කොවිඩ් නම ඇසෙන මානයක සිටීමත් කොතරම් අනතුරුදායක දැයි වසර තුනකට අධික කාලයක් කොවිඩ් රැලි තුනක් නිසා ජන ජීවිතය සමග සෙල්ලම් කළ ඒ මාරයා ජනතාවට අමතක නැත. මේ කතා කරන්නේ නැවතත් කොවිඩ් මරණ තුනක් සහ නිලනොවන පුවත් අනුව රෝගීන් සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති කොව්ඩ් අලුත් පරිච්දඡෙදයක් ආරම්භ වූ මොහොතක අතිශය බියකරු ඉදිරියක පෙනෙන මානයේ සිටය. සැබැවින්ම කොවිඩ් මාරන්තිකය.
ඉන්ෆ්ලුවන්සා, ඩෙංගු, චිකුන්ගුන්යා, කොවිඩ් තුන්රෝග ව්‍යාප්තියකින් ලංකාවට බරපතළ අවදාමකට මුහුණ දෙමින් තිබෙන බව සෞඛ්‍ය අංශ මේ වනවිටත් ප්‍රකාශයට පත්කොට ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්‍වවිද්‍යාලයේ මහාචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කරන්නේ මැයි මාසයේ අග වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔමික්‍රොන් වෛරසයේ නව කොවිඩ් ප්‍රභේදයක් වන NB.1.8.1 ලොව පුරා රටවල් 22 ව්‍යාප්ත වෙමින් පවතින බව හඳුනාගෙන ඇති බවත්, එහි බලපෑම මේ වන විට ලංකාවට තර්ජනයක් වෙමින් පවතින බවත්, ය.
එම කොවිඩ් ප්‍රභේදය මේ වනවිට ලොව පුරා කොවිඩ් රෝගීන් වැඩිවීමට බලපා තිබෙන අතර එහි වේගවත් ව්‍යාප්තිය හමුවේ මෙම කොවිඩ් ප්‍රභේදය අධීක්ෂණය යටතේ පවතින ප්‍රභේදයක් ලෙස නම් කර ලොව පුරා සෞඛ්‍ය අංශ දැනුවත් කිරීම මේ වන විටත් ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කරමින් සිටින බවත්, මෙම කොවිඩ් ප්‍රභේදය ගෝලීය වශයෙන් හිස එසවීමේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලාංකීය ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම සහ විධි අනුගමනය කිරීම නුවණට හුරු බවත්, මහචාර්ය ජීවන්දර අවධාරණය කර සිටියි.
එමෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මේ වන විට රටවල් ගණනාවක මතු වෙමින් පවතින කොවිඩ් තත්ත්වයට ලොව ජනගහනයෙන් සියයට 10 කට ආසන්න පිරිසක් ගොදුරු වී ඇති බවයි.
විශේෂයෙන් චීනය හොංකොන් වැනි රටවල ශීඝ්‍රයෙන් නව කොවිඩ් ප්‍රභේදය පැතිර යන බවත්, මාලදිවයින තායිලන්තය, ඇමෙරිකා, කැලිෆෝනියා, ඔහියෝ ප්‍රාන්ත සහ වොෂින්ටන් නගර තුළද මේ වන විට කොවිඩ් පැතිර ගොස් ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ වර්තමානයේ ගෝලීය වශයෙන් පැතිර යන මෙම නව NB.1.8.1 කොවිඩ් ප්‍රභේදය පෙර පැතිරුණු කොවිඩ් ප්‍රභේදයන්ට වඩා දරුණු බවට වාර්තා වී නොමැති බවත් රටවල් අතර දේශ සීමා වසා දැමීමට හෝ සංචරණ සීමාවන් පැනවීම අවශ්‍ය නොවන බවත් ය.
කෙසේ නමුත් මේ වන විට ලංකාව පුරා පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදයත්, මාරාන්තික ඩෙංගු රෝගයත්, චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තියත් නියපොත්තෙන් කැඩීමට ඉඩ කඩ තිබිය දී පොරවෙන් කැපීම බලා සීටීම මහා ව්‍යසනයක් විය හැකිය.
සියවසකට මෙපිට පැමිණි කොවිඩ් අර්බුදයෙන් අපේ රටම සන්ත්‍රාසයට පත් වූයේ මීට පෙර එවන් අත්දැකීමක් නොතිබූ නිසාය. ඒ අවස්ථාවේ ගත් සමහර තීරණ සුබ දායක විය. සමහර තීරණ අවාසිදායක විය. මෙයද කොවිඩ් මාරයා රටම ගොදුරු කරගන්නට පෙර පාලකයන්ගේද, සෞඛ්‍ය අංශයන්ගේ ද, රටේ ජනතාවගේද, වගකීම් සහගතව ලෙස හැසිරිය යුතු කාලයකි.
