ගනඳුරු දුරලා හිනැහුණු මිනිසත්කම


මුළු රටම මළ ගෙයකි. සුසුම්වලින් මරණීය විලාප හඬින් නිසල වායුගෝලය කැලඹී තිබේ. දිට්වා සුළි කුණාටුවට හසුවී මියගිය ආදරණීයන්ගේ සංඛ්‍යාව මේ මොහොත වන විට සටහන්ව තිබෙන්නේ 481 ක් ලෙසය. අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 345 කි. වඩාත් භාග්‍යවත් අනාගතයකට සිහින බැඳි මිනිසුන්ගේ ඉරණම සැඩ රළ ප්‍රවාහයේ ගසා ගෙන ගියේත් මහ පස් කඳු යට සැඟව ගියේත් එසේය.

උන්හිටිගමන් උන්හිටි තැන් අහිමි වූ ජනයා ලක්ෂ දෙක හමාරක් අවතැන් කඳවුරුවල හිස් බැල්මෙන් සිටිති. දිට්වා සුළි කුණාටුවෙන් බැටකමින් අනාථව සිටින ලක්ෂ 15 ක ජනතාවක් යළි ජීවිතය පිළිසකර කරගන්නේ කෙසේ දැයි හූල්ලමින් සිටිති.

ආපදාවට ලක් නොවුණු දකුණේ සහ සෙසු පළාත්වලත් ජනී ජනයා ආපදාවට පත් නමින් නොදන්නා ‘නෑදෑවරුන්’ සොයා ජල දුර්ග, ගිරි දුර්ග තරණය කරමින් සිටිති. ඒ අතින් කටින් බඩු මලු පොදි බැඳගෙනය. ඒ පිටාර ගලන මනුෂ්‍යත්වය මවුපියන්, දූ පුතුන් අහිමිව ඇඳිවතට පමණක් උරුමකම් කියන පීඩිත ජනයාට සමනොළ ගිරි හිසටත් ඉහළින් දැනෙන්නේය. සත්තකින්ම ඔවුන්ට ජීවිතය වශයෙන් ඉතිරිව ඇත්තේ ඒ අපරිමිත මනුෂ්‍යත්වයම පමණි. සියලු විපත් රැගෙන ආ අහස් තලය හැල හොල්මනක් නැත. අහසද මේ මහා විනාශය අබිමුව සහකම්පනයෙන් සිටිනු නිසැකය.

මළවුන්ගේ මාසයේ අවසන් දින කිහිපය ගෙවී යමින් තිබිණි. දිනය හරියට ඉකුත් 22 වැනිදාය. මධ්‍යම කඳුකරයේ කඳු වළල්ලට ඉහළින් ඉර පායා විත් තිබිණි. සොබාදහම මොනවදෝ කොඳුරන්නාක් බඳුය. එහෙත් එය කියවාගැනීමට සමත් ඉසිවර නුවණක් කිසිවකුට තිබුණේ නැත.

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගය අයිනෙම ආපන ශාලාවකි. ආපන ශාලාවට පිටුපසින් විශාල පස් කන්දකි. පස් කන්දේ සැඟව තිබූ යෝධ පර්වතයක් පස් කඳු ඉරාගෙන පෙරළී ආවේය. එම යෝධ පර්වතය නතර වූයේ ආපන ශාලාවත් ඒ අසලම පිහිටි ආපන ශාලා හිමිකරුගේ නිවෙසේ වහළය මතය.

මරණය කලින් දැනුම් දී පැමිණෙන්නක් නොවේ. එහෙයින්ම ඒ මොහොතේ ආපන ශාලාවේ සිටි හය දෙනෙක් සුන්බුන් අතර සිරව සිදු වූයේ කුමක්දැයි සිතාගත නොහැකිවම අවසන් ගමන් ගියහ.

මට දැනුණේ ගහක් එනවා වාගේ. මම කඩේ අන්කල්ට කිව්වා  ‘ගහක් එනවා අපි දුවමු’ කියලා. ඒත් මට දුවන්න බැරි වුණා. ලොකු කොන්ක්‍රීට් බීම් දෙකක් අතර මම හිර වුණා. එහෙම ඉන්න කොට උඩින් වතුර පාරක් ආවා. මම එතැන තිබුණ ටයිල් කෑලි දෙකකින් වතුර පාර ‘බ්ලොක්’ කළා. මම හිර වෙච්ච බීම් දෙක අතර පරතරයක් තිබුණා. ඒ නිසා මට හුස්ම ගන්න පුළුවන් වුණා.’

