ගාල්ලේ ත්‍රෛභෂික ලිපිය හා පාණදුරා වාද ලේඛනය ලෝක උරුමයක් වෙයි


අද්මිරාල් චෙන් හො

ශ්‍රී ලංකාව භූමි ප්‍රමාණයෙන් කුඩා රටක් වුවද, ලංකාව සතුව ඇති ජාතික උරුමයන් හා සංස්කෘතික අනන්‍යතාවන් සුළුපටු නොවේ. එම  උරුමයන් බොහොමයක් අපට උරුම වී ඇත්තේ වසර දහස් ගණනක් පුරා විසිරී පවතින ශ්‍රී ලාංකික ඉතිහාසය තුළිනි. ශ්‍රී ලංකාව සතුව පවතින එම උරුමයන් අතරින් යුනෙස්කෝ සංවිධානය ලෝක උරුමයන් ලෙස ලැයිස්තුගත කර ඇති අමිල උරුමයන් රැසක් ඇත. ඒ අතර අනුරාධපුර ඓතිහාසික නගරය, පොළොන්නරුව ඓතිහාසික නගරය, සීගිරිය උද්‍යාන සංකීර්ණය, දළදා මාළිගාව ඇතුළු මහනුවර පූජා නගරය, සිංහරාජ වනාන්තරය, රන්ගිරි දඹුලු විහාරය, හෝර්ටන්තැන්න මෙන්ම ඇළහැර  අමුණ, අම්බලන්ගොඩ රූකඩ, දුම්බර කළාල ආදිය ද ලෝක උරුම ලෙස නම් කර ඇත.

මේ අතර 2023 වසරේ ශ්‍රී ලංකාවේ අතිශය වැදගත් සාහිත්‍ය මූලාශ්‍රයක් වන මහාවංශය ස්මරණීය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම - ශ්‍රී ලාංකිකයන් වන අප ලැබූ සුවිශේෂ ගෞරවයකි. එම ලෝක උරුම අතරට 2025 වසරේ අලුතෙන්ම එක් කරන ලද ස්මරණීය උරුමයක් ලෙස ගාල්ලේ ත්‍රෛභාෂා ශිලා ලිපිය හා පාණදුරාවාදයේ ලේඛන පිටපත් හඳුන්වා දිය හැක. මෙසේ නවතම ලෝක උරුමයක් බවට පත් වූ ගාල්ලේ ත්‍රෛභාෂා ලිපිය ජාතික හා ජාත්‍යන්තර  දේශපාලනයට, ආර්ථිකයට මෙන්ම දෙස් විදෙස්හි ඉතිහාසය හැදෑරීමට ඇති අගනා පුරා විද්‍යා මූලාශ්‍රයකි. ශ්‍රී ලංකාව සතුව පවතින විශිෂ්ට අභිලේඛනයක් වන මෙය ක්‍රි.ව. 15 වන සියවස නියෝජනය කරන පුවරු ලිපි ගණයට අයත් ශිලා ලිපියකි.

දැන් අපි මෙකී ත්‍රෛභාෂා ශිලා ලේඛනයේ අතීත කතාව විමසා බලමු. මහාජීනය, මහා ජෛනය,  එනම් මහජන චීනය පාලනය කළ මිං(ග්) රජ වංශයේ තුන්වන පාලකයා වූ  යුන් ලෝ අධිරාජයා හෙයත් චියත් සු (සුංසි අධිරාජයා) ස්වකීය7 වන රාජ්‍ය වර්ෂයේ දී නාවික යාත්‍රා 62 යොදාගෙන වසර 30 ක් තුළ දැවැන්ත සමුද්‍ර ගවේෂණ 7 ක් සිදු කර ඇති බව මූලාශ්‍රවල දැක්වේ. 1403, 1405, 1409, 1411 වසරවල සිදුකළ එම සමුද්‍ර ගවේෂණවලදී මෙම නාවික කණ්ඩායම් ලංකාවට ද පැමිණ ඇත. ඇතැම් සමුද්‍ර ගවේෂණ සඳහා නෞකා 100 - 300 ක් අතර ප්‍රමාණයක් යෙදාගත් බවද ඒ සඳහා නාවික සෙබළු 28000 රැගෙන ගිය බවද  ඇතැම්හු පවසති. මෙම නාවික කණ්ඩායම ෆර්ඩිනන්ඩ් මැගලන්ටත් පෙර ලොව වටා යාත්‍රා කරන්නට ඇතැයි ද ඇතැම්හු විශ්වාස කරති.

