පූජනීය තන්තිරිමලේ පින්බිමේ ලංකාදීප පොසොන් ආලෝක පූජාව ජුනි 09, 10, 11 දිනවලදී


මෙයට වසර 22 කට පෙර තන්තිරිමලය කෙබඳු පරිසරයකින් පැවතියාද යන්නට සාක්ෂි සපයන නටබුන් තවමත් තැනින් තැන දක්නට ඇත.

තන්තිරිමලය යනු අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 366 තන්තිරිමලය යන ග්‍රාම සේවා වසමේ පිහිටියකි.

එක අතකින් යුද්ධයේ අඳුරු සෙවණැලිය. දැඩි නියඟයෙන්ද පිරි දුෂ්කර වියළි ගම්මානය මහා වනාන්තරයකින් වැසී තිබිණි. ගමන් බිමන් යාමට හරි හමන් පාරක් නැත. විදුලිය නැත. දුරකතන පහසුකම් තිබුණේම නැත. කුස පිරෙන්නට අහරක් මෙන්ම පිපාසයට දිය බිඳක් සොයාගැනීම ද දුෂ්කර විය. කුලී වැඩ පවා අහිමි එම පරිසරය තුළ මහ පොළොව සමග  හැප්පෙන්නට එම ජනයාට සිදුවිය.

ඒ සා විශාල දුක් කන්දරාවක් පිරිවැරුවද එයට සතු මහා ධන නිධානයක් තිබේ. ඓතිහාසික තන්තිරිමලය රජ මහා විහාරයයි. මානව සංහතිය ආරම්භයට නෑකම් කියන, හෙළ බුදු දහමට වඩාත් සමීප, අනුහස් සහිත මෙම පුණ්‍ය භූමිය රූස්ස වනාන්තරයෙන් වැසී තිබිණි. තන්තිරිමලේ චන්දරතන නායක හාමුදුරුවන් ඇතුළු භික්ෂූන් වහන්සේලා තෙනමක් පමණ මෙම පින් බිමෙහි වැඩ සිටියහ.

අනුරාධපුරයේ සිට මහවිලච්චිය මාර්ගයේ කිලෝ මීටර 18ක් පමණ ගිය තැන හමුවන ශ්‍රී විමලඥාන මාවත ඔස්සේ මෙම පින්බිම වෙත යා හැක. එමෙන්ම මැදවච්චිය නගරයේ සිට මන්නාරම මාර්ගයේ කිලෝ මීටර් 18ක් පමණ ගිය තැන  හමුවන ගජසිංහ පුරයෙන් වටම හැරී මාර්ගය ඔස්සේ කිලෝ මීටර් 12ක් දුරින් මෙම පින්බිම පිහිටා ඇත.

මාර්ග දෙකෙන් සොයිසා මාවත තුළ ද එකල එම ගමනට පැය 5ක් 6ක් ගත වේ.

මාර්ග සිතියම මෙයට වසර 21 කට පමණ පෙර තන්තිරිමලයේ පරිසරය ඔබට හඳුනා ගනු පිණිසය.

පොසොන් සමයට අනුරාධපුර ශුද්ධ බුද්ධ භූමිය සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරී ගියද තන්තිරිමලය පින් බිම පාළුවෙහි ගිලී තිබිණි.. ඉඳහිට වන්දනා නඩයක් දෙකක් පැමිණිය ද ඔවුහු එහි රැඳී නොසිට ඉක්මනින්ම සමුගනිති.

යුද්ධයේ අඳුරු සෙවණැලි මෙන්ම දුෂ්කරතා එයට හේතු වී තිබිණි.

එම පින්බිම රටම දන්නා පින් බිමක්  බවට පත්ව සිත්සතන් බුද්ධාලම්බන ප්‍රීතියෙන් පුරවා නිවී සැනසීම් බවට පත් කරන පින්කෙතක් බවට පත්වීම ඇරැඹුණේ විජය පුවත්පත් සමාගමේ අනුග්‍රහයෙන් පොසොන් පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන සිදුකරන ආලෝක පූජාවත් සමගය. ඒ මෙයට වසර 21ක සිටය.