‘මම කෑගැහුවට ඇහෙන්නේ නෑ කියලා මට දැනුණා. නමුත් මට එළියේ කතා කරනවා ඇහුණා. මම ජීවිතය පිළිබඳ ආශාව අත්හැරියා. මම ඇස්දෙක පියා ගත්තා. උඩින් මල්ලී කෙනෙක් ටෝච් එකක් ගැහුවා. මම කිව්වා ‘මල්ලියේ මම ඉන්නවා’ කියලා. ඊට පස්සේ තමයි මාව උඩට ගත්තේ.’ එම ආපන ශාලාවේ සේවිකාවක වන චන්ද්‍රානි නිශාන්ති එම බිහිසුණු අත්දැකීම විස්තර කළේ එසේය.

මහ පොළොව නූහුලන මහා ඛේදවාචකයක ආරම්භක සංඥාව එය විය. එහෙත් සොබාදහම මෙතරම්ම අකාරුණිකව නොනැවතී අනවරතව ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි කිසිවෙක් නොසිතූහ.

‘අචින්ත්‍ය තම්පි භවති. චින්ති තම්පි විනස්සති’ වේ. මේ දිනවල සමාජය තුළ බොහෝ වේගයෙන් පැතිරුණ බණ පදයකි. ‘නොසිතූ දෙය සිදුවෙයි. සිතූ දෙය නොම සිදුවෙයි.’ ඒක සරල අරුත එයය. රට සෙමින් ගමන් කරමින් සිටියේ ඒ බුදු බණ පදය ජීවමාන යථාර්ථයක් බවට පත් කිරීමේ දිශාවටය.

අලවතුගොඩ, රඹුකේඇළ, මුදුන්කඩේ ගම්මානයට ඉහළින් පිහිටි විශාල කන්දක් 29 වැනිදා අලුයම දෙදරා ගියේය. වැසි සීතලට ගුළිව තද නින්දේ පසු වූ ගම්මුන්ට සිදුවූයේ කුමක්දැයි සිතා ගැනීමටවත් අවකාශයක් නොවීය. කන්ද පාමුල විසූ පවුල් පහළොවක හතළිස් තුන් දෙනෙක් අතුරුදන් වූවන්ගේ ලැයිස්තුවට එක්වූහ.

දසතින්ම අසන්නට දකින්නට ලැබුණේ කඳුළු තෙතබරිත පුවත්ය. පන්නල, මාකඳුර, සාලවලාන ගම්මානයේ වෙල්කම් වැඩිහිටි නිවාසයේ සිටි වියපත් මිනිසුන් 12 දෙනෙක් ද දියේ ගිලී මියගියහ. තවකෙනෙකුගේ ජීවිතය බේරා දීමට තවත් කෙනෙකුට ‘අවස්ථාවක් නැති මරණයේ’ ශාපය රැගත් අඳුරුතම හෝරාව එළැඹ තිබිණි.

අධික වර්ෂාව හේතුවෙන් මුලතිව්, චලේ ප්‍රදේශයේ වැලිවලින් වැසී ගිය කළපුවක ජල මාර්ගය පිළිසකර කරමින් සිටි නාවික හමුදා භටයන් පස් දෙනෙකු සැඩ දියට ගසාගෙන ගිය දුක්බර පුවතක්ද මේ අතර වාර්තා විය. නාවික හමුදා සෙබළුන්ට ද සැඩ රළ ප්‍රවාහය එතරම්ම අකාරුණික වූයේ නම් සෙසු ජනයා සම්බන්ධයෙන් කුමක් කිව හැකිද?

සෑම තැනින්ම වාර්තා වූයේ කඳු නාය යෑම්ය. ගංගා ඇළදොළ උතුරා පිටාර ගැලීම්ය. එමගින්  ගම්බිම් යටවීම්ය. විනාශයක් මිස අන් කිසිවක් අසන්නට දකින්නට නැත. 

ආපදා ප්‍රදේශවල පළමුවෙන්ම විදුලිය බිඳ වැටිණි. දෙවැනුව සන්නිවේදනය නතර විය. එකම රටක් තුළ රටවල් දෙකක් නිර්මාණය වූයේ එසේය. විපතට පත් ජනයා ඉමක් නොපෙනෙන ඈත දියඹේ අතරමං වූවා වැනිය.

