
දිට්වා ඇවිත් ගිහින් අදට දින 25 කි. දැදුරු ඔයද කෙදිනකවත් නැති අයුරින් එදා ප්‍රචණ්ඩ විය. නොනවත්වා ඇද හැළුණු මහා වර්ෂාවෙන් ගංගා දෙගොඩ තළා ගොස්, නිවෙස් ජලයෙන් යටවී, මරණයේ බිය දසත පැතිර යමින් හලාවතම වැහි අඳුරින් ගිල ගත්තේ ක්ෂණයකිනි. මරණයේ වේදනාව, බිය අහස පුරා දෝංකාර දුන්නත් ඒ මිනිසුන්ගේ මරහඬ ඇසීමට මනුෂ්‍ය ඇසින් දේව දූතයන් ඒ යැයි ඔවුන් නොසිතන්නට ඇත.
“අම්මාගේ බෙල්ල ළඟට වතුර. ඒ අම්මා මේට්ටයක් උඩ පුංචි දරුවෝ දෙන්නා තියාගෙන ඒ මෙට්ටේ පුළුවන් තරම් අත් දෙකෙන් උස්සගෙන පැය ගානක් මහා ජල කඳන් එක්ක සටන් කරනවා මගේ ඇස් දෙකෙන් දැක්කා පුතේ. අනේ ෆාදර් තව විනාඩි දහයක් පරක්කු වුණා නම් මමයි අම්මායි දරු පැටවු දෙන්නායි ගිලිලා මැරෙනවා. මේ එක අම්මෙකුගේ කතාවක් විතරයි. අනේ අපිව බේරගන්න කියලා කෑ ගහපු මිනිස්සුන්ගේ දෝංකාරය මට තාම ඇහෙනවා. කාවවත් අපි අතෑරියේ නෑ. හැම කෙනාම බේරගත්තා “.
ඒ අසරණ වූ දහස් සංඛ්‍යාත මානව වර්ගයා වෙනුවෙන් මනුෂ්‍යත්වයේ දෑත් දිගු කළ හලාවත ආසන දෙව් මැදුරේ ප්‍රධාන පියතුමා වන ගරු ඇලෙක්ස් නිලන්ත පියතුමන්ගේ හඬය.
සොබා දහමට මිනිසුන්ගේ කුල මළ භේදවත් උස්මිටි පහත්කම්වත් අදාළ නොවේ. අසරණව සිටි පවුල් සිය ගණනකගේ ජීවිත සුරක්ෂිත කරනු වස්, ආගමික සහ ජාතික සීමා මායිම්වලින් ඔබ්බට ගිය අප්‍රමාණ කරුණාවකින් සහ මානුෂීය දයාවකින් යුතුව උන්වහන්සේ කළ ඒ ක්ෂණික මැදිහත් වීම, බලාපොරොත්තු සුන්ව සිටි ජනතාවගේ හදවත්වල යළි ජීවයේ බලාපොරොත්තුව දල්වන්නට සමත් විය. වචනයට පමණක් සීමා නොවූ, ක්‍රියාවෙන්ම ඔප්පු කළ ඒ උත්තරීතර සෙනෙහස, ලොවටම කියා පෑවේ මනුෂ්‍යත්වය යනු සියලු ආගම්වලට ඉහළින් පවතින උත්තරීතර ධර්මතාවක් බවයි.
මේ හලාවත රදගුරු පදවියේ කාර්මේල් මාතා ආසන දෙව්මැදුරයි. දිට්වා සුළිකුණාටුවෙන් හලාවත ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්වයෙන් මහා ජල කඳ සමඟ ඔට්ටු වී ජීවිත 400 ක් බේරාගත් ක්‍රියාන්විත මෙහෙයුමේ ප්‍රධාන නියමුවා උන්වහන්සේය.
මේ ඔබ උන්වහන්සේගේ වචනයෙන්ම ඇසිය යුතු කතාවකි.
“මේ දේවස්ථානයට අමතරව මීසමට අයිති දේවස්ථාන 3 ක් තියෙනවා. මීසමේම කතෝලික පවුල් 4000 ක් පමණ ජීවත් වෙනවා.
බහු ආගමික පරිසරයක තමයි මේ අය ජීවත් වෙන්නේ.
