දත්ත මත ඇත්ත තේරුම් ගැනීම


“ඕනෑම අයෙකුට තමන්ගේම අදහසක් දැරීමට අයිතියක් ඇත, නමුත් තමන්ටම කියා වෙනම දත්ත (නැතහොත් බොරු කරුණු) නිර්මාණය කරගැනීමට අයිතියක් නැත.”‍ මේ කතාව ඇමෙරිකානු රජයේ ඉහළම සිවිල් ගෞරව සම්මානය වන Presidential Medal of Freedom 2000 වසරේ දී හිමිකරගත් ඩැනියෙල් පැට්රික් මෝයිනිහාන් ගේ ය. 

ඒ වදනින් මේ සටහන අරඹන්න හිතුණේ හේතු ඇතිවය.

ඕනෑම සමීක්ෂණයක් හෝ ප්‍රතිපත්තිමය සැලසුමක් සාර්ථකවීමට නම් ඊට පදනම් වන දත්ත නිරවද්‍ය විය යුතුය. මන්ද, වැරදි හෝ අසම්පූර්ණ දත්ත මත පදනම්වීම යනු අවසානයේ වැරදි නිගමන කරා ගමන් කිරීමකි. දේශපාලන වාසි ලබාගැනීම සඳහා දත්ත විකෘති කිරීම හෝ තමන්ට අවශ්‍ය පරිදි කතාන්දර (Narratives) නිර්මාණය කිරීම මගින් තාවකාලිකව ජනතාව රැවටීමට හෝ දේශපාලන මතිමතාන්තර ගොඩනඟා ගැනීමට හැකි වුවද, දිගුකාලීනව එය රටක ආර්ථිකයට සහ පුරවැසියන්ගේ අනාගතයට අතිශයින්ම අහිතකර ලෙස බලපායි. ශ්‍රී ලංකාව වැනි අර්බුදයකින් පසුව යළිත් ගොඩනැඟෙමින් ඇති රටක - දරිද්‍රතා මට්ටම්, උද්ධමන අගයන් සහ විදේශ සංචිත වැනි සංඛ්‍යා ලේඛන හුදු අංක පමණක් නොව, මිලියන සංඛ්‍යාත පුරවැසියන්ගේ ජීවිත තීරණය කරන සාධක වේ. එබැවින්, අතීත වැරදි ඇසුරෙන් නිවැරදි වීමටත් වර්තමානය ගොඩනැඟීමට සහ අනාගත උපාය මාර්ග සකස් කිරීමේදී දත්තවල විශ්වසනීයත්වය සහ විනිවිදභාවය සුරැකීම සමස්ත ආර්ථිකයේ පැවැත්ම තීරණය කරන ප්‍රධානම සාධකය බවට විවාදයක් නැත.

මෙහිදී පළමුව සඳහන් කළ යුතුව ඇත්තේ මා ආර්ථික විශේෂඥයකු නොවන බවයි. නමුත් වසර 15 කට අධික කාලයක් තිස්සේ රාජ්‍ය යාන්ත්‍රණයේ මෙන්ම ආණ්ඩුකරණයට අදාළව මා දැරූ වගකීම් සහ රාජකාරි ඇසුරෙන් විෂයගත කරුණු සම්බන්ධයෙන් දැනුමක් අවබෝධයක් පවතී. අනෙක් පසින් මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික නිල වාර්තා සතු බැවින් විෂයගත කරුණ සාකච්ඡා කිරීමට බාධාවක් නැත.

2022 අර්බුදයේ තත්ත්වය!

2022 ජූලි 21 වන දින රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වන විට, ශ්‍රී ලංකාව තිබුණේ නිදහසින් පසු දරුණුතම ආර්ථික කඩාවැටීමක් මධ්‍යයේය.  . රට 2022 අප්‍රේල්-මැයි මාසවලදී විදේශ ණය ගෙවීම් අත්හිටුවීමක් (Default) නිල වශයෙන් ප්‍රකාශ කර තිබූ අතර, එය මෙරට ඉතිහාසයේ පළමු ස්වෛරී ණය පැහැර හැරීමය. එවකට පැවති මහා භාණ්ඩාගාරය දෙසට හැරුණොත්, එහි ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ පවත්වාගෙන ගිය ගිණුම්වල පැවතියේ රුපියල් බිලියන 832ක අයිරාවකි. 