උතුරින් රිටිගල කන්දෙන් ආරම්භ වන මල්වතු ඔය, කනදරාඔය හමුවන තෙක්ද නැගෙනහිරෙන් මල්වතු ඔයත් බටහිරෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයත් දකුණෙන් මහවිලච්චිය ප්‍රධාන මාර්ගයත් මායිම්ව පිහිටා ඇති මෙම රමණීය පින් බිම දැන් පොසොන් සමයේ පමණක් නොව අනෙකුත් කාලයන්හිදී ද දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාධු නාදයෙන් ගිගුම්දෙන පින්බිමක් බවට පත් වී තිබේ.

‘‘තන්තිරිමලයට අවශ්‍ය පහසුකම් දෙන්න අපට අමාරුයි. අනුරාධපුරයට එන ජනතාවට පානීය ජලය ලැබ දීමත් අසීරු වෙලා තියෙන්නේ. අනුරාධපුරයට එන ජනතාව ඔච්චර දුෂ්කරතා මැද ඔච්චර කාලයක් වැය කරලා ඔය පැත්තට යන්නෙත් නෑ. මිනිස්සු එන්නේ නැත්නම් ආලෝක පූජාවන් තියල වැඩක් නෑ.

පොසොන් සමය වෙනුවෙන් අනුරාධපුර මහ දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙන පොසොන් කමිටුවේදී බොහෝ රාජ්‍ය නිලධාරීහු  එසේ කීහ. ඒ 2004 වසරේදීය.

තන්තිරිමලය රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන හිමියෝ ඒ වචනවලින් පසුබට නොවූහ.

‘මහත්තයෝ අපි කොහොමහරි මේක කරමු. විජය පුවත්පත් සමාගමේ නියෝජිතයන් සමග උන්වහන්සේ ප්‍රකාශ කළහ.

ආලෝක පූජාවට අවශ්‍ය විදුලි බුබුළු සහ අනෙකුත් උපකරණ පමණක් නොව පානීය ජලය හා වෙනත් සනීපාරක්ෂක උපකරණ ද විජය පුවත්පත් සමාගමෙන් සැපයිණි.

සියලු කටයුතු ලහි ලහියේ සූදානම් විය. විජය පුවත්පත් සමාගමේ පත්තර පිටු හරහා මෙම පින්බිම සම්බන්ධයෙන් දැවැන්ත ප්‍රචාරයක් ගෙන ගියේය. බොදුනු නොබොදුනු ජනයාගේ අවධානය පින් බිම වෙත යොමු විය.

2004 වසරේ තන්තිරිමලයේ ඉහළ අහසට පොසොන් සඳ පායා ආවේය. ඒ වනවිටත් දහස් සංඛ්‍යාත සැදැහැවත්හු පින්බිමේ රොද  බැඳ සිටියහ. ඔවුන්ගේ මුවින් නැඟුණු සාධුකාරයෙන් හාත්පස පරිසරය ගිගුම් දෙන්නට පටන් ගත්තේය. එසැණින් මුළු පළාතම ඒකාලෝක කරමින් චෛත්‍යරාජයන් වහන්සේ විහාර ගෙය, බෝ මළුව ඇතුළු හාත්පස පරිසරය වර්ණවත් කරමින් විදුලි පහන් දැල්වුණි.

එය ඉතා යහපත් ආරම්භයක් විය.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවාගෙන පැමිණි සඟමිත් තෙරණිය යාපනය සහ මන්නාරම යන නගර දෙකට මැදිව පිහිටි දඹකොළ පටුන නම් තොටුපළට ගොඩ බැසීය. ඒ මොහොතේ දේවානම් පියතිස්ස රජතුමා කරවටක් පමණ ජලයේ ගමන් කර රන්මුවා පාත්‍රයකට බෝධීන් වහන්සේ පිළිගෙන හරසරින් අනුරාධපුරය දක්වා මහා පෙරහරෙන් ගමන් ඇරැඹීය.