හලාවත කියන්නේ සාමකාමී නගරයක්. මේ ප්‍රදේශයේ සියයට 20ක් ධීවර ජනතාව ඉන්නවා. සියයට 60ක් රාජ්‍ය සහ පෞද්ගලික අංශවල රැකියා කරන අයත්, සියයට 10 වගේ විදේශගතවත් ජීවත් වෙනවා. දිළිඳු අයත් නැතුවාම නොවෙයි. නමුත් මේ පළාතේ ජීවත් වෙන්නේ සරල භාෂාවෙන් කියනවනාම් යමක් කමක් තියෙන හොඳ සමාජ පරිසරයක් තියෙන ප්‍රජාවක්.
හලාවත මිනිස්සු විතරක් නෙමෙයි ලංකාවම හඬවපු නොවැම්බර් 27 -28 දවස් දෙක හොඳටම වැස්ස. නොනවත්වා වහින වැස්සේ ඉතා භයානක සේයාවක් මම දැක්කා. 28 සිකුරාදා තමයි කුණාටුව මේ ප්‍රදේශයට තදින්ම බලපෑවේ. 28 අපට ආරංචි වුණා දැදුරු ඔය ජලාශය වැඩි ප්‍රමාණයකින් වාන් දොරටු විවෘත කළ බව. තත්පරයට ගන අඩි එක්ලක්ෂ 5000 ක වගේ කියලා තමයි අපට කිව්වේ . අපි දන්නවා හලාවත පහත් ප්‍රදේශයක් නිසා නිතර ගංවතුර තත්ව ඇති වෙනවා. නමුත් මේක සාමාන්‍ය තත්ත්වයක් නොවන බව බොහෝ දෙනා දැන හිටියේ නැහැ.

ඔය පිටාර ගලන හැම මොහොතකම මේ ආසන්නයේ තියෙන වැව් තුනකට ඒ වතුර යනවා. තිඹිල්ල වැව, මුන්නේශ්වරම වැව, කරවටාගාර වැව. මේ වැව් තුනම දැදුරු ඔයේ ජලයෙන් පිරෙනවා. එහෙම පිරෙන වතුර පිටාර ගලන්නේ මේ නගරය හරහා තමයි.
මුලින් 28 රාත්‍රියේ වතුර එනවාත් එක්කම පල්ලියට 100 ක පමණ ප්‍රමාණයක් ආවා. ඒ අයට මම කෑම ටිකක් හදලා ඉන්න පහසුකම් හදලා සූදානම් කළා. ඒ වෙනකොටත් සුළිකුණාටුවේ බලපෑමට වහලෙනුත් වතුර ගලන්න පටන් අරන්. පල්ලිය හොඳටම තෙමිලා තිබුණේ. ඒත් අපි ජනවතාවට හැකි අයුරින් රත්‍රිය ගත කරන්න සූදානම් කරලා දුන්නා.
28 රාත්‍රියේ මම රූ 11.30ට විතර නිදාගන්න ගියා. අපි පල්ලියේ හුරතලේට ඇති කරන සුනඛයා ගොඩාක් වෙලාවට නිදාගන්නේ මං නිදාගන්න දොර කාමරේ දොර ඉස්සරහ. පාන්දර 4 ත් 4.30 අතර එකපාරටම සෙරෙඩ් සහ තව හුරතලේට ඇති කරන බල්ලා මගේ ළඟ දොරට ගහනවා වගේ පහුරු ගාන සද්දේ ඇහුණා. හරිම අමුතුවට ගහනවා ඇහුණේ. එයාල එහෙම දොර ළඟ පහුරු ගාන්නේ මොකක් හරි අමුතු දෙයක් වෙනවා ඇති කියලා හිතුණා. මම දොර ඇරියාම ඒ දෙන්නා කූංකූං ගාගා මොනවාදෝ කියනවා මට තේරුණා. මම ඉක්මනට එළියට ඇවිත් බලද්දී අඳුරෙන්ම මම දැක්කා පල්ලියට ඉස්සරහ වතුර ටික ටික වැඩි වැඩිවෙනවා. මට තේරුණා මේ වතුර එන විදිහට නගරයට වෙනදාට වඩා ලොකු බලපෑමකට මුහුණ දෙන්න වෙයි කියලා. මම පල්ලියේ ඉන්න අයට කෑමට අවශ්‍ය දේවල් ටික උයන අයට භාර දීලා. සහායක පියතුමාට මෙතන වැඩ ටික පවරලා පල්ලියෙන් එලියට බැස්සා.
