ජලභීතිකා ව්‍යසනය පාලනයෙන් ගිලිහීම


 
“එය හුදෙක් බල්ලෙකුගේ සපා කෑමක් පමණක් විය.නමුත් දින කිහිපයකට පසු වතුර බිඳුවක්වත් පානය කිරීමට නොහැකිව ගිලින්නට තැත් කළ සෑම මොහොතක ම දරුණු වේදනාවක් සමඟ මරණ බිය කෙමෙන් කෙමෙන් දෑස් අඳුරු කළේය.”
 
මේ අපේම නොසැලකිල්ල නිසා මතු වූ ජලභීතිකාවෙන් මියගිය අයකුගේ අවසාන මොහොතයි. මෙම භයානක රෝගය සියයට සියයක් ම වළක්වා ගත හැකි වුවද තවමත් සෑම වසරකම අපේ රටේ ජීවිත ගණනාවක් මාරාන්තික ජලභීතිකා රෝගයට ගොදුරු වෙයි. මෙම මරණ සංඛ්‍යාව බින්දුව දක්වා අඩු කර ගැනීමේ ජාතික අරමුණ අපට තවමත් අභියෝගයකි.
 
මෙයට විසඳුම ඇත්තේ අපගේ නිවෙස්වල ආදරයෙන් ඇති දැඩි කරන සුරතලාගේ සිට වීදි සුනඛයා දක්වා විහිදෙන වගකිවයුතු සත්ත්ව හිමිකාරිත්වය නම් වූ සරල සංකල්පය තුළය.
 
ජලභීතිකා ව්‍යසනයක් අත ළඟ ඇති බවට ද ජලභීතිකාව මර්දනයට  වෙන් කළ මුදල් නැවත භාණ්ඩාගාරය වෙතටම යන බවට ද භීතියක් පවතී. සත්ත්ව සුබසාධන සංසදයේ (AWC) විධායක කමිටු සාමාජිකා චම්පා ප්‍රනාන්දු මේ සියලු ගැටලු පිළිබඳ දැක්වූ අදහස් මෙසේය.
 
පශු වෛද්‍ය හිඟය
 
“ශ්‍රී ලංකාවෙහි ජලභීතිකාව තුරන් කිරීමේ ව්‍යාපාරය වසර 75 ක පමණ කාලයක සිට පැවතගෙන එනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජලභීතිකාව තුරන් කිරීමේ ව්‍යාපාරය කරගෙන යනවා. 2006 වසරේ සිට ජලභීතිකාව පාලනය කිරීම සඳහා වන බල්ලන් මැරීමේ ක්‍රියාවලිය නතර කර තිබෙනවා. සුනඛයන් අසීමිත සංඛ්‍යාවක් බෝවීම මගින් මිනිසුන් අපහසුතාවට පත්වීම, ජලභීතිකා රෝගය බෝවීම, සපා කෑම් වැඩිවීම, රිය අනතුරු වැඩිවීම වැනි ප්‍රශ්න රාශියක් මතුවෙනවා. ඒ හේතුවෙන් 2008 වසරේ සිට ආණ්ඩුව විසින් භාණ්ඩාගාරයෙන් මුදල් මිලියන ගණනක් වෙන් කර තිබෙනවා. ලංකාව  පුරාම වන්ධ්‍යාකරණ සායන පවත්වා  සුනඛ ගහනය පාලනය කිරීම කළත් මෙම වැඩපිළිවෙළ සාර්ථක වුණේ නැහැ. එයට හේතුව සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය පශු වෛද්‍යවරුන් නොමැතිවීමයි.
 
පශු වෛද්‍යවරුන් සිටින්නේ සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ. සතුන් වන්ධ්‍යකරණය කිරීමට සහ  සතුන්ගෙන් බෝවන රෝග තුරන් කිරීම සඳහා නෛතික බලය පවතින්නේ සහ විශේෂඥ දැනුම පවතින්නේ පශු වෛද්‍යවරුන්ගෙන් සමන්විත සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවටයි. පශු වෛද්‍යවරුන් හත්සියකට අධික ප්‍රමාණයක් රට පුරා විහිදී සිටිනවා. මුල් කාලයෙහි මේ සඳහා ශක්තියක්, පිරිස් බලයක් තිබුණෙ නැහැ. 2008 වසරේ සිට 2018 කාලයෙහි වන්ධ්‍යකරණ  සායන මගින් තිරසාර ප්‍රතිඵල ලැබුණේ නැහැ.
 
ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා සුනඛ සංඛ්‍යාවෙන් සියයට හැත්තෑවත් සියයට අසූවත් අතර සතුන් සංඛ්‍යාවක් වසර දෙකක් නොකඩවාම එන්නත්කරණය කළ යුතු වෙනවා. එමඟින්  සාමූහික ප්‍රතිශක්තීකරණයක් ලැබෙනවා. ජලභීතිකා රෝගය වැඩිපුරම වැලඳෙන්නේ සුනඛයන්ගෙන්. මෙහිදී ප්‍රමුඛතාවට පත්වෙන්නේ සුනඛයන්. ඉන්ජෙක්ෂන්  ලබාදීම ඔස්සේ සුනඛයන්ගෙන්  එන ජලභීතිකා රෝගය බෝවීම වළක්වා ගන්න පුළුවන්. සුනඛයන්ට අමතරව සෑම ක්ෂීරපායි සතෙකුගෙන්ම ජලභීතිකා රෝගය බෝ වෙන්නත් පුළුවන්. නමුත් සුනඛයා මිනිසුන් සමඟ ජීවිතයේ ඉතාම සමීපව හැසිරෙන සත්ත්වයෙක්. ඒ හේතුවෙන්  සුනඛයාගෙන් ජලභීතිකාව වැලඳෙන්න ඇති ඉඩ ප්‍රමාණය බොහෝ වැඩිවෙනවා. මේ හේතුවෙන් සුනඛයන් එන්නත්කරණය සහ වන්ධ්‍යකරණය  කර සුනඛයන්ගේ පැවැත්ම පාලනය කිරීම මගින් ජල භීතිකාව පාලනය කර ගැනීමේ හැකියාව පවතිනවා.
 
රෝග ප්‍රවර්ධනය
 
ජලභීතිකා රෝගය මාරාන්තිකයි. එය වැලඳුණහොත්  අනිවාර්යෙන්ම මියයනවා. මරණය වළක්වා ගැනීම සඳහා රෝහල්වල අධික වියදමකින් එන්නත් මාලාවක් ලබාදෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය බොහෝ වෙලාවට ජලභීතිකා පාලනය සාර්ථකය යන නිගමනයට එන්නේ මරණ සංඛ්‍යාවෙන්. මානව මරණ සංඛ්‍යාව මීට පෙර තුන්සියක් පමණ වුණා . නමුත්  දැන්  මරණ අවමයි කියන සංකල්පය මත ඉන්නවා.  ජලභීතිකා රෝගය වැළැක්විය යුතු, වැළැක්විය හැකි රෝගයක්. නමුත් ලංකාවේ ජලභීතිකා රෝගය ප්‍රවර්ධනය කරමින් පවතිනවා. වැළැක්විය නොහැකි රෝගයක් බවට පත්කරගෙන මිනිසුන් මැරෙන එක වළක්වා ගැනීම සඳහා අධික වියදමක් දරනවා. 
 
සුනඛයන් එන්නත්කරණය සමග එන අනෙක් කාරණය නම් සුනඛයන් වන්ධ්‍යකරණය කිරීමයි. සතුන් මරන්නේ නැති නම් අනිවාර්‌යෙන්ම බෝවෙනවා. වසරකට දේවතාවක් සුනඛ ධේනුවන් විසින් සතුන් බෝ කිරීම සිදුවෙනවා. ගණනය කිරීම් අනුව එක සුනඛ ධේනුවකගෙන්, ඉපදෙන පැටවුන් පරම්පරාවෙන් අවුරුදු හයක පමණ කාලයකදී සුනඛයන් 66000 පමණ ඉපදෙනවා. පාලනයකින් තොරව ඒ කටයුතු සිදු වුවහොත් ප්‍රජා සෞඛ්‍ය ප්‍රශ්න මතුවීම සිද්ධවෙනවා.
 
ලංකාවේ පවතින ප්‍රධානම ගැටලුව නම් සුනඛ ගහනය වැඩිවීමේ ප්‍රශ්නය සම්බන්ධව දැන දැනම වන්ධ්‍යකරණ කටයුතු නොකර සිටීමයි. තොරතුරු දැනගැනීමේ පනතින් හෙළිවෙන්නේ සුනඛ වන්ධ්‍යකරණයට 2024 වර්ෂයේ  වෙන්කළ මුදල් ප්‍රමාණය මිලියන 184 ක් පමණ බවයි .එයින් භාවිතයට ගෙන ඇත්තේ මිලියන 100ක 105ක වගේ ප්‍රමාණයක්. ‍
 
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2007 වසරේ සිට මෙය සිදු කරන්නේ කොන්ත්‍රාත් පදනමකින් පශු වෛද්‍යවරුන් ලබාගෙන.  මුළු ලංකාවම මෙයින්  ආවරණය කරන්න බැහැ. කොටසක් වන්ධ්‍යකරණය වෙනවා. කොටසක් එසේ වෙන්නේ නැහැ. 
 
මිලියන 184න් 27ක් ආපසු භාණ්ඩාගාරයට
 
2025 වෙද්දී භාණ්ඩාගාරයෙන් වෙන් කළ මිලියන 184 න් මිලියනය බැගින්  දිස්ත්‍රික්කවලට යවා තියෙනවා. මිලියන 184 න් මිලියන 27ක් දිස්ත්‍රික්කවලට යවලා තියෙනවා. ඉතුරු මිලියන ගණන තවම භාවිත කර නැහැ. දෙසැම්බර් වෙනකොට මේ මුදල්  පාවිච්චි කර නැත්නම් ආපහු භාණ්ඩාගාරයට යනවා. යම්කිසි ආණ්ඩුවක් මුදලක් වෙන් කරන්නේ යම්කිසි කර්තව්‍යයක් සඳහා. රටේ උන්නතියක් සඳහා  මුදල් යොදවන්නෙ නැතුව නැවත වරක් එම මුදල භාණ්ඩාගාරයට යවනවා නම් එයින්  අපේක්ෂිත අරමුණු ඉෂ්ටවෙලා නැහැ.  ආර්ථික ප්‍රසාරණයට වඩා සුනඛ ප්‍රසාරණය වේගයෙන් සිද්ධවෙනවා. මේ මගින් සුනඛ සපාකෑම් සහ අනෙකුත් ප්‍රශ්න විශාල ප්‍රමාණයක් මතුවෙනවා.
 
ඇයි මේ මුදල් භාවිත නොකළේ කියන ගැටලුවට පිළිතුරක් අවශ්‍ය වෙනවා. සත්ත්ව සුබසාධන සංගමය විසින් යෝජනා කර තියෙනවා. ලංකාව පුරාම ප්‍රාදේශීය සභා මට්ටමින් දැනුවත් කිරීම් කර තියෙනවා. ජලභීතිකාව දුරු කරන ආකාරය ගැන. එහිදී ප්‍රධාන වශයෙන් එන්නත්කරණය කිරීමත් වන්ධ්‍යකරණය කිරීමත් මිනිසුන්ව දැනුවත් කිරීමත් සිදු කළ යුතුයි. මිනිසුන්ව දැනුවත් කිරීම සිදු කරනවා බල්ලෙක් සපා කෑවොත් එන්නත්කරණය කරන්න කියලා. නමුත් මිනිසුන් දැනුවත් කරලා නැහැ සුනඛයා එන්නත් කරන වාර්තාව ළඟ තබා ගැනීම සම්බන්ධව. අනෙක් කාරණය නම් දේශපාලන සහයෝගය ලබාදීම. තමන්ගේ බල ප්‍රදේශයේ සිටින සුනඛ ගහනය පාලනය කර ගැනීම සම්බන්ධව දැනුවත් කිරීම් යෝජනා කර තියෙනවා.
 
වීදි සුනබයන් වුවත් මෙම සතුන්ගෙන් සේවයක් වෙනවා. වීදි සුනඛයන්  සංචාරකයන්ගේ පවා ආකර්ෂණයට ලක් වෙනවා. වීදි සුනඛයන් ලංකාවේ සංස්කෘතිය සමග බැඳී පවතිනවා. නිසි පරිදි සුනඛයන් එන්නත්කරණය කිරීමත් වන්ධ්‍යකරණයට ලක් කිරීමත් සුනඛයන්ගෙන් ජලභීතිකා රෝගය බෝවීම සම්බන්ධව සහ ජලභීතිකා එන්නත් ලබාදීමෙන් පසු අදාළ  කාඩ් පත් ළඟ තබා ගැනීමත් කළ යුතුයි. මේ සම්බන්ධව මිනිසුන් දැනුවත් කිරීමත් තම තමන්ගේ බල ප්‍රදේශ තුළ ජලභීතිකා රෝගය පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය දේශපාලන සහයෝගය ලබාදීමත් ඒ සඳහා වෙන්කළ ප්‍රතිපාදන නිසි පරිදි යෙදවීම හරහා ජලභීතිකා රෝගය ලංකාවෙන් තුරන් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමත් අවශ්‍යයි.
 
පුන්සරා ගිම්හානි