කොරෝනා සොයන ඉන්දීය සුනඛයෝ


 

 

ඉන්දීය හමුදාවේ ජයා, කැස්පර් සහ මානී යන නිල සුනඛයන් පුරුදු කර ඇත්තේ ඉව අල්ලා කොරෝනා සෙවීමටය.


‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් දරුණු ලෙස බැට කන රටක් වූයේ අප අසල්වැසි ඉන්දියාවය. ඇමෙරිකාවට පසු දෙවැනියට වැඩිම කොරෝනා අසාදිතයන් වාර්තා වීමට පටන් ගත්තේ ඉන්දියාවෙනි. ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත සහ ‘භාරත්’ බයෝටෙක් එන්නත නිපදවීම සිදුවන්නේ ඉන්දියාවෙනි. ඉන්දීය රජය ‘වැක්සින් මෛත්‍රී’ වැඩසටහන හරහා අප ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය ආසියානු රටවලට ප්‍රදානය කළේ ද මෙම කොවිෂීල්ඩ් එන්නතය.   


‘කොවිඩ් 19’ වයිරස ආසාදිතයකු ද නැති ද යන්න සෙවීම සිදුවන්නේ පී.සී.ආර්. සහ ප්‍රතිදේහ පරීක්ෂණ මගිනි. පී.සී.ආර්. පරීක්ෂණයට වඩා ඉක්මනින් ප්‍රතිදේහ පරීක්ෂණයේ ප්‍රතිඵල ලබා ගත හැකිය. පී.සී.ආර්. වලට වඩා ප්‍රතිදේහ පරීක්ෂණය මිලෙන් අඩුය. එකිනෙකට වෙනස් වුවත්, මෙම පරීක්ෂණ දෙකටම උගුර ඇතුළෙන් සහ නාසය ඇතුළෙන් සාම්පල ලබා ගැනීම කළ යුතුය. බොහෝ දෙනකුට මෙය වේදනාවක් බව අමුතුවෙන් කිව යුතු වන්නේ නැත. එය අමිහිරි අත්දැකීමකි. 

 
ඉන්දියාවේ ‘කොවිඩ් 19’ ආසාදිතයන් හඳුනාගැනීමට විශේෂයෙන් පුරුදු පුහුණු කළ තිදෙනෙක් සිටිති. ජයා, කැස්පර් සහ මානී යනු ඒ තිදෙනාය. ‘කොවිඩ් 19’ වසංගතය හමුවේ ඉදිරිපෙළ ‘සටන්කරුවන්’ අතරට මොවුන් තිදෙනා අයත් වෙයි. ජයා, කැස්පර් සහ මානී ඉන්දීය හමුදාවේ නිල සුනඛයන්ය. මොවුන් පුහුණු කර ඇත්තේ ඉව අල්ලා ‘කොවිඩ් 19’ වයිරසය හඳුනාගැනීමටය. අද යුරෝපා රටවල් කීපයක ද මේ අයුරින් ‘කොවිඩ් 19’ වයිරසය හඳුනාගැනීමට පුහුණු කළ සුනඛයන් ගැන අසන්න ලැබේ. එම නිල සුනඛයන් යෙදවෙන්නේ ගුවන්තොටුපොළවල රාජකාරි සඳහාය. ජයා, කැස්පර් සහ මානී පුහුණු කර ඇත්තේ ‘කොවිඩ් 19’ ආසාදිතයකු සිටින්නේ නම්, ඔහු හෝ ඇය අසලට ගොස් ඉදිරියේ වාඩි වීමටය.   
‘‘ඉව අල්ලා කොවිඩ් 19 වයිරසය හඳුනාගැනීමේ වැඩසටහන සඳහා හමුදා සුනඛයන් පුහුණු කිරීම අප ආරම්භ කළේ මාස කීපයකට කලින්. පුහුණු කිරීම් සිදු කළේ මුත්‍ර සහ දහඩිය සාම්පල යොදා ගනිමින්. චිපිපරේ, කොකර් ස්පැනියල්, ලැබ්රඩෝර් යන වර්ගයේ සුනඛයන් මෙම වැඩසටහනට අප සම්බන්ධ කරගෙන තිබෙනවා. දැන් අපේ සුනඛයන්ට කොවිඩ් ආසාදිතයන් හඳුනාගැනීම කළ හැකියි. එය සියයට 95 ක් සාර්ථකයි.”‍ යැයි සුනඛයන් පුහුණු කිරීමේ වැඩසටහන බාර ඉන්දීය හමුදා කර්නල් සුරේන්ද්‍ර සයිනී පැහැදිලි කරයි.   

 


සුනඛයන්ගේ නාසයට මිලියන 300 කට වඩා වැඩි ගඳ සුවඳ හඳුනාගැනීමේ හැකියාවක් පවතී. මනුෂ්‍ය අපට හඳුනාගැනීම කළ හැක්කේ මිලියන 5 ක් හෝ 6 ක් පමණක් බව විද්‍යාඥයෝ පැහැදිලි කරති. නිල සුනඛයන් යොදා ගනිමින් පුපුරන ද්‍රව්‍ය, මත්කුඩු ඇල්ලීම, දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් ආදිය නිරතුරව සිදුවෙයි. අපරාධකරුවන් ලු‍හුබැඳ යෑමට පොලිස් නිල සුනඛයෝ හපන්නුය. ඊට අමතරව, පිළිකා හඳුනාගැනීමට පවා පුහුණු කළ සුනඛයන්ට හැකියාව තිබේ. ඊට අමතරව මැලේරියාව, දියවැඩියාව, පාකින්සන් රෝගීන් හඳුනාගැනීමට සමත් සුනඛයන් ගැනත් ලොව නන්දෙසින් අසන්න ලැබේ.   


කෙසේ නමුත් ඉන්දියාවේ නිල සුනඛයන් මේ අයුරින් වෛද්‍ය විද්‍යාව සම්බන්ධ කටයුත්තකට සම්බන්ධ කළ පළමු අවස්ථාව මෙයයි. ‘කොවිඩ් 19’ වයිරසයේ අවදානම ඇත්තේ අප මනුෂ්‍යයන්ට පමණක් නොව, සුරතල් සතුන් ද රෝගී වූ බව වාර්තා වේ. ඇමෙරිකාවේ සත්වෝද්‍යානවල සිංහයන්ට, ව්‍යාඝ්‍රයන්ට සහ ගෝරිල්ලන්ට පවා කොවිඩ් ආසාදනය විය. පාකිස්තානයේ ධවල ව්‍යාඝ්‍ර පැටවුන් දෙදෙනකු කොවිඩ් ආසාදනය වී මියගිය බව ද අසන්න ලැබුණි. මේ වනවිටත් දකුණු කොරියාවේ සෝල් නුවර සුරතල් සතුන් පවා වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරීමට නගරසභා බලධාරීන් තීරණය කර තිබේ. එහෙයින්, කොරෝනා සොයන්න ඉව අල්ලන ජයා, කැස්පර් සහ මානී ද නිරන්තරයෙන් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කරන බව කර්නල් සුරේන්ද්‍ර සයිනී පැවසීය. 
බෲට් ඉන්දියා ඇසුරිනී

 

 

ලු‍සිත ජයමාන්න්‍