ජපන් ෂියට්සු තෙරපියෙන් ජීවිතය දකින අපේ ළමයි


 
තෙරපි යන යෙදුමට වඩා අපට හුරු ස්පා යන්න ය. ඒ, කොළඹ හා තදාසන්න ප්‍රදේශවල අඩියක් අඩියක් ගානේ ස්පා තිබෙන නිසා විය යුතු ය. ස්පාවලින් විය යුතු දේ කුමක් වුවත් වෙන්නේ වෙන වෙන දේවල් බව ද දන්නෝ දනිති. එය වෙන කතාවකි. තෙරපි හෙවත් සම්බාහනය මිනිස් සිරුරට අවශ්‍ය දෙයකි. එයින් කයට පළමුවත් මනසට දෙවනුවත් සුවය ලබා දේ. එබැවින් සම්බාහනය වැරැදි දෙයක් නොවේ. එය ලංකාවට පමණක් අනන්‍ය වූ දෙයක් ද නොවේ. 
 
Thusare Talking Hands (Guarantee) LTD ආයතනයේ නිර්මාතෘ සහ අධ්‍යක්ෂ ඉෂිකාවා නඔහිතෝ
ලෝකයේ බොහෝ රටවල දුරාතීතයේ සිට පැවත එන සම්බාහන විධි තිබේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවල ප්‍රචලිත ආයුර්වේද සම්බාහනය එකකි. ඒ ආකාරයේ සාම්ප්‍රදායික තෙරපි ක්‍රම ගණනාවක් ජපානයේ ජනප්‍රිය අතර “ෂියට්සු” (shiatsu) යනු එයින් එකකි. මේ ලිපියෙන් අප කියන්නට යන්නේ එම තෙරපි ක්‍රමය ගැනවත් ජපානය ගැනවත් නොවේ. එකී තෙරපි ක්‍රමය උපයෝගී කරගෙන මෙරට සිටින දෘශ්‍යාබාධිත (පෙනීම සම්බන්ධ ආබාධ ඇති හෝ අන්ධ) ළමයින්ට සේවා සපයන අපූරු තෙරපි මධ්‍යස්ථානයක් පිළිබඳව ය. 
 
ඉෂිකාවා නඔහිතෝ චතුර ලෙස සිංහල භාෂාව හසුරුවන ජපන් ජාතිකයෙකි. අප මේ ලිපියෙන් කතා කරන ෂිට්සුවා තෙරපි මධ්‍යස්ථානයේ ආරම්භකයා වන්නේ ද ඔහුය. වසර 2002 දී මුල්වරට ලංකාවට පැමිණි ඉෂිකාවා මේ වනවිට වසර 24 ක් ලංකාවේ වාසය කරමින් සිටියි. ශ්‍රී ලාංකික කාන්තාවක සමග පවුල් පන්සල් වී සිටින මේ අපූරු ජපන් ජාතිකයා මෙරට සිටින දෘශ්‍යාබාධිත සහ නොයෙක් ආබාධ සහිත ළමයින්ට පිහිටත් සරණක් වීම සඳහා මේ සංකල්පය ඉදිරියට ගෙනා ආකාරය ගැන අපි කතා කරමු.
 
දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සෙ ජපානයේ ෂියට්සු තෙරපි මධ්‍යස්ථානවල වැඩියෙන් වැඩ කළෙත් දෘශ්‍යාබාධිත අය
 
Q මේ මධ්‍යස්ථානයෙන් මොනවද වෙන්නෙ?
 
