පස් වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය: අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කුමකටද?


ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනයෙහි පදනම වූ ලිඛිත විභාගවලින් ඇගයනුයේ සිසුන්ගේ විෂය අවබෝධය හෝ නිපුණතා නොව විෂය නිර්දේශයන්/ගුරු අත්පොත් හි සඳහන් වචන කට පාඩම් කර මතකයෙන් පිළිතුරු ලිවීමේ හැකියාවයි. පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඇරඹී උසස්පෙළ විභාගය දක්වාම ළමයින්ගේ සාර්ථකත්වය ඇගයීම මෙම ආකෘතියට අනුගත බැවින් ශිෂ්‍යත්ව විභාගයේ ආරම්භක අරමුණ මේ වන විට ඉටුවේ දැයි විමසීම අධ්‍යාපනයේ සැබෑ ප්‍රතිසංස්කරණ සඳහා අත්‍යවශ්‍ය වේ. 

මෙම විභාගය ආරම්භ කළ ආචාර්ය සී. ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ අරමුණ වූයේ එකල පැවති කනිෂ්ඨ (ප්‍රාථමික) ස්වභාෂා පාසල්වල මව් බසින් අධ්‍යාපනය ලැබූ අඩු ආදායම්ලාභී පවුල්වල ඉගෙනීමට දක්ෂ දරුවන් තෝරාගෙන ඔවුන්ට ගුණාත්මක ඉහළ ද්විතීක අධ්‍යාපනයක් නොමිලේ, ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබා දීමයි. ඒ සඳහා විද්‍යාගාර, ක්‍රීඩා, සෞන්දර්ය ක්‍රියාකාරකම්, නේවාසිකාගාර පහසුකම් සහිත මධ්‍ය විද්‍යාල ආරම්භ කෙරුණි. 

එමඟින් ස්වභාෂා කනිෂ්ඨ පාසල්වල සිටි අඩු ආදායම්ලාභී දක්ෂ දරුවන්ට එකල ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැති ද්විතීක අධ්‍යාපනය සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනයට නොමිලේ ප්‍රවේශ අවස්ථාව සැලසීම මෙරට අධ්‍යාපන ඉතිහාසයේ ඉතා වැදගත් තීරණයක් වූ බව මහාචාර්ය රංජිත් රුබේරුගේ Education in Colonial Ceylon, 1962 හි සඳහන් වේ. ඒ සඳහා පැවති වටිනාකම 1953 දී රචිත ටී.බී. ඉලංගරත්නයන්ගේ “විලම්බීත’’ නවකතාව මගින් සිසු දෘෂ්ටිකෝණයෙන් නිරූපණය වේ. 

1972 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් 1971 කැරැල්ලට හේතු වූ අධ්‍යාපන විෂමතා අවම කිරීම සඳහා සියලුම ජනප්‍රිය පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි වලට සිසුන් ඇතුළත් කිරීම ක්‍රමානුකූලව නතර කැර වසරෙන් වසර ශ්‍රේණියෙන් ශ්‍රේණිය ඉවත් වීමට ඉඩ හැර ඒවා ප්‍රාථමික අංශ නොමැති ද්විතීක පාසල් බවට පත්කරන ලදී. ශිෂ්‍යත්වධාරීන් හා ජනප්‍රිය පාසල්වලට තේරීම සඳහා පැවැති මාණ්ඩලික මට්ටමේ විභාග සමත් සිසුන් එම පාසල්වල හය වන ශ්‍රේණිවලට ඇතුළත් කෙරුණි. 

කොළඹ ඇතුළු සියලු‍ නගරවල ප්‍රධාන පාසල්වල මෙසේ ප්‍රාථමික පන්ති ඉවත් විය. සිදු වූ දේශපාලන පෙරළිවලට පසු ක්‍රමයෙන් ද්විතීයික පාසල්වල ඉවත් කළ ප්‍රාථමික ශ්‍රේණි නැවත ආරම්භ විය. කොළඹ දේවි බාලිකා, ගම්පහ රත්නාවලී බාලිකා සහ බණ්ඩාරනායක විද්‍යාලය වැනි ප්‍රධාන ද්විතීක පාසැල් අතළොස්සක අද වනතුරු නැවත ප්‍රාථමික පන්ති ඇරඹුණේ නැත. 