වතුර වැඩිවීගෙන එද්දී මට මතක්වුණේ මේ නගරය ආශ්‍රතව තියන මයික්කුලම කියන ගම..
වතුර වැඩිවෙද්දී මට මයික්කුලම මතක් වුණා. සාමාන්‍ය වතුරකදිත් මයික්කුලමගම යට වෙනවා. එතන කතෝලික පවුල් 460ක් විතර ඉන්නවා. පාරට බැහැලා නගරය පැත්තට යද්දී මට හම්බුණා එගොඩවැල්ල මීසමේ තාත්තලා තුන්දෙනෙක් දුවගෙන එනවා. එයාලා එවන්නේ මේ නගරයට බෝට්ටුවක් ගේන්න වාහනයක් හොයන්න. මමත් යන්නේ වාහනයක් හොයන්න හිරවෙලා ඉන්න අය ගොඩට ගන්න. මම හලාවත නගර සභාව පැත්තට දිව්වා. මම කිව්වා මයික්කුලම ගමේ ජනතාව හිරවෙලා ඉන්නවා එයාලාව බේරගන්න පුළුවන් නම් ට්‍රැක්ටරයක් දෙන්න කියලා. නමුත් ඒක භාර නිලධාරින් ඒකට කැමති වුණේ නැහැ. අපට ඉහළින් නියෝගයක් දීලා නැහැ කියලා එයාලා කිව්වා.
ජනාධිපතිතුමත් ඒ වෙනකොට කියලා ඉවරයි මේක හදිසි ආපදා තත්ත්වයක්. අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා. ඇයි මෙහෙම කරන්නේ කියලා මම කෑ ගහලා කිව්වා. මගේ හිතට ලොකු වේදනාවක් ආවා. මට දුකයි මට අර මිනිස්සු බේරගන්න ඕන. මම කිව්වා මේ ගිලෙන්නේ අපේ දරුවෝ. දරුපැටව් පව්. ඒ අය අසරණ ඇති කියලා. නමුත් එයාල ඒවට ඇහුම්කන් දෙන්නේ නැහැ.
වාද කිරීම නතර කරලා මම යි තව කිහිප දෙනෙකෙයි පාරට බැහැලා ඉස්සරහට එද්දි නවත්තලා තිබිච්ච ලොරියක් හම්බවුණා. ඒ වෙනකොට පුත්තලම පාරත් දැන් යටවෙලා. ඒකේ නැගලා ගිහින් කලපුව ළඟින් බෝට්ටුවක් ඒ ලොරියට පටවගෙන අපි ටවුන් එක හරහා මයික්කුලම ගම පැත්තට ගියා.
ගමට කිට්ටුවෙද්දී අපිට ඇහෙනවා මිනිස්සු කෑ ගහනවා අනේ අපිව බේරගන්න කියලා. එක තාත්තා කෙනෙක් කෙනෙක් කෑ ගහනවා මගේ දරුවොයි නෝනයි හිරවෙලා ඉන්නේ අනේ බේරගන්න කියලා. ඒ අය වෙනත් ප්‍රදේශයක ඉඳලා මයික්කුම පුදේශයේ ඥාති ගෙදරක ආපු දිවුලපිටිය පැත්තෙ කට්ටියක්. අවුරුදු දෙකක ගෑනු ළමයෙක් සහ අවුරුදු හතරක ගැහැනු දරුවවයි අම්මායි ආච්චියි හිර වෙලා. පාන්දර පහේ ඉඳලා පාරට එන්න උත්සහ උත්සාහ කළා. ඒත් එන්න විදියක් නෑ. වතුර පාර සැරයි කිව්වා. අනේ මගේ දරුවන්ට මේ වෙනකොටත් මොනව වෙලාද දන්නෑ පුළුවන්නම් බේරලා දෙන්න ෆාදර් කියලා බැගෑපත් වුණා. අපි යද්දි ඒ ගෙදර වහල මට්ටමට ගෑවෙන්නම වතුර. ඒ අම්මා දරුවො දෙන්නා මෙට්ටයක් උඩ තියලා බෙල්ල ළඟට වතුර. ඒ අම්මා දරුවෝ දෙන්නත් අල්ලන් ගෙදර බාල්කේ එල්ලිලා හිටියා. ලොකු උත්සාහයක් අරන් ඒ අය මුදවා ගත්තා. මට දැනුණේ දෙවියන් වහන්සේ ඒ අයගේ රැකවරණය සලසලා තිබුණා. අපිව උන් වහන්සේ ඒකට ආයුධයක් කරගත්තා කියන එක.