දෘශ්‍යාබාධිත අයට අපි මෙතනින් රැකියා අවස්ථා හදලා දෙනවා. ඒ වගේම ඒ අයගෙ දක්ෂතා දියුණු කිරීමත් කරනවා. මේ දෙකම කරලා ඒ අයට හොඳ ආර්ථික ජීවිතයක් හදලා දෙන්නත් අපි කටයුතු කරනවා. දෘශ්‍යාබාධිත අය සම්බන්ධයෙන් ලංකාවේ සමාජයේ තියෙන ආකල්ප වෙනස් කරන්නත් අපි උත්සාහ කරනවා. සමාජයේ විවිධ අය ජීවත් වෙනවා කියන පණිවුඩය සමාජගත කරන්න අපට අවශ්‍යයි. අන්ධ අය කොන් කිරීම නොසලකා හැරීම වගේ දේවල් සමාජයේ අපි දකිනවා. ඒ නිසා අපි අන්ධ කියන වචනය පාවිච්චි නොකර ඉන්න උත්සාහ කරනවා. මෙතන සේවය කරන සියලු දෙනා එන්න කලින් කාගෙන් හරි උදව් ලබමින් සිටි අය. ඒත් මෙතනට ඇවිත් අවුරුදු දෙක තුනක් මේ පුහුණුව අරගෙන වැඩ කළාට පස්සෙ මෙයාලා වෙනත් අයට උදව්වක් සපයන අය බවට පත් වෙනවා. ඒ කියන්නෙ සමහර අය මෙතනට ආවට පස්සෙ මුදල් උපයලා එයාලගෙ පවුල්වල අයව රැක බලා ගන්නවා. 
 
Q මේ ෂියට්සු කියන සාම්ප්‍රදායික තෙරපි ක්‍රමය ගැන හැඳින්වීමක් කළොත්...
 
ෂියට්සු කියන්නෙ ජපන් නිල තෙරපුම් සම්බාහන ක්‍රමයක්. මේ සම්බාහන ක්‍රමය විවිධ විදියට ජපානයේ ක්‍රියාත්මක වෙනවා. නමුත් ලංකාවෙදි අපි මේ ක්‍රමය යොදා ගන්නෙ නිල තෙරපුම් ක්‍රමයක් විදියට. මාංශ පේශී තද වෙලා තියෙන අයට මෙයින් සහනයක් ලැබෙනවා. ඒ වගේම ආතතිය නිසා ඇති වෙන කායික මානසික පීඩනය නිදහස් කරන්නත් මේ ක්‍රමයෙන් හැකියාව ලැබෙනවා. ඒ වගේම ජපානයේදී විධිමත් විදියට බලපත්‍ර ලබාගෙන මේ තෙරපි ක්‍රමය සිද්ධ කරනවා. ලංකාවෙ තවම මේ සම්බාහන ක්‍රමය සඳහා බලපත්‍ර නිකුත් කිරීමක් කරන්නෙ නෑ. මේ මධ්‍යස්ථානය මගින් ඉදිරියේදී බලපත්‍ර නිකුත් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. 
 
 
Q මේ තෙරපි ක්‍රමයෙදි තෙල් වර්ග පාවිච්චි කරන බවක් අපි දකින්නෙ නෑ. කොහොම ද මේක කරන්නෙ?
 
මේ තෙරපි ක්‍රමයෙදි තෙල් වර්ග කිසිවක් පාවිච්චි කරන්නෙ නෑ. නිල අල්ලලා සම්බාහනය කරන නිසා තමයි අපි තෙල් ගාන්නෙ නැත්තෙ. තෙල් ගෑවම අදාළ ස්ථානයට උත්තේජන දෙන්න බෑ. ලංකාවෙ තියෙන ආයුර්වේද පංචකර්ම සම්බාහන ක්‍රමයෙන් මේ ෂියට්සු තෙරපි ක්‍රමය වෙනස් වෙන්නෙ ඒ නිසා.
 
Q ලංකාවේ මේ විදියෙ මධ්‍යස්ථානයක් ඇති කළ යුතුයි කියලා ඔබට හිතුණෙ ඇයි?
 
මට මේ සඳහා වෛද්‍ය සසද‌ා සබුරො මුල ඉඳන්ම උදව් කළා. 2010 දි විතර තමයි මට අදහසක් ආවෙ මේ වගේ මධ්‍යස්ථානයක් ඇති කළ යුතුයි කියලා.
 
