ලෝක ජෛව විවිධත්ව දිනය මෙවරත් මැයි 22 සමරනු ලැබූවා. එය ශ්‍රී ලංකාවේ සමරන්නට යෙදුණේ දුම්බර කලාපයේ පිටවල සහ මහලකොටුව ප්‍රදේශයේදී. ලොව ජෛව විවිධත්වය කෙරෙහි එල්ල වී ඇති ගැටලු අභියෝග තර්ජන මෙන්ම එහි වැදගත්කම පිළිබඳව අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කිරීම සඳහා මෙම දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර තිබෙනවා, ශ්‍රී ලංකාව ද එය රාජ්‍ය සහ රාජ්‍ය නොවන අන්දමින් වාර්ෂිකව සමරනු ලබනවා. මෙවර ජෛව විවිධත්ව දිනයට සමගාමීව අපේ තරුණ පර්‌යේෂකයන් කිහිප දෙනෙකුගේ නව පර්‌යේෂණ වාර්තා එළි දැකීම සුවිශේෂ කාරණාවක්.
මොණරාගල දිස්ත්‍රික්කයේ, මොණරාගල නගරයට ඉහළින්, වර්ග කිලෝමීටර් 54ක් පුරා හුදකලාව පැතිර ඇති මරගල කඳුවැටියෙන්, ශ්‍රී ලංකාවට ආවේණික නව සර්ප විශේෂයක් සොයාගැනීමට, මෙරට පර්‌යේෂකයන් පිරිසක් එම ජෛව විවිධත්ව දිනයට සමගාමීව සමත් වූවා. රූප විද්‍යාත්මකව තෙත් කලාපයේ වෙසෙන වයිරී හාල්දන්ඩාට (Dendrelaphis caudolineolatus) බොහෝ සමානකම් දක්වන මෙම නව සර්ප විශේෂය, මෙරට ප්‍රවීණ පර්‌යේෂකයකු වෙන තසුන් අමරසිංහට ගෞරව පිණිස, Thasun’s Bronzeback ලෙසත්, සත්ත්ව විද්‍යාත්මකව Dendrelaphis Thasuni ලෙසත් නම්කිරීමට මෙම පර්‌යේෂක පිරිස කටයුතුකර තිබුණා.
මෙම නව හාල්දණ්ඩන් විශේෂයේ, නොබෙදුනු ගුද කොරලක් තිබීම හා අනෙකුත් කැපී පෙනෙන ශාරීරික ලක්ෂණ නිසා, වයිරී හල්දණ්ඩන්ගෙන් පැහැදිලිව වෙන්කර හඳුනාගත හැකි බව පෙන්වාදෙනවා. මෙම නව සර්ප විශේෂය ශ්‍රී ලංකාවේ, ඌව පළාතේ, මොනරාගල දිස්ත්‍රික්කයේ, මරගල කන්දෙන් එකතුකරන ලද, එක් ගැහැණු සතෙකුගේ නිදර්ශකයක් පමණක් යොදාගනිමින් විද්‍යාත්මකව නම්කර තිබෙන බව, මෙම පර්‌යේෂණ කණ්ඩායම සඳහන් කර තිබෙනවා. රුක්වාසී ජීවන රටාවකට අනුවර්තනය වී ඇති මෙම නව සර්ප (හාල්දණ්ඩන්) විශේෂයේ, ප්‍රමුඛ වර්ණය, ඔවුන් වාසයකරන ගස් අතුවලට සමානවෙන බවයි ඔවුන් පවසන්නේ. ඉතාමත් වේගයෙන් ගස්අතු දිගේ ගමන් කිරීමට හැකියාවක් ඇති මෙම සර්පයන්, බියවූ විට හෝ සතුරන් පලවා හැරීම සඳහා තමන්ගේ ශරීරයේ ඉදිරිපස කොටස පුම්බා එහි තිබෙන නිල් පැහැති වර්ණය විදහා දක්වනවාලු.
ජෛව විවිධත්ව දිනය දා නව පර්‌යේෂණ වාර්තා රැසක්
ලංකාව ජීවී විශේෂයන්ගේ විවිධත්වය අනුව ආසියාවේ ධනවත්ම රට
විසරහිත සර්පයන් කොටසක් වෙන මොවුන්, දිවාකාලයේ ක්‍රියාශීලී වෙන අතර ආහාර වශයෙන් කටුස්සන්, හූනන්, ගස් මැඩියන් බහුල ලෙස ගොදුරුකරගන්නා බවයි පර්‌යේෂකයන් කියන්නේ. මෙම නව සර්ප විශේෂය ඇතුළත් වෙන සර්ප ගනයට (Genus: Dendrelaphis) සර්ප විශේෂ 08ක් අයත් වෙන අතර, ඉන් මෙම විශේෂය ඇතුළු විශේෂ 06ක් ශ්‍රී ලංකාවට ආවේණික බවත්, එම ආවේණික විශේෂ සියල්ල වර්තමානයේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.