විවිධ කාල වකවානුවල සමාජ ඉල්ලු‍ම හා දේශපාලන හේතු මත ආරම්භ වූ පාසල් පද්ධතිය තුළ මූලික භෞතික හා මානව සම්පත් පවා නොමැති පාසල් රාශියක් පවතිද්දී වැඩි පහසුකම් සහිත ජනප්‍රිය නාගරික පාසල් සීමිත සංඛ්‍යාවට විශාල ඉල්ලු‍මක් පවතී. ජනප්‍රිය පාසල්වල පළමුවන ශ්‍රේණියට හා අතරමැදි පන්ති වලට අධික සිසුන් ප්‍රමාණයක් චක්‍රලේඛ ද අබිබවා ඇතුල් කෙරේ. එබැවින් හයවෙනි ශ්‍රේණියේදී ශිෂ්‍යත්වධාරීන්ට ලැබෙන ඉඩ ඉතා සීමිතය. පසුගිය දශක කිහිපය තුළ ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණ ඉතා ඉහළ යාමට මෙය ප්‍රධාන හේතුවක් විය. මේ නිසා වර්තමාන ශිෂ්‍යත්ව විභාගය එහි ආරම්භක අරමුණින් බැහැරව ජනප්‍රිය පාසල්වල හයවැනි ශ්‍රේණිවල පවතින සීමිත පුරප්පාඩු සංඛ්‍යාවට දරුවන් තෝරන දැඩි තරගකාරී විභාගයක් බවට පරිවර්තනය විය. 

මෙවැනි පසුබිමක් යටතේ පසුගිය ශිෂ්‍යත්වය විභාගය සහ එහි කඩඉම් ලකුණ පිළිබඳව සමාජයේ කතා බහක් ඇති විය. විභාග දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2023 වසරට සාපේක්ෂව 2024 වසරේ දී ලකුණු එකොළහකින් 7% කඩඉම් ලකුණ පහත දැමුවද එම ලකුණට ඉහළ සිසුන් සංඛ්‍යාව වැඩි වූයේ 580 ක පමණ (0.8%) ඉතා සුළු ප්‍රතිශතයක් වීමට හේතු අධ්‍යයනය කළ යුතුය. 

කොවිඩ් 19 වසංගතයෙන් දීර්ඝතම පාසල් වැසීම පැවැතියේ ලංකාවේ බව යුනෙස්කෝ ගෝලීය අධ්‍යාපන නියාමන වාර්තාව (GEM Report, School Closure, 2022) පවසයි. 2020 මාර්තු වැසුණු පාසල් නැවත විවෘත වූයේ 2021 ඔක්තෝබර්ය. අර්බුද හේතුවෙන් 2022 වසරේ අප්‍රේල් සහ ජූලි අතර ද පාසල් වැසුණි. 2019 දී පළමුවන ශ්‍රේණියට ඇතුළුවූ සිසුන්ට පාස්කු ප්‍රහාරය සහ දෙවැනි ශ්‍රේණියේදී කොවිඩ් 19 නිසා වූ දීර්ඝ පාසල් වැසීමෙන් ජීවිතයේ තීරණාත්මක පළමු පාසල් අත්දැකීම් නොලැබිණි. සිදුවූ ඉගෙනුම් පාඩුව තක්සේරුව සඳහා “ශ්‍රී ලංකාවේ තෙවැනි ශ්‍රේණියේ දරුවන්ගේ සාක්‍ෂරතා සහ ගණිත හැකියාවන්ට අදාළ පදනම් කුසලතා සහ අත්‍යවශ්‍ය නිපුණතා මට්ටම් ඇගයීම” නමින් ක්‍රියාකාරකම් පාදක ඇගයීමක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2022 දෙසැම්බර් සිට 2023 වසරේ ජනවාරි අග දක්වා ක්‍රියාත්මක කෙරුණි. 

එයින් අනාවරණය වූයේ නියැදියේ සිසුන්ගෙන් තෙවැනි ශ්‍රේණියේදී තිබිය යුතු සියලු‍ කුසලතා සහිත ප්‍රතිශත සාක්ෂරතාවට 6% ක් සහ ගණිතයට 7% ක් බවයි. විෂය මාලාව අනුව සියලු‍ අත්‍යවශ්‍ය සාක්‍ෂරතා ඉගෙනුම් නිපුණතා සහිත ප්‍රතිශතය 14% හා ගණිතයට අදාළව 15% කි. නියැදියෙහි සිසුන් ඇතුළු පස්වැනි ශ්‍රේණියේ සිසුන්ට 2024 වසර මුල දී ශිෂ්‍යත්ව විභාගය පැවති අතර කඩඉම් ලකුණ ඉක්මවූ ප්‍රතිශතය 15% විය. 