Q ඔබට ඔච්චර හොඳට සිංහල කතා කරන්න පුළුවන් වුණේ කොහොම ද?
 
2002 ඉඳන් මම ලංකාවෙ ඉන්නවා.
 
දෘශ්‍යාබාධිත අය සම්බන්ධයෙන් ලංකාවේ සමාජයේ තියෙන ආකල්ප වෙනස් කරන්නත් අපි උත්සාහ කරනවා
Q ඔබ ඇයි ලංකාවට ආවෙ?
 
ජපානයේ ජයිකා ආයතනය යටතේ ක්‍රියාත්මක වෙන ජපන් ස්වේච්ඡා සේවකයො කියන වැඩසටහන හරහා තමයි මම මුලින් ම ලංකාවට ආවෙ. ජපානෙදි අපට සිංහල භාෂාව ඉගෙනගැනීමට මාස දෙකහමාරක පුහුණුවක් තිබුණා. සිංහල භාෂාවෙ මූලික දේවල් ඉගෙන ගන්න එයින් මට හැකි වුණා. මුල්ම කාලෙ මම පරිසර අධ්‍යාපන විෂයට අදාළ වැඩසටහන්වලට සම්බන්ධ වුණා. උතුරු මැද පළාත් සභාව මගින් ක්‍රියාත්මක කළ වැඩසටහනකට තමයි මම මුලින්ම සම්බන්ධ වුණේ. ඒ පළාතෙ මිනිස්සුත් එක්ක කතා කරලා තමයි මම සිංහල හදාගත්තෙ. මම ලංකාවට ආවෙ අවුරුදු දෙකකට. මගේ කාලෙ ඉවර වෙලා යන්න සූදානම් වෙලා ඉද්දි තමයි 2004 අවුරුද්දෙ සුනාමි ආවෙ. සුනාමි ආවට පස්සෙ මම ජපන් රාජ්‍ය නොවන සංවිධානයක් එක්ක ගාල්ල මාතර දිස්ත්‍රික්කවල අවුරුද්දක් විතර වැඩ කළා. සුනාමි නිවාස 30 ක් විතර අපි හදලා දුන්නා. එතනින් තමයි මගේ ජීවිතේ වෙනස් වුණේ. මිනිස්සු එක්ක වැඩ කරන්න ලැබුණා. අවුරුද්දක් ගියාට පස්සෙ ජපන් රාජ්‍ය නොවන සංවිධානය ලංකාවෙන් පිටත් වුණා. මම තීරණය කළා තව කාලයක් ඉන්නවා කියලා.
 
ආපදා නිසා පීඩාවට පත්වෙන ජනතාව වෙනුවෙන් තමයි ඊට පස්සෙ මම වැඩි වශයෙන් වැඩ කළේ. තව යුද්දෙ ඉවර වුණාට පස්සෙ අවතැන් වූ ජනතාව නැවත පදිංචි කරවීමේ වැඩසටහන් යටතේ කන්තලේ ඉඳන් මුතූර් දක්වා අපි සෑහෙන වැඩකොටසක් කළා. මම ලංකාවේ බොහෝ තැන්වල වැඩ කරලා තියෙනවා. ඔය අතරෙ මට දෘශ්‍යාබාධිත අය මුණගැහුණා. ඒ විදියට 2009 දි විතර මුණගැහුණු දෘශ්‍යාබාධිත කෙනෙක් එක්ක මම එයාගෙ දුක සැප ගැන අහද්දි එයා කිව්වෙ ලංකාවේ දෘශ්‍යාබාධිත අයට කරන්න දෙයක් නෑ කියලා. රැකියාවක් හොයා ගන්න එක කොහොමත් අමාරුයි කියලත් එයා කිව්වා. ජපානයේ ෂියට්සු තෙරපි මධ්‍යස්ථානවල ඒ දවස්වල විශාල පිරිසක් වැඩ කළෙත් දෘශ්‍යාබාධිත අය. දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සෙ ජපාන රජයත් මැදිහත් වෙලා ඒක ප්‍රවර්ධනය කළා. මම එදා එයත් එක්ක කරපු මේ සාකච්ඡාව තමයි මේ මධ්‍යස්ථානයෙ ආරම්භය.
 