මරගල කන්ද, එහි වාසස්ථාන විෂමතාව නිසා සහ හිතකර දේශගුණික තත්ත්වයන් නිසා, ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය අතින් ඉතා පොහොසත් ප්‍රදේශයක්. වර්තමානයේ උරග විශේෂ 67ක් මෙම කඳුවැටිය ආශ්‍රිතව සොයාගෙන තියෙනවා. ඉන් විශේෂ 30ක් මෙරටට ආවේණිකයි. ඒ වගේම උභයජීවී විශේෂ 18ක් එහි වාර්තා වෙනවා. ඉන් විශේෂ 05ක් මෙරටට ආවේණිකයි. ඒ වගේම, ලෝකයෙන්ම මරගල කඳුවැටියට පමණක් ආවේණික, සත්ව විශේෂ රැසක්ද දැනට සොයාගෙන තියෙනවා. නමුත් වර්තමානයේ මෙම කඳුවැටිය ආශ්‍රිතව සිදුවෙන අනිසි මිනිස් ක්‍රියාකාරකම් හා විවිධ අවිධිමත් සංවර්ධන වැඩසටහන් නිසා, මේ හුදෙකලා කඳුකර වනාන්තරය ශීඝ්‍රව විනාශ වෙමින් පවතින බවයි පර්‌යේෂකයන් කියන්නේ. ඒ නිසා මෙම කඳුවැටියේ සිටින නේවාසික සත්ව විශේෂ සංරක්ෂණය සඳහා විශේෂ වැඩපිළිවෙළක් කඩිනමින් අවශ්‍යවෙන බව ඔවුන් පරිසර ඇමැතිවරයා ඇතුළු වගකිවයුත්තන්ට මතක් කර දෙනවා.
මෙම නව ආවේණික සර්ප විශේෂය සොයා එළිදරව් කරගනිමින් ලෝකයට දායාද කිරීම සඳහා ප්‍රමුඛ වූයේ, අපේ රටේ තරුණ උරග විද්‍යා පර්‌යේෂකයකු වෙන සමීර සුරංජන් කරුණාරත්නයි. ඔහු සමග අනූෂ අත්තනගොඩ, මෙරට ප්‍රකට උභයජීවී හා උරග පර්‌යේෂකයකු වෙන ආචාර්ය ඇන්ස්ලම් ද සිල්වා, සිතාර උදයංග, චම්පික බණ්ඩාර, මජින්ත මඩවල මෙන්ම විදේශීය පර්‌යේෂකයන් වන, ඇමරිකාවේ වෙසෙන මහාචාර්ය ලී ග්‍රිස්ම (Lee Grismer) සහ ජර්මනියේ වෙසෙන ආචාර්ය ජර්නොට් ෆෝගල් (Gernot Vogel) යන පර්‌යේෂකයන් පිරිසත් මේ පුළුල් පර්‌යේෂණයට එක්ව තිබෙනවා.
මේ අතර, ශ්‍රී ලංකාවේ වෙසෙන ඉතාමත් දක්ෂ, තරුණ පර්‌යේෂිකාවක් වෙන, ඉරේෂා විජේරත්න විසින් බොහෝ වෙහෙස මහන්සියක් දරා සිදුකළ පර්‌යේෂණයක ප්‍රතිඵල ද මෙවර ජෛව විවිධත්ව දිනයේ දී ප්‍රකාශයට පත් වුණා. ඒ සඳහා දෙස් විදෙස් පර්‌යේෂකයන් රාශියකගේ දායකත්වය ඉතාමත් හොඳින් ලැබුණා. විශේෂයෙන්ම, ලෝක ජෛව විවිධත්ව දිනයෙදී මෙම පර්‌යේෂණ පත්‍රිකාව එළිදැක්වීමට අවස්ථාව ලැබීමද ඉතාමත් භාග්‍යයක් ලෙස සැලකිය හැකියි.