2022 දෙසැම්බර් වන විට රුපියල් බිලියන 84 ක අයිරාවක් දක්වාත්, 2023 දෙසැම්බර් 31 වන විට රුපියල් බිලියන 599.5 ක දළ ශේෂයක් දක්වාත් යළි ගොඩනඟන්න වික්‍රමසිංහ පාලනය සමත් විය . 2024 සැප්තැම්බර් වන විට භාණ්ඩාගාරයේ රුපියල් බිලියන 800ක දළ ශේෂයක් පැවති අතර - 2024 දෙසැම්බර් 31 මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව අනුව, එහි රුපියල් බිලියන 805කි. කෙසේ වෙතත් රුපියල් බිලියන 832 ක බැංකු අයිරාවක සහ රුපියල් බිලියන 800 ක වෙනස තේරුම් ගැනීමට හැකි නම්, එය වික්‍රමසිංහ භාරගත් භාණ්ඩාගාරය සහ ඔහු මාස 26 කට පසුව භාරදුන් භාණ්ඩාගාරයේ වෙනස තේරුම් ගැනීමට ප්‍රමාණවත්ය . 2022 ජුලි 21 වන විට විදෙස් සංචිත ඩොලර් මිලියන22 පමණ දක්වා පහත වැටී තිබූ අතර, ආනයනික එක් ඉන්ධන නැවක් ඩොලර් මිලියන 42ක පමණ වූයෙන් විදෙස් සංචිතය එක් තෙල් නැවක් ගෙවීමට පවා ප්‍රමාණවත් නොවීය. රුපියල පාවීමට ලක් කිරීමෙන් පසු සියයට 80කට වඩා අවප්‍රමාණය විය. 2022 සැප්තැම්බර් වන විට උද්ධමනය සියයට 70ක් පමණ දක්වාද, ආහාර උද්ධමනය සියයට 90-95ක් පමණ දක්වාද ඉහළ ගියේය. ආර්ථිකය එම වසර තුළ සෘණ සියයට7.3ක් දක්වා හැකිළුණි.

ඉන්ධන, ගෑස් සහ ඖෂධ හිඟය රට තුළ යළිත් පෝලිම් යුගයක් ඇතිකර තිබිණි. ජාත්‍යන්තරය පවා කිව්වේ ලංකාවේ යළි ගොඩගැනීමක් ගැන විශ්වාසයක්වත් තබාගන්නට නොහැකිය කියාය. 

සැබැවින්ම 2022දී ශ්‍රී ලංකාව ඓතිහාසික කඩාවැටීමක සිටියේය. 2022-2024 කාලය තුළ IMF වැඩසටහන, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ දැඩි මූල්‍ය ප්‍රතිපත්ති ඔස්සේ උද්ධමනය පහත හෙළා, ආර්ථික  වර්ධනය යළි සියයට 5.5 ලබාගෙන, සංචිත ගොඩනඟා ගැනුණි. කෙසේ වෙතත් 2026 දත්ත පෙන්නුම් කරන්නේ ප්‍රතිසංස්කරණය සම්පූර්ණ සහ වර්ධනයේ ඉලක්ක වෙත යාම දුෂ්කර වී ඇති බවකි.

 

2022-2024: ස්ථාවර කිරීමේ අවධිය

ඉතිහාසයේ දරුණුතම ආර්ථික කඩාවැටීම සමනය කිරීමට වික්‍රමසිංහ පාලනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මූලික කරගත් ස්ථාවර කිරීමේ වැඩපිළිවෙළක් අනුගමනය කළේය. ඒ යටතේ 2023 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක පමණ  අවුරුදු හතරක විස්තීර්ණ අරමුදල් පහසුකමක් (EFF) ලබා ගත්තේය. බදු තියුණු ලෙස ඉහළ නැංවීය, විදුලි හා ඉන්ධන මිල සැබෑ පිරිවැය ආවරණය වන මට්ටම් කරා ගෙන ගියේය. මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කළේය. දේශීය මෙන්ම විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අසීරු ක්‍රියාවලියද ආරම්භ කළේය.. 