පාසල්වල සම්පත් (25% ක් ප්‍රාථමික නුපුහුණු ගුරු) හිඟය, අවාසිදායක ඉගෙනුම් පරිසරය, ආර්ථික ගැටලු‍ (13% කට දිනපතා ප්‍රධාන ආහාර වේලක් නොලැබීම) හේතුවෙන් දරුවන් විශාල පසුබෑමකට ලක් වූ බව අනාවරණය විය. ජාත්‍යන්තර ඉගෙනුම් ප්‍රමිතීන් සහ සිව්වැනි තිරසර සංවර්ධන අරමුණට අදාළ ගෝලීය ප්‍රවීණතා මට්ටම් රාමුව (Global Proficiency Level Framework) සමග සැසඳීමේ දී විෂය මාලාවේ ගණිතය හා සාක්ෂරතා දුර්වලතා ද හඳුනා ගැනුණි. සම්පූර්ණ අධ්‍යයන වාර්තාව (Grade 3 Assessment, 2023) www.moe.gov.lk වෙබ් අඩවියෙහි ඇත. අධ්‍යයනයේ ප්‍රතිඵල ප්‍රතිපෝෂණ සැලැස්මක් සමඟ අදාළ අංශ වෙත සහ විෂය මාලා සංශෝධනයට අවශ්‍ය නිර්දේශ ජාතික අධ්‍යාපන ආයතනයට ලබාදී වසර දෙකකි. සිදුවූ අහිතකර බලපෑම් තක්සේරු කර ඉලක්ක ගත ඌන පූර්ණ අධ්‍යාපන වැඩසටහන් (Catch up education) හෝ විෂයමාලා වෙනස් වීම් නොමැතිව ශිෂ්‍යත්ව විභාගය සාමාන්‍ය පරිදි පැවැත්වූ බව පසුගිය ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලින් පැහැදිලි වේ. එබැවින් 2023 වසරට වඩා 2024 වසරේ ඉහල ලකුණු ලැබූ සංඛ්‍යාව අඩුවීමට සිදුවූ ඉගෙනුම් පාඩුව හේතුවිය හැකිය.

2024 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල විශ්ලේෂණය

පසුගිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ට ද පළමු පාසල් දෙවසර අහිමිවිය. විභාගයේ පළමුවන ප්‍රශ්න පත්‍රයෙන් සාමාන්‍ය බුද්ධිය, අභියෝගතාව සහ දෙවන ප්‍රශ්න පත්‍රයෙන් විෂයමාලා දැනුම පරීක්ෂා කෙරේ. ජනප්‍රිය පාසලකට ඇතුළු වීමට සිසුවකු ලකුණු 170ක් වත් ලැබිය යුතුය. ඒ සඳහා එක් ප්‍රශ්න පත්‍රයකට ලකුණු 80 ක් පමණ අවශ්‍යය. එබැවින් පළමුවන හා දෙවන ප්‍රශ්න පත්‍ර සඳහා වෙන් වෙන්ව ලකුණු පරාස සහ ආදායම් මට්ටම අනුව විශ්ලේෂණය කෙරේ. සමස්ත ප්‍රතිඵල හෝ මාධ්‍ය අනුව විශ්ලේෂණයට අවශ්‍ය දත්ත පළකර නොතිබුණි. 

අනාවරණ

2024 වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි ළමයි 319,284 ක් අතරින් 181,103 (56%) ක් අඩු ආදායම්ලාභී, එනම් ශිෂ්‍යාධාර ඉල්ලීමට සුදුසු වාර්ෂික ආදායම රුපියල් එක් ලක්ෂ අසූදාහ (180,000) ට (මසකට 15,000 ට) අඩු පවුල්වල දරුවන්ය. 

පළමුවන ප්‍රශ්නය පත්‍රයට 100 සහ 50 අතර ලකුණු පරාසයයේදී වැඩි ආදායම්ලාභී පවුල්වල ළමයි අඩු ආදායම්ලාභී පවුල්වල ළමයින්ට වඩා ඉහළ ලකුණු ගනී. ලකුණු 80 ට වඩා ලැබූ ළමයි සංඛ්‍යාව 616 (0.19%) කි. එයින් අඩු ආදායම්ලාභී පවුල්වල ළමයි සංඛ්‍යාව 163 (0.09%) කි. ඒ අනුව ලකුණු 80 ට වඩා ලබාගැනීමට අඩු ආදායම්ලාභී පවුල්වල ළමයින් දාහකින් එක් අයකුටත් නොහැකි බව පෙනේ. එහෙත් වැඩි ආදායම් ලාභී පවුල්වල ලකුණු 80 ට වඩා ලැබූ ළමයි සංඛ්‍යාව 453 (0.33%) ක් ලෙස ඊට වඩා හතර ගුණයකින් පමණ ඉහළය. එම පවුලක ළමයෙකුට ලකුණු 80 ට වඩා ලබාගැනීමේ හැකියාව අඩු ආදායම්ලාභී පවුලක ළමයෙකුට වඩා 108 ගුණයකින් පමණ ඉහලය. ලකුණු 60ට වැඩි ළමයි ප්‍රතිශතය 12% කි. ඒ අය අතරින් අඩු ආදායම්ලාභී ළමයි ප්‍රතිශතය 8%ක් වන විට වැඩි ආදායම්ලාභී ළමයි ප්‍රතිශතය 17% ක් ලෙස ඊට වඩා දෙගුණයකින් වැඩිය. 

