නොමළ ගෙයකින් අබ මිටක් සොයා කඳුකරයට ගියෙමු


 
‘දි  ට්වා’ සුළිකුණාටුව ලංකාවට මහා විනාසක් සිදු කර අදට සතියකුත් දින තුනකුත් ගත වී අවසන්ය. ඒ මහ විනාශය දෑසින්ම දැක බලාගන්නට මහ වැසි ඇද හැළී බිඳ වැටුණු මධ්‍යම කඳුකරයට අපි ගියෙමු.  එදා ඔබ අප දුටු සහ විඳගත් ලංකාවේ මධ්‍යම කඳුකරයේ සොබාදහමේ හැඩ අද නැත. වෙනදා මෙන් ඒ සතුන්ගේ හඬ, ගස්වැල් කඳු පන්ති මතින් හමා එන සිහිල් සුළඟ රැඳි සිරියාව අද නැත. වෙනදා සුළඟට නොවුණත් තාලයකට පැද්දුණ  ගහ කොළ අද  බලා සිටිනේනේ නොසෙල්වී ය. මාරාවේශයෙන් ඇදහැළුණ දිය ඇලි තරමක් සාමකාමීය. මහ වැස්ස නතර වී  මධ්‍යම කඳුකරයට ඉර අව්ව පතිත වුවත් ඒ පරිසරයම ගිලගෙන තිබුණේ මහා භයංකර ගුප්ත බවකිනි. පරිසරයට හිරු ආලෝකයක් වැටී තිබුණත් ඒ මිනිසුන්ගේ ජීවිතවල නම් ආලෝකයක් නොපෙනේ.
 
බොහෝ ගම්වලට පිවිසීමට පාරක් තොටක් නැත. මහා ගස් ගල් මුල් ගෙවල් ඒ මාවත් අත්පත් කරගෙන ඇත්තේ සදහටමය. පාඩුවේ ගලා බැස ගිය දිය ඇළිවල මාවත් දැන් හැදී ඇත්තේ කඳුකරයේ බොහෝ මිනිස් වාසස්ථාන මැදිනි. 
 
නායගිය කඳු පන්ති අමු සොහොන් පිටියක් සේ පෙනුණේ පණ පිටින් පස්කඳු යට වැළළුණු මිනිසුන්ගේ මරණීය විලාපය අපට සඟවා සිටින්නාක් මෙනි. උන්හිටිගමන් උන්හිටිතැන් අහිමි වූ ජනයාගේ සෝ සුසුම් අපට දැනෙන්නාක් බඳුය. ඇස් ඉදිරියේ සියල්ල දූවිලි වී ගිය ඇඳිවත පමණක් ඉතිරි වී ගිය සියදහස් ගණන් මිනිසුන්ගේ කඳුළු සොබාදහමින් කඩා ආ ඒ ජලකඳට වඩා සුවිශාලය. ඒ මිනිසුන් ගැන ලියා ඒ මිනිසුන්ට කිසියම් හෝ උපකාරයක් කළ හැකි නම් යන සිතුවිල්ල ඇතිව අපි ගමන ගියෙමු.  
 
 
වෙනදාට මධ්‍යම කඳුකරයට යද්දී දැනෙන සැහැල්ලුව සුන්දර බව අද නැත. ගමන බියකරුය. එ් පරිසරයේ සේයාව බියකරුය. ගුප්තය . කුරිරු වූ සොබාදහම මහා ජල කඳ සේ පැමිණ සියල්ල රැගෙන ගිය පසුත් මහ වැස්සට තෙත බරිත වූ පස් කඳු  යළි නොවැටේ යයි  සහතිකයක් නැත. මහවැසි ද යළි නොවැටේ යැයි සහතිකයක් නැත. එහෙත් දහස් සංඛ්‍යාත මිනිසුන් ඔවුන් වෙනුවෙන් පිහිටට යද්දී ආරක්ෂක හමුදාවත් තම ජීවිතය පරදුවට තබා යද්දී අප ද කිසියම් මෙහෙවරක් කළ යුතු හෙයින්  මේ ගමන් ගියෙමු. 
 
ඒ වන විට කඩුගන්නාව හරහා කොළඹ - නුවර  මාර්ගය වැසී තිබුණත්  ගලගෙදර මාර්ගය හරහා නුවරට ළඟාවීමේ හැකියාව තිබිණ. එහෙත් පාරවල් වසාගත් පස් කඳු නිසා ගමන හිතන තරමට ලේසි පහසු වූයේ නැත. ගලගෙදර  ප්‍රධාන මාර්ගයට මුහුණලා ස්ථාන 10 ක් පමණ ඉතා දරුණු ලෙස නායගොස් තිබුණි.
 