මෙවර ඇයගේ කුතුහලය වඩවන පර්‌යේෂණ මාතෘකාව වූයේ, ශ්‍රී ලංකාව තුළ තර්ජනයට ලක්වූ බොහොඬන් හෙවත් අගමිඩ් කටුස්සන් (Agamid Lizards) සංරක්ෂණය කිරීම සඳහා වැඩිපුරම දායකත්වය සපයන වාසස්ථාන මොනවාද කියා සොයා බැලීමයි. එහිදී, අප රටේ හුදකලා වූ කඳුකර කලාප තුනක් ලෙස දක්වන්නට හැකි ප්‍රධාන ස්ථාන තුනක් හඳුනාගනු ලැබුවා. ඒවා නම්, දුම්බර කඳුවැටිය, මධ්‍යම කඳුකරය සහ රක්වාන කඳුවැටියයි. තවත් බොහෝ සොයාගැනීම් මේ පර්‌යේෂණය ඔස්සේ සිදුකිරීමට අවස්ථාවත් ඇයට ලැබී තිබුණා.
තර්ජනයට ලක් වූ විශේෂවල පැවැත්ම සහතික කිරීම සඳහා, සංරක්ෂණය ප්‍රමුඛත්වය දිය යුත්තේ කොතැනද සහ කෙසේද යන්න තීරණය කිරීම සඳහා ජෛව විවිධත්ව උණුසුම් ස්ථාන හෙවත් විවිධ ජිවීන්ට ගැවසීම සඳහා ඉහළ දායකත්වයක් ලබා දෙන ස්ථාන හඳුනා ගැනීම අත්‍යවශ්‍යයි. ශ්‍රී ලංකාව සමඟ එක්ව ඉන්දියාවේ බටහිර ඝාට්ස් කඳුවැටිය ගෝලීය වශයෙන් පිළිගත් ජෛව විවිධත්ව උණුසුම් ස්ථාන
36 න් එකක් ලෙස පිළිගෙන තිබෙනවා. එය ජෛව විවිධත්වය අතින් ‘උණුසුම්ම උණුසුම් ස්ථාන’ දහයෙන් එකක් හෙවත්, ජෛව විවිධත්වය ඉතා සරු ස්ථාන අතරින් එකක් ලෙසද හැඳින්වෙනවා. ‘ඒකක ප්‍රදේශයකට ජෛව විවිධත්වය’ (කිලෝමීටර 10,000) අනුව ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළම රටවල් අතරට ශ්‍රේණිගත කර ඇත. එසේම දූපත් රාජ්‍යයක් ලෙස, ශ්‍රී ලංකාව තුළ කැපී පෙනෙන ජෛව විවිධත්වයක් ඇති අතර, විශේෂයන්ගේ විවිධත්වය අනුව ආසියාවේ ධනවත්ම රටයි.
සර්ප නොවන කටුස්සන් සහ සර්පයන්ගේ පොහොසත්කම අනුව, ශ්‍රී ලංකාව මෙසෝ, ඇමෙරිකාව, බටහිර සහ මධ්‍යම අප්‍රිකාව සහ අග්නිදිග ආසියාව සමඟ සැසඳිය හැකිය. ශ්‍රී ලාංකික උරගයින් අතර දක්නට ලැබෙන අසාමාන්‍යය ලෙස ඉහළ ෆයිලොජෙනටික් විවිධත්වය සහ ෆයිලොජෙනටික් ආවේණිකත්වය අනාගතයේදී ගෝලීය පරිමාණයෙන් ඔවුන්ගේ පරිණාමීය සුවිශේෂත්වය සහ පාරිසරික වැදගත්කම ඉහළ නංවයි. නව සොයාගැනීම් නිතිපතා සිදුවෙන අතර, වර්ගීකරණ විස්තර තවමත් සිදුවෙමින් පවතින බැවින් ශ්‍රී ලංකාවේ උරග විවිධත්වය දැනට විස්තර කර ඇති ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩියි. මේ දක්වා, උරග විශේෂ 247 ක් විස්තර කර ඇති අතර ඉන් 166 ක් ආවේණික වේ.
එහිදී වඩාත්ම තර්ජනයට ලක් වූ ජෛව ගහන අතර උරගයින් සිටින බවයි පර්‌යේෂකයන් පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකාවේ බොහොඬන් තර්ජනයට ලක් වූ සහ පරිණාමීය වශයෙන් බොහෝ වෙනස් වෙන අතර, විශේෂ 22 න් 19 ක් දිවයිනට ආවේණික බවයි කියන්නේ. විශේෂ ව්‍යාප්ති ආකෘති නිර්මාණය භාවිතයෙන් මෙහිදී ඉරේෂා ප්‍රමුඛ පර්‌යේෂකයන්, තර්ජනයට ලක් වූ බොහොඬන් විශේෂ 14 ක ව්‍යාප්තිය තක්සේරු කර තිබුණා.