ගමන් මග වැටී තිබුණේ තිවංක බමුණුගම හරහාය. තිවංක බමුණුගම නමැති ගමේ ප්‍රධානියා තම පිරිස සමග මල්වතු මං දක්වා පැමිණ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පිළිගෙන තම ගමෙහි උසම ගල් තලාවෙහි තැන්පත් කර පුද පූජා කළේය. සඟමිත් තෙරණිය ඇතුළු රහත් මෙහෙණින් වහන්සේලා 11 නමද දේවානම් පියතිස්ස රජතුමා ඇතුළු රාජකීය දූත පිරිස රැය පහන් කළේ ඒ පින්බිමේය.

එදා තිවංක බමුණුග්‍රාමය ලෙස හැඳින්වුණු එම පින්බිම පසුකාලයේද තන්තිරිමලය ලෙස ප්‍රචලිත විය.
විජය පුවත්පත් සමාගමේ ආලෝක පූජාව හරහා දෙස් විදෙස් ප්‍රචලිත පින් බිමක් බවට පත් වූයේ ඉපැරැණි අනුහස් සහිත ඉතිහාසයක් පිරිවැරූ එම පින් බිමය.

ජය ශ්‍රී මහා බෝධි අංකුරයක්ද රෝපණය කළ මෙම පින්බිමෙහි ගලෙන් නෙළුෑ සමාධි පිළිම වහන්සේද සමාධි පිළිමවහන්සේ ද දක්නට ඇත.

ගල්තලාවේ නැගෙනහිර දිසාවෙහි පිහිටි අලංකාර නෙළුම් පොකුණට සැබෑ දාගැබක හැඩයෙන් ඉහළට එසැවී පිහිටා ඇති ස්වාභාවික ගල් පර්වතය මුදුනෙහි මනාව සකස්කරණ ලද චතුරස්‍රාකාර ස්මාරකය පොත්ගුල ලෙස හැඳින්වේ.

පොත් ගුලෙන් නැගෙනහිර දෙසට මීටර් 200ක් පමණ ගියවිට ගල්ලෙන් රැසක් හමුවේ. මෙම ගල්ලෙන්වල ප්‍රාග් ඓතිහාසික සිතුවම් දක්නට ලැබේ. මෙම ගල්ලෙන්වල විසූ වැදි ජනයා ගස්වල කිරි, යුෂ හා අළු, පස් වැනිදෑ මිශ්‍රකර එම සිතුවම් නිර්මාණය කර ඇත. මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන්ට අනුව මෙම සිතුවම් වසර 4000ක් පමණ පැරැණිය.

විජය නිවහනේ පහන් ආලෝක පූජාවෙන් ඒකාලෝක වූයේ එම අසිරිමත් සංස්කෘතික උරුමය වේ.

සංවර්ධනයේ අරුනලු නොවැටී දරිද්‍රතාවයේ පත්ලෙහි තිබූ එගම් වේගවත් දියුණුවකට උරුමකම් කීවේද මහා ආලෝක පූජාවේ මහිමයෙනි. තන්තිරිමලය රජ මහා විහාරය පමණක් නොව එගම සහ අවට ගම්වැසි ජනයාගේ ද ජීවිතවලට අලුත් ආලෝකයක්, දීප්තියක් හිමි වූයේ විජය නිවහනේ පොසොන් ආලෝක පූජාව නිසාය.

මෙවර ආලෝක පූජාව ජූනි මස 09, 10, 11 යන දිනවල තන්තිරිමලේ පුදබිමේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ය. මේ අසිරිමත් අවස්ථාව දැකගැනීමට පාඨක ඔබ සැමට, ‘ලංකාදීප’යේ ආරාධනයයි මේ.

ප්‍රසන්න සංජීව තෙන්නකෝන්.