පළමුවැනි ප්‍රශ්න පත්‍රයට ලකුණු 80 ට වඩා ලැබූ පිරිමි ළමයි සංඛ්‍යාව 332 (0.24%) ක් හා ගැහැනු ළමයි සංඛ්‍යාව 224 (0.14%) කි. එම පිරිමි ළමයි ඔවුන්ගේ පවුල්වල ආදායම් මට්ටම අනුව සැසඳීමේ දී අඩු ආදායම්ලාභී පිරිමි ළමයි සංඛ්‍යාව 98 (0.11%) ක් වන විට වැඩි ආදායම්ලාභී පිරිමි ළමයි සංඛ්‍යාව 294 (0.42%)ක් ලෙස ඊට වඩා හතර ගුණයකින් වැඩිය. ලකුණු 80 ට වඩා ලැබූ ගැහැනු ළමයි ඔවුන්ගේ පවුල්වල ආදායම් මට්ටම අනුව සැසඳීමේ දී අඩු ආදායම්ලාභී ගැහැනු ළමයි සංඛ්‍යාව 65 (0.07%) ක් වන විට වැඩි ආදායම්ලාභී එම සංඛ්‍යාව 159 (0.23%) ක් ලෙස තුන් ගුණයකින් වැඩිය. 

මෙම ප්‍රශ්න පත්‍රයට අාදායම් මට්ටම් අනුව ඉහළ ලකුණු ලබාගැනීමේ විෂමතාවක් පැවතියද ගැහැනු පිරිමි වශයෙන් ලකුණු බෙදී යාමේ සැලකිය යුතු වෙනසක් නොපෙනේ.

(මූලාශ්‍ර: ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව 2024)

ප්‍රස්තාරය-1 හි දැක්වෙන පරිදි දෙවන ප්‍රශ්න පත්‍රයට 100 සහ 80 අතර ලකුණු පරාසයේදී වැඩි ආදායම්ලාභී පවුල්වල ළමයින් අඩු ආදායම්ලාභී පවුල්වල ළමයින්ට වඩා කැපී පෙනෙන ඉහළ අගයක් පෙන්වයි. ලකුණු 80ට වඩා ලැබූ සංඛ්‍යාව 67,048 (21%) කි. ආදායම් මට්ටම අනුව සැසඳීමේ දී අඩු ආදායම්ලාභීන් 26,771 (15%) ක් වන විට වැඩි ආදායම්ලාභීන් 40,277 (30%) ක් ලෙස ඊට වඩා දෙගුණයකින් වැඩිය. ලකුණු 60 ට වඩා ලැබූ ප්‍රතිශතය 55%කි. ඒ අතරින් අඩු ආදායම්ලාභී ප්‍රතිශතය 44% ක් සහ වැඩි ආදායම් ලාභී ප්‍රතිශතය 66%කි. 

ප්‍රස්තාරය-2 පළමු හා දෙවැනි ප්‍රශ්න පත්‍ර අතර ලකුණු ලබාගැනීමේ විෂමතාව - 2024

(මූලාශ්‍ර: ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව 2023, 2024)

දෙවැනි ප්‍රස්තාරයෙන් නිරූපණය වන පරිදි ළමුන් 616 (0.19%) ක් පළමු වැනි ප්‍රශ්න පත්‍රයට ලකුණු 80 ට වඩා ලැබූ විට ළමයින් 67,048 (21%) දෙවන ප්‍රශ්න පත්‍රයට ලකුණු 80 ට වඩා ලබන බැවින් ප්‍රශ්න පත්‍ර දෙක අතර 80 ට වඩා ලකුණු ගැනීමේ පරතරය සිය ගුණයකටත් වැඩිය. දෙවැනි ප්‍රශ්න පත්‍රයට ලකුණු 80ට වඩා ලැබූ පිරිමි ළමයි ප්‍රතිශතය 19%ක් සහ ගැහැනු ළමයි ප්‍රතිශතය 27% කි. ලකුණු 80ට වඩා ලැබූ අඩු ආදායම්ලාභී ප්‍රතිශතය 15% ක් වන විට වැඩි ආදායම්ලාභී ප්‍රතිශතය 30% ක් ලෙස දෙගුණයකි. පළමු වන ප්‍රශ්න පත්‍රයට ලකුණු 60 ට වඩා ලබාගන්නා ප්‍රතිශතය 12% වන විට දෙවන ප්‍රශ්න පත්‍රයට එම ප්‍රතිශතය 55%කි. 