ඒ වෙද්දි මම ලංකාවෙ නොයෙක් සංවර්ධන වැඩසටහන් සමග සම්බන්ධ වෙලා හිටපු නිසා ඒ ගැන අධ්‍යයනය කළා. අපි නොමිලේ දේවල් දෙන කොට ජනතාව අතර යැපුම් මානසිකත්වය ඉහළ යනවා කියලා මට තේරුණා. සුනාමි කාලෙ මම ලබපු අත්දැකීමකුත් ඒකට බලපෑවා. මම සුනාමියෙන් පීඩාවට පත් වුණ පවුලකට ගෙයක් හදලා ඒකෙ යතුර බාර දුන්නා. පහුවදා එයා මාව හම්බ වෙන්න ඇවිත් මගෙන් අහනවා ගෙදර බල්බ් එක පිච්චිලා ඒක මාරු කරලා දෙන්න පුළුවන් ද කියලා. ඒ යැපුම් මානසිකත්වය ගැන මම ඒ අවස්ථාවේ ගොඩක් කල්පනා කළා. මිනිස්සු ඒකට අනුගත වෙලා. එහෙම වෙලා තියෙන්නෙ අපේ වරදින් ද කියලත් මම කල්පනා කළා. මම ඒ ගැන තවදුරටත් හොයද්දි සමාජ ව්‍යාපාර කියන සංකල්පය ගැන දැනගන්න ලැබුණා. දෙයක් නිකන් දෙනවා වෙනුවට එයින් ඒ අය සවිබලගන්වන්න පුළුවන් විදියක් ඒ සංකල්පයේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ අනුව එම සංකල්පය මුල් කරගෙන ෂියට්සු මධ්‍යස්ථානය ආරම්භ කළ යුතුයි කියන අදහස මගෙ ඔළුවට ආවා. මේ ස්ථානයේ දී 2012 දී අපි මේ මධ්‍යස්ථානය පටන් ගත්තා. සමාජ සේවා දෙපාර්තමේන්තුවෙ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් සීදුව ප්‍රදේශයේ ඒ කාලෙ තිබුණා. ඒකෙ තෙරපි මසාජ් පාඨමාලාවක් පැවැත්වුණා. එහෙම එකක් තිබුණ එක ගැන මම සතුටු වුණා. මම ඒක බලන්න ගියා. එතන පස් දෙනෙක් පුහුණුව ලබමින් හිටියා. ඒ අයට වැඩ කරන්න කොහෙවත් තැනක් නැති බව මට පසුව දැනගන්න ලැබුණා. එවෙලෙ මට හිතුණා මම කළ යුත්තෙ ඒ අයට රැකියා ලබා දෙන තැනක් බිහි කරන එක කියලා. 
 
 
නිය අලංකරණ කණ්ඩායම
 
මේ මධ්‍යස්ථානය පටන් ගත්තට ෂියට්සු තෙරපි ක්‍රමය උගන්වන්න මම දැනගෙන හිටියෙත් නෑ. මුලදි මම කල්පනා කළේ ආයුර්වේද පා සම්බාහනයෙන් (Foot Massage) පටන් ගන්න. එවෙලෙ වෛද්‍ය සසදා සබුරො මට කිව්වා ඒක නොකර ජපන් ෂිට්සුවා තෙරපි ක්‍රමයෙන්ම පටන් ගන්න කියලා. තෙල් පාවිච්චි කරන්නත් එපා කිව්වා. එයා කිව්වා මේ මධ්‍යස්ථානයෙන් දෘශ්‍යාබාධිත අයට විශේෂ දෙයක් වෙන්න ඕන කියලා. 
 