අනේ පුංචි ළමයි ගිලෙන්න යනවා කියලා එක්තැන් වෙච්ච තාත්තලා කෑ ගහගනවා. අම්මලා තාත්තලා කෑ ගහනවා. මම ගෙනිච්ච බෝට්ටුව විතරයි. එක බෝට්ටුවකින් උදේ 6.30 සිට 8.30, 9 විතර වෙන තුරු සෙනඟ ගත්තා. අතුරු පාරවල් කීපයක හිර වෙලා හිටි අය අපි පල්ලියට ගෙනාවා. තව හෝටලයක විදේශකයෝ ඇතුළු හැත්තෑ අටක ප්‍රමාණයක් හිර වෙලා හිටියා. ඒ අයත් අපි මුදවා ගත්තා.
බේරගන්න අය ටවුන් එකෙන් දාලා එතනින් පල්ලියට ගෙනැත් දැම්මා. මේ පල්ලිය විතරයි සුරක්ෂිත තැනකට තිබුණේ.
සඳුදා වෙද්දි සනීපාරක්ෂක ගැටලු ආවා. බඩදරු අම්මලා සීතලට ගැහෙනවා. සමහර අය අසනීප වෙන්න පටන් ගත්තා .පස්සේ මම දන්න කන්‍යා සොයුරියක් හිටියා ඇය වෛද්‍යවරියක්. කොහොම හරි දුෂ්කරතා මැද්දෙ අපේ දේවස්ථානයට ආවා. වෛද්‍යවරයෙක් බැලුවත් බෙහෙත් ටිකක් ගන්න තැනක් නැහැ. ඒ වෙනකොට හලාවත ඉස්පිරිතාලය වහලා. මම ආයෙම පාරට බැස්සා බැහැලා ටවුන් එකට ගිහිල්ලා ෆාමසි කීපයක් එක්ක කතා කරලා කිව්වා මට පුළුවන්නම් බෙහෙත් ටිකක් දෙන්න මම පල්ලියේ සල්ලිවලින් ඒ ණය පියවන්නම් ඇප වෙන්නම් කියලා .ඒ වෙලාවේ ෆාමසි දෙකකින් රුපියල් 60000ක විතර වටින බෙහෙත් නොමිලේ දුන්නා.
මට ඕන වුණේ මේ මිනිස්සුන්ට නිදහසේ ඇහැපියා ගන්න විදියක් මේ පල්ලිය ඇතුළේ හදලා දෙන්න.
මට දෙවියන් විශ්වාස විශ්වාස කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් ඉතිරි වෙලා තිබුණෙ නැහැ. එදා මේ පල්ලියේ පුද්ගලයන් 1800ක් විතර හිටියා. උයලා කන්න දුන්නා.එදා දවස චුට්ටක්වත් ඇහැ පියෙව්වේ නෑ. මට ඕන වුණේ මේ මිනිස්සුන්ට නිදහසේ ඇහැපියා ගන්න විදියක් මේ පල්ලිය ඇතුළේ හදලා දෙන්න. මෙතන හිටියා බබාලා හම්බුවෙන්න අම්මලා, පුංචි දරුවෝ. වයසක අම්මල තාත්තලා. එයාලාට සීතලයි. පැදුරු කඩමල්ලක්වත් නෑ නිදාගන්න . එයාලට මම පාවිච්චි කරන බඩුබාහිරාදිය පවා දීලා මගේ ආවාසයත් එයාලාට දුන්නා. නින්ද යන්නේ නෑ. පුංචි පැටව් අඬනවා. ඇත්තටම ගංවතුරෙන් අනාථ වුණාට මේ අනාථ මිනිස්සු නෙවෙයි. බොහොම හොඳට දේවල් තිබිලා සැප සැප ජීවිත ගතකර මිනිස්සු. එයාලට මේ වගේ දෙයක් හුරුපුරුදු නෑ. මට ඒ අපහසුතාව දැනුණා. මං එයාලාට මගේම සහෝදර සහෝදරියන්ට වගේ සැලකුවා. ගොඩක් අය කිව්වා ෆාදර් බය වෙන්න එපා. අපි කොහොම හරි මේ අයට කන්න බොන්න දෙමු කියලා. මට ඒ වචන ලොකු ශක්තියක් වුණා .