දෙවන ප්‍රශ්න පත්‍රයට ලකුණු 80 ට වඩා ලැබූ ළමයි සංඛ්‍යාව ඉතා ඉහළවීම විභාගයේ සමස්ත ලකුණු ප්‍රමාණයට වැඩි බලපෑමක් සිදුකරයි. අඩු ආදායම්ලාභීන්ට ඉහළ ලකුණු ලැබීමේ හැකියාව ඉතා අඩු වනවිට වැඩි ආදායම්ලාභී ඉහළ ලකුණු ලැබූ සංඛ්‍යාවේ විශාල වැඩිවීමෙන් ඇතිවූ දැවැන්ත විෂමතාව නිසා අඩු ආදායම්ලාභීන්ට ජනප්‍රිය පාසල් සඳහා අවශ්‍ය ලකුණු ගැනීමේ හැකියාව අවම වේ. 

ප්‍රස්තාරය-3 පිරිමි/ගැහැනු බව අනුව දෙවන ප්‍රශ්න පත්‍රයට ලකුණු ලබා ගැනීම - 2024 

තෙවන ප්‍රස්තාරයෙන් නිරූපණය වන පරිදි දෙවන ප්‍රශ්න පත්‍රයට ලකුණු 80ට වඩා ලැබූ පිරිමි ළමයි ප්‍රතිශතය 19%ක් වන විට ගැහැනු ළමයි ප්‍රතිශතය 27% ක් ලෙස ඊට වඩා 50% කින් වැඩිය. අඩු ආදායම්ලාභී පිරිමි ළමයි ප්‍රතිශතය 13% ක් වන විට වැඩි ආදායම්ලාභී පිරිමි ළමයි ප්‍රතිශතය 26% ක් ලෙස දෙගුණයකින් වැඩිය. ගැහැනු ළමයින් අතර සසඳන විට අඩු ආදායම්ලාභී ගැහැනු ළමයි ප්‍රතිශතය 17%ක් සහ වැඩි ආදායම්ලාභී ගැහැනු ළමයින් ප්‍රතිශතය 32% ලෙස ඊට වඩා දෙගුණයකට ආසන්න වේ. ලකුණු 60ට වඩා ලැබූ පිරිමි ළමයි ප්‍රතිශතය 49%ක් වන විට ගැහැනු ළමයි ප්‍රතිශතය 59%ක් ලෙස 50% කින් වැඩිය. ලකුණු 60 ට වඩා ලබා ගෙන ඇති පිරිමි ළමයින් සැසඳීමේ දී අඩු ආදායම්ලාභී පිරිමි ළමයි ප්‍රතිශතය 41% ක් වන විට වැඩි ආදායම් ලාභී පිරිමි ළමයි ප්‍රතිශතය 62%ක් ලෙස ඉහළ අගයක් ගනියි. ගැහැනු ළමයින් අතර සැසඳීමේදී අඩු ආදායම්ලාභී ගැහැනු ළමයින් ප්‍රතිශතය 50%ක් සහ වැඩි ආදායම්ලාභී ගැහැනු ළමයි ප්‍රතිශතය 71% කි. 

ලකුණු ලබන රටාව අනුව සමස්ත ලකුණු ප්‍රමාණයට වැඩි බලපෑමක් කරනුයේ දෙවන ප්‍රශ්න පත්‍රයට ලැබෙන ඉහළ ලකුණුය. දෙවන ප්‍රශ්න පත්‍රයට වැඩි ලකුණු ලබන වැඩි ආදායම්ලාභී ගැහැනු ළමයින් සමස්ත ලකුණු වලින් ද ඉහළ ලකුණු ලබා ගනී.

අසමානතා හා බලපෑම් 

ඩි ආදායම්ලාභී පවුල්වල ළමයින් ඉහළ ලකුණු ලබාගැනීම දෙවෙනි ප්‍රශ්න පත්‍රය වැඩි ආදායම්ලාභී පවුල්වල ළමුන්ට ඉහළ ලකුණු ලැබීමට පහසු ලෙස විශාල අසමානතාවක් ඇති වන පරිදි සකස් කිරීම බරපතළ ගැටලු‍වකි. ප්‍රශ්න පත්‍ර සැකසීමේදී විභාග දෙපාර්තමේන්තුව වලංගුබව, තිරබව සහ සරිබව තහවුරු කිරීමට විෂය ප්‍රවීණයන් හරහා විධිමත් ක්‍රියාවලියක් අනුගමනය කරන අතර එහි නව ඇගයීම් ක්‍රම පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලවල පශ්චාත් උපාධි හැදෑරූ ප්‍රවීණයන් සිටියදී මෙසේ සිදුවීම මවිතයට කරුණකි. විභාග නවීකරණය, අයිතම බැංකු පිහිටුවීම සඳහා ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර කලක සිට විභාග දෙපාර්තමේන්තුවට ලැබෙන අතර දේශීය අරමුදල්ද ලැබේ. එබැවින් මෙම ගැටලු‍වට හේතුව ප්‍රශ්න පත්‍රය‍ ද ඒ සඳහා බලපෑ වෙනත් හේතු පවතී ද යන්න පර්‌යේෂණයක් මඟින් අනාවරණය කළ යුතුය. ප්‍රශ්න පත්‍රය පිළිබඳ ප්‍රාමාණික බුද්ධිමතුන් හරහා විමර්ශනය කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීමකි. පසුගිය විභාගයේ ‍ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පුද්ගලයකුට නීතියෙන් දඬුවම් ලැබිණි. (උසස් පෙළ විභාගයේ ලකුණුවල වූ දෝෂයෙහි වගකීම යන්ත්‍රයකට පැවරුණු පසු ලබා දුන් නඩු තීන්දුව සිහි වෙයි. ප්‍රතිව්‍යුහගත කිරීම සදහා වූ විශේෂඥ කමිටු වාර්තාව ක්‍රියාත්මක නොවීම අතුරුදන් විය.) 