Q සම්බාහනයට ලක්කරන අයගෙ ඇඳුම් ඉවත් නොකිරීමත් සම්බාහනය කරන ස්ථානවල රෙදි කැබැල්ලක් තබා පිරිමැදීමත් සිදු කරනවා දැක්කා. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?
 
ජපන් ක්‍රමය එහෙම තමයි. තෙල් පාවිච්චි කරන්නෙ නැති නිසා සම්බාහනය කරද්දි ඇඳුම් ගලවන්න අවශ්‍ය නෑ. සම්බාහන සේවය ලබා ගන්න එන ඇතැම් අය තමන්ගෙ ශරීරය ස්පර්ශ කරන එකට අකැමැති නිසා සම්බාහනය කරන ස්ථානය මත රෙදි කැබැල්ලක් තබලා තමයි ඒක කරන්නෙ. ජපානයේ නම් ලොකු තුවායක් සිරුර මත තබලා සම්බාහනය කරන්නෙ. මේ විදියට කරද්දි තෙරපි ගැන තියෙන නරක ආකල්පය නැති වෙනවා වගේම එය සේවය ලබා ගන්න අයටත් ලබා දෙන අයටත් ආරක්ෂිතයි කියලා මම හිතනවා.
 
Q මෙතන දෘශ්‍යාබාධිත තරුණ අය කී දෙනෙක් වැඩ කරනවා ද?
 
දැනට හත් දෙනෙක් වැඩ කරනවා. මාස හයක මූලික පුහුණුව අවසන් කළාට පසු හොඳ රැකියා පහුණුව ලබනවා. ඒකෙදි වෙන්නෙ රැකියාව කරන ගමන් තවදුරටත් පුහුණු වෙන එක. ඊට අමතරව මූලික පුහුණුව ලබා ගන්න තව හය දෙනෙක් ඉන්නවා. ඔක්කොම 13 ක් ඉන්නවා. මේ අය දුප්පත් නිසා එයාලට උදව් කළ යුතුයි කියන පදනමින් අපි කටයුතු කරන්නෙ නෑ. සමාජ ව්‍යාපාර නමැති සංකල්පය යටතේ මේක කරගෙන යන නිසා අපි එයාලට ඒ අවස්ථාවත් ඊට අදාළ පරිසරයත් සැකසිය යුතුයි. එතනින් එහාට එයාලගෙ අතේ තමයි වැඩේ තියෙන්නෙ. පුහුණුව හරියට කරලා ඉස්සරහට යන එක එයාලගෙ අතේ තියෙන්නෙ.
 
Q මෙතැනට වැඩි වශයෙන් විදේශිකයො සම්බාහන සේවය ලබා ගන්න පැමිණෙන බව මම අසා තිබෙනවා. එය සත්‍යයක් ද?
 
ඔව්. මෙතැනට වැඩිපුර එන්නෙ විදේශිකයො. හේතුව ෂියට්සු කියන ජපන් තෙරපි එක ගැන ලංකාවෙ අය වැඩිපුර දන්නෙ නෑ. අන්තර්ජාලයෙන් තොරතුරු හොයලා තමයි ලංකාවට එන සංචාරකයො වැඩි වශයෙන් අපේ මධ්‍යස්ථානයට එන්නෙ.
 
Q සමාජයේ ඉන්න දෘශ්‍යාබාධිත අයට මේ මධ්‍යස්ථානය සමග සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා ද?
 
දෘශ්‍යාබාධිත අයට මේ මධ්‍යස්ථානය විවෘතයි. ඒක තමයි අපේ ආයතනයෙ අරමුණ වෙන්නෙත්. නමුත් මේක ඒ අයට ආධාර දෙන ආයතනයක් නොවෙයි. මෙතනට එන අයගෙ අතේ තමයි එයාලගෙ අනාගතය තියෙන්නෙ. සම්බාහනය කරලා සල්ලි හම්බ කරන විදිය නෙවෙයි අපි මෙතනින් උගන්වන්නෙ. හොඳ රටක් හදන්න දායක වෙන කෙනෙක් තමයි අපි හදන්නෙ. අපි මව්පියන්ට කියන්නෙ තමන්ගෙ දරුවන්ටත් නිදහසක් දෙන්න කියලා. ජීවිතේ අභියෝගවලට මුහුණ දෙන්න එයාලට අවස්ථාව දෙන්න ඕන.
 