එක් එක් පවුලක් ලෙස සැලකීමේදී එය වේදනාකාරී වුවද, එහි ප්‍රතිඵල මැනිය හැකි විය. 2022 දී සෘණ සියයට7.3ක් දක්වා වූ ආර්ථික හැකිළීම 2023 දී සියයට 2.3 - 2.4ක් දක්වා මන්දගාමී වූ අතර, 2024 දී ආර්ථිකය නැවතත් සියයට 5.5ක පමණ වර්ධනයක් පෙන්නුම් කළේය. සියයට70  කට ආසන්න මට්ටමක පැවති උද්ධමනය, මුල්‍ය ස්ථාවරත්වය සහ ආනයන සීමා ලිහිල්වීමත් සමග 2023 මැද භාගය වන විට තනි අංකයකට පහත වැටුණු අතර, 2024-25 කාලය තුළ ඇතැම් කාලසීමාවන් හිදී එය ඍණ අගයක් (Deflation) ගත්තේය. 2022 දී බිඳ වැටීමෙන් පසු 2023 දී රුපියල සියයට 11 කට ආසන්න ප්‍රමාණයකින් යථා තත්ත්වයට පත් විය. ඇමෙරිකානු ඩොලර් මිලියන 22 ක් දක්වා පහත වැටී තිබූ විදේශ විනිමය සංචිත, 2024  මුල් භාගය වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන  6200 ක් දක්වා යළි ගොඩනඟන ලද අතර, එය  මාස හතරකට අධික ආනයන  ආවරණය කිරීමට ප්‍රමාණවත් විය. ආර්ථික පරිවර්තන පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත, රාජ්‍ය ණය කළමනාකරණ පනත, ඇතුළු පනත් 66ක් සම්මත කර ගන්නට එම වසර දෙකහමාරක වික්‍රමසිංහ පාලනය යටතේ කටයුතු කෙරිණ. අනෙක් අතට තවත් සුවිශේෂ පනත් කෙටුම්පත් 17ක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරිණ.

එපමණක් ද නොව ආසියාවේ බලගතුම  දූෂණ විරෝධී පනත සම්මත කරමින් දූෂණය පිටුදැකීම යන්න රාජ්‍ය යාන්ත්‍රණයට බද්ධ කළේය ණය සම්බන්ධයෙන් ගත් කල, වික්‍රමසිංහ පාලනය  දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කළ අතර, 2024 දී ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමග ප්‍රතිපත්තිමය  එකඟතාවකට පැමිණියේය. කෙසේ වෙතත් එම ගිවිසුම විධිමත් ලෙස අත්සන් තබන ලද්දේ ඔහු ධුරයෙන් ඉවත් වීමෙන් පසුව වත්මන් ආණ්ඩුව යටතේය.

2026 වර්තමාන තත්ත්වය සහ මාලිමා ආණ්ඩුවේ අභියෝග

2024 අග පත්වූ මාලිමාව ආණ්ඩුව, තමන් මැතිවරණයේදී යළි සාකච්ඡා කිරීම ගැන කතා කළත්, පැවති IMF වැඩසටහනම දිගටම කරගෙන ගියේය. 2026 මැයි මාසයේ නිමකරන ලද IMFහි 5 සහ 6 වන සමාලෝචනවලදී, වැඩසටහන යටතේ බොහෝ ඉලක්ක සපුරා ගෙන ඇති බව සඳහන් වුවත්, බාහිර ගෙවීම් හිඟ නොතැබීම සහ ආනයන සීමා පැනවීමෙන් වැළකී සිටීම යන කොන්දේසි සම්පූර්ණයෙන් සපුරා නොමැති බවද වාර්තා විය. එම සමාලෝචනය සම්පූර්ණ කිරීමත් සමග IMF වාරිකය නිදහස් කළත්, පසුගිය වසර තුළ තත්ත්වය නරක අතට හැරී ඇති බවට පැහැදිලි සාක්ෂි ඇත.

ඒ අනුව දිට්වා සුළිකුණාටුව සහ මැදපෙරදිග යුද ආතතිය යන බාහිර කම්පන දෙකම හේතුවෙන්, 2026 වර්ධන පුරෝකථනය සියයට 3ක් පමණ දක්වා පහත හෙළා ඇත.

උද්ධමනය දෙස අවධානය යොමු කළොත්  2025 අග වන විට සියයට 2ක් පමණ වූ උද්ධමනය, 2026 මැයි වන විට සියයට 5.4ක් දක්වාත්, ජූනි වන විට සියයට 6.5 - 6.8ක් දක්වාත් අඛණ්ඩව ඉහළ යමින් ඇත. මෙය මහබැංකුවේ ඉහළම ඉලක්කගත සීමාවට (සියයට 7) ආසන්නය. මේ නිසා මහබැංකුව පොලී අනුපාතිකය ද ඉහළ නැංවීය.