දෙවන ප්‍රශ්න පත්‍රයට අසාමාන්‍ය ලෙස ළමුන් කොටසක් වැඩි ලකුණු ලබාගැනීමෙන් ශිෂ්‍යත්ව ප්‍රතිඵලයට වූ බලපෑම නිසා අනෙක් ළමුන්ගේ මූලික මානව හිමිකම් උල්ලංඝනය වේ. විශේෂයෙන් 56% ක් වන අඩු ආදායම්ලාභී ළමුන්ගේ (පළමුවන ශ්‍රේණියටද අවස්ථා නොලැබෙන) විභාග ප්‍රතිඵලයට සහ ඒ අනුව ලැබෙන අධ්‍යාපන අවස්ථාවට මෙය විශාල අවාසියකි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි විසි හත්වැනි වගන්තිය නිරක්ෂරතාව සම්පූර්ණයෙන් ම මුල් සිඳ දැමීම හා සියලු‍ දෙනාටම සියලු‍ මට්ටම්වල අධ්‍යාපනය සඳහා පූර්ණ හා සමාන ප්‍රවේශ පහසුකම් පිළිබඳ අයිතිය සහතික කිරීම මෙයින් උල්ලංඝනය වේ. 

ශ්‍රී ලංකාව පාර්ශ්ව කරුවකු වන මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය, අධ්‍යාපනය මූලික මානව හිමිකමක් ලෙස පිළිගන්නා ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය, අධ්‍යාපනය පිළිබඳ සිව්වන තිරසර සංවර්ධන අරමුණු සඳහා අවශ්‍ය සැමට සාධාරණ, ගුණාත්මක සහ අන්තර්කරණය සහිත ඉගෙනුම් අවස්ථා සැලසීම සහතික වීමයන එකඟතාවන් උල්ලංඝනය වේ. 

එබැවින් පවතින ශිෂ්‍යත්ව විභාගයෙන් අඩු ආදායම් ලාභී පවුල්වල දක්ෂ දරුවන්ට අවස්ථා ලබා දීමේ කන්නන්ගර මහතාගේ මූලික අභිප්‍රාය ඉටු නොවේ. ඒ වෙනුවට කට පාඩම් කළ මතකය අගයන අධ්‍යාපන ක්‍රමයට හොඳින් අනුගත වූ වැඩි ආදායම් හා පහසුකම් සහිත ළමයි වැඩි පිරිසක් තෝරා ගෙන ඔවුන්ට වැඩි අගයක් සහ අවස්ථා සමග විශේෂ පහසුකම් සලසයි. 