සම්බාහනයෙන් සල්ලි හම්බ කරන කෙනෙක් නෙවෙයි හොඳ රටක් හදන්න දායක වෙන කෙනෙක් තමයි අපි හදන්නෙ
 
Q ශ්‍රවණාබාධිත සහ වෙනත් ආබාධ සහිත ගැහැනු දරුවන්ටත් මේ මධ්‍යස්ථානයෙන් නිය අලංකරණය සම්බන්ධ පුහුණුව සහ රැකියා අවස්ථා ලබා දෙන බව ඔබ කලින් කිව්වා. ඒ ගැන පැහැදිලි කරන්න පුළුවන් ද?
 
මෙතන අවුරුදු 10 ක් තිස්සෙ දෘශ්‍යාබාධිත අය එක්ක වැඩ කළාට පස්සෙ අනිත් ආබාධ තියෙන අය එක්ක කොහොමද වැඩ කරන්නෙ කියන එක ගැන මම හිතුවා. ශ්‍රවණාබාධිත අය නිර්මාණ වැඩවලට ඩිසයිනින්වලට දක්ෂයි. එතනදී විශේෂයෙන් ම අපේ අවධානය යොමු වුණේ ගැහැනු ළමයින්ට. ඒ අයට දැනට වැඩිපුරම රැකියා අවස්ථා තියෙන්නෙ මැහුම් කර්මාන්තය ආශ්‍රිතව. ඒක නරක නෑ. මේ අයට රූපලාවණ්‍ය අංශයේ පුහුණුවක් ලබා දෙන්න පුළුවන් නම් හොඳයි කියලා අපි කල්පනා කළා. එතනදිත් අපි නිය අලංකරණයට ප්‍රමුඛත්වය දුන්නා. ඒ සඳහා අපි ජපානයේ නිය අලංකරණ ශිල්පියෙක් එක්කන් ඇවිත් මේ ළමයින්ට පුහුණුව දුන්නා. ඒක පටන් ගත්තෙ ගිය අවුරුද්දෙ දෙසැම්බර්වල. මේ වෙද්දි ඒ ළමයින්ගෙ පුහුණුව දිගටම ගියත් පාරිභෝගිකයන්ට සේවාව ලබා දිය හැකි මට්ටමට එයාලා දියුණු වෙලා තියෙනවා. විවිධ ආබාධ සහිත ළමයි හත් දෙනෙක් දැනට නිය අලංකරණ කටයුතුවල නිරත වෙලා ඉන්නවා.
 
 
ෂියට්සු තෙරපිවරුන් කණ්ඩායම ඉෂිකාවා මහතා සහ හසිමුතෝ මහත්මිය සමග
 
Q විවිධ ආබාධ සහිත අයට ඉදිරියේ දී එන්.වී.කිව්. (NVQ) මට්ටමේ සහතික ලබා දීම ගැනත් අවධානය යොමු කරන බව ඔබ කිව්වා. ඒ කටයුතු කොහොම ද වෙන්නෙ?
 
ඒක අපට තනියෙන් කරන්න බෑ. ඒ නිසා අපි මේ වෙන කොට සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ නයිටා (ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය) ආයතනය සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඉන්නවා. අපේ මධ්‍යස්ථානයෙන් ඉගෙන ගන්න ළමයි අපි ළඟම වැඩ කළ යුතුයි කියලා අපි හිතන්නෙ නෑ. මේ වෙද්දිත් අපෙන් ඉගෙන ගත් ළමයින් හත් දෙනෙක් විතර පිට තැන්වල වැඩ කරනවා. ඉදිරියේදී මේ ළමයින්ට ලයිසන් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. එතකොට එයාලගෙ පුහුණුවට විශාල පිළිගැනීමකුත් හිමි වෙනවා. ඒකෙන් ඒ අයට වෙන ස්ථානවල වුණත් රැකියා ලබා ගැනීම පහසු වෙනවා.
 