ඒ වෙනකොට හලාවත නගරයේ තිබුණා දඹුල්ලේ ඉඳලා යන එළවළු ලොරියක් . වැස්ස හින්දා යාගන්න බැරිවෙලා. ඒ මුදලාලි සූදානම් වුණා නගරේ විකුණන්න ඒ එළවළු.
එතනට ඇවිත් හිටියා සහකාර ප්‍රාදේශීය ලේකම්, නගර සභාවේ උපසභාපති, නාගරික මන්ත්‍රීලා කීප දෙනෙක්.
අපි කතා වුණා මේකෙන් අපි බඩු ටිකක් ගමු. පස්සේ සහනවලට දෙන මුදලින් අපි ඒක පියවමු කියලා. මට පුදුම වේදනාවක් ආවා. මේ මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න ඇප වෙන්න ඒ නිලධාරීන් කවුරැවත් කැමති වුණේ නැහැ . පස්සේ මම එළවළු ලොරියේ අයිතිකාරයාට කිව්වා බයවෙන්න එපා මම හලාවත පල්ලියේ ලොකු පියතුමා මම මේ ගන්න දේවල් වෙනුවෙන් කැපවෙනවා මේ මුදල් මම පියවනවා කියලා. ඒ පුද්ගලයා අපි විශ්වාස කරලා බඩු දුන්නා.
අපි මේ මුදල් ගැන ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලීමක් කළාම හලාවත ප්‍රාදේශීය සභාවෙන් කිව්වා කාපු අයගේ නම් ලිස්ට් එකක් ඕන බව. ඒක ප්‍රායෝගික නැහැ. අපි ලිස්ට් බලල මිනිස්සුන්ට කන්න බොන්න දුන්නේ නෑ ඒ වෙලාවේ. මේ කතාව අතුළේ ඇත්ත තිත්තයි. ඒ මොහොතේ හලාවත පොලිසිය ක්‍රියාත්මක වීම ඉතාම ප්‍රමාද වුණා. නගර සභාවේ නගරාධිපතිතුමාට උනන්දුව තිබුණා මන්ත්‍රීවරුන් කීප දෙනෙක් මහන්සි වුණත් ඒ කාර්ය මණ්ඩලය අකාර්යක්ෂම බව මට පෙනුණා. හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නම් ලොකු පසුබෑමක් තියෙනවා තවමත්. අපි දේවස්ථානයක් විදිහට ක්‍රියාත්මක වුණේ අපේ මිනිස්සු වෙනුවෙන්. එතැන දී අපි බැලුවෙ නෑ මේගොල්ලෝ කතෝලිකද , හින්දු ද , බුද්ධාගමේ ද කියන එක. රාජ්‍යය පැත්තෙන් ඒ අයට ක්‍රියාවලිය නංවන්න බැරිවුණත් අපට සහයෝගය දුන්නා නම් ලොකු වටිනාකමක් එතන තියෙනවා කියන එක මට ඒ වෙලාවේ හැඟුණා. මම එතනින් පස්සේ වගකිව යුතු නිලධාරීන් පස්සේ යන එක නතර කළා. මම මගේ පිරිස එක්ක ස්වාධීනව මේ වැඩ ටික කරගෙන ගියා. මම මේ මිනිස්සුන් බඩගින්නේ නොතියා ජීවත් කරවන්නේ කොහොමද කියන එකත් එක්ක ලොකු සටනක් දුන්නා.
මිනිස්සුන්ගේ බඩ විතරක් නෙමෙයි හිතත් පිරෙව්වේ දකුණෙන් ආපු තරුණ දරුවෝ
මගේ මොබිටෙල් සිම් එක වැඩ කරපු නිසා මම සෝෂල් මීඩියාවල අප්ඩේට් දුන්නම ගොඩක් අය ප්‍රතිචාර දක්වලා තිබුණා. කඳවුර පටන් අරන් තුන්වෙනි දවසේ මාතර ඉඳලා තරුණ දරුවන් කට්ටියක් ආවා. සෝෂල් මීඩියා කණ්ඩායම් තුනක්. ඒ දරුවන්ගේ උද්යෝගය ගැන මට හරි පුදුම හිතුණා. පොඩි දරුවන්ට, කාන්තාවන්ට, අවශ්‍ය සනීපාරක්ෂක දේවල්. වියළි ආහාර බොහෝ දේවල් අරගෙන ඇවිල්ල තිබුණා. මං ඇහුවා මේ මහා වතුර කඳ මැද්දෙන් කොහොමද පුතේ ආවේ කියල. අපි අපි බය නෑ ෆාදර් අපේ එකමුතුකමේ විශ්වාසය තමයි මේ ගමනට ශක්තියක් වුණේ කිව්වා. මේ කණ්ඩායම් මෙතනින් නතර නොවී ලස්සන පණිවිඩයක් දුන්නා. මෙන්න මෙහෙම කඳවුරක් තියෙනවා. මෙතන මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා. මේ අයට උදව් කරන්න කියලා. හලාවතට ගොඩාක් දේවල් ලැබුණා. එතනින් එහාට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කොටස් කීපයකට අපි ලැබුණ දේවල් පිටත් කර යැව්වා.