විදෙස් සංචිතද ස්ථාවර ලෙස ඉහළ ගොස් නැත. 2026 මුල් භාගයේ ඩොලර් මිලියන 6,800 - 7,100ත් අතර පැවති සංචිත, ජූනි වනවිට ඩොලර් මිලියන 6,400 – 6,500ක් පමණ දක්වා අඩුවිය. හේතුව රුපියල ආරක්ෂා කරගැනීම සඳහා මහබැංකුව ඩොලර් මිලියන 431ක් පමණ වෙළෙඳපොළට මුදාහැරීමය. රුපියල අද ඩොලරයකට 336-340ත් අතර පවතී. කෘත්‍රිම ලෙස රුපියල පාලනය කිරීමේ ක්‍රමවලින් මිදීමට රජය අසමත්ව ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. නමුත් වික්‍රමසිංහ පාලනය 2024 අවසන් කාර්තු 02 ඇතුළත ඩොලරයක අගය රුපියල් 290 - 292 අගයක ස්ථාවරව පැවති බවද  සිහිපත් කළ යුතුය.

එසේම දරිද්‍රතාවය තවමත් වඩාත් දුෂ්කර ප්‍රශ්නය ලෙස අප හමුවේ පවතී. ලෝකබැංකුව සහ IMF ඇස්තමේන්තු අනුව 2024-25 වකවානුවේ දරිද්‍රතා මට්ටම සියයට 22 ක් පමණ වන අතර, එය අර්බුදයට පෙර මට්ටමට වඩා දෙගුණයකට ආසන්නය. ළමා මන්දපෝෂණයද තවමත් ඉහළ මට්ටමක ය. බදු ආදායම දළ ජාතික නිෂ්පාදනය ප්‍රතිශතයක් ලෙස 2023 බදු ප්‍රතිසංස්කරණවලින් පසු ඉහළ ගොස් ඇති අතර, වාහන ආනයනය මතින් අයකෙරෙන අධික බදු ද රාජ්‍ය ආදායමට දායක වී ඇත. එහෙත් ප්‍රාග්ධන වියදම් ක්‍රියාත්මක කිරීම බොහෝවිට සැලසුම් මට්ටමට වඩා පසුබෑමකට ලක්ව ඇත. එය 2025 දී වෙන්කළ මුදලින් සියයට 50 ක් විය. 2026 සඳහාද ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 1,400ක් පමණ වෙන් කළත් මැයි 31 වැනිදා වන විටත් වියදම් කර තිබෙන්නේ රුපියල් බිලියන 221ක පමණ මුදලකි. මෙසේ ප්‍රාග්ධන වියදම් සීමාකිරීම හේතුවෙන් දෛනික කුලී රැකියා, පෙදරේරු සහ වඩු වැනි නොනිල ආර්ථිකයෙන් යැපෙන බහුතර ප්‍රජාවගේ ආදායම් බරපතළ ලෙස සීමාවී ඇත. මේ හමුවේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා වීම අලු‍ත් සිදුවීමක් හෝ වාර්තාවක් ලෙස ගත යුතු නැත. නමුත් එවැන්නක් ඇසෙමින් තිබේ. මෙය 1954, 1955, 1992, 2017-18 වැනි වසරවල මෙන්ම 2023, 2024 වසරවල ද වාර්තා වූවක් ය. එහෙයින් තනි වසරක අතිරික්තයක් තිරසාර ප්‍රතිසංස්කරණයක සලකුණක් ලෙස නොසැලකිය යුතුය.

එසේම ශ්‍රී ලංකාව මීට පෙර නොගෙවූ විදෙස් ණය දැන් ගෙවන කතාවක්ද අහන්න ඇත. ඒ කියන්නේ මෙරට ගෙවන්න තිබූ ණය ගැනය. නමුත් මෙරට විදේශීය ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවුව ද ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය මුදල් අඛණ්ඩව ගෙවා දැමීමට කටයුතු කළේය. ඒ අනුව 2022 දී ඩො.මි. 2,100ක් 2023 – ඩො.මි. 1,300ක් 2024 දී ඩො.මි. 1,300 ක් ගෙවා ඇත. වත්මන් ආණ්ඩුව ද 2025 දී ඩො.මි. 2,000ක් ගෙවා ඇත. එබැවින් එයත් අලුත් දෙයක් නොවේ.

