිරීමට හෝ යම් ක්‍රියාවක් සඳහා බලය දීමට ඉදිරිපත් කරන්නෙකුට පරම අයිතිවාසිකමක් තිබිය යුතු බව සඳහන් වේ.

ඒ අනුව තමාගේ ඉදිරිපත් කිරීම හෝ එහි සැලකිය යුතු කොටසක් විකාශනය කිරීම හෝ අන් යම් ආකාරයකින් සන්නිවේදනය කිරීම, මාධ්‍යයක ස්ථාවර කර නොමැති ඉදිරිපත් කිරීම් හෝ එහි සැලකිය යුතු කොටසක් ස්ථාවර කිරීම හා මාධ්‍යයක ස්ථාවර කර තිබෙන ඉදිරිපත් කරන්නා ගේ ඉදිරිපත් කිරීම හෝ එහි සැලකිය යුතු කොටසක් හෝ නිෂ්පාදනය කිරීම සඳහා බලය දීමට ගීතයක ගායකයාට අදාළ ගීතයේ ඉදිරිපත් කරන්නා ලෙස අයිතිවාසිකම් හිමි වේ.

බුද්ධිමය දේපළ පනතේ 17(4) වගන්තියේ ප්‍රතිපාදන අනුව ගීතයක ගායකයකුට පෙර සඳහන් කරන ලද 17 වන වගන්තිය යටතේ වන අයිතිවාසිකම්, තමා විසින් අදාළ ගීතය ගායනා කිරීමක් සිදු කරනු ලැබූ මොහොතේ සිට එම ගායනාව සිදුවූ වර්ෂයට පසුව එළඹෙන පණස් වන ලිත් වර්ෂය දක්වා ආරක්ෂා විය යුතු වේ.

ඒ අනුව ගීතයක ආර්ථික අයිතිවාසිකම් ඇත්තේ එකී ගීතයේ පද  රචකයාට හා සංගීත අධ්‍යක්ෂකවරයාට බව බුද්ධිමය දේපළ පනතේ ප්‍රකාශිත ප්‍රතිපාදන වලට අවධානය යොමුකිරීමේ දී පෙනී යයි.

බුද්ධිමය දේපළ පනතේ 13 වන වගන්තියට අනුව දැක්වෙන්නේ 13(1), (2), (3), (4), (5) වගන්ති වල විධිවිධාන වලට යටත්ව කෘතියක ආර්ථික හා සදාචාරාත්මක අයිතිවාසිකම්, කතුවරයා ගේ ජීවිත කාලය තුළ හා එකී කර්තෘවරයා ගේ මරණය සිදුවූ දිනයේ සිට අවුරුදු හැත්තෑවක කාලයක් තුළ ආරක්ෂා විය යුතු බවයි.

බුද්ධිමය දේපල පනත කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුව තුළ දෙවැනි වර කියවීමේ විවාදයට බඳුන්වීමේ දී ඉහත සඳහන්, බුද්ධිමය දේපළ පනතේ 13 වන වගන්තියේ සාරය පිළිබඳ 2003 ජූලි 23 වන දින විවාදයට එක් වෙමින් එවකට වාණිජ සහ පාරිභෝගික කටයුතු පිළිබඳ නියෝජ්‍ය  අමාත්‍ය  දි.මු. ජයරත්න සිදු කළ ප්‍රකාශයන් කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ. පරිවර්තනයේ හෝ අනුවාදය තුළ දෝෂ ඇති නොවීම සඳහා පාර්ලිමේන්තු විවාද (හැන්සාර්ඩ්) 149 වන කාණ්ඩයේ 6 වන කලාපයේ 1060 පිටුවේ සඳහන් දි.මු. ජයරත්න ගේ එකී ප්‍රකාශයන් එලෙසින්ම මෙයට ඇතුළත් කිරීම වඩා යථා යෝග්‍ය  වේ.

‘’මගේ කතාව මේ රටේ ජනතාවත්, විදේශිකයන් 1,18,700,000 ක් අහනවා. මොකද කාරණාව? ජාත්‍යන්තර  වශයෙන් බලපාන පනතක් සහ කතාවක් නිසා ඒක අහනවා කියලා මම කියන්න කැමතියි. ඒ නිසා ගරු නියෝජ්‍ය  කාරක සභාපතිතුමනි, ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් අපේ සභ්‍යත්වය, සංස්කෘතිය පමණක් නොවෙයි, පුද්ගලයා ගේ තත්ත්වයත්, අභිමානයත්  වෘත්තීන්වල තත්ත්වයත් ආරක්ෂා වන ආකාරයට පනත් කෙටුම්පත සකසන්න ඕනෑ. ඒ තත්ත්වයන් මේ පනතින් ආරක්ෂා වෙන්න ඕනෑ. ඒ වාගෙම වෘත්තීන්වල තත්ත්වයන් ආරක්ෂා වෙන්න ඕනෑ. 

පුද්ගලයින් මැරිලා අවුරුදු 70 ක යනතුරු මේ පනත බලපානවා. ඔහුට ඒ අයිතිය තිබෙනවාය කියා සඳහන් වනවා. ඒ කියන්නෙ එයාගෙ දරු මල්ලන්ට. දැන් කාලයේ හැටියට ආයු කාලය හුඟක් අඩු වේගනයි යන්නෙ. දැන් තීරණයකට ඇවිත් තිබෙන්නේ පිරිමියකු ගේ ජීවත් වීමේ කාලය අවුරුදු හැටක්ය. කාන්තාවගේ අවුරුදු 61 ක් ය කියලා. සාමාන්‍යයෙන් ඒ වාගේ තමයි දැන් ලංකාවේ මිනිස්සුන් ගෙ ජීවත් වීමේ කාලසීමාව තීරණය කර තියෙන්න. ඒ නිසා අවුරුදු 70 ක් විදියට මෙතැන සඳහන් කිරීම මම හිතන හැටියට එච්චර හොඳ වැඩක්ය කියා කියන්න බැහැ. ඒ නිසා මම කල්පනා කරනවා මෙච්චර දිගු කාලයක් මේක තියන්න ඕනැ නැහැ කියලයි. මේ කෘතීන් ජාතික වස්තු බවට පත්වෙන්න ඕනෑ. මොළය, දක්ෂතා, නිපැයුම් ජාතියට අයිති වෙන්න ඕනෑ. ඒවා පුද්ගලයාට සදාකාලික අයිතිවීම එයාගෙ මරණින් පස්සෙ යෝග්‍යයි කියා මම කල්පනා කරන්නෙ නැහැ. එයාගෙ මරණය දක්වාත්, එයාගෙ පුංචි දරුවො ඉන්නවා නම් ඒ ගොල්ලොන් ගෙ දියුණුව සඳහා මරණින් පසු ටික කලක් යන තුරු ත් ඒ අයිතිය තිබුණාට කමක් නැහැ. අවුරුදු 70 ක් කියන්නෙ පරම්පරා දෙකක්. 
දැන් කාලෙ හැටියට පරම්පරා තුනක් යන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මේ කෘති, දක්ෂතා, බුද්ධිමය දේපළවල අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම මුළු මහත් ජාතියේ වස්තු බවට පත් කිරීමට වුවමනා කරන නීති සංශෝධනයක් ගෙනෙන්න ඕනෑ කියන එනයි මම කල්පනා කරන්නෙ. ඒ තුළින් ආර්ථික වශයෙන් හා සාමාජීය වශයෙන් මුළු ජාතියේම දියුණුව ඇති කරන්න පුළුවන්කම ලැබෙනවා.’’

