පාසල් නොගියත් වතුර වගේ ඉංග්‍රීසි කතාකරන ගැලනිගම පුංචි සුද්දා


"අධ්‍යාපනය කියන්නේ අත්තටු. ඒ අත්තටු තමන්ගේ නම් කොහාටද පියාඹන්න බැරි"

මේ කියමන ඔබ අසා ඇතුවාට සැකයක් නැත. යමකුගේ බාහිරින් කුමක් සොරාගත්තද අධ්‍යාපනය නම් කිසිවකුට සොරාගත නොහැක. අධ්‍යාපනයට එතරම්ම වටිනාකමක් ලැබී තිබේ.

ජීවිතය දිනූ අය මෙන්ම දිනන්නට වෙර දරන්නන් හට ජාති, ආගම් කුලමල භේද හා තමන් හැදී වැඩෙනා සමාජ පසුබිම යන කිසිවක් අදාළ නොවේ. අවශ්‍ය වන්නේ තමන්ගේම උත්සාහය, උනන්දුව හා කැපවීම පමණකි. ඒ බව පසක් කරන්නට අද වෙනවිට සමාජයෙන් අපට මුණ ගැසෙන ඇතැම් දරුවෝ කදිම නිදසුන් සපයති.

නිම්සර රසාංජන යනු එසේ හමු වූ පාසල් නොගිය සුද්දෙකි. ඔහු බණ්ඩාරගම, ගැලනිගම අධිවේගී පිවිසුම් මාර්ගය අසල වඩේ කඩයක් පවත්වාගෙන යන එම්.කේ. චමිලාගේත් කේ.ඩී. නිලන්තගේත් තෙවැනි දරුවා ය. නිම්සරට වැඩිමහල් සහෝදරියක් සහ සහෝදරයෙක් සිටිති. නිම්සරගේ විශේෂත්වය නම් සාමාන්‍ය සිංහල පවුලක ඉපිද, හැදී වැඩුණද තම මව් භාෂාව වන සිංහල භාෂාවට වඩා ඉංග්‍රීසි බස හැසිරවීමේ දක්ෂයකු වීමයි.  ඉංග්‍රීසි භාෂාව කතා කිරීමෙහි වටපිටාවක් මෙන්ම  ආභාසයක් නොමැතිවම අමෙරිකන් ඉංග්‍රීසි භාෂාව හසුරුවන විදේශිකයකුගේ ඉංග්‍රීසි  උච්චාරණයන්ට සමානවම බස හසුරුවන්නට සමතකු වීමයි.

එක් වරක් හෝ ඔහු සමග කතා කළ හොත් ඔබ ද මවිතයට පත්වනු නොඅනුමාන ය. මේ හැකියාව ලැබුණේ කෙසේද කියා තෝරා බේරා ගන්නට ඔහුගේ මව්පියන්ටද නොහැකි ය. ඔහු අනෙකුත් දරුවන් මෙන් ඉතිහාසය, සිංහල, බුද්ධාගම වැනි අනෙකුත් විෂයයන්ගේ දැනුමැත්තෙකු නොවේ. මේ නිසා  බොහෝ අවස්ථාවල දී ඔහු පාසලේ කොන්වන්නට ද ඇත. යහළුවන් අහිමිවන්නට ඇත. ගුරුවරුන්ගේ ප්‍රසාදයට පත් නොවන්නට ඇත. ඔහුට සුදුසු පාසලක් ලැබෙන තුරු ඔහුට පාසල් අධ්‍යාපනය ද අතපසුවී ගොස් ය.

සුදුස්සාට සුදුසු තැන නොලැබීම පිළිබඳව නිම්සරගේ මාපියන් පසුවූයේ කනස්සල්ලෙනි. ගත වූයේ මාස කිහිපයකි. දරුවාගේ දක්ෂතාවට ඉහළ වටිනාකමක් ලබාදෙන්නට හොරණ ලීඩ්ස් ජාත්‍යන්තර පාසල ඉදිරිපත් විය. එනමුත් මාස පහක් හයක් යනතුරුම දරුවාට පාසල් අධ්‍යාපනය නොලැබීමෙන් පත් වූ අපහසුතාව පිළිබඳව මෙන්ම නිම්සරට අවැසි සුදුසුම තැන ලබාදෙන්නට දැරූ වෙර වීරිය පිළිබඳ ඔහුගේ මව මෙසේ හඬ අවදි කළාය.

“නිම්සර කියන්නේ සාමාන්‍ය දරුවෙක් නෙවෙයි. එයා සිංහල කතා කරනවට වඩා කතා කරන්නෙ ඉංග්‍රීසි. එයා කියන දේවල් සමහර වෙලාවට අපිට තේරෙන්නෙ නැහැ. අපි කතා කරන ඕනෑම දෙයක් දරුවට තේරුම් ගන්න පුළුවන්. ඇතැම් බැරෑරුම් වචන ඔහුට තේරුම් ගන්නට නොහැකි වුවත් එයා තරමක් දුරට සිංහල කතා කරනවා. tv එකේ සිංහල කතාවක්  දැම්මත්, චිත්‍රපටියක් දැම්මත් එයා ඒ චැනල් එක පවා මාරු කරලා ඉංග්‍රීසි චැනල් එකක් දාගන්නවා. එයා ගොඩාක්ම ආශා කළේ ඉංග්‍රීසි වැඩසටහන් බලන්න විතරමයි.

මගේ මහත්තයා මේසන් වැඩ කරනවා. ඉංග්‍රීසි  කතා කරන පවුල් පසුබිමක් අපේ ගෙදර ඇත්තේම නැහැ. මෙයා මොන්ටිසෝරි ගියේත් ධර්මචක්‍ර ළමා පදනමට. එක වසරෙ ඉඳලා නවය වසර වෙනකම් පාසල් ගියේ වල්ගම සද්ධාතිස්ස සිංහල පාසලට. ඒ පාසල්වලත් ඉංග්‍රීසියෙන් උගන්වන පසුබිමක් තිබුණේ නැහැ. එයා මොන්ටිසෝරි ඉඳලා නවය වසර වෙනකන්ම ඉගෙන ගත්තේ සිංහලෙන්. නමුත් දැන් එයාට සිංහල අමතක තත්ත්වයක් තියෙන්නේ. 

ළමයා අන්තිමටම ගියපු පාසලේ දෙමාපිය රැස්වීම්වලටත් මම සහභාගි වුණා. ඒ රැස්වීම්වලදී ගුරුවරු මට කිව්වේ ළමයාගේ ලකුණු මට්ටම ඉතා අඩුයි කියලා. නමුත් ඉංග්‍රීසි විෂය උගන්වන ගුරුතුමිය නම් හැමදාම කිව්වේ ළමයා ඉගෙන ගන්න දක්ෂයි වැඩ ටික හොඳට කරගෙන යනවා කියලා. ඊට පසුව මම නිම්සර ඉංග්‍රීසි ඉගෙනගන්න ඒ විෂය උගන්වන වත්සලා මෙන්ඩිස් ටීචර් ගාවට යැව්වා. සිංහල, බුද්ධාගම වගේ විෂයන්ට ලකුණු අඩු, ඒ ඒ විෂයන් සිංහලෙන් උගන්වන නිසා බව ඔහු  මිස්ට කියලා තිබුණා.    

නමුත් ඒ විෂයන්ම ඉංග්‍රීසියෙන් උගන්වනවා නම් හොඳින් අවබෝධ කරගැනීමට හැකියාව ලැබෙන බවද ඔහු කියා තිබුණා. එදාම මිස් මට දුරකතන ඇමතුමක් දීලා කිව්වා ඇවිත් මුණගැහෙන්න කියලා. දරුවාට ඇති සියලුම ගැටලු මිස් මට එකින් එක පැහැදිලි කර දුන්නා.

දරුවගේ දක්ෂතාවත්, දරුවට මොනවද අවශ්‍ය කියලවත් ඒ වන තුරු අපි හඳුනාගෙන තිබුණෙ නැහැ. දරුවා ජාත්‍යන්තර පාසලකට ඇතුළත් කරන්න යොමු වුණේ ඉන්පසුවයි. මම දරුවාට හොඳ ඉස්කෝලයක් හොයාගන්න නොගියපු තැනක් නෑ. කලාපෙට ගියා. ජනාධිපති මන්දිරයට ගියා. අරලියගහ මන්දිරයට ගියා. මේ වගේ දවස් ගානක් අව්වෙ දුරකතර ගෙවාගෙන යන්න පුළුවන් හැම තැනටම ගියා. ලියන්න පුළුවන් හැම තැනටම ලීවා. මාස තුනක් ගත වුණත් මට කිසිදු තැනකින් පිළිතුරක් නම් ලැබුණේ නැහැ. 

දරුවා වෙනුවෙන්  මගේ උත්සාහය අත්හැරියේ නැහැ. ඊට පසුව මම බණ්ඩාරගම සෙන්ට්‍රල් කොලේජ් එකට ගියා, සුමංගල පිරිමි විද්‍යාලයට ගියා, හොරණ අශෝක විද්‍යාලයට ගියා. මේ හැම පාසලකින්ම මට කිව්වේ අවුරුද්දේ මැදදී ළමයෙක්  පාසලකට ඇතුළත් කරගන්න බැහැ කියලා. ඒ වගේම මේ දරුවාගේ දක්ෂතාව මත ඒ ඒ පාසල්වල ප්‍රමාණවත් තරම් ගුරුවරු නැහැ කිව්වා. ඉන් පසුව මම ලයිසියම් එකටත් ගියා. ලීඩ්ස්  එකටත් ගියා. නමුත් දරුවා ජාත්‍යන්තර පාසලකට ඇතුළත් කර ගැනීමට මට ඉඩකඩක් දුන්නේ නැහැ.

මට කොහොම හරි ඕනේ වුණේ දරුවගේ දක්ෂතාව යටපත් වෙන්න නොදී එයාට හොඳ අනාගතයක් හදලා දෙන්න. දරුවා ජාත්‍යන්තර පාසලකට ඇතුළත් කර ගැනීමට අවසර ඉල්ලා අධ්‍යාපන අමාත්‍යද්‍යාංශයටත් ලියුමක් දැම්මා. නමුත් ඒ කිසිදු ආයතනයකින්වත් පුද්ගලයෙකුගෙන්වත් මට හොඳ ප්‍රතිචාරයක් නම් ලැබුණේ නැහැ. ඒ වෙලාවෙදි තමයි මට දැනුණේ සල්ලි නැතිව මිනිස්සු කොයි තරම් නම් අසරණ වෙනවද කියලා. ඒ වගේ පාසලකට දරුවා ඇතුළත් කරන්න තරම් වත්කමක් තිබුණා නම් කාගෙවත් ළඟ අසරණ වෙන්න ඕන නැහැනේ.

ඔය  අතරතුරේදී යාළුවෙක් නිම්සරගේ අවශ්‍යතාව සහ දක්ෂතාව  ගැන වීඩියෝවක් යූ ටියුබ් දාමු කියලා දවසක් කඩේ ගාවදි මට කිව්වා. ඊට පසුව  Sakiya-සකියා යූටියුබ් නාලිකාව පසුගිය සතියේ දිනක   වීඩියෝ එකක් කළා. ඉන් පසුව තමයි දරුවා පාසලට ඇතුළත් කරගැනීමට හැකි බව හොරණ ලීඩ්ස් ජාත්‍යන්තර පාසලෙන් මට නැවත දුරකථන ඇමතුමක් ආවෙ. ඉන් පසුව මම දරුවත් සමග පාසලට ගියා. එම පාසලේ විදුහල්පතිනිය මට කිව්වා කිසිදු ඇතුළත්වීමේ ගාස්තුවක්, වාර ගෙවීමක්වත් නොමැතිව අපි දරුවට උගන්වන්නම් කියලා. අම්මා කෙනෙක් විදියට ඒ වෙලාවෙ  මට දැනුණේ පුදුමාකාර සතුටක්. මේ ලෝකෙ ඉන්න ජයග්‍රාහීම අම්මා මම කියන හැඟීම මට ඒ වෙලාවෙ ඇතිවුණා” 

දින ගණනාවක්  දුරකතර  ගෙවාගෙන තමන්ගේ දරුවා ජාත්‍යන්තර පාසලකට ඇතුළත් කර  අධ්‍යාපනය ලබාදෙන්නට මේ අම්මා කොතෙක් නම් වෙහෙසෙන්නට ඇත්ද? ආදරණීය අම්මෙකුගේ උත්සාහය ඇස් ඉදිරිපිටම මල්ඵලගැන්වෙමින්  දරුවාගේ අනාගතය දීප්තිමත් කරන්නට හොරණ ලීඩ්ස් ජාත්‍යන්තර පාසල ඉදිරිපත්වීම සතුටට කරුණකි. 

තම අපූරු හැකියාව පිළිබඳව නිම්සර මෙසේ කීය.

“මම පොඩි කාලෙ ඉඳන්ම ඉංග්‍රීසි වීඩියෝ කාටූන් බලන්න හරිම ආසයි. සිංහල කාටූන් එකක් අම්මා දාලා දුන්නත් මම ඒවට කැමති නැහැ. මට ඕන වුණේ හැමදාම ඉංග්‍රීසි කාටූන් බලන්න. ඒ ඇයි කියන්න මමවත් දන්නේ නැහැ. නමුත් මට තේරෙන කාලෙදි ඕන වුණා කොහොම හරි ඉංග්‍රීසි ඉගෙනගන්න. එයාලා කතා කරන විදියටම කතා කරන්න. ඉන් පසුව  වුවමනාවෙන්ම  ඒ වගේ දේවල් බලන්න පටන් ගත්තා. කොරෝනා කාලෙදි පාසල් වැඩ කරන්න අම්මා මට ෆෝන් එකක් ගෙනත් දුන්නා. එයා ගෙදර එනකොටත් රෑ එකොළහ විතර වෙනවා. මම ගෙදර හිටියේ තනියම. ඒ ඉන්න හැම වෙලාවකදිම මම කළේ ඉංග්‍රීසි ගේමින් වීඩියෝස්, movies, short videos බලපු එක.

ඒවගෙනුත් මම ගොඩාක්ම ආස ඇමරිකන් වීඩියෝස් බලන්න. මම හිතන්නේ එහෙම වෙන්න ඇති මට ඉංග්‍රීසි පුළුවන් වෙන්න ඇත්තේ. ඒ වගේම මම ආසයි අනිත් අය එක්ක ඉංග්‍රීසියෙන් තර්ක කරන්න. නොදන්න දේවල් ඉගෙන ගන්න. ඒකෙන් තව තවත් මගේ ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ හැකියාව වර්ධනය වෙනවා කියලා මම හිතනවා. මට අනික් අය කතා කරන සිංහල හොඳට තේරෙනවා. නමුත් ගැඹුරු වචන තේරෙන්නෙ නැහැ. ඒ වගේම මට තරමක් සිංහලෙන් කතා කරන්න පුළුවන්. හැබැයි අමාරු වචන බැහැ. මම හිතන්නේ මගේ සිංහල දැනුම එක වසර ඉන්න ළමයෙකු හා සමානයි කියලා”

කුඩා කල පටන්ම සිංහල වීඩියෝවලට සාපේක්ෂව ඉංග්‍රීසි වීඩියෝ පමණක් නැරඹීමට පුරුදු වී සිටි නිම්සර එය තමාගේ විනෝදාංශයක් බවට පත් කරගෙන ඇත. ඉන් ඔහු උත්සාහ ගෙන ඇත්තේ එකම උච්චාරණයෙන් පමණක් නොව විවිධ වූ උච්චාරණයන්ගෙන් ඉංග්‍රීසි භාෂාව හැසිරවීමටය. එමෙන්ම සිංහල බස චතුරව හැසිරවීමට අසමත් වූ ඔහු ලිවීමට සහ කියවීමට පුරුදුව ඇත්තේ අන්තර්ජාලය හරහා තම යහළු මිත්‍රාදීන්ට කෙටි පණිවිඩ යැවීමෙනි. දිගු කලක් තිස්සේ මෙය තමන්ගේ විනෝදාංශයක් එමෙන්ම පුරුද්දක් ලෙස ගෙනගිය නිම්සර අද වන විට රටක් කතා කරන පාසල් නොගිය සුද්දෙකු වී හමාරය.

මෙම හැකියාව හඳුනාගත් වත්සලා ගුරුතුමිය දරුවා නිසි මාර්ගයට යොමු කිරීමට ඔහුගේ මාපියන්ට ගුරුහරුකම් ලබානොදෙන්නට නිම්සර යනු කැලයේ පිපී කැලේටම පරවූ තවත් එක් මලකට සම වන්නට ඉඩ තිබුණි. සාමාන්‍ය දරුවන් කුඩා කාලයේදී විවිධ වූ කාටූන් නැරඹුවද ඒවා බොහොමයක් පරිවර්තනය කළ හෝ එසේත් නැතිනම් සිංහල බසින් විකාශනය වෙන චිත්‍රපට හෝ ළමා කාටූන් වෙයි. නිම්සර යනු ඉන් ඔබ්බට ගොස් ඉංග්‍රීසි බසින් පමණක් විකාශනය වූ චිත්‍රපට කාටූන් ආදිය නැරඹූ අයෙකි.

ඔහුට අවශ්‍ය දෙය හරියාකාර ලෙස අවබෝධ කරගත් වත්සලා වැනි ගුරුවරුන් පාසල් යන වයසේ දරුවන්ට අත්‍යවශ්‍යය. පසුගිය කාල වකවානුවේදී නිම්සර පාසලේ සිංහල, බුද්ධාගම, ගණිතය ආදී බොහෝ විෂයන්ට ලකුණු තිහකට වඩා අඩු ප්‍රමාණයක් ලබාගත් අයෙකි. නමුත් ඉංග්‍රීසි සහ විද්‍යාව යන විෂයන්ට ඔහු ඉහළ සමත්කමක් දක්වා ඇත්තේ  එම විෂය පමණක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැදෑරු නිසාය. 

මෙවැනි දරුවන් රටට සම්පතකි. ඔහුට අත හිත දෙන්නට මේ වන විටත් නන් දෙසින් ඇමතුම් රාශියක් ගලා එයි. එසේ පැමිණි දුරකථන ඇමතුම් අතර රජීව් රාජපුත්‍රගේ දුරකථන ඇමතුම නිම්සරගේ දෛවය කෙදිනක හෝ වෙනස් කරනු නොඅනුමානය. ඒ ඔහු නිම්සරගේ අධ්‍යාපන කටයුතු ඉවරවන තුරුම ඔහුට උපකාර කිරීමට සහ සියලු වියදම් දැරීමට ඉදිරිපත් වී ඇති නිසාය.  උතුම් වූ මානුෂීය හදවත් ඇති අය අදටත් අප සමාජයේ සිටින බවට තවත් කුමට නම් නිදසුන් සපයන්නද? 

නිම්සර රසාංජනගේ එකම එක ප්‍රාර්ථනය කෙදිනක හෝ විදේශගතව අධ්‍යාපනය ලබා තම මව් රටට  නැවතත් පැමිණ තම මව් රටේම තමන්ටම ආවේණික ස්ථානයක් සකසාගැනීමය. කෙදිනක හෝ නීතීඥවරයකු වීමේ සිහිනයද තමා  සතු බව ඔහු අප සමග කීවේය. 

අවුරුදු දහ හතරක් වයසැති නිම්සරගෙන් විද්‍යමානවන්නේ ඉංග්‍රීසි භාෂාවෙහි චතුරයෙකි. ඉගෙනගන්න වයසේ දරුවන්ට නිම්සර ආදර්ශවත් සිසුවෙකි. නමුත් අධ්‍යාපනය කියන්නේ කිසිදු දරුවෙකුට බලෙන් ලබා දිය හැකි දෙයක් නම් නොවේ. එහි ඇල්ම නිරුත්සාහකවම කෙනෙකුට ලැබිය යුතු දෙයකි. මේ පිළිබඳව හරි අපූරු කතාවක් නිම්සර අපිට කීවේය.

“අද සමාජයේ අධ්‍යාපනයට ඇති කරන පීඩනය නිසා දරුවන්ගේ මානසික සෞඛ්‍යය විනාශ වෙනවා. අධ්‍යාපනය කියන්නෙ බලෙන් ලබාදිය යුතු දෙයක් නොවෙයි. එයට ආසාව ඇතිවිය යුතුයි. හරියට මම ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති වුණා වගේ. නමුත් ඒ දේට පවා බලෙන් තල්ලු කරන්න එපා. ඒ වගේම තමන්ට ඕන දේවල් දෙමාපියන්ට කියන්නත් බයවෙන්න එපා. තමන් දෙයක් ඉගෙන ගන්නවා නම් එය ජීවිතයේ එක්තරා ආකාරයක විනෝදාංශයක් බවට පත්කර ගන්න. මම හිතනවා එතකොට තමයි ළමයෙකුට අවශ්‍ය අධ්‍යාපනය ලැබෙන්නේ කියලා”

නිම්සර රසාංජන නම් පාසල් නොගිය සුද්දාගේ මේ කතාව සමාජයටම සපයන්නේ මහත් වූ ආදර්ශයකි. මෙපමණ කලක් විවිධ වූ අවහිරතාව මැද අධ්‍යාපනය ලැබූ නිම්සරගේ අධ්‍යාපන මාවත දෙපස කෙමෙන් කෙමෙන් මලින් සැරසෙනු ඇත. එසේම කෙදිනක හෝ ඔහුගේ ඇමරිකන් විදේශීය අධ්‍යාපන සිහිනය ද සාක්ෂාත් වනු ඇත.

මධුෂා දිල්ෂානි