ආපදාවට ලක්වූ ප්‍රදේශවල ජනයාගේ හදවත් ගැහෙන රිද්මයටම දකුණේ සහ ආපදාවට ලක් නොවූ ප්‍රදේශවල ජනයාගේද හදවත් තැතිගැන්මෙන් මෙන්ම පාළු සෝබර සංකාවෙන් පිරී යන්නට විය.

එක් සිදුවීමකින් සියලු හදවත් තිගැස්සී ගියේය. ඒ අනුරාධපුර – පුත්තලම මාර්ගයේ කලාඔය පාලමට නුදුරින් ජල පහරකට බස් රථයක් සිරවී තිබෙන බවය. බස් රථයේ සිටි මගීන් ගණන 68 කි. කුඩා දරුවෝද කාන්තාවෝද ඒ අතර සිටියහ. වේගවත් සැඩ පහර බස්රියේ බඳෙහි ගැටුණේ මගීන්ගේ මරණ බිය දෙගුණ තෙගුණ කරමිනි. බස්රියෙන් පිටතට ගලා ගියේ මරණය විලාපයන්ය. අවට වටපිටාවේ කිසිවකුට හෝ කිසිවක් කළ නොහැකිය. නාවික හමුදා යාත්‍රාවලට ද ඒ ආසන්නයට ළඟා විය නොහැකි විය. බස් රථයේ ගමන් කරමින් සිටි පුල්මුඩේ ඛනිජ වැලි සමාගමේ රියැදුරෙකු වන ඒ. වී. පුෂ්පකුමාර සිද්ධිය වීඩියෝ කර අන්තර් ජාලයට මුදා හැරියේය. රූපවාහිනී නාළිකා මගින් සිද්ධිය රටට ගියේය.

‘අනේ ජීවිතවලට කිසිම කරදයක් නම් වෙන්න එපා’ සියල්ලන්ගේම ඒකාන්ත ප්‍රාර්ථනය එය විය. මේ අතර බස්රිය ජල රකුසාට බිලිවෙමින් තිබිණි. මරණ භයෙන් තැතිගත් මගීහු බස්රියෙහි වහලය මතට ගොඩ වූහ.

කාගේත් වාසනාවට ඒ.වී. පුෂ්පකුමාරට ඔහුගේ මිතුරකු වන මතුගම කමල් ප්‍රනාන්දු සිහිපත් විය. ඉතා අසීරුවෙන් කමල්ව දුරකතනයට සම්බන්ධ කරගැනීමට පුෂ්පකුමාර සමත් විය. ඔහු සිද්ධිය සැකෙවින් විස්තර කළේය.

කළ යුතු හොඳම දෙය තෝරාගත් කමල් ප්‍රනාන්දු ඒ වන විටත් පාර්ලිමේන්තු සභාවාරයට එක් වෙමින් සිටි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරාට සිද්ධිය දැනුම් දුන්නේය. අජිත් පී. පෙරේරා මෙම බිහිසුණු තත්ත්වය පාර්ලිමේන්තුවේ සිට රටට අනාවරණය කළේය. කෙසේ වෙතත් පිරිස බේරාගැනීමේ මෙහෙයුම සාර්ථකව අවසන් වූයේ ඊටත් පසු දිනය.

දකුණේ කොල්ලන්ගේ ලේ කකියමින් තිබිණි.

‘සුනාමිය ආපු වෙලාවේ අද විපතට පත්වෙලා ඉන්න මිනිස්සු තමයි අපිව බලාගත්තේ. මේ මොහොතේ අපි මොනවා හරි කරන්න ඕනෑ’ සමාජ මාධ්‍ය ජාලාවල හීසරයක වේගයෙන් මෙම පණිවිඩය ගලා ගියේය. සමාජ මාධ්‍ය ක්‍රියාකාරීහු එම දැවැන්ත මෙහෙයුම අතට ගත්හ.

රටම අවදි විය. රජය මූලික වශයෙන් ඉටුකළ යුතු කාර්යභාරය ඉටු කරමින් සිටියේය. ළමා, තුරුණු, වැඩිහිටියෝ ස්වෙච්ඡාවෙන්ම නිස්සරණාධ්‍යාශයෙන්ම ඉදිරිපත් වූහ. මහ මැදුරද දුගී පැලද යනුවෙන් වෙනසක් නොවීය.

