
“හදවතින් බිඳවැටී සිටින අයට ස්වාමින් වහන්සේ ආසන්නය; ආත්මයෙන් පීඩිත වූවන් ඔහු විසින් ගලවනු ලබයි.” — (ගීතාවලිය 34:18)
රටම කම්පාවට පත් කරමින් සිදුවූ නාය යාම්, ගංවතුර වැනි ස්වභාවික ආපදා හේතුවෙන් ඇති කෙරුණු ව්‍යසනකාරී වටපිටාවක් සහිතව උදා වෙමින් පවතින මෙම නත්තල් සමයේ දීත් – ජන හදවත් තුළ ඇති වේදනාව, කම්පනය, පමණක් නොව අපේක්ෂාවන් ද සම්මිශ්‍රණය වෙන අපූරු ස්ථානයක් ලෙස “බැසිලිකා දේවස්ථානය” (රාගම තේවත්ත) හැඳින්විය හැකිය.
වසර ගණනාවක් පුරා හුදී ජනයාගේ පහන් සංවේගයන්ට පිළිසරණක් වූ මෙම පුණ්‍ය භූමිය - රටේ පැවති නානා විධ අර්බුදයන් හමුවේත් විශ්වාසය, ප්‍රාර්ථනාව හා සමාජ ඒකාබද්ධතාවය සංකේතවත් කරන ස්ථානයක් බැව් ප්‍රකාශ කිරීම අතිශයෝක්තියක් නොව, යථාකාරී තථාකාරී ප්‍රකාශනයකි.
මෙවර නත්තල සැරසිලි හා උත්සව වලට වඩා, ව්‍යසනය නිසා පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් “එකමුතුවෙන් ප්‍රාර්ථනා කරන නිහතමානී ආලෝකයක්” ලෙස රාගම බැසිලිකා දේවස්ථානයේ දොරටු විවර කෙරෙනු ඇත.
නොවැම්බර් 28 වැනිදා ධාරානිපාත වර්ෂාවත් සමග බොහෝ පිරිසකට උන්හිටි තැන් අහිමි වීමට ගත වූයේ නිමේසයකි . එක් පැත්තකින් සියල්ලම නාය යද්දී, තවත් පැත්තකින් ගංවතුරට ගසාගෙන ගියහ.
රාගම ජාතික බැසිලිකා දේවස්ථානයේ පරිපාලනය භාර රවීන් සඳසිරි පියතුමෝ පණිවිඩයක් නිකුත් කළහ.
“ආපදාව හේතුවෙන් ඉන්න හිටින්නට තැනක් නැතිව අසරණ වී සිටින අය දේවස්ථානයට එන්න. එතන රැකවරණය තියෙනවා.”
ගත වූයේ පැය කිහිපයකි. ව්‍යසනයෙන් අසරණ වුණු පවුල් කීපයක්ම දේවස්ථානයට පැමිණියහ. දේවස්ථානයෙන් ඔවුන් වෙනුවෙන් ආහාර ලබාදීමට සිදුවූයේ එක් වේලක් පමණි. නන්දෙසින් පැමිණි ආධාරකරුවෝ ඔවුන් වෙනුවෙන් අවශ්‍ය සියලුම දෑ දේවස්ථානයට රැගෙන ආහ. අද ද එහි වෙනසක් නැත.
රාගම ජාතික බැසිලිකා දෙව් මැදුර යනු හුදෙක් ආගමික ස්ථානයක් පමණක් නොව- සරණ ඇවැසි අයට සරණක් වෙන, සැනසිල්ලක් ඇවසි අයට සැනසුම කැන්දන, අනුහසින් සපිරි පුණ්‍ය භූමියක් වශයෙන් කිතුනු ජනයා අතර පමණක් නොව බෞද්ධ, හින්දු හා ඉස්ලාම් ජනයා අතර ද ගැඹුරු විශ්වාසයක් හිමිකර ගෙන ඇති පොදු ස්ථානයකි.

රවීන් සඳසිරි පියතුමා
ක්‍රි.ව.1911 දී තේ වතු පුදබිමේ ඉදි වූ කුඩා පැල්පතක මෙම දෙව් මැදුර මුල් කාලයේ දී ස්ථාපනය කොට තිබුණි. අක්කර පනහකට ආසන්න භූමියක් වපසරිය කරගනිමින් බිහිවූ “තේ වත්ත දෙව් මැදුර” අවට එදා පැවති විශාල රුක්ෂයන් අදටත් සෙවන සලසනවාට අමතරව සුවිශේෂ ප්‍රෞඩත්වයක් ඊට නිබඳවම එක් කරනු ඇත.
ක්‍රි.ව.1939 දී ආරම්භ වූ දෙවැනි ලෝක මහා යුද්ධය ව්‍යාප්ත වීමේ දිගුවක් ලෙස, එක් අවස්ථාවක දී ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමේ තැතක් ගැන පුවතකින් කියැවුණි. ඒ අවස්ථාවේ කොළඹ අගරදගුරු තැන්පත් අති උතුම් ජෝන් මේරි මයෝන් හිමිපාණෝ රබර් වතුයායක් මැද ඉදිව තිබූ කුඩා දෙව් මැදුරක් වෙත ගියහ. උන්වහන්සේ දේව මාතාව ගෙන් ශ්‍රී ලංකාව ආරක්ෂා කර දෙන මෙන් අයැද සිටියහ. උන්වහන්සේගේ අපේක්ෂාව ඉටුවුණි. යුද්ධය අවසාන වුණි. එදා මෙන්ම අදටත් දේවමාතාව ගෙන් ඉල්ලන දේ ලැබෙන බව කිතුනු බැතිමතුන් අතර විශ්වාසයක් පවතී.
“ජාතික බැසිලිකාව බොහෝ අනුහස් තියෙන දේවස්ථානයක්. මෙතනට තරුණ දූදරුවන් අනන්තවත් එනවා. විවාහයට දෙමාපිය කැමැත්ත නොලැබූ අය මෙතනට ඇවිත් දේව මෑණියන්ට ඉටිපන්දම් දල්වා දෙමාපියන්ගේ ආශිර්වාදය ලබා දෙන මෙන් අයැද සිටිනවා. ඊට ටික කාලයකට පස්සේ ඒ දරුවන්ම මෙතනට ඇවිත් බාරය ඔප්පු කරන්නේ තනියම නෙවෙයි. දෙපාර්ශ්වයේම දෙමව්පියන් ද සමගයි. ජනවාරි මාසයේ තියෙන විවාහ උත්සවයකට එවනි දරුවන් දෙන්නෙක් ආවේ එයාලා ගේ මුල්ම වෙඩින්කාඩ් එක දේව මෑණියන්ට දීලා ආශීර්වාද ලබා ගන්නයි. දේව මෑණියන්ගෙ පිළිරුව ළග තමන්ගේ මුල්ම වෙඩින් කාඩ් එක තියලා ආශීර්වාද ලබා ගන්නා තරුණ දරුවන් ඕන තරම් ඉන්නවා.”
“විවාහය සම්බන්ධ කාරණාවල දී පමණක් නෙවෙයි, නිවසක් බලාපොරොත්තු වන අයත් මෙතනට ඇවිත් බාර වෙනවා. ගිය මාසේ පවුලක් ඇවිත් දේව අම්මාට "ස්තුති පූජාවක්" තිබ්බා. ඒ ඔවුන්ට ලැබුණ ඉඩම ගැන හිතලායි. දරුවන් කුඩා කල සිටම ඔවුන් ඉඳල තියෙන්නේ කුලී නිවෙස්වලයි. ජාතික බැසිලිකා දේවස්ථානයට පැමිණ ඔවුන් ඉඩමක් වෙනුවෙන් බාර වෙලා තිබුණා. සතියකින් ඔවුන්ගේ නිවසට අමුත්තෙක් පැමිණ තිබුණා. ඒ වසර ගණනාවකට උඩදී ඔවුන්ගේ පියා ගෙන් ලබාගත් විශාල ණය මුදලක්, පියා ජීවතුන් අතර නැති නිසා පුතාට භාර දීමටයි. සති දෙකක් තිස්සේ මේ මුදල දෙනතුරු ඔහුට නින්දක් ලැබිලා නැහැ.”
“දේවස්ථානයට පැමිණ තමන් මිල දී ගත් වාහනයට ආශිර්වාද ලබා ගන්නා අය ඕන තරම් ඉන්නවා. මීට සති හයකට පමණ උඩදී අපේ කන්‍යා සොහොයුරියක් වයස අවුරුදු විසිපහක පමණ දියණියකගේ මෝටර් රථයකට ආශිර්වාද කළා. ඇය මෙතනට පැමිණ ස්තුති පූජාව සිදුකළා. ඒ වසර ගණනාවක් තිස්සේ තමන් දුක් මහන්සියෙන් හම්බ කරපු මුදලින් ගත් වාහනය නිසයි.”
“මේ විදියට ඕන තරම් අය ඇවිත් දේව මෑණියන්ට ස්තූති පූජාව සිදුකරනවා. හැබැයි අපි ඒ අයගේ නම් ගම් අහන්න යන්නේ නැහැ.”
රවීන් සඳසිරි පෙරේරා පියතුමෝ “ඉරිදා ලංකාදීපය”ට ඒ අයුරින් ප්‍රකාශ කළහ.
රෝග, දුක, අහිමිවීම් හා ජීවිතයේ බිඳවැටීම් මැද, “දුක් විඳින මව” වෙත තම වේදනාවන් පවරා දෙන්නේය යන අදහස පෙරදැරිව එන දහස් ගණන් බැතිමතුන්ගේ සෝසුසුම් දුක් කඳුළු මේ පුණ්‍ය භූමිය සිසාරා සමහන් කෙරෙණු ඇත. කාලයත් සමග මෙහි සිදු වූ බවට විශ්වාස කරන සුව කිරීම්, ජීවිත වෙනස්වීම් හා අභ්‍යන්තර ශක්තිය ලැබූ කතා, තේවත්ත දෙව් මැදුර වටා ගොඩනැණු අනුහස්මය විශ්වාසයේ මූලික පදනම බවට පත්ව ඇත.
දිවයිනේ නන් දෙසින් දේව මෑණියන්ව සොයා එන පිරිස වැඩිය. මෙහිදී පුදුමාකාර ප්‍රාතිහාර බොහොමයක් සිදුවේ. මෙරට දෙවෙනි ලෝක සංග්‍රාමයෙන් බේරා දුන් දේව අම්මා ලෙස ද නම්කෙරෙන මෙම දේව මෑණියන්ගේ ආශීර්වාදය පතමින් ජාතික බැසිලිකා දේවස්ථානයට දිනකට ඉතා විශාල පිරිසක් පැමිණේ.
“ජාතික බැසිලිකා දේවස්ථානයට දිනකට ඉතා විශාල පිරිසක් පැමිණෙනවා. ඔවුන්ගෙන් බලාපොරොත්තු බොහොමයක් තියෙනව. ඇතැමුන් දේවස්ථානයට පැමිණෙන්නේ ලෙඩ රෝග සුවකර ගනීමට භාරවීමටයි. විශේෂයෙන් පිළිකා රෝගීන් එන පිරිස අතර වැඩියි. පිළිකා සැත්කම් සඳහා දින යොදා ගෙන තියෙද්දි, නියමිත දිනයට රෝහලට යද්දී, නැවත කරන පරීක්ෂණවල දී, හාස්කමක් සේ පිළිකා සෛල ශරීර ඉවත්වුණු රෝගීන්, දේවස්ථානයට පැමිණ බාර වෙන, ඔප්පු කරන අවස්ථා බොහෝ තියෙනවා. ඒ බොහෝ රෝගීන් අද සුවෙන්. ඒ වගේම දරුවන් නැති කාන්තාවන් මෙතනට ඇවිත් අනන්තවත් බාර වෙලා තියෙනවා. මවක් වීම පුදුමාකාර භාග්‍යයක්. එය නැති වී යාම මුළු සමාජයම කොන් කිරීමක් වෙනවා. එවැනි කාන්තාවන් පුදුමාකාර ලෙස අසරණ වෙනවා. නමුත් දේව මාතාවට ආදරය කරන, විශ්වාස කරන එවැනි කාන්තාවන්ට දේව මාතාව අනන්තවත් පිහිට වෙලා තියෙනවා.”

රවීන් සඳසිරි පෙරේරා පියතුමෝ අප හා එක්වෙමින් එසේ පැවසූහ.
දරුවන් නොමැති වීමෙන් හදවතින් දුක් විඳින, අනාථ හැඟීම් සහිත කාන්තාවන්ගේ කඳුළුබර ප්‍රාර්ථනා රාගම තේවත්ත බැසිලිකා දෙව් මැදුරේදී විශේෂයෙන්ම දේව මාතාව වෙත පවරා යයි. මවකගේ වේදනාවන් හඳුනන මරිය මව්තුමිය, එවැනි කාන්තාවන්ගේ ආයාචනාත්මක කන්නලව් වලට සවන් යොමන කරුණාමය මවක් ලෙස විශ්වාස කරනු ලබයි. බලාපොරොත්තුවක් නැතිව බිඳවැටුණු හදවත් වලටත්, නැවත විශ්වාසය දල්වන සරණියක් ලෙස දේව මාතාවගේ නාමය මෙහි උච්චාරණය වෙයි. එබැවින් තම මාතෘත්වය පිළිබඳ සිහිනය සම්පූර්ණ කර ගැනීමේ ආශාවෙන්, කඳුළු අතරින් පවා විශ්වාසය අත් නොහැරින කාන්තාවන්ගේ පියවර තේවත්ත බැසිලිකාව වෙත නැවත නැවතත් යොමු වන්නේය.
දේව මාතාව ලෙස විශ්වාස කරන මරිය මව් යනු කරුණාව, ඉවසීම හා මව් සෙනෙහස සංකේත කරන ශුද්ධ චරිතයකි. මනුෂ්‍ය දුක් වේදනාවට ආසන්නව සිට, නිහතමානීව ඒවා බාරගත් මව් ලෙස ඇය සැලකෙයි. බැතිමත් හදවත්වලට සරණියක් වූ මරිය මව්, අසරණයන්ගේ කඳුළු, බිය සහ බලාපොරොත්තු දෙවියන් වෙත ගෙන යන මාතෘත්වයේ මැදිහත්කාරිය ලෙස සලකනු ලබයි. එබැවින් දුක්බර කාලවලදීත්, බිඳවැටුණු විශ්වාසයන් නැවත සවිබල ගන්වන්නා ලෙස දේව මාතාව පිළිබඳ විශ්වාසය නොමැකී පවතී.
ජාතික බැසිලිකාව යනු කතෝලික බැතිමතුන් පමණක් යන දේවස්ථානයක් නොවෙයි. අන් ආගමිකයන් බොහොමයක් දේවස්ථානයට පැමිණෙන්නේ එහි ඇති විශ්වාසය හා අනුහස් හේතුවෙනි. ඉරිදා දේව මෙහෙයට මුළු දේවස්ථානයම පිරී ඉතිරී යයි. ඒ සියලු ආගමික බැතිමතුන් ගෙනි.
ජාතික බැසිලිකා දේවස්ථානයේ වසරක් පාසා පවත්වනු ලබන "රෝගීන්ගේ මංගල්‍යය" වෙනුවෙන් දේවස්ථානයට ලක්ෂ අටකට පමණ ආසන්න බැතිමතුන් පිරිසක් පැමිණෙති. එය පවත්වනු ලබන්නේ සෑම වසරකම අගෝස්තු මත අවසාන සතියේ දීය.
ස්වාමිදූගේ ජාතික බැසිලිකා දේවස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන "රෝගීන්ගේ මංගල්‍යය" කතෝලික විශ්වාසයේ වැදගත් ආගමික සංධිස්ථානයක් ලෙස සැලකේ. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන රෝගීන්, වයෝවෘද්ධ වැඩිහිටියන්, වෛද්‍යවරුන් සහ සත්කාරකයන් මෙම උත්සවයට සහභාගී වෙති. මෙම මංගල්‍යය තුළ විශේෂ ශාන්ති පූජාවක් පැවැත්වෙන අතර, රෝගීන්ට මානසික අස්වැසුම හා ආශීර්වාදය වෙනුවෙන් තෙල් ආලේපන සිදු කරනු ලබයි. රෝගයන් ගෙන් පීඩාවට පත්ව සිටින අයගේ ශාරීරික සුවය මෙන්ම, මානසික සහ ආත්මීය ශක්තිය වැඩිකිරීම එහි ප්‍රධාන අරමුණ වේ.
රෝගීන්ගේ දුක් වේදනාවන්ට දෙවියන් ගේ ආශීර්වාදය හිමිකර දෙමින් - කරුණාව, සහයෝගය හා මානව දයාව ප්‍රවර්ධනය කිරීමද මෙම මංගල්‍යය මගින් සිදු වේ. වසරෙන් වසර මෙම උත්සවයට සහභාගී වන ජන සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බව, දේවස්ථාන පරිපාලක පියතුමන් පවසයි. රාගම බැසිලිකා දේවස්ථානයේ වාර්ෂිකව පවත්වන රෝගීන් ගේ මංගල්‍යය සඳහා, විශාල පිරිසක් එක්වෙන බැවින් දේවස්ථානයේ පිටුපස සහ වටපිටාව පුරා තාවකාලික කූඩාරම් සහ අනෙකුත් පහසුකම් සකස් කරනු ලබයි.
මෙම කූඩාරම් තුළ බැතිමුන්ට විශේෂ අවධානයකින් ආරක්ෂිත හා සනීපාරක්ෂිත පරිසරයක රැඳී සිටිමින්, විශේෂ ආශිර්වාද ලබාගැනීමට සහ ප්‍රාර්ථනා කිරීමට අවස්ථාව ලැබේ. කූඩාරම් සැකසීමේ දී ආලෝකය, වාතාශ්‍රය සහ සනීපාරක්ෂක පහසුකම් සැලකිල්ලට ගෙන, රෝගීන් සහ වයස්ගත පිරිසට වඩාත් සුදුසු පරිසරයක් නිර්මාණය කෙරේ.බැතිමතුන