ඇල්පිටිය ගාල්ල අම්බලන්ගොඩ තරුණ දරුවන් සංවිධානය වෙලා පාන්දර මගට ඇවිල්ලා කෑම උයලා අපට පිසූ ආහාර ගෙනත් දුන්නා. ඒවා පොඩි ගණන් නෙවෙයි කෑම පාර්සල් 1000 -2000 ලොකු ප්‍රමාණ ගෙනත් දුන්නා.
මගේ දරුවන්ගෙන් ඇහුවා ඇයි පුතාලා මෙහෙම කරන්නේ කියලා. එක දරුවෙක් කිව්වා අපේ අම්මලා නිතර කියනවා ෆාදර් අපට සුනාමි ව්‍යසනය වෙලාවේ කන්න ටික දුන්නේ, අඳින්න ටික දුන්නේ වතුර ටික බොන්න දුන්නේ. මේ පැතිවලින් ඇවිල්ලා. සුනාමියේ සුන්බුන් උඩින් ඇවිත් අපිව බලා ගන්න පුළුවන් වුණා නම් අපිට මේ වතුර කඳ මහ දෙයක් නෙමෙයි ෆාදර්. අපි ඔබ වහන්සේලාට අරන් ආවේ අපේ ආදරේ කියලා කිව්වා.
ඒ වගේම භික්ෂූන් වහන්සේලා ගොඩක් මේ වෙනුවෙන් කුලියාපිටිය කුරුණෑගල, හෙට්ටිපොල වගේ පැතිවලින් ඇවිත් උදව් කළා. ඒ වෙලාවෙදි මට දැනුණේ මනෝ ශක්තියෙ නාමයෙන් එකට එකතු වෙලා අපිට කොච්චර තරම් දේවල් කරන්න පුළුවන් ද කියලා.
පල්ලියෙන් නික්මෙද්දි සිංහල දමිළ මුස්ලිම් ජනතාව ඇඬුවෙ. දේපළ නැති වුණාට නෙමෙයි පල්ලිය හිසට සෙවණක් වුණ සතුටට.
මෙතන දවස් දවස් 6කට පස්සේ නැවත නිවෙස්වලට යද්දි හිටිය බොහෝ දෙනා සංවේදී වුණා. ෆාදර් අපිට ඇඳිවතවත් ඉතුරු වෙලා නැහැ. නමුත් ඒ ඔක්කොම අමතක කරලා මේ පරිසරය අපිව මොකක්දෝ අමුතු සන්සුන් තත්ත්වයකට ගෙනාව කියලා කිව්වා. අවතැන් බෞද්ධයෝ, මුස්ලිම්, හින්දු බොහෝ දෙනෙකුට මේ දේවස්ථානය හෙවණ දුන්නා.