ඉදිරි අභියෝග 

සැබැවින්ම විශාලතම ණය ගෙවීම් තිබෙන්නේ ඉදිරියේය. ප්‍රතිව්‍යුහගත කරන ලද ජාත්‍යන්තර බැඳුම්කර ගෙවීම් ආරම්භ වන්නේ 2028 සිටය. ඒ වන විටත් නැවත ගෙවීම් අර්බුදයකින් තොරව ප්‍රමාණවත් සංචිත සහ මූල්‍ය ඉඩකඩක් ගොඩනංවා ගැනීම මෙම වැඩසටහනේ තීරණාත්මක නොවිසඳුණු අභියෝගයයි. මෙරට වර්ධනය තවමත් බාහිර සිදුවීම්වලට අතිශයින් සංවේදීය. මැදපෙරදිග යුද්ධයක් සහ දිට්වා සුළිකුණාටුව බඳු ස්වාභාවික ව්‍යසනයක් පමණක් වර්ධන පුරෝකථනය අඩකින් පමණ කපා දමන්නටත්, උද්ධමනය යළි ඉහළ නංවන්නටත් ප්‍රමාණවත් වූයේ නම්, එය තිරසාර ප්‍රතිශක්තියක් තවම ගොඩනැඟී නැති බවේ සලකුණකි. උද්ධමනය, සංචිත, වර්ධනය වැනි සාර්ව ආර්ථික දර්ශක 2022 පහළම මට්ටමට වඩා යහපත් වී ඇතත්, දරිද්‍රතාවය සියයට 22ක් ලෙස තවමත් අර්බුදයට පෙර මට්ටමට වඩා දෙගුණයකට ආසන්නය. IMF වැඩසටහන තනිවම වර්ධන උපාය මාර්ගයක් නොවේ. එය සකස් කෙරුණේ ණය තිරසාරභාවය සහ සාර්ව ආර්ථික ස්ථාවරභාවය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පමණි.  එයින් ඔබ්බට ගොස් අපනයන විවිධාංගීකරණය, ආයෝජන පරිසරය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ තුළින් තිරසාර වර්ධනයක් ළඟාකර නොගතහොත්, නැවත දැඩි පීඩාකාරී කොන්දේසි යටතේ IMF වැඩසටහනකට යාමට සිදුවීමේ අවදානම අනිවාර්යයකි. මෙම සැබෑ දත්ත පෙන්නුම් කරන්නේ පැහැදිලි යථාර්ථයකි. 

සැබැවින්ම 2022දී ශ්‍රී ලංකාව ඓතිහාසික කඩාවැටීමක සිටියේය. 2022-2024 කාලය තුළ IMF වැඩසටහන, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ දැඩි මූල්‍ය ප්‍රතිපත්ති ඔස්සේ උද්ධමනය පහත හෙළා, ආර්ථික  වර්ධනය යළි සියයට 5.5 ලබාගෙන, සංචිත ගොඩනඟා ගැනුණි. කෙසේ වෙතත් 2026 දත්ත පෙන්නුම් කරන්නේ ප්‍රතිසංස්කරණය සම්පූර්ණ සහ වර්ධනයේ ඉලක්ක වෙත යාම දුෂ්කර වී ඇති බවකි.

වර්ධන පුරෝකථනය කප්පාදු වී ඇත. උද්ධමනය යළි ඉහළ යමින් ඇත. රුපියල ආරක්ෂා කිරීම සඳහා සංචිත මුදාහැරීමට සිදුවී ඇත. එපමණක් නොව දරිද්‍රතාවය තවමත් ඉහළ මට්ටමක පවතී. 2028 සිට ආරම්භ වන විශාලතම ණය ගෙවීම්වලට මුහුණ දෙන අතරම, බාහිර කම්පන දරාගත හැකි තිරසාර ආර්ථිකයක් ගොඩනඟා ගැනීම තවමත් ඉදිරියේ ඇති සැබෑ පරීක්ෂණයයි. නැතිනම් ඉදිරිය අඳුරුය .

ධනුෂ්ක රාමනායක
ජනාධිපති මාධ්‍ය අංශයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් (2022-2024)