උපුල් වික්‍රමසිංහ
ඡායාරූප: ළහිරු හර්ෂණ

අකේමි හසිමුතෝ
ෂියට්සු තෙරපි පුහුණුකාරිනිය

මම දැනට මේ මධ්‍යස්ථානයේ ෂියට්සු තෙරපි ක්‍රමය උගන්වන ප්‍රධාන පුහුණුකාරිනිය වශයෙන් කටයුතු කරනවා. වෛද්‍ය සසද‌ා සබුරො තමයි මගේ මෙන්ටර්. ඔහුත් දෘශ්‍යාබාධිත කෙනෙක්. ඔහු තමයි මට කිව්වෙ දෘශ්‍යාබාධිත අයට ෂියට්සු තෙරපි ක්‍රමය ඉගැන්වීමේ වැදගත්කම ගැන. 

මම ලංකාවට එන්න කලින් බංග්ලාදේශයේ ස්වේච්ඡා තෙරපි පුහුණුවරියක වශයෙන් කටයුතු කළා. මට වෛද්‍ය සසදාගේ දර්ශනය අනුගමනය කරන්න ඕන වුණා. ඒ නිසා මම ලංකාවට ආවා. නිදන්ගත වේදනාවලට මේ තෙරපි ක්‍රමයෙන් සහනයක් ලැබෙනවා. මම එයාලා පුහුණු කරද්දි නිවැරදි ඉරියව් කියලා දෙනවා. ඒ අයට යාන්තමට පේනවා. මීට කලින් මට අත්දැකීම් තියෙන නිසා මේ අය පුහුණු කිරීම අසීරු නෑ.


දිලාන් සසංක

මගේ ගෙවල් තියෙන්නෙ දංකොටුව. මම රිය අනතුරකට මුහුණ දුන්නට පස්සෙ පෙනීම දුර්වල වුණා. ඊට පස්සෙ මගේ අම්මා මට රැකියාවක් සොයමින් හිටියා. අම්මා ඉස්සෙල්ලාම මාව සීදූවෙ දෘශ්‍යාබාධිත අය පුහුණු කරන මධ්‍යස්ථානයට එක්කන් ගියා. 

එතන සසද‌ා සබුරො ඩොක්ටර් හිටියා. එයාලත් එක්ක කතා කළාට පස්සෙ මෙතනට ආවා. දැන් මම මෙතැනට ඇවිත් අවුරුදු නවයක් වෙනවා. මම හිතනවා අන්ධ කෙනෙක්ට කරන්න පුළුවන් ලේසිම රස්සාවක් කියලා මේක. මේ තෙරපි ක්‍රමයෙ අපහසු තැන් තියෙනවා. ඒත් ඉෂිකාවා සර් ඉන්න නිසා ප්‍රශ්නයක් නෑ.

මෙතනට එන්න කලින් මට ජීවිතේ එපාම වෙලා හිටියෙ. ඒත් මෙතන තවත් අන්ධ අය හිටි නිසා මට වෙනසක් දැනුණෙ නෑ. මෙතනට ආවට පස්සෙ මගේ ජීවිතේ වෙනස් වුණා. මට විවිධ තරාතිරම්වල අය මුණගැහෙන්න ලැබුණෙත් මෙතනදී. අපි වගේ තවත් දෘශ්‍යාබාධිත අයට මේක හොඳ අවස්ථාවක් කියලා මට කියන්න පුළුවන්. මම ඉල්ලන්නෙ ඒ අය අන්ධ නිසා ගෙවල්වලම තියාගෙන ආරක්ෂා කරන්නෙ නැතුව මේ වගේ තැන්වලට එවන්න කියලා.