“එක ගුරුවරියක් හිටියා හලාවත පාසලක උගන්වන. මෙච්චර අවුරුදු ගානක් මං හලාවත ජීවත් වුණත් මම කතෝලික පල්ලියකට ගොඩ වුණේ මේ ව්‍යසනයත් එක්ක. මම උපතින් බෞද්ධ. මම හිතන් හිටියේ පල්ලි කියන්නේ වහලා තියෙන ඒ ආගමේ අයට විතරක් විවෘත වන තැනක් කියලා. මං මෙහේ දවස් පහක් හිටියා. පියතුමන්ලා අපි වෙනුවෙන් දරපු වෙහෙස මම දැක්කා. වතුර බැහැලා මම ගෙදර පස්සේ කෑ ගහලා අඬන්න හිතුණා. මමත් හම්බ කරපු සේසතම විනාශ වෙලා. නමුත් මෙතන පරිසරයට ආවට පස්සේ මං හිතට මොකක්දෝ ශාන්තියක් දැනුණා. මම හිත හදාගත්ත ස්වාමීනි කියලා. මෙච්චර දෙයක් සැලසුම් කරන්න ඔබ අදහන ආගමේ මොකක්ද ද රහස කියලා ඒ ගුරුවරිය මගෙන් ඇහුවා. මම දුන්න එක උත්තරයයි. දෙවියන් වහන්සේගේ ප්‍රේමයට සීමා නෑ ජාති ආගම් කුල භේද නෑ කියලා. ෆාදර් මගේ රැකියාව සාමාන්‍ය පරිදි හරි ගියාම මට පල්ලියට උදව්වක් කරන්න අවසර ද කියලා ඇය නික්මුණා.
මම මේක කළේ බොහොම පරිස්සමෙන්. මේක හරහා මට වීරයෙක් වෙන්න අවශ්‍ය වුණේ නැහැ. මම කළේ මනුස්සකමේ නාමයෙන්. දෙවියන් වහන්සේම කියලා තියෙනවා අපි වමතින් කරන දේ දකුණට නොදැන කරන්න ඕනැ කියලා. අවතැන්වීමක් තියෙනවා. නමුත් මේ මිනිස්සු යාචකයො නෙවෙයි. ගෞරවනීය ලෙස ජීවත් වෙච්ච මිනිස්සු. ඒ ගෞරවය අපි ඒ මිනිස්සුන්ට දෙන්න ඕනා. ඒ නිසා මං කිසිම දෙයක් ශෝෂල් මිඩියාවල දානවට කැමති වුණේ නෑ
නත්තලට ගවලෙන් හදන්න දෙයක් නෑ. ගවලෙන් හැම තැනම , දරුවෝ දහස් ගණන් පල්ලියේ නිදි. ජීවමාන ගවලෙනක ඉඳගෙන ඔබට දැනෙන නත්තල කොයි වගේද?
දෙවියන් වහන්සේ අප සමගයි කියන අත්දැකීම අපට දැනෙනවා. පළමු නත්තලේදී මරියතුමිය සහ ජුසේ තුමා ඒ මාර්ගයේ ගමන් කරද්දිත් සියලුම තානායම් පිරිලා තිබුණේ. නතර වෙන්න ඉඩකඩක් තිබුණෙ නැහැ. අවසානයේ දී මරිය තුමියට ඉන්න සිදු වුණේ ගවලෙනක. එය අවතැන්වීමක්. අසරණ වීමක් සහ සරණාගත තත්ත්වයට පත්වීමක්. නමුත් එම සරණාගත තත්ත්වයක දී වුවත් දේවපුත්‍රයා උපදිනවා. දේවපුත්‍රයා ඉපදෙනවා කියන්නේ දෙවියන් වහන්සේ මනුෂ්‍යයා අතර ජීවත් වීමට පැමිණීමයි. දෙවියන් වහන්සේගේ කූඩාරම මනුෂ්‍යයා අතර ඉදි වෙනවා.
මේ ව්‍යසනය හමුවේ දෙවියන් වහන්සේ මනුෂ්‍යයා අතර සිටියා කියන කාරණය මට දැනුණා. ගංවතුර ව්‍යසනය හමුවේත් අපිව අතහැරියේ නැති අපි සමගම මාංශගත වූ දෙවිඳා. ඉතින් මම හිතනවා. මේ නත්තල අනෙකුත් සෑම නත්තලකටම වඩා ඉතාමත් සුවිශේෂයි. එයට හේතුව පළමු වූ නත්තලේදී සරණාගත වූ ශුද්ධෝත්තම පවුල සේම මේ ගංවතුර අවධියේදිත් බොහෝ සරණාගත පවුල් මේ දේවස්ථානයේ හිටියා. ඒ වෙලාවෙත් දෙවියන් වහන්සේ කාවවත් අත්හැරියෙ නැහැ. මේ වෙලාවත් මම කාවවත් අතහැරියේ නෑ. මැලවුණ මූණුවලට පුංචි හරි සැනසීමක් දීලා. ඒ විවාඩ දැනෙන තරමට මම සුතුටු වුණා.
නදීශා අතුකෝරළ
ඡායාරූප- ජයමාල් චන්ද්‍රසිරි