කඳුකරයේ ජනතාව එක්ක  අපි කොහොම හරි  නැගිටිමු 

දළදා මැදුරේ දියවඩන නිලමේ නිලංග දෑල උදෑසන 8 පමණ වන විට නුවරට ළඟා වුණ අප ප්‍රථමයෙන්ම ගියේ දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑලබණ්ඩාරගේ මූලිකත්වයෙන් අසරණභාවයට පත් කඳුකරයේ ජනතාවගේ කුසගින්න පිරවූ මුළුතැන්ගෙය සොයාගෙනය.  එතුමා මේ දුෂ්කරතම කාල සීමාවේ ලත් අත්දැකීම් කියා සිටියේ මෙසේය,

“මේ ව්‍යසනය නිසා මහනුවර නගරයෙන් කිසිම ප්‍රදේශයකට යන්න හැකියාවක් තිබුණේ නැහැ. එම අවස්ථාවේදිම අපි මහනුවර මහා දිසාපතිතුමා සමග සම්බන්ධ වී සියලු තොරතුරු ලබාගත්තා. මුල් අදියරේදීම ජනතාවට පිසූ ආහාර ලබාදෙන්න අප තීරණය කළා. හැම පෙරහරකදීම එක වේලකට හාරදහසකට අධික පිරිසකට ආහාර, අවශ්‍ය පහසුකම්  තිබුණ නිසා ආහාර පිසීමේ කර්තව්‍ය පහසු වුණා.  ඒ සඳහා දළදා මාලිගාවේ ශක්තිමත් ශ්‍රම බළකායක් වගේම ත්‍රිවිධ හමුදාවේ උදව්ව තිබුණා. 

මුල් අවධියේදී  පානීය ජලය ලබාදෙන්නට පුළුවන් වුණේ නැහැ. එයට හේතු වුණේ පන්දහසකට ආහාර පිසිද්දී අපටත් ජලය අවශ්‍ය වෙනවා. විශ්වවිද්‍යාලයට පමණක් මුල් දිනයේ කෑම පාර්සල් දාහක් දෙන්නට පුළුවන් වුණා. පසුව ඒ ප්‍රමාණය ටිකෙන් ටික වැඩි වුණා. 28 දහවල් ඉඳලා නොකඩවා එක දිගට කැම පන්දහසක් පමණ එක් වේලකට  හැදුවා. පසුව සනීපාරක්ෂක ද්‍රව්‍ය, පානීය ජලය, රෙදිපිළි සමග වියළි සලාක ලබාදීමේ හැකියාව ලැබුණා. 
 
මුදුන් ලීයට කඹයක් දාලා අපි කඹේ අල්ලගෙන රෑ එළිවෙනකම් හිටියා. බෙල්ල ළඟට වතුර පිරුණාම හතර දෙනාම එකට මැරෙමු කියලා හිතින් හිතුවා. ඇත්තමයි ජීවිතේ අත්හැරලා හිටියේ.
 
සරසවි කන්ද නායයෑමේ හද සසල කරවන කතාව
 
මේ වෙද්දී ගම්පොළ ප්‍රදේශයේ හත්දහසකට අධික පිරිසක් ඉන්නවා. ඔවුන් වෙනුවෙන් වියළි සලාක ලබා දීමට දැනට සැලසුම්කරගෙන යනවා. මීට අමතරව ඉදිරියේදී මේ මිනිසුන් වෙනුවෙන් නිවාස පනහක් හෝ සීයක් අතර ප්‍රමාණයක් ගොඩනගන්නට අපි බලාපොරොත්තු වෙනවා. මහනුවර ඉතිහාසයේ කවදාවත් ජලයෙන් යට නොවුණ ස්ථාන මහවැලි ගඟ පිටාර ගැලීම නිසා හානියට ලක්වුණා.    
 