‘‘කලින් කොවිඩ් රෝගයේ තිබුණ භයානක කම සංකූලතා ඇති කළහැකි හැකියාව මෙම කොවිඩ් වෛරසයට නැහැ’’
ප්‍ර කොවිඩ් නව ප්‍රභේදය නැවත වසංගතයක් බවට පත්විය හැකිය?
ඒ පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ අදහස් දක්වා සිටියේ මෙසේය.
මේ වන විට කොවිඩ් උප ප්‍රභේද කිපයක්ම තිබෙනවා. විශේෂයෙන් ඔමික්‍රෝන් වෛරසයේ උප ප්‍රභේදයක් වන NB.1.8.1 කොවිඩ් ප්‍රභේදය දැනට ලංකාව තුළ පැතිර යන බවට නියැදිවලින් අපට තහවුරු වෙලා තිබෙනවා. මේ වෙනකොට ලෝකයේ අනෙකුත් රටවල් තුළත් පැතිරෙන්නේ මේ ප්‍රභේදයම තමයි. මේ ප්‍රභේදය පැතිර යන විට ජාන වෙනස් වන ප්‍රභේද ඇති වීමේ ඉඩකඩත් තිබෙනවා.
මෙම කොවිඩ් ප්‍රභේදය තාම ලෝකයට අලුත්. මේ වසංගතයක් දක්වා ඉදිරියට යයිද නැත්ද යන්න ලෝක සෞඛ්‍ය පවා ප්‍රකාශයක් කර නැහැ. ඔවුන් තාමත් වෛරස් ප්‍රභේද පැතිරීම දරුණු වීම සම්බන්ධයෙන් අධ්‍යයනවල යෙදී ඉන්නවා. දැනට පවතින කොවිඩ් තත්ත්වය පැතිරීමේ වැඩි වීමක් නැහැ. පසුගිය වසරෙත් කඩින්කඩ මේ ප්‍රභේදයම ලංකාව පුරා තිබුණා. 2023 මැයි මාසෙන් පසුව මේ කොවිඩ් ප්‍රභේදය වසංගත තත්ත්වයක් කියන එකෙන් බැහැර වෙලා, සාමාන්‍යයෙන් පැතිරෙන ශ්වසන සාමාන්‍ය වෛරසයක් බවට තමයි මේ කොවිඩ් රෝගය සැලකෙන්නේ.
මේ දිනවල කොවිඩ් විශේෂයෙන් පැතිර යනවා කියලා එකක් නැහැ. මැයි ජුනි මාසය කියන්නේ කෙහොමත් සීතල වැස්ස සමග ශ්වසන රෝගීන් වැඩිවීමක් දක්නට ලැබෙන කාලයක්. වර්ෂාව ඒ සඳහා බලපාන එක් හේතුවක්. අනෙක් හේතුව සීතල තත්ත්වය. මෙවැනි කාලගුණ තත්ත්වයක දී ශ්වසන රෝග ඇති කරවන වෛරස් පැතිරීමක් වැඩි වශයෙන් දන්නට ලැබෙනවා. කලින් කොවිඩ් රෝගයේ තිබුණ භයානක කම සංකූලතා ඇති කළහැකි හැකියාව මෙම කොවිඩ් වෛරසයට නැහැ.
ප්‍ර NB.1.8.1 කොවිඩ් ප්‍රභේදයෙත් තිබෙන්නේ කලින් කොවිඩ් තත්ත්වයන් හිදී ඇතිවූ රෝග ප්‍රධාන ලක්ෂණ මද ?
කලින් කොවිඩ් රෝග ලක්ෂණවලට වඩා මේ කොවිඩ් ප්‍රභේදයේ රෝග ලක්ෂණ වෙනස්. මේ කොවිඩ් වෛරස ශ්වසන රෝගයේ දක්නට ලැබෙන්නේ කැස්ස, තෙහෙට්ටුව, හන්දි වේදනාව, උගුර අමාරුව, සොටු දියර ගැලීම, හතිය වැනි රෝග ලක්ෂණ. මෙම ලක්ෂණ තිබේ නම් එය මුඛ ආවරණ පැලඳීම රෝග ව්‍යාප්තිය අවම කරගැනීමට අවම කරගැනීමට හැකියව ලැබෙනවා. මේ වන විට කොළඹ වැනි ජනාකීර්ණ ප්‍රදේශවල උසස් අධ්‍යාපන ආයතන, කර්මාන්තශාලා, වැඩබිම්, පාසල් වැනි ස්ථානවල මෙම ශ්වසන රෝගයත් සමග එන වෛරස් තත්ත්වය පැතිර යාම වැඩියි. මෙය විශේෂයෙන්ම නිදන්ගත රෝග සහ පිළිකා රෝගින්, ගර්භණී මව්වරුන්, වයස්ගත අය, කුඩා දරුවන්ට, ඇදුම වැනි ශ්වසන රෝග වලින් පෙළෙන අය මෙම වෛරස් තත්ත්වය වැලඳුණහොත් තත්ත්වය තරමක් අමාරු වෙන නිසා ඒ අය ඉතාම ඉක්මනින් ප්‍රතිකාරවලට යොමු විය යුතුයි.
විශේෂයෙන් සෞඛ්‍ය අංශ සමග අපි නිතර සාකච්ඡා කරනවා. රසායනාගාර සෞඛ්‍ය කාර්ය මණ්ඩල, උපකරණ, සියලු දේවල්වලින් යම් ධාරිතාවකින් දැනට පවත්වාගෙන යනවා.
‘‘එන්නත්වල ප්‍රතිශක්තිය මත අලුත් කොව්ඩ් ප්‍රභේදයන් ගෙන් එන තත්ත්වයන් පාලනය වෙයි කියන බලාපොරොත්තුව අපට තියන්න බැහැ’’
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ,
මේ වන විටත් රෝහල්වල කොවිඩ් පොසිටිව් අය කී දෙනෙක් ඉන්නවාද කියලා ඇත්තටම අපි දැනුවත් නැහැ. ක්ෂේත්‍රයෙත් මේ වන විට පී.සි.ආර්. වත් ඇනටිජන් පරීක්ෂණවත් බිම් මට්ටමින් සිදු කරන්නේ නැහැ. රෝගීන් වාර්තා වීමේ ඉහළ යාමක් තියෙනවා කියලා සෞඛ්‍ය අංශ පිළි අරන් තියෙනවා. මෙහි ලොකු අවධානමක් තියෙනවා. නැහැ කියලා නිහඬව ඉන්න බැහැ.
ආසියාවේ කොවිඩ් අවධානමක් තියෙනවා. ලංකාවේ ඒ අවදානමට මේ වන විට මුහුණ දෙමින් පවතිනවා. ඒ නිසා අපි ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තිය ඉහළ ගිහින් තිබෙන මොහොතක එරටින් මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණීම කෙරෙහි සෞඛ්‍ය අංශවල අවධානය දැඩිව යොමු විය යුතු වෙනවා. නමුත් වරායෙන්වත් ගුවන්තොටුපළේ වත් රටට එන කොවිඩ් ආසාදිතයන් හඳුනාගන්නත් තාම නිසි ක්‍රමවේදයක් තාම ස්ථාපිත කරලා නැහැ.
ඒ වගේම අනිවාර්යයෙන් මාස්ක් එකක් පළඳින්න කියලා නීතියක් නැහැ. නමුත් මේ තත්ත්වය උඩු දුවන්න කලින් සූදානම් ශරීරය ඉතාම හොඳයි. පොදු ස්ථාන පොදු රැකියා ස්ථාන වල ඇත්තටම මාස්ක් භාවිත කළ හැකි නම් ඉතාම හොඳයි. ශ්වසන අපහසුතා සෙම්ප්‍රතිෂ්‍යාව වගේ තියේ නම් කලින් අපි අනුගමන කළ පුරුදු අත් සේදීම, සැනිටයිසර් පාවිච්චිය පොදු මගී ප්‍රවාහනයකදී භාවිත කරපු පුරුදු නැවත අලුත් කරගැනීම ඉතාම යෝග්‍යයි. ඒ වගේම තමයි කොවිඩ් එන්නත තව දුරටත් එහි ප්‍රතිශක්තිය ලැබේවි යැයි විද්‍යාත්මකව හෝ තාක්ෂණිකව තහවුරු කරලා නැහැ. නැවත හිස ඔසවා තිබෙන ප්‍රභේදයත් වෙනස් විය හැකියි. ඒ නිසා ඒ එන්නත්වල ප්‍රතිශක්තිය මත මේ අලුත් කොව්ඩ් ප්‍රභේදයන් ගෙන් එන තත්ත්වයන් පාලනය වෙයි කියන බලාපොරොත්තුව අපට තියන්න බැහැ.
දැන් අලුත් කොවිඩ් ප්‍රභේදය ගත යුතු ක්‍රියා මාර්ග මොනවාදැයි ජනතාවටද අවබෝධයක් ඇත. බලධාරින්ට ද අවබෝධයක් ඇත. දැන් අවශ්‍ය වන්නේ අවබෝධයක් ඇතිව වැඩ කිරීමය. වරදක් නොවිය යුතු එකම තැන නම් සම්පූර්ණ තීරණ ගැනීමේ අයිතිය සෞඛ්‍ය බලධාරින්ට පැවරිය යුතු වන අතර ආණ්ඩුව කළ යුත්තේ එයට අවශ්‍ය කරන පහසුකම් හා වටපිටාව සැකසීමය. එය කළ යුතුමය. දේශපාලනයෙන් මේ දිහා බැලීම කිසිසෙත්ම නොකළ යුතුය. රට වහනවද? නැද්ද? යන්න තීරණය වන්නේ වසංගතයේ ස්වභාවයත් සමගය. කොවිඩ්වලට උත්තරය රට වැසීම නොවන බවද මතක තබා ගත යුතුය.
‘‘චිකුන්ගුන්යා මාරාන්තික නොවුණත් ඒ තුළින් එන වේදනාව ඉතාම මාරන්තිකයි.‘‘
කොවිඩ් වලට අමතරව මේ වන විට ඉන්ෆ්ලුවන්සා, ඩෙංගු, චිකුන්ගුන්යා ශීඝ්‍ර ලෙස රට පුරා පැතිර යමින් පවතින මොහොතක ඒ පිළිබඳව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා අදහස් දක්වා සිටියේ මෙලෙසිනි.
මේ දිනවල පවතින වැස්ස එක්ක මදුරු ගහනය වැඩිවීමත් එක්ක ඩෙංගු සහ චිකුන්ගුන්යා දෙකම වැඩිවෙලා තියෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයට අනුව මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 24,180 වාර්තා වෙලා තියෙනවා. මරණ 13 ක් පමණ වාර්තා වෙලා තියෙනවා. මේ වෙලාවේ මදුරුවන් බෝවන තැන් ඉතාම පිරිසිදුව තබා ගැනීම සම්බන්ධයෙන් හැම පුරවැසියෙක්ම වගකීමෙන් කටයුතු කළ යුතු කාලයක් මේක. ඩෙංගු මාරන්තිකයි ඒක අමතක කරන්නත් එපා.
චිකුන්ගුන්යා මාරාන්තික නොවුණත් ඒ තුළින් එන වේදනාව ඉතාම මාරන්තිකයි. මෙහි රෝග ලක්ෂණ විදිහට නහය උඩ කළු වෙන්න පුළුවන්, ඇඟ පුරා කළු රතු ලප ඇති වෙනවා, ඇවිදීමට අපහසු වෙන්න පුළුවන්, ක්ලාන්ත ගතිය තද උණ වැඩ කරගත නොහැකි වන අයුරින්ම හන්දි කැක්කුම දරුණුවට එන්න පුළුවන්. ප්‍රධාන රෝග ලක්ෂණවලට අමතරව අධික මහන්සිය, වමනය සහ ඔක්කාරය මෙන්ම ඇඟිලි පුරුක්වල හටගන්නා අධික වේඳනාව ඇතිවිය හැකිය. ඇතැම් විට හන්දිපත් වේදනාවත් සමඟ දණහිස, වළලුකර ආදී ස්ථානවල යම් ඉදිමුම් තත්ත්වයක්ද දැකගත හැකියි.
මේ එන රෝගය සනීප වුණත් හන්දි කැක්කුම අවුරුදු එක හමාරක් දෙකක් පමණ තියෙන්න පුළුවන්. මේ හේතුවෙන් රෝගය වැලඳී සුව වුණත් ඇතැම් පුද්ගලයන්ට එතෙක් කරගෙන ආ සාමාන්‍ය රාජකාරි කටයුතු කරගත නොහැකිවීමෙන් අපහසුතාවලට මුහුණ දීමට සිදුවන අවස්ථා තියෙනවා. මේ වන විටත් මෙම රෝගය සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් හෝ එන්නතක් සොයාගෙන නැහැ. ප්‍රධානම ප්‍රතිකාරය නම් විවේකයයි.
නදීශා අතුකෝරළ