මිනිසා සහ පරිසරය අතර ඇත්තේ සංකීර්ණ හා බහුවිධ සම්බන්ධතාවයකි. මිනිසා පරිසරයේ කොටසක් වන අතර, ඔහුගේ පැවැත්ම සඳහා පරිසරය මත දැඩි ලෙස රඳා පවතී. ඒ අතරම, මිනිසාට පරිසරය වෙනස් කිරීමට හා බලපෑම් කිරීමට ද විශාල හැකියාවක් ඇත. මෑතකාලීනව මිනිසා පරිසරයට කරන අහිතකර බලපෑම් වැඩි වී ඇති අතර, එය පෘතුවියේ තිරසර භාවයට තර්ජනයක් වී ඇත. මිනිසාට තමාගේ ක්‍රියාකාරකම් වෙනස් කර පරිසරයට හිතකර ලෙස ජීවත් වීමට හැකියාව ඇත. මිනිසා සහ පරිසරය අතර සමතුලිතතාවයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වන්නේ මිනිසාගේම යහපැවැත්ම උදෙසාය. පරිසරය නිරෝගී නම්, මිනිසා ද නිරෝගි වනු ඇත.
වර්තමානයේ මිනිසා මුදල් වෙනුවෙන් ගස් කපා බිමට හෙළා දැව ලෙස අලෙවි කරයි. එක් ගසක් කැපුවහොත් පැළ සියයක්වත් සිටුවිය යුතුය යන කියමන කට වචනයට පමණක් සීමා වී ඇත. මෙවැනි යුගයක තම කැපවීමෙන් හා උත්සාහයෙන් තම ශ්‍රමය වැය කොට කුඩා පැළ රෝපණය කරමින් කැළයක් නිර්මාණය කළ දිරිය මිනිසෙක් අංකුඹුර ග්‍රාමයෙන් “ඉරිදා ලංකාදීප” යට හමුවිය. ඔහු නමින් ඩබ්.ජී. සිරිසේන ය. ඔහුව ගමේ කවුරුත් අමතන්නේ සිරි මාමා යනුවෙනි. ඔහු වෘත්තියෙන් කරණවෑමියෙකු වන අතර, 71 හැවිරිදි වියෙහි පසුවේ.
අංකුඹුර ග්‍රාමයේ, උඩවත්තේ ගෝනමඩ හි පිහිටි කාගෙත් අවධානයට ලක් නොවු මුඩුබිමක්ව පැවති ඉඩම සිරි මාමාගේ දෑතින් රෝපණය කරන ලද කුඹුක් පැළ නිසා වසර 25 කට පසුව කෙම්බිමක් බවට පත්ව තිබේ.
මෙවැනි දෙයක් කරන්න හේතු වූයේ ඇයි? යන ප්‍රශ්නයට සිරි මාමා ළඟ තිබුණේ දීර්ඝ පිළිතුරකි. ඔහු එය අප වෙත පවසා සිටියේ මෙසේය.
“මම අවුරුදු 50 ක් තිස්සේ රැකියාව වශයෙන් කරන්නේ කොණ්ඩා කපන එක. මම පොඩි කාලයේ මේ ඉඩමට එනවා සෙල්ලම් කරන්න, අවට සිරි නරඹන්න, කඳු නඟින්න එහෙම. හුළං ගල, කුඩා ගල කියන කඳු මේ අවට තමයි පිහිටලා තිබෙන්නෙ. මේ ප්‍රදේශය හරිම සුන්දර ප්‍රදේශයක්. මුල් කාලීනව මේ ඉඩමේ කුඹුරු ගොවිතැන් වැඩ කරලා තිබෙනවා. පස්සේ කාලය වෙද්දි මේ උස් බිම මුඩු බිමක තත්ත්වයේ තිබුණා. පොඩි කාලයේ මම දැක්කේ ඒ මුඩුබිම. මේ ඉඩම ගම්සභා කාලයේ ප්‍රාදේශීය සභාව යටතට අරන් තිබෙනවා, ඒ අනූව පූජාපිටිය ප්‍රාදේශීය සභාවට තමයි අයිතිය තිබෙන්නෙ.”
“ප්‍රාදේශීය සභාව යටතට ගත්තේ වැවක් හැදීමේ අරමුණ ඇතිවයි. නමුත් පස්සේ ඒ අරමුණු මග හැරිලා ගියා. එතැනින් පස්සේ මේ භූමියට අයිති ඇතැම් ඉඩම් කොටස්, අවට පදිංචි වෙලා ඉන්න මිනිස්සු අල්ල ගත්තා. මෙතැන වගුරු බිම වුණාට සෑහෙන ජල පෝෂක ප්‍රදේශයක්. පිඟා ඔයට ජලය සපයන උල්පත් 7 ක් මෙහෙ තිබෙනවා. ඊට අමතරව ඉස්සර කාලයේ ඉඳන් තිබුණු ළිඳක් මෙහි තිබෙනවා.”
“මේ කරුණු නිසාම මේ මුඩු ඉඩමේ කුඹුක් වගා කරන්න ඕන කියන අදහස ආවා. කුඹුක් පැළ වගා කරන්නත් හේතුවක් තිබෙනවා. මට අවශ්‍ය වුණේ මේ අවට ගම්වල ජල ගැටළුවට විසඳුමක් සොයන්න. කුඹුක් ගසේ තිබෙන මිල කළ නොහැකි හැකියාව තමයි ජලය පිරිසිදු කිරීම. ජලය මෘදු කිරීම, ජලයේ කිවුල ගතිය අඩු කිරීම හා පිරිසිදුකරණය සිදු කරනවා.”
“පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ අවසරය අරගෙන, මම 2000 අවුරුද්දේදි තමයි කුඹුක් පැළ හිටවන්න පටන් ගත්තේ. මම ඇළහැර ඉඳන් තමයි කුඹුක් පැළ ගෙනාවේ. මුලින්ම මම කුඹුක් පැළ 2000 ක් පමණ ගෙනවිත් තවාන් දැම්මා. එහෙම මම වරින්වර පැළ ගෙනවිත් තවාන් දාලා හිටෙව්වා. ඒ අතර සමහර පැළ විනාශ වුණා. ඇතැම් මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා පැළ විනාශ කරලත් දැම්මා. නමුත් මගේ උත්සාහය අතහැරියේ නැහැ. මම නොකඩවා කුඹුක් පැළ වගා කිරීමේ කටයුතු, සාත්තු කිරීමේ කටයුතු සිදු කළා. ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට දැනට කුඹුක් ගස් 350 ක් පමණ ප්‍රමාණයකින් සමන්විත භූමියක් බවට මේ භූමිය පත්වෙලා තිබෙනවා. ඒ ගැන මම ආඩම්බර වෙනවා වගේම නිහතමානී සතුටකුත් තිබෙනවා. ඒ වගේම මගේ වැඩකටයුතු සිදු කරන්න ගමේ මිනිස්සුත් උදව් කරලා තිබෙනවා. ඒ වෙනුවෙන් ඒ අයට ස්තූතියි කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.”
ටර්මිනලියා අර්ජුන යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන කුඹුක් ශාකය, කොම්බ්‍රෙටාසේ කුලයට අයත් ශාකයකි. එය පොදුවේ හැඳින්වෙන්නේ, ඉංග්‍රීසියෙන් අර්ජුන හෝ අර්ජුන් ගස, තෙළිඟු භාෂාවෙන් තේලා මඩි, සිංහලෙහි කුම්බුක්, දමිළ භාෂාවෙන් මරුදා මරම් සහ මලයාලම්හි නීර් මරුතු යනුවෙනි. මෙරට තුළ කුඹුක් ශාකය සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් ඇත. ක්‍රි.ව. 1200-1300 සමයේ III විජයබාහු රජු විසින් ඉදිකරවන ලද වැවේ බැම්මෙහි කුඹුක් ගස්පැළ කරවන ලදැයි කියැවේ. අටවිසි බුදුවරුන් අතරින් යසවන්න රජු හා යශෝධරා දේවිය මවුපියන් වූ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ මාසයක් පමණ කෙටිකලක් දුෂ්කර ක්‍රියා කොට කුඹුක් ගස සෙවණේදී බුදු බවට පත්වූ බව ද ශාසන ඉතිහාසයෙහි සඳහන් වේ. පරිසර පද්ධතිය තුළ කුඹුක් ගස ගංගා ඉවුරුවලට ඒවායේ මූල පද්ධති සමග ආරක්ෂාව සැපයීමෙන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
පරිසරයට හානි කරන අයට පරිසරයෙන්ම දඬුවම් ලැබීම ස්වභාවිකය. එම නිසා ස්වභාව ධර්මයාට විරුද්ධව කටයුතු නොකිරීම මානව වර්ගයාගේ ප්‍රධාන යුතුකම හා වගකීම වන්නේය. සැබෑ පරිසර හිතකාමියෙකු ලෙස විනාශ වෙමින් පවතින පරිසරය අනාගත පරපුර උදෙසා රැක දීම කළ යුතුය. ඒ සඳහා එක් පියවරක් ලෙස සෑම වැවක් ආශ්‍රිතව මෙන්ම ළිං හා අනෙකුත් ජල මූලාශ්‍ර ආශ්‍රිතව හැකිතරම් කුඹුක් පැළ සිටුවීම, පිරිසිදු පානීය ජලය ලබාගැනීමටත් එමගින් නිරෝගී සෞඛ්‍ය සම්පන්න භාවය ලබාගැනීමටත් හේතු වනු ඇත.
“කුඹුක් ගස අඩි 50 ක් හෝ ඊට වඩා උසට වර්ධනය වන, මහත කඳකින් සමන්විත වන, දුරට බෙදී විහිදෙන අතු තිබෙන ශාකයක්. අතු බෙදිලා විහිදිලා තියෙන නිසා මේ ගහ යට හරිම සිසිලසයි. කුඹුක් ගහෙන් කිවුල් ජලය පවා පිරිසිදු කරනවා. ඒ නිසා වතුර තිබෙන තැනක කුඹුක් ගහක් තිබෙනවා කියන්නේ, ඒ වතුර පිරිසිදු යි.”
“මම කතාවක් අහලා තිබෙනවා, එක කුඹුක් ගහකින් දිය උල්පත් 30 ක් විතර පෝෂණය වෙනවා කියලා. ඒ කතාවේ ඇත්ත නැත්ත ගැන මම හරියට දන්නේ නැහැ. නමුත් කුඹුක් ගහේ තිබෙන විස්මිත ගුණය ගැන අහනකොට දකින කොට ඒ කතාවේ ඇත්තක් තියෙනවා කියලා මට හිතෙනවා.”
මුඩු ඉඩමක් ව පැවති මෙම ස්ථානය වනස්පතිවලින් හෙබි කෙම්බිමක් බවට පත් ව ඇත්තේ සිරිසේන ගේ උත්සාහය, කැපවීම හා ශ්‍රමය නිසාය. වසර 25 කට පෙර තවාන් පැළ ලෙස වගා කරන ලද කුඹුක් පැළ, අද වෙනවිට දෑතින් බදා ගැනීමට නොහැකි ලෙස විශාල ගස් බවට වර්ධනය වී ඇත.
“අංකුඹුර ගමෙන් එහාට තියෙන්නේ කඳු. ඒ නිසා ඒ පැතිවල ජීවත්වන මිනිස්සුන්ට වතුර නැහැ. විශේෂයෙන් අපේ ගමේ තිබෙන පන්සල ඉහළමුල්ල පන්සල යි. පන්සලට වතුර ගන්නෙත් මෝටරයෙන්. පායන කාලයට මෝටර් දෙකක්වත් භාවිත කරලා තමයි වතුර ගන්න ඕන. පන්සලෙ උඩහට වෙන්නට වතුර නැති ගම් කීපයක්ම තිබෙනවා. දෙහිවත්ත, අලවතුවල, බඹරගහකන්ද, මිරිස්වල, එගොඩමුල්ල හා දුනුමාව කියන ගම් කීපයකටම පායන කාලයට වතුර නැහැ. ඒ සියලු ගම්වල පවුල් 15000 ක් විතර ඉන්නවා. දැනට මේ භූමියේ උල්පතෙන් පවුල් 100 කට විතර වතුර ලැබෙනවා. ඒ ගමේ මිනිස්සු මට පින් දෙනවා, මේ කරපු කටයුත්තට. නමුත් මගේ සිහිනය නම්, අවට ගම්වල පවුල් 15000 ටම වතුර දෙන්න පුළුවන් තත්වයට මේ භූමියේ වැවක් හදන්නයි. කුඹුක් ගස් හිටවීමේ මගේ අරමුණ වුණෙත් ඒකයි.”
ඒ වගේම තමයි කුඹුක් කියන්නේ ඖෂධිය ගුණයකින් යුක්ත ශාකයක්. වෙද මහත්වරු මේ ගසෙන් හදන ඖෂධ විවිධ රෝගාබාධවලට පාවිච්චි කරනවා. ඒ නිසා ඖෂධවලට මේ ගස්වලින් ප්‍රයෝජන ගන්න අයත් මෙහෙ එනවා.”
වකුගඩු රෝග සඳහා ප්‍රධාන වශයෙන් බලපාන ජලයේ කැල්සියම් සංයුතිය අඩු කිරීමට කුඹුක් ශාකය විශාල දායකත්වයක් සපයයි. මීට අමතරව කුඹුක් දලු ඉස්ම හිසට ඉතා යෝග්‍ය බව පවසන අතර ඉස්හොරි සඳහා කුඹුක් කොළ ඉස්ම යෙදීම සුදුසුය. කුඹුක් අතීසාර රෝග, හෘද රෝග ආදියටද ඔසුවක් ලෙස භාවිතයට ගනී. එසේම කුඹුක් පොත්තේ විෂනාශක ගතියක් අඩංගුව ඇත. දේශීය චිකිත්සාවේදී පැන් නවයක් ගැන සඳහන් වේ. ඉන් එකක් කුඹුක්ගැටේ රැඳී ඇති ජලයයි. බොහෝ විශාල කුඹුක් ගස්වල මේ ගැට දක්නට ලැබේ. මේ අනුව කුඹුක් ගසේ කොළ, මුල්, පොතු ඇතුළු මුළු ශාකයම ඖෂධ ලෙස යොදාගනියි.
මෙම කටයුතුවලට අමතරව සිරිසේන විසින් තවත් උතුම් වැඩසටහනක් සිදු කරයි. ඒ ගැන සිරිසේන කියන්නේ මෙවැන්නකි.
“මේ භූමියේ පැළ හිටවන්න පටන් ගත්තේ 2000 අවුරුද්දේ මගේ උපන්දිනයට ආසන්න දිනයකයි. ඒනිසා 2012 වසරේ සිට මේ වෙනතුරු හැම අවුරුද්දකම මගේ උපන්දිනය දවසට, මම මේ භූමියට හාමුදුරුවරු වඩම්මවා දානයක් දෙනවා. 20 වන සංවත්සරය වෙනුවෙන් 2020 අවුරුද්දේ දී, හාමුදුරුවරු 115 නමක් වඩමවා හා අන්‍යාගමික නායකයින්ට ආරාධනා කරලා දානයක් දුන්නා. ඒ වගේම 25 වන සංවත්සරය වෙනුවෙන් මේ අවුරුද්දේ මගේ උපන්දිනය දවසට හාමුදුරුවරු 150 නමකටත්, අන්‍යාගමික නායකයින් කීප දෙනෙකුටත් ආරාධනා කරලා දානයක් ලබාදෙන්න තීරණය කරලා තිබෙනවා. මේ වැඩසටහන් වලදී, මේ භූමියෙන් වතුර ලැබෙන ගම්වල මිනිසුන්ගේ උදව් උපකාරත් ලැබෙනවා. ඒක මට දිරියක්.”
“ඉස්සර ඉඳලාම හැම මාසයකම පෝය දවසට මම කඩේ වහනවා. ඒ දවස මම වෙන් කරන්නේ මේ භූමිය වෙනුවෙන් තමයි. මාසයකට වරක් මම මෙතනට ඇවිත් සුද්ද පවිත්‍ර කරනවා.”
වර්තමානයේ පාසල් අධ්‍යාපනය තුළ පරිසර පද්ධතිය වැඩිදියුණු කරමින්, සංරක්ෂණය කරමින් දරුවන්ගේ පෝෂණය වැඩි කිරීම තුළින් දරුවන්ට පරිසරය සමග සහජීවනය පිළිබඳ නොයෙකුත් වැඩසටහන් සිදු කරනු ලැබේ. ලෝකයේ සුන්දරත්වය සියුම් ලෙස දැන ගැනීමට, සොබාදහම රැකබලා ගැනීමට ළමයින් ඉගෙන ගත යුතුය.
මේ සඳහා වැඩිහිටියන් සෑම උත්සාහයක්ම ගත යුතුය. පරිසර විද්‍යාව තේමාවෙන් යුත් විනෝදාස්වාදය දරුවන්ගේ හැඟීම් කෙරෙහි දැඩි ලෙස බලපායි. සොබාදහම සමග සන්නිවේදනය කිරීමට සහ විවිධ ක්‍රියාකාරකම් තුළින් ඔවුන්ගේ අත්දැකීම් සහ හැඟීම් පිළිබිඹු කිරීමට දරුවන්ට ආශාවක් ඇත. ස්වභාව ධර්මය කෙරෙහි ගෞරවනීය ආකල්පයක් ඇති කිරීම පහසු නැතත්, එහි ප්‍රතිඵලය උත්සාහය සහ කාලය වටින්නේය.
ඒ අනුව සිරිසේන විසින් අවට පාසල් ළමුන් සඳහා මෙම භූමිය ක්ෂේත්‍ර චාරිකා සඳහා පැමිණ බැලීමට ද ඉඩකඩ සපයා දී ඇත.
“මේ අවට පාසල්වලින් පරිසර දිනය වගේ දවස්වල හා අධ්‍යාපනික ක්ෂේත්‍ර චාරිකා සඳහා පාසල්වලින් එක්කර ගෙන එනවා. මටත් පුළුවන් විදිහට ඒ ළමයින්ට මේ භූමියේ වටිනාකම් ගැන පැහැදිළි කරලා දෙනවා. ඒ වගේ වැඩවලින් මම පුදුමාකාර සතුටක් ලබනවා. මේවා අනාගත පරපුර වෙනුවෙන් තමයි ආරක්ෂා කරලා ලබා දෙන්න ඕන.”
පොදු සමාජය වෙනුවෙන් මෙවන් විශාල කටයුත්තක් කළ සිරිසේන, වගකිව යුත්තන්ගේ අවධානය ලබාගැනීම සඳහා 2012 වසරේ සිට අදාළ අංශ දැනුවත් කරයි. ඒ වෙනුවෙන් තනි මිනිසෙකු ලෙස අරගලයක් කරයි.
“මම ප්‍රාදේශිය සභාව දැනුවත් කළා, අපේ පළාතේ දේශපාලනඥයින් දැනුවත් කළා, තවත් වගකිව යුත්තන් දැනුවත් කළා. නමුත් තවම ස්ථීරසාර විසඳුමක් ලැබුණේ නැහැ. මං කියපු සමහර දේශපාලනඥයින් හා වගකිවයුත්තන් මේ භූමියට ආවා. රජයේ වගකිවයුතු නිලධාරීන් ඇවිත් මගෙත් එක්කත් සාකච්ඡා කළා. වැව හදන එක සම්බන්ධ පොරොන්දු ලබාදෙනවා. නමුත් කිසිම දෙයක් මේ වෙනතුරු සිදුවෙලා නැහැ. මේ වෙනකම් කවුරුත්, කිසිම ප්‍රතිචාරයක් නැහැ. ඒ ගැන මට තිබෙන්නෙත් මහා දුකක්, කලකිරීමක්. නමුත් මගේ අවසන් හුස්ම පොද තිබෙනතාක් කල් මේ භූමිය වෙනුවෙන් මගෙන් විය යුතු යුතුකම් මං ඉටු කරනවා. ඒ වගේම මිනිස්සුන් ගේ ජල ගැටලුව වෙනුවෙන් මම කොන්දේසි විරහිතව පෙනී සිටිනවා.”
සිරිසේන ගේ සිහිනය වන්නේ, තමාගේ ශ්‍රමයෙන් නිර්මාණය කළ ජල පෝෂක කලාපය තුළ වැවක් තැනීමය. ඒ වැවේ ජලයෙන් අවට වතුර නැති ගම්මානවලට වතුර ලබාදීමය. සිරි මාමාගේ සිහිනය ඉෂ්ඨ වේවායි යනුවෙන්ද, මෙවැනි උතුම් ක්‍රියාවන් කිරීමට තව දුරටත් සිරිසේනට ශක්තිය ධෛර්යය ලැබේවා යනුවෙන් ද අපි ප්‍රාර්ථනා කරමු.
එම්. තාරික්