නොසිතූ තරම් මිනිස් කොට්ඨාසයක් නායයෑම් නිසා අවතැන් වුණා. මේ ව්‍යසනයත් සමග මහනුවර නගරයේම  විදුලිය විසන්ධිවීමක් සිදුවුණා. ඒ නිසාම මුල් දින දෙක තුනේදී මහනුවර සංචාරයට පැමිණි සියලුම සංචාරකයන්ටත් නොමිලේ ආහාර ලබා දීමට අප කටයුතු කළා. කඳුකරයේ ජනතාව එක්ක අපි කොහොම හරි නැගිටිනවා” 
 
ඇස් ඉදිරියේ මහවැලි ගඟ බිලිගත් ජීවිත සහ දේපොළ 
 
පේරාදෙණිය මහවැලි ගඟේ මායිමේ සංචාරය කළ අපට ව්‍යසනයේ බර හදවතට තදින් දැනිණ. දකින්නට ඇත්තේ හෙම්බත්වුණු, බලාපොරොත්තු අතහැරුණු මුහුණුය. වේදනාකාරී අත්දැකීම්වලින් ජීවිතය අතහැරුණ මතකයන්ය.  මහා මාර්ගයට ඉදිරී වැටුණු පස් කඳන් මතින්, ගස් කඳන් මතින් ගමන් නැරඹූ මේ ගමන අතිශයින්ම දුෂ්කර විය.
 
පේරාදෙණියේ - ගන්නොරුව මාර්ගයේ මහවැලි ගංගාව පිටාර ගලන විට මාර්ගයේ ඉදිකර තිබූ නිවාස, ව්‍යාපාරික ස්ථාන, ඇස් ඉදිරියේ මහවැලි ගඟට ගසාගෙන යද්දී කරකියා ගන්නට දෙයක් නොමැතිව ඔවුන් ළතෝනි දුන්හ. 
 
මහවැලි ගඟට මායිම්ව ඉදිකර තිබූ ඉඳුනිල් බණ්ඩාර රත්නායකගේ ව්‍යාපාරික ස්ථානය ද අද වෙන විට එම ස්ථානයේ නොමැත. එයද මහවැලි ගඟට  ගසාගෙන  ගියේ ඔහු සන්තකයේ තිබූ සියලු දෑ ද සමගය.     
 
 
මහවැලි ගඟේ මායිමේ ගසාගෙන ඇවිත් තිබූ වාහන
 
“නොවැම්බර් මාසේ 28 වෙනිදා රෑ හොඳටම වැස්ස. පහුවදා උදේ වෙන විට ගඟ මට්ටමේ සිට අඩි හැත්තෑවක් අසූවක් වතුර පිරිලා තිබුණා. දින දෙකක් එක දිගට වැස්ස නිසා පස හොඳටම බුරුල් වෙලයි තිබුණේ. තිස් වැනිදා උදේ මාර්ගයත් ගොඩනැගිල්ලත් අතර තිබූ සම්බන්ධතාව අඟලකින් පමණ ඈත්වෙලා තිබුණේ. එය අවදානම් තත්ත්වයක් කියලා අපට තේරුණා. අපි එතනින් පුළුවන් ඉක්මනට ඉවත් වුණා. අපේ ගොඩනැගිල්ලේ තිබුණු සියලුම භාණ්ඩ පිටතට ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.
 
මේ හැමදේම ගොඩනගන්න ණය කන්දරාවක් අරන් තියෙනවා. මේ වෙනකොට ණය ලක්ෂ හතළිහක් පමණ අරන් තියෙනවා. වාහන දෙකේ ෆිනෑන්ස් ගෙවන්න තියෙනවා. ඒ හැමදේම ගෙවා ගන්න විදිහක් නැහැ. ජීවත්වෙන්න දැන් ක්‍රමයක් නැහැ. ඒත් කොහොම හරි ජීවත් වෙන්න ඕනෙ. අද වෙනතුරා අපි ගැන හොයලා බලන්න ග්‍රාමසේවක මහත්තයාවත් ආවෙ නැහැ. විමර්ශන කටයුත්තක් කරලා නැහැ. මම රජයට බදු ගෙවෙන කෙනෙක්. අපට සලකන විදිහ ගැන ඇත්තටම ලොකු කලකිරීමක් තියෙනවා.”
 
ඇස්වලින් කඳුළු කඩා නොවැටුණත් ඒ හිත කොයිතරම් කඩා වැටිලා තියනවාදැයි ඒ වෙව්ලන හඬින් අපට දැනිණ.
 
පණ පිටින් 24 ක් වැළලුණ සරසවිගම 
 
මහනුවර අලවතුගොඩ පොලිස් වසමේ රඹුකේවෙල සහ පේරාදෙණිය පොලිස් වසමේ පනපිටින් අපේම මිනිසුන් 24කට වඩා වැළලීගිය සරසවි ගමට අප ළඟා වූයේ ඉතා අපහසුවෙනි.  සරසවිගම වටගොඩ ග්‍රාමයේ බහුල වශයෙන් ජීවත් වී ඇත්තේ දමිළ ජනතාවය. කන්ද නාය එද්දි කෑමොර සද්දෙට දමිළ ජනතාව බේරාගැනීමට එන්නේ සිංහල තරුණ පිරිසක්ය. නමුත් ඒ පස් කන්ද ඒ කිසිවෙකුටත් ජීවත්වීමට වරම්  දීමට තරම් කාරුණික වී නැත. එක් පැත්තකින් සුදු ඉටිකොළවලින් වසා ඇති  මියගිය පිරිමි පුද්ගලයකුගේ මෘත ශරීරයකි. මුළු පරිසරයම අමු සොහොන් පිටියකි. පස් යට මිහිදන් වූ තැනින් තැන මතු වී ඇති සිරුරු කොටස් අත්පය කෑලි බල්ලන් ඇද යන අයුරු දැකීමත් වේදනාකාරීය.    
 
සරසවිගම කන්ද නාය යෑමෙන් හාස්කමකින් මෙන් ජීවිතය බේරාගත් එම්. සෝමලතා සිය බිහිසුණු අත්දැකීම කියා සිටියේ මෙසේය,
“මගෙ ගෙදර දෙපැත්තෙම ඉන්නෙ නංගිලා දෙන්නෙක්. ඊට එහායින් අම්මගේ ගෙදර තියෙනවා. මගේ ගෙදර ටිකක් උසින් තියෙන්නේ. ඒ නිසා මගේ ගෙදර නූලෙන් බේරුණා. විසිහත් වෙනිදා රාත්‍රී හතයි හතළිස් පහට පමණ පළාතම එකපාරම දෙදරවාගෙන සද්ද තුනක් ආවා. 
 
 
ඒ එක්කම අපට විදුලිය නැති වුණා. නංගිගේ පොඩි පුතා “ලොකු අම්මා නෝනා අක්කාව යට වෙලා” කියලා කෑ ගැහුවා. ඒ වෙලාවෙ විශාල ගංවතුරක් තිබුණා. එළියට බහින්නවත් අපිට බැහැ. උදේ බලද්දි මගේ නංගිගේ දුව එතනම චප්පවෙලා හිටියා. ඒ දරුවා උදේට කාපු බත් ටික වත් හරියට බඩට යන්න වෙලාවක් තිබ්බෙ නෑ. ගේ තිබුණ තැනක්වත් හොයාගන්නත්  නැහැ. මගේ දෙපැත්තෙන් ඉන්න නංගිලා දෙන්නම යටවෙලායි හිටියේ. රෑ කන්ද එනකොට මායි මහත්තයි උඩහට දිව්වා. අනිත් අය බේරගන්න පුළුවන් තරම් හයියෙන් මම කෑගැහැව්වා. තරුණ දරුවෝ වගයක් ඇවිත් එක නංගි කෙනෙකුවයි පවුලේ අයවයි ජනෙල් කඩලා ගත්තා. අනෙක් සහෝදරියගේ  පවුලේ අය ගන්න බැරි වුණා.    උදේ ළමයි විසි පහක් විතර ඇවිත් වහලෙ කඩලා කඹ දාලා නංගිගේ ගෙදර හිටිය හතරදෙනා බේරගත්තා. 
 
අපේ ගෙදර උඩ ළඟින් තිබුණ දමිළ ගෙවල් හතරක්ම ගංවතුරෙන් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. අපේ ගෙදර ඉන්නේ මායි මගේ සැමියයි විතරයි.  මේ ප්‍රදේශයේ අවදානම් කියලා දැනුම් දීල තිබුණේ. අපි දවස් හතරක් පිට ගෙදරක හිටියා. හැබැයි හැමදාමත්  ඉන්න බැහැ.  මේ අනතුරෙන් මේ ප්‍රදේශයෙන්ම  මළ සිරුරු විස්සක් හමුවුණා. 
 