සාකල්‍ය ඉගෙනුම්/ඉගැන්වීම් ක්‍රම අභියෝගයකට ලක් වීම 

වැඩි ආදායම්ලාභී ළමයි ඉහළ ලකුණු ලබා ගැනීමට ප්‍රධාන හේතුව වැඩි පහසුකම් සහ අමතර උපකාරක පන්ති පුහුණුව විය යුතුය. අඩු ආදායම්ලාභී ළමයින්ට පහසුකම් සහ උපකාරක පන්ති පුහුණුව අඩු බැවින් ඉහළ ලකුණු ලබාගැනීම දුෂ්කරය. මේ නිසා ඇති වූ තරගය කායික, මානසික, චිත්තවේග, බුද්ධිමය, සෞන්දර්ය සහ සමාජ අනුයෝජනය සමඟ පෞරුෂ සංවර්ධනයෙන් යුතු සාකල්‍ය (Holistic) ප්‍රාථමික අධ්‍යාපනය දරුවන්ට අහිමි කරයි. ඉගෙනුම් පල ඇගයීමට භාවිත කරන Bloom ගේ 2016 සංශෝධිත වර්ගීකරණය (Bloom’s Taxonomy) අනුව දරුවන් සිය අධ්‍යාපනය ආරම්භයේදීම මතක තබා ගැනීම සහ අවබෝධය යන පහළ මට්ටමේ චිත්තන කුසලතා ලබා ගනී. ඉහළ මට්ටමේ කුසලතාව සඳහා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී ගුරු කේන්ද්‍රීය බව අඩු කොට ඉගෙනුම් ක්‍රියාකාරකම් ක්‍රමානුකූලව වැඩි කළ යුතුය. එවිට පහළ සිට ක්‍රමයෙන් මධ්‍යම මට්ටමේ භාවිතය, විශ්ලේෂණය යන කුසලතාවලට සහ ඇගයීම හා නිර්මාණකරණය යන ඉහළ මට්ටමේ චින්තන කුසලතාවලට පහසුවෙන් ළඟා වේ. මෙහිදී ඇගයීම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළදීම සිදුවේ. එහෙත් මෙරට විෂය මාලාව සහ විභාග ක්‍රම පහළම මට්ටමේ චින්තන කුසලතාව වන මතකය මැනීමට පමණක් පවතී. 

මෙවැනි විභාග සඳහා රජයේ ගුරුවරුන් සහ පූර්ණකාලීන දේශකයින් උපකාරක පන්ති පවත්වයි. ප්‍රාථමික දරුවන් අවභාවිත කරමින් පැවති උපකාරක පන්ති ගුරුවරියගේ සංදර්ශනය මෙහි කූටප්‍රාප්තියකි.

පිරිමි ළමයින් අධ්‍යාපනයෙන් කොන් වීම හා ඇදහැලීම

පළමුවැනි ප්‍රශ්න පත්‍රයට ලකුණු ලබාගැනීමේ විශාල අසාමානතාවක් නොමැති වුවද පිරිමි ළමයි වැඩි ලකුණු ලබා ගනී. දෙවැනි ප්‍රශ්න පත්‍රයේ දී පිරිමි ළමයින්ට වඩා ගැහැණු ළමයින්ගේ ලකුණු ගැනීම ඉතා ඉහළය. ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය හා අන්තර්ගතය ලංකාවේ ගැහැනු ළමයින් යොමු කර ඇති සම්ප්‍රදායික අධ්‍යාපන රටාව වන කටපාඩම් කළ මතකයෙන් පිළිතුරු ලිවීමේ වැඩි පුහුණුව (Gender Stereotype) නිසා පිරිමි ළමයින් අබිබවා ලකුණු ගැනීම පහසු වී ඇත. එබැවින් දෙවන ප්‍රශ්න පත්‍රයෙන් පිරිමි ළමයින්ට අසමාන (Gender Discrimination) ලෙස සැලකෙයි. 

අ.පො.ස. උසස් පෙළ අවසානය දක්වා පවතින මෙවැනි විභාග නිසා විශ්ව විද්‍යාලවලට ඇතුළුවන බහුතරය ගැහැනු ළමයින්ය. කුසලතා, හැකියා ඇගැයීමක් නැති පීඩාකාරී, මිල අධික අධ්‍යාපන රටාවට අනුගතවිය නොහැකි දුෂ්කරතා සහිත ළමයින් අධ්‍යාපනයෙන් ඇද හැලේ. 1 සිට 11 ශ්‍රේණි අතර සිසුන් 45,000 පමණ සහ අ.පො.ස. සා.පෙළ විභාගයෙන් පසු ලක්ෂයකට ආසන්නව වාර්ෂිකව ඇද හැලෙන අතර බහුතරය පිරිමි ළමයින්ය. වයස අවුරුදු 16 දක්වා අනිවාර්ය අධ්‍යාපනය සැපයීම රජයේ වගකීමකි. අවුරුදු 16ට අඩු දරුවන් සේවයෙහි යෙදවීම තහනම් වුවත් ඇදහැලෙන ළමුන් නුපුහුණු / ඌන පුහුණු ශ්‍රමිකයන්ව අඩු වැටුපට රැකියාවල යෙදෙති. ලංකාවේ වයස අවුරුදු 18 දක්වා ළමයින් ලෙස සැලකෙයි. ළමයින්ට හිමි අධ්‍යාපනය, ක්‍රීඩා, සාහිත්‍ය, සෞන්දර්ය රසවිඳීම, විනෝදාංශ අවස්ථා නොලැබීමෙන් පෞරුෂ සංවර්ධනය දුර්වලව පීඩනයට හා නොසලකා හැරීම්වලට ලක්වන මෙම ළමයින් විෂමාචාර, මත්ද්‍රව්‍ය සහ පාතාලයට ගොදුරු වෙයි. 