ඇගේ පර්‌යේෂණ ප්‍රතිඵලවලින් පෙනී ගියේ, බොහොඬන් ව්‍යාප්තිය බහුල ස්ථාන මූලික වශයෙන් ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සංකේන්ද්‍රණය වී ඇති බව; විශේෂයෙන්, සිංහරාජ වන රක්ෂිතය, ශ්‍රී පාද වනජීවී අභයභූමිය සහ නකල්ස් කඳු වැටිය ඉහළ ප්‍රමුඛතා සංරක්ෂණ ඉලක්ක ලෙස මෙහිදී කැපී පෙනුණා. එසේම බොහොඬන් හෙවත් අගමිඩ් කටුස්සන්ගේ මෙම වාසස්ථානවලින් 40% කට වඩා අනාරක්ෂිතව පවතින බව පර්‌යේෂණයෙන් සනාථ වී තිබුණා.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ ජීවත්වෙන උරගයන් සංරක්ෂණ කිරීමටත්, විශේෂයෙන් බොහොඬන් (Agamid Lizards) මූලික කරගෙන සංරක්ෂණ කටයුතු සිදු කරන්නේනම්, මෙම කඳුකර කලාප තුන ඉතාමත් වැදගත් ලෙස ඇගේ පර්‌යේෂණය මගින් පෙන්වා දීමට හැකිව තිබෙනවා. තවද, මෙම කඳුකර කලාප තුනේ ජෛව විවිධත්වය එකකට එකක් හාත්පසින්ම වෙනස් බව බොහෝ පර්‌යේෂණ මගින් පෙන්වා දී ඇති බැවින්, මෙම සුවිශේෂී ජෛව මර්මස්ථාන තුන ආරක්ෂා කිරීමට පෙළගැසිය යුතු බව මේ පර්‌යේෂණය මගින් අවධාරණය කර තිබෙනවා.
මෙම වසරේ ජෛව විවිධත්වය සඳහා වූ අන්තර්ජාතික තේමාව වී තිබුණේ “සොබාදහම සමඟින් තිරසර සංවර්ධනය” යන්නයි .
එමගින් එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය, එහි තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සහ කුන්මින්ග් - මොන්ට්‍රියල් ගෝලීය ජෛවවිවිධත්ව රාමුවේ (Kunming Montreal Global Biodiversity Framework – KMGBF) ඉලක්ක අතර සම්බන්ධතා කෙරෙහි ගෝලීය අවධානය යොමු කර තිබෙනවා.
පෘථිවියේ සහ එහි ජීවීන්ගේ යහපැවැත්ම තහවුරු කිරීමට, අනුගමනය කළයුතු මූලික ප්‍රතිපත්තිය තිරසාර සංවර්ධනය යන්න අවබෝධ කරගනිමින් ලොව නායකයන් විසින් 1992 වසරේ බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නගරයේදී පරිසරය හා සංවර්ධනය පිළිබඳ සමුළුව හෙවත් “මිහිකත සමුළුව” පවත්වනු ලැබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජෛවවිවිධත්ව ප්‍රඥප්තිය බිහිවුණා.
ඒ අනුව ශ්‍රී ලංකාව ද 1992 දී එක්සත් ජාතීන්ගේ ජෛවවිවිධත්ව සම්මුතියට අස්සන් තැබූ අතර එය 1993 දෙසැම්බර් 29 වැනි දින සිට බලාත්මක වී ඇත.
ශ්‍රී ලංකාව ඇතුළු එම සම්මුතියේ පාර්ශ්වකාර රටවල් මෙම අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ජාතික මට්ටමින් විවිධ ප්‍රතිපත්ති, උපායමාර්ග සහ සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටින අතර වාර්ෂිකව විවිධ කාලෝචිත තේමාවන් ඔස්සේ ජෛවවිවිධත්ව සංරක්ෂණය සඳහා කටයුතු සිදු කරනු ලබනවා.
එක්සත් ජාතීන්ගේ ජෛවවිවිධත්වය පිළිබඳ සම්මුතියෙහි ජාතික කේන්ද්‍රස්ථානය ලෙස පරිසර අමාත්‍යාංශය කටයුතු කරන අතර ජෛවවිවිධත්ව අංශය එම සම්මුතියේ නියාමන කටයුතු සිදු කරනු ලබනවා.
ඒ අනුව පරිසර සංචාරක ව්‍යාපාරය, සාම්ප්‍රදායික ආහාර, තිරසාර සංවර්ධනය සඳහා ප්‍රජා සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම කේන්ද්‍ර කර ගනිමින් මෙවර ශ්‍රී ලංකාවේ ජෛවවිවිධත්වය සඳහා වූ ජාතික සැමරුම මැයි 22 දින දඹුල්ල ‘පොපම් ආබරේටම්’ වන උද්‍යානයේදී පැවැත්වීම සිදු වුණා.
නිශා අත්තනායක