කෙසේ නමුදු එවකට වාණිජ සහ පාරිභෝගික කටයුතු සඳහා වන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඉහත සඳහන් අදහස් දැක්වීමට ප්‍රතිපක්ෂව කලා කෘතියක කතෘගේ මරණයෙන් 50 වසරක් ගත වන තුරු අදාළ කර්තෘවරයා සම්බන්ධයෙන් එකී කලා නිර්මාණයේ ආර්ථික අයිතිවාසිකම් ආරක්ෂා විය යුතු බවට වන බර්න් සම්මුතියේ සඳහන් අන්තර්ජාතික නිර්ණායකවලට ඔබ්බෙන් ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ පනතේ 13 වන වගන්තියේ ප්‍රතිපාදන හරහා තවත් වැඩිමනත් වසර 20 ක් එකතු වී අදාළ කර්තෘගේ මරණයෙන් වසර 70 ක සම්පූර්ණ කාලයක් යන තුරු අදාළ කර්තෘ අයිතිවාසිකම් ආරක්ෂා විය යුතු බවට දීර්ඝ කාලීන ප්‍රතිපාදනයක් අන්තර්ගතව වී තිබීම සුවිශේෂ තත්ත්වයකි. ව්‍යවස්ථාදායකයේ විවාද මේසයන් ඔබ්බෙහි ක්ලැරන්ස් දෙස මහත් සෙනෙහසින් බලා සිටින රොමෑන්තික දෙනෙක් නැවත සිහියට නැගේ. 

ක්ලැරන්ස් විජේවර්ධන නමැති අසාමාන්‍ය සංගීත පෞරුෂය ගීත රාශියක් සඳහා සංගීතය පණ පොවමින් එමෙන්ම ගීත දහසකට ආසන්න ප්‍රමාණයක් පද රචනා කරමින්, (මෙයින් සැලකිය යුතු ගීත ප්‍රමාණයක් එළි දක්වා නොමැති බවටද වාර්තා වේ.) එමෙන්ම ගීත දෙදහසකට ආසන්න ප්‍රමාණයක් ගයමින් ශ්‍රී ලාංකීය සංගීත කෙත නොනැසෙන රස වගුරක සදාතනිකව ගිල්වා ඇත. ක්ලැරන්ස් විජේවර්ධනයන් වසර 1996 දී දැයෙන් සමු ගත්තේය.

ක්ලැරන්ස් විජේවර්ධනයන් විසින් ගීත ලොවට සිදු කරන ලද අවසාන ඉදිරිපත් කිරීම සිදුව ඇත්තේ 1996 දී නම්, ඔහු සතුව පැවති ඉදිරිපත් කිරීමේ අයිතිවාසිකම් 1996 සිට පනස්වන ලිත් වර්ෂය අවසානයේ නොහොත් වර්ෂ 2046 දී ඉහතින් සඳහන් මහා ජන සයුරටම එක්වනු ඇත.

මේ සියලු‍ නෛතික සන්දර්භයන් මධ්‍යයේ ශ්‍රී ලාංකීය ගීතය තුළ ක්ලැරන්ස් සලකුණ  වයස, කාලය සම්පූර්ණව ව්‍යච්ඡේදනය කරමින් අනාගත රසික හදවත්හි ගැඹුරින්ම තැන්පත් වනු ඇති බව නොඅනුමානයි.

හදේ තියන දුක පොදි බැඳ දාලා
සිනාසී කඳුළු සැම පිස දාලා
විනෝදෙන් සුවෙන් සිත පුරවාලා
සදා සතුටු වෙමු සිත සනසාලා

හෙටක් ගැන සිතේ නෑ ළතවෙන්නේ
අදයි ලැබෙන දේ සැම ලැබ ගන්නේ
ඔබයි මමයි නොවැ මේ ලොව ඉන්නේ
අදයි හෙටයි අතරේ පවතින්නේ

මෙම ලිපියේ සඳහන් සියලු‍ නම් ගම් සහ සිදුවීම් තේජා ඉද්දමල්ගොඩ  විසින් අධ්‍යක්ෂණය කළ Rhythm of Guitar  චිත්‍රපටයේ තිර රචනයට අනුරූපීව ලේඛකයන් විසින් මන:කල්පිතව සිදු කළ නිර්මාණයන් සහ හෝ අර්ථ නිරූපණයන් බවත්, මෙම ලිපියේ සඳහන් සෑම සියලු‍ නෛතික අර්ථ නිරූපණයක්ම නිසි නෛතික අධිකාරීන් ඇසුරෙන් ලේඛකයන් විසින් සිදු කරන ලද ස්වකීය පෞද්ගලික අර්ථ දැක්වීම් බව සඳහන් කර සිටියි.

ඉෂාන් රත්නපාල,
රජයේ ජ්‍යේෂ්ඨ අධිනීතිඥ

තාරිකා ද සිල්වා, 
නීතිඥ