ආපදා තත්ත්වය වර්ධනය වෙමින් කොළඹ යට වෙන්නට පටන් ගන්නා මොහොතේ නුගේගොඩ විජේරාමයේ තැනකට එකතු වූ තරුණ තරුණියන් පිරිසක් අවතැන් වූවන්ට ආහාර පිස ලබා දීමට පටන් ගත්හ. 

තමන්ගේ අතේ මිටේ තිබූ මුදල්වලින් පටන් ගත් මේ “Community Kitchen” එකට හිතවතුන් දිගින් දිගටම ආධාර කළේ මේ තරුණ පිරිසෙහි මූලිකත්වයෙන් සියලු වයස් කාණ්ඩවල උණුවන හදවත් ඇත්තන්ගේ දායකත්වයෙන් සිදුවන සුවිශේෂ කාර්යය නිසාය. 

එ් අතර රටේ විවිධ තැන්වල කමියුනිටි කිචන් බිහිවන්නට විය. අවතැන් නොවූ මිනිස්සු අවතැන් වූ මිනිසුන්ගේ කුසගිනි නිවන්නට එක්වූහ. මේ උතුරා ගියේ මනුසස්සකමය. ආණ්ඩුවෙන් හෝ දේශපාලඥයන්ගෙන් බත් පැකට් ලැබෙන තුරු බලා සිටින්නට බොහෝ දෙනාට සිදුවූයේ නැත. 

මේ අතර සමාජ මාධ්‍යයේ ජනප්‍රිය චරිත තමන්ගේ ජනප්‍රියත්වය අසරණ වූ ජනතාව වෙනුවෙන් වැය කළහ. මහරගම තරුණසේවා සභාව මූලික කරගෙන සමාජ මාධ්‍යකරුවෝ, යෞවන සමාජවල තරුණයන් සමග එක්වූහ. එතැන අපූරු සංවිධානාත්මක ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථානයක් නිර්මාණය විය. දිවා රෑ නොබලා මෙතැනට ගෙනා ආධාර නිසි ලෙස බෙදා හැරියේ හිරිමල්වියේ තරුණයන් සහ තරුණියන් වැඩිදෙනෙකුගේ දායකත්වයෙනි. දේශපාලනය, දුප්පත් පොහොසත්කම්, ලොකුකම් කිසිවක් එතැන නොවීය.

දකුණේ ඈත ධීවර තරුණයෝ තම බෝට්ටු ලොරි රථවලට පටවාගෙන විපතට පත් ජනයා සොයා කඩිනමින් පැමිණියහ. එසේ එන ගමන් ජනී ජනයා එක්රැස් කළ ආහාර ද්‍රව්‍ය, පානීය ජල බෝතල්, ඖෂධ වර්ග ආදිය රැගෙන ඒමට ද ඔවුහු කටයුතු කළහ. මනුෂ්‍යත්වය මහෝඝයක් මෙන් රළ ගසමින් තිබිණි. ඔවුන්ට මරණ බියක් දැනුණේ නැත. කෑලි කැපෙන ගන අන්ධකාරයේ ඔවුහු අවතැන් ජනයා සොයා ගියහ. නුවර, නුවරඑළිය, බදුල්ල, බණ්ඩාරවෙල ආදී වශයෙන් ඔවුන්ට ප්‍රදේශය ප්‍රභේදයක් තිබුණේ නැත. කලින් ඇති කරගත් දැන හැඳුනුම්කම් නොතිබුණද, ‘අයියා - මල්ලී, අක්කා - නංගී’ කියමින් අපමණ සහෝදරත්වයෙන් වෙළෙමින් ඔවුහු කටයුතු කළහ.

වීරත්වය ජීවමාන සාධකය වන රණවිරුවෝ තම ජීවිත අවදානම නොතකා රටේ ජනයා වෙනුවෙන් කැපවූහ. යළි කඳු නාය නොයනු ඇතැයි සහතිකයක් නැත. යළි වැසි ඇද නොහැළෙණු ඇතැයි  තවම විශ්වාසයක් නැත. එහෙත් ජීවමාන විරුවන්ට ඒ කිසිවක් අභියෝග නොවේ. ජල ගැලීම්වලට ලක්ව සිටි තෝප්පුව ප්‍රදේශයේ ජනයාට ආහාර රැගෙන එමින් සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටරයේ නියමුවා වූයේ වින් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය ය. සහාය ගුවන් නියමුවා සමග තවත් සෙබළු හතර දෙනෙක් හෙලිකොප්ටරය තුළ වූහ.

හෙලිකොප්ටරයේ දෝෂයක් ඇති බව තේරුම් යන්නේ මේ අතරය. මතු වූ දෝෂය නිවැරදි නොවන බව පෙනිණ. නියමුවා තමන්ගේ යානය කඩා වැටුණ හොත් සිදුවිය හැකි අවම හානිය සිදුවන අයුරින් අනතුරට මුහුණ දීමට තීරණය කළේය.

හෙලිකොප්ටර් යානය එක්වරම ලුණුවිල ගිංඔයට හැරවිණි.

‘මගේ ජීවිතය ගැන හිතන්න එපා. ඔයගොල්ලෝ බේරෙන්න.’ වින් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය කීවේය.

ඒ රණවිරුවන්ගේ හැටිය. ඔවුහු රටදැය සමය වෙනුවෙන් තම ජීවිත කැප කරති. අදටත් ආපදා ප්‍රදේශවල මහවැසි මැද ජීවිත අවදානම නොතකා ඔවුහු කැප වෙති.

පන්සල්, පල්ලි, කෝවිල් සහන මධ්‍යස්ථාන බවට පත් විය. හාමුදුරුවරු දායකයන් සමග එක්ව ආහාර පිසූහ. තවත් තැනක හාමුදුරුවරු පිණ්ඩපාතයේ වැඩම කළහ. ඒ අවතැන් ජනයාට ආහාර ද්‍රව්‍ය එකතු කිරීමටය.

බදුල්ලේ ටිබෙට් හාමුදුරුවෝ ගමේ කන්ද නාය යන බව තේරුම් ගෙන ගෙයින් ගෙට ගොස් ගමක් ඇහැරවා මිනිස් ජීවිත දෙසිය පණහක් බේරා ගත් කතාව අපට ඇසිණ.

ඇතැම්හු තමන්ට ගන්නට හැකි දෙයක් ගෙන පැමිණියහ. දෙරණ නාළිකාවේ මනුසත් දෙරණ වැඩසටහනට පොල් ගෙඩි දෙකක් රැගෙන ආ අම්මා කෙනෙක් විපතට පත්වූවන් වෙනුවෙන් එය පරිත්‍යාග කළාය. ඒ මනුස්සකමය. දෙන්නට හැකි දේ ඔවුහු දුන්හ. බොහෝ වෙ​ෙළඳසල් හිස්විය. විපතට පත්වූවන්ට දීමට ආහාර ඇඳුම්, වතුර බෝතල් ගෙන යන පරිභෝගිකයන්ට තමන්ගේ ලාබය නොතබා භාණ්ඩ අලෙවි කළ වෙළෙන්දෝ අපමණ වූහ.

නිවාස අහිමි වූ ජනයාට නිවාස හදා ගැනීමට මම මගේ ඉඩමක් පරිත්‍යාග කරන්න කැමැතියි.’ 

‘බදුල්ලට එන සහන කණ්ඩායම්වලට නතර වීමට මගේ ගෙයක් තියෙනවා අවශ්‍ය අය අමතන්න.

මෙවැනි මනුෂ්‍යත්වයේ අකුරු මුහුණු පොත පුරා ගලා යමින් තිබේ. ඇසින් කඳුළක් නොහෙළා ඒ අකුරු කියවිය නොහැකිය. කෑලි කැපිය හැකි ගන අන්ධකාරයේ වුවද මනුෂ්‍යත්වය දිලිසෙමින් තිබේ.

ලෝක සිතියමේ ඇබැටක් තරමේ වුවද අප රටේ දුගී ජනයා සතු පරම ධනය ඒ මනුෂ්‍යකමය. ඉඳින් කඳුළ මත පය ගසා ඉසුරින් පිරුණ අනාගතයකට සැවොම එක්ව පෙළ ගැසෙමු.

‘හෙට ඉර පිපෙනවා සත්තයි!
‘හෙට මල් පිපෙනවා සත්තයි.!
නිසැකවම අපි දිනනවා සත්තයි!

ප්‍රසන්න සංජීව තෙන්නකෝන්