තව හත් දෙනෙක් අතුරුදහන්වෙලා තියෙනවා. ඔය අපේ ඉස්සරහින් වහලා තියෙන්නේ බොඩි එකක්. එතන මැස්සො පොරකනව. නාසයට කුණු ගඳ දැනෙනවා. ගමේ අයගේ බොඩීස් ගොඩාක් තාම පස් යට තියෙනවා. ඒවා ගොඩගන්න විදිහක් නැහැ. බොඩි එක බොඩි එක හඳුනගන්න, බාරගන්න පවුලේ කිසිවෙක් ඉතිරිවී නෑ. කුණුවෙලා ගඳ ගහන නිසා ග්‍රාමසේවක මහත්තයා ඇවිත් මෙතනම පස් ටිකක් දාලා වහලා දැම්මා. දැන් මේක සොහොන් පිට්ටනියක් වගේයි. රෑට නින්ද යන්නේ නැහැ. මිනිස්සුන්ගේ විලාපයමයි ඇහෙන්නේ”
 
කේ. පී. මානෙල්, දරුවන් දෙදෙනා සහ සැමියා සරසවිකන්ද නායයෑමේ අතිබිහිසුණු අත්දැකීමකට මුහුණ දී ජීවිතය බේරාගත් ගත්හ.
“එක පාරටම ඇළ පාරෙන් දරාගන්න බැරි වතුර කන්දරාවක් ඇවිත් ගේ ඇතුළේ වතුර පිරුණා. ඒත් අපට එළියට පැනගගන්න බැරි වුණා. මුදුන් ලීයට කඹයක් දාලා අපි කඹේ අල්ලගෙන රෑ එළිවෙනකම් හිටියා. බෙල්ල ළඟට වතුර පිරුණාම හතර දෙනාම එකට මැරෙමු කියලා හිතින් හිතුවා. ඇත්තමයි ජීවිතේ අත්හැරලා හිටියේ.” ඒ ඔවුන්ගේ කතාවයි.
 
මේ ඔබ දකින්නේ වුණු විනාසය අප දුටු දසුනින් දශම ගණනාවක දර්ශනයක් පමණි. ගම්මාන පිටින් නාය ගිය තැන්, ගෙවල් පිටින් ගඟේ ගහගෙන ගිය තැන්, කොළඹ සිට නිවසට විත් පස්ගොඩක් සමඟ තම නිවස සහ එහි සිටි තම ආදරණීයන් සොයන තාත්තලා අම්මලා දරුවන් සිය ගණනක් මේ ස්ථානවල දැකීම ඉතාම වේදනාකාරිය.
 
අලවතුගොඩ රඹුකේඇළ පණගැහුණ ජිවිත 
 
අලවතුගොඩ, රඹුකේඇළ, මුදුන්කඩේ ගම්මානයට ඉහළින් ඇති විශාල කන්දක් නායයෑමෙන් නිවාස 17ක් මුළුමුනින්ම විනාශ වී පවුල් 8ක සාමාජිකයන් 11 දෙනෙකු පණපිටින්ම පස් කන්දට යටවෙද්දී පණ බේරා ගැනීමට දිවූ කෙනෙකු ඇරෙන්නට දිවි බේරුණ අයෙක් ඒ ස්ථානයේ නැත. මෙහි ජීවත් වූ පිරිසෙන් 11 දෙනෙකුගේ මෘත ශරීර හමුවුණත් ප්‍රදේශවාසීන් පැවසුවේ මේ ස්ථානයේ 30 දෙනෙකු මියගොස් ඇති බවත් මේ වන විට මරණ ගොඩගැනීම නවතා ඇති බවත්ය. 
 
අප ඒ ස්ථානයට යන විටත් නෑදෑ හිතවතුන් අතුරුදන්වූවන් සොයා පස් ගොඩවල් හාරා බලන අයුරු ඉතා අනුවේදනීය දසුනක් විය. රඹුකේ ඇළ නායයෑමෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස පිළිබඳව නිශ්චිත ගණනක් තීරණය කළ නොහැක. තොරතුරු නොමැති වූ තම හිතමිතුරන්, අසල්වැසින් පිළිබඳව තොරතුරක් ලැබෙන තුරා තවමත් රඹුකේ ඇළ ගම්මානයෙහි නායගොස් තිබූ අමිහිරි මතක බොහොමයක් ගොඩනැගී ඇති භූමිය දෙස බලා සිටී.
 
නදීශා අතුකෝරළ
දිශානි ජයමාලි කරුණාරත්න
ඡායාර ෑප : සුමුදු හේවා පතිරණ
තිළිණ කළුතොටගේ
විශේෂ ස්තුතිය : ආදිත්‍ය නෙත්සර
ජේ. එල්. ජයසිංහ
දළදා මාළිගා මාධ්‍ය අංශයේ 
මයුර රෝෂනකුමාර
 
 
ගලගෙදර මාර්ගයේ නාය ගිය නිවසක්
 
 
සරසවිගම නාය යෑම
 
 
සරසවිගම නාය යෑම
 
 
අලවතුගොඩ නාය යෑම
 
 
වත්තේගම බලහෙල නාය යෑම