තිරසර සංවර්ධන න්‍යාය පත්‍රයට අනුගත වීම 

සිව්වැනි තිරසර සංවර්ධන අරමුණ 2030 වන විට සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාව එකඟව සිටි. එහි සෑම දරුවකුටම ඵලදායී සහ අදාළ ඉගෙනීමේ අවස්ථා සලසා දීමයි’. යන ඉලක්කය අනුව තුන්වන ශ්‍රේණිය ආරම්භයේ, පස් වැනි ශ්‍රේණිය සහ කනිෂ්ඨ ද්විතීක අවධිය අවසානයේ දී කියවීමට සහ ගණිතයට අවම ප්‍රවීණතා මට්ටමක් නොමැති සිසුන් හඳුනාගෙන ප්‍රතිපෝෂණ හරහා කුසලතා සංවර්ධනය කර අධ්‍යාපනයෙන් ඇදහැලීම වැළැක්විය යුතුය. එය ඔවුන්ගේ ප්‍රගතියට මෙන්ම රටට අවශ්‍ය දියුණු මානව සම්පත බිහිකිරීමට ද අත්‍යවශ්‍ය වේ. එමගින් ඔවුන් ද්විතීක අධ්‍යාපන කුසලතා සහිත පුහුණු ශ්‍රමිකයින් ලෙස ගෝලීය ආර්ථිකයට සම්බන්ධ කිරීම වඩා ඵලදායිය. රටක තිරසර සංවර්ධනයක් සිදු වන්නේ කුසලතා පිරිපුන්, දියුණු සාක්ෂරතා හා සංඛ්‍යා හැකියා සහිත මානව සම්පත මගිනි. 1960 දශකයේ දී ශ්‍රී ලංකාවට වඩා අධ්‍යාපනයේ ප්‍රවේශය සහ සහභාගිත්වය අඩු මට්ටමක පැවැති මැලේසියාව, වියට්නාමය, තායිලන්තය වැනි ගිනිකොනදිග ආසියානු රටවල් අධ්‍යාපනයේ ගුණාත්මක ඉගෙනුම් ඵල අගයන නව ඇගයීම් ක්‍රමවේද හඳුන්වා දී ඇත. එලෙසම ඉලක්කගත සංවර්ධනයක් ලබමින් සිටී.

පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය එහි ආරම්භක අරමුණට පරිබාහිරව යෙදීමෙන් අධ්‍යාපනයෙහි ගුණාත්මක බව සහ ඵලදායීතාව අඩුවී අසමානතා වැඩි වී ඇත. එබැවින් මෙම ගැටලු‍වට ප්‍රධාන හේතුව වන ගුණාත්මක ද්විතීක අධ්‍යාපනයට ප්‍රවේශවීමට පවතින විෂමතා ඉවත් කිරීම සඳහා ප්‍රාථමික හා ද්විතීක වශයෙන් පාසල් වෙන් කිරීම අත්‍යවශ්‍යය. සමගාමීව විද්‍යාත්මක සැලසුමකට සියලු පාසල් විචාරවත් කර සම්පත් ක්‍රමානුකූලව ලබා දී ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දිය යුතුය. ශිෂ්‍යත්ව විභාගය වෙනුවට ශිෂ්‍ය පාදක ඇගැයීම් ක්‍රමයක් අවශ්‍ය වේ. දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රේඛීය අධ්‍යාපන අමාත්‍යාංශයට පැවැරුණු ප්‍රතිපත්ති සම්පාදනය, නියාමනය සහ ප්‍රමිතීන් පවත්වා ගැනීම යන ප්‍රමුඛ කාර්යයන් ක්‍රියාත්මක කළ හැකි ඵලදායි ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍යය. 

පසුගියදා උසස් පෙළ ප්‍රතිඵල සමඟම තරුණයෙකුගේ ‘සල්ලි තියෙන අයට නිදහස් අධ්‍යාපනය’ යන වැකිය සමඟ කන්නන්ගරයන්ගේ ඡායාරූපයකට යටින් ‘දැන් ඉතින් නැගිටලා වරෙන්’ සඳහන් පෝස්ටුව දැක කම්පා වුවද එයින් සිසුන් තුළ අධ්‍යාපන ක්‍රමයට පවතින විරෝධය ප්‍රකාශ වේ. එබැවින් පවතින අඩුපාඩු සහ හිදැස් අධ්‍යයනය කර සැලසුම් සහ ඉලක්කගත ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතී. මක්නිසාද යත්, යථාර්ථයක් නොවූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වැය කරන ලද විශාල දේශීය මුදල්/විදේශීය ණය ආධාර ආපසු ගෙවනුයේ ඒවායෙන් නිසි ප්‍රතිලාභ නොලැබූ මෙරට පුරවැසියන් විසිනි.

භද්‍රා විතානගේ 
හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ
(සැමට අධ්‍යාපන ශාඛාව), 
අධ්‍යාපන අමාත්‍යංශය