තෛභාෂිත ශිලාලිපිය

යුන් ලෝ අධිරාජයා විසින් මෙම නාවික ගවේෂණ සඳහා යොදවන ලද්දේ චෙන් හො හෙවත් සෙන්හ නම් අද්මිරාල්වරයෙකි. සෙන්හ් හේ, චෙන්හ, ශින්හො යන නම් වලින් ද ඔහු හඳුන්වා ඇත. ඔහු චීන අධිරාජයාගේ නාවික අණදෙන නිලධාරියා මෙන්ම - තානාපතිවරයෙක්, 

වෙ​ෙළඳ නියෝජිතයෙක් හා දේශ ගවේෂකයෙකු ද විය. ඔහු මෙම අවධිය තුළ දකුණු ආසියාව, නැගෙනහිර  ආසියාව, අග්නිදිග ආසියාව හා නැගෙනහිර අප්‍රිකානු ප්‍රදේශවල නාවික ගවේෂණයේ නිරතව ඇත.

මෙම නාවික ගමන්වල දී චෙන් හො හෙවත් සෙන්හ අවස්ථා කිහිපයක දීම ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඊට  බලපෑ එක් ප්‍රධාන හේතුවක් වූයේ චීනයේ යුන් ලෝ අධිරාජ්‍යයා බෞද්ධයෙකු බැවින් ඔහුගේ නියෝග මත මෙරට බෞද්ධ සිද්ධස්ථාන දැක බලා වැඳ පුදා ගෙන, තමා ලබාදුන් පුද පඬුරු මෙරට ආගමික සිද්ධස්ථාන වෙත පූජා කිරීමට යුන් ලෝ අධිරාජ්‍යා  විසින් චෙන් හො වෙත පැවරීමයි.  මීට අමතරව ඉන්දියන් සාගරයේ වෙළෙඳාමට ප්‍රකට රටක් වූ  ලංකාව සමග වෙළෙඳ සම්බන්ධතා තරකර ගැනීම වැනි ආර්ථික අරමුණ ද මේ දේශ ගවේෂණවල අරමුණු විය. තවද ආසියානු කලාපය තුළ ස්වකීය ආධිපත්‍ය පවත්වාගැනීමේ යම් දේශපාලන අභිප්‍රායක් ද මේ දේශ ගවේෂණ තුළ ගැබ්ව තිබූ බව පෙනේ.

කෙසේ වෙතත් ක්‍රි.ව. 1405 සහ1409 වසර වල චෙන් හො මෙරටට  පැමිණ ඇති අතර, ඔහු දෙවෙනි වර මෙරටට පැමිණි අවස්ථාවේ රයිගම පාලකයා වූ වීර අලකේෂ්වර විසින් චෙන් හො නිසි ලෙස පිළිනොගත් නිසා හා ඔහුගේ ලංකා ගමනට බාධා කිරීම නිසා කුපිත වූ චෙන් හො චීනයට ගොස් නැවත 1411 මෙරටට පැමිණ රයිගම ආක්‍රමණය කර වීර අලකේෂ්වර ඇතුළු රයිගම රජ පවුල ජීවග්‍රහයෙන් අල්ලාගෙන චීනයට ගෙන ගොස් සිරකර තැබූ බව ඉතිහාස මූලාශ්‍රවලින් තහවුරු වෙයි.

නමුත් මෙම කාල වකවානුවේ මෙරට ප්‍රධාන රාජධානිය වූයේ ගම්පොළ හෙවත් ගඟසිරිපුරයයි. එහෙත් මේ වන විට ගම්පොළ රාජධානියේ දේශපාලන බලය  පිරිහී තිබූ අතර, අලකේෂ්වර පරපුර විසින් පාලනය කළ ප්‍රාදේශීය රාජ්‍යයක් වූ රයිගම බලවත් වෙමින් පැවතිණි. මෙකී චීන ආක්‍රමණය පිළිබඳ රාජාවලී කතුවරයා විසින් දක්වන විස්තරය, දඹදෙණි යුගයේ සිදු වූ චන්ද්‍රභානු ගේ ආක්‍රමණය සමග පටලවාගෙන කරුණු දක්වා ඇත. එහෙත් අලකේෂ්වර යුද්ධය වැනි සමකාලීන වෙනත් මූලාශ්‍ර වලින් ඉහත සඳහන් කළ චීන ආක්‍රමණය වීර අලකේෂ්වර සමයේ රයිගමට එල්ල වූවක් බව තහවුරු වී ඇත.

අප කතා මාතෘකාව වන ගාල්ලේ ත්‍රෛයිභාෂා සෙල්ලිපිය චෙන් හො හෙවත් සෙන්හ ක්‍රි.ව. 1411 මෙරටට පැමිණි අවස්ථාවේ ස්ථාපිත කරන්නට ඇති බව විද්වතුන් වැඩි දෙනෙකුගේ විශ්වාසයයි. එය ගුරු පැහැති වැලිගලේ කරවා ඇත. එම සෙල්ලිපියේ උස අඩි 4 අඟල් 9 කි. පළල අඩි 2 අඟල් 6 කි. ගණකම අඟල් 5 කි. එහි වම් පස ඉහළ සිට පහළට චීන බසින්ද, දකුණු පස ඉහළ සිට පහළට දෙමළ බසින්ද, මැද කොටසේ ඉපැරණි පර්සියන් (අරාබි අක්ෂර වර්ගයකි) බසින් ද තොරතුරු ලියා ඇත.

මේ ත්‍රෛයිභාෂා සෙල්ලිපිය ක්‍රි.ව. 1911 බ්‍රිතාන්‍ය මහාමාර්ග ඉන්ජිනේරුවෙකු වූ එච්.එෆ්. තොමලින් විසින් මාර්ග ඉදිකිරීම් කටයුත්තක දී ගාල්ලේ ක්‍රිප්ස් පාරේ බෝක්කුවකට යොදා තිබිය දී සොයා ගෙන ඇත. අනතුරුව එය ගාල්ල පුරාවිද්‍යා කෞතුකාගාරයටත්, පසුව එය කොළඹ ජාතික කෞතුකාගාරයටත් ගෙනඑන ලදී. තවද එහි ආකෘති දෙකක් ගාල්ල පුරාවිද්‍යා කෞතුකාගාරයේ හා සමුද්‍ර කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.

ඈත අතීතයේ සිටම ගාල්ල විදේශ වෙළෙදාමට ප්‍රකට වරායක් හා වෙළෙඳ නගරයක් නිසා එකල ගාල්ලේ විදේශ වෙළෙඳුන් විශාල ප්‍රමාණයක් ගැවසෙන්නට ඇත. ගාල්ල  පෙර අපර දිග වෙළෙඳ මධ්‍යස්ථානයක් වූ අතර - එයට ගාල්ල යන නම යෙදී ඇත්තේ ද ගැල් හෙවත් කරත්ත, ගාල් කල ස්ථානය යන අරුතිනි. ලංකාවේ ප්‍රධාන වෙළෙඳ ද්‍රව්‍ය වූ කුරුඳු වෙළෙඳාමට ප්‍රමුඛ වූයේ ගාල්ලයි. ඒ අනුව එකළ ගාල්ලේ දකුණු ඉන්දීය දෙමළ වෙළෙඳ සංවිධාන, එසේම පෙරදිග වෙළෙඳාම සඳහා ඉහළින්ම දායක වූ රටක් ලෙස චීන වෙළෙඳ යාත්‍රා මෙන්ම පෙර අපරදිග වෙළෙඳාමේ වැඩිම දායකත්වය සැපයූ අරාබි වෙළෙඳුන් බහුල ලෙස ගැවසෙන්නට ඇත. ඒ නිසා මෙම සෙල්ලිපිය චීන අධිරාජ්‍යයා විසින්  එකී භාෂා තුනෙන්ම කරවන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඒ අනුව එකළ විදේශ වෙළෙඳාමේ දී  ශ්‍රී ලංකාවට ඉතා ඉහළ වැදගත් තැනක් හිමි වූ බව මොනවාට පැහැදිලි වේ.

තවද මෙම සෙල්ලිපිය ගාල්ලේ නොව - දෙවිනුවර හෙවත් දේවනගර් හි උපුල්වන් දේවාලය අසල පිහිටුවා තිබෙන්නට ඇතැයි ඇතැම්හු පවසති. පසු කලෙක පෘතුගීසින් දෙවිනුවර උපුල්වන් දේවාලය විනාශ කළ බවත්, අනතුරුව ලන්දේසීන් ගාලු කොටුව තැනීම පිණිස දෙවිනුවර දේවාලයේ ගල් පුවරු ගෙන එන්නට ඇති බවත්, ඒ අවස්ථාවේ මෙම සෙල්ලිපිය ද ගාල්ලට ගෙනවිත් දමා තිබියදී යමෙකු එය බෝක්කුවක් සඳහා යොදන්නට ඇතැයි ද මතයක් පවතී.

ඒ කෙසේ වෙතත් ගාල්ල (ගිම්හ තිත්ථ), බෙන්තර (බිම්ම තිත්ථ), මාතර (නිල්වලා තිත්ථ) වැලිගම (මහාවාලුකාගාම), දෙවුන්දර (දේවනගර) යන ප්‍රදේශ එකල දකුණු පළාතේ ප්‍රකට වෙළෙඳ නගර හා වරායන් විය. මෙම වෙළෙඳ නගර හා වරාය ආශ්‍රිතව කොතෙක් විදේශ වෙළෙඳුන් වෙළෙඳාමට දායක වී ඇද්ද යන්න මෙම සෙල්ලිපිය, එකල විදේශ වෙළෙඳාම සඳහා ප්‍රමුඛත්වය රටවල් තුනේම, භාෂා තුනෙන්ම ලියා තැබීමෙන් පැහැදිලි වේ.

මෙම ලිපියේ අන්තර්ගතය දෙස බැලූ කල චීන භාෂාවෙන් ලියා ඇති කොටසේ උස් කඳු මුදුනක පිහිටි බෞද්ධ සිද්ධස්ථානයකට බුදු හිමියන් උදෙසා යුන් ලෝ අධිරාජයා විසින් එවන ලද පුද පඬුරු ගැන සඳහන් වේ. මෙහි සඳහන් එම ස්ථානය ශ්‍රී පාදස්ථානය විය හැකිය. දෙමළ භාෂාවෙන් ලියා ඇති කොටසේ දෙවිනුවර නයනාර් දෙවියන් වෙනුවෙන්, ඇතැමුන් උපුල්වන් දෙවියන් යැයි විශ්වාස කරන විශ්ණු දෙවියන්ට, එසේත් නැතිනම් “තේනවරයෙ” දෙවියන්ට කරන ලද පුද පූජා පිළිබඳ දැක්වේ. පර්සියන් භාෂාවෙන් දැක්වෙන කොටසේ ස්ලාම් යන වචනය ඇති බැවින් එය අල්ලා දෙවියන්ට කරන ලද  පූජාවක් ලෙස සැලකේ. මෙහිදී චීන අධිරාජ්‍ය විසින් පුද පඬුරු ලෙස රත්තරන් කැබලි දහසක්, රිදී කැබලි පන්දහසක්, විවිධ වර්ගයේ සිල්ක් රෙදි තොග පනහක්, මැණික් ගල් එබ්බවූ කොඩි හතරක්, තඹ පහන් රැඳවුම් පහක්, තඹ ඉටිපන්දම් රැඳවුම් 5 ක් රත්තරන් නෙළුම් මල් යුගල හයක්, ඉටි පන්දම් හා හඳුන්කූරු දහය බැගින් එවූ බව එහි දැක්වේ. මේ පුද පඬුරු සින්වෝ සහ උවින් ෂුවින් යන දෙදෙනා අත එවූ බවද සඳහන් වේ.

මෙම සෙල් ලිපියෙන් තහවුරු වන වටිනා කරුණක් නම් චීන අධිරාජ්‍යයා ආසියානු කලාපයේ ප්‍රචලිතව තිබූ ආගම් තුනටම පුද පූජා පවත්වා, එම ආගම් තුනේම ආශීර්වාද අපේක්ෂා කිරීමෙන් ඉතා අගනා ආගමික, සංස්කෘතික සබැඳියාවක් සන්නිවේදනය කර තිබීමයි. එසේම මෙමගින් ජාත්‍යන්තර සම්බන්ධතා, රාජාතාන්ත්‍රික මට්ටමෙන්ම පිළිබිඹු වන බව පෙනේ.

ශ්‍රී ලංකාවේ අතීත විදේශ සබඳතා පිළිබඳ අප සතු ඉතා අගනා පුරාවිද්‍යා සාක්ෂියක් වන මේ ත්‍රෛභාෂා  සෙල්ලිපිය මෙම වසරේ  සිට ලෝක උරුමයක් ලෙස නම් කිරීම අප රටට මහත් අභිමානයකි.

ඒ සමඟම බ්‍රිතාන්‍ය පාලන සමයේ බෞද්ධ පුනරුදයට උරදුන් පංචමහා වාද අතරින් 1873 අගෝස්තු 26, 27, 28 යන දිනවල පැවති පාණදුරාවාදයේ ලේඛනවල අත්පිටපතක් ද  මෙවර යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම ලෙස නම් කර ඇත. මෙහිදී බෞද්ධ හා කිතුනු  යන දෙපාර්ශ්වයේම ලේඛනවල අතින් ලියූ මුල් පිටපත් 28 ක් ලෝක උරුම ලෙස නම් කර ඇත. මේ පිටපත් මේ වන විට පානදුර ගල්කන්ද රන්කොත් වෙහෙරේ තැන්පත් කර ඇත. 

පාණදුරාවාද ලේඛනය

මෙම වාදයට තුඩු දී ඇත්තේ දාවිත් ද සිල්වා නම් දේවගැතිතුමා බුදු දහමේ ඉගැන්වීම් වැරදි ලෙස අර්ථ දක්වමින් වෙස්ලියන් දේවස්ථානයේ දී දේශන පැවැත්වීමයි. මෙම විවාදයේදී බෞද්ධ පාර්ශ්වය වෙනුවෙන් හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, බුලත්ගම ධම්මාලංකාර  සුමනතිස්ස හිමි, වැලිගම ශ්‍රී සුමංගල හිමි, රත්මලානේ ශ්‍රී ධම්මාලෝක හිමි, වස්කඩුවේ ශ්‍රී සුභූති හිමි, මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි හා බටුවන්තුඩාවේ දේවරක්ෂිත පඬිතුමා දායක වූහ. ක්‍රිස්තියානි පාර්ශ්වය වෙනුවෙන් දාවිත් ද සිල්වා  පියතුමා, සිරිමාන්න කතීසේරු තුමා, චාල්ස් ද සිල්වා පියතුමා, සුවාරිස් ගුණවර්ධන පියතුමා හා ජයසිංහ පියතුමා යන දේවගැතිවරු දායක වූහ.

දින තුනක් තිස්සේ පැවති විවාදය අවසන් වූයේ බෞද්ධ පාර්ශ්වයේ විශාල ආගමික ප්‍රබෝධයක් ඇති කරවමිනි. මෙරට බුදු දහමේ නූතන පුනරුදයට එය හේතු විය. එවකට කුඩා දරුවෙකු වූ ධර්මපාලතුමා වැනි බෞද්ධාගමික ප්‍රබෝධයට උරදුන් පතාක යෝධයන් බුදුදහම කෙරෙහි නැඹුරු වූයේ මේ ආගමික පුනර්ජීවනය නිසාය.

පාණදුරාවාදය නිසා බුදුදහමට දෙස් විදෙස් හි උගතුන් වියතුන් අතර උසස් පිළිගැනීමක් ලැබුණි. බුදු දහම පෙරදිග ඇති ඇතැම් ම්ලේච්ඡ බලි පූජා, බිලි පූජා සහිත ගස් ගල් වන්දනා කරන මිත්‍යා විශ්වාස පදනම් කරගත් ග්‍රෝත්‍රික දහමක් නොව, උසස් මානව ධර්මතාවලින් පිරිපුන් ආගමක් හා ජීවන දර්ශනයක් සහිත දහමක් බව ලොව පුරා පිළිගැනීමට ලක් විය.

එකල එඩ්වඩ් පෙරේරා නම් නීතිඥ මහතෙකු විසින් පාණදුරාවාදය පිළිබඳ ලිපි පෙළක් සිලෝන් ටයිම්ස් පුවත්පතේ පල කරන ලදී. පසු කලෙක එම ලිපි එක්කර මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිගේ දේශනා ඇසුරින් බුදු දහමේ ගැඹුරු හරය පිළිබඳ ග්‍රන්ථයක් මුද්‍රණය කර ඇත. එම ග්‍රන්ථය එකල සත්‍ය ගවේෂකයෙකු ලෙස ආගම් පිළිබඳ පර් යේෂණ කළ ඇමරිකානු ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාට කියවන්නට ලැබුණි.  එමගින් බුදු දහම පිළිබඳ පැහැදුණු ඕල්කට්තුමා ලංකාවට පැමිණ බුදු දහම වැලඳගෙන, බුදු දහම දෙස් විදෙස්හි ප්‍රචලිත කලා සේම, බුදු දහමේ උන්නතිය වෙනුවෙන් සිය ජීවිත කාලයම කැපකළේය. ඒ නිසා පාණදුරාවාදයේ එකී මුල් පිටපත් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ලෝක වාසී බෞද්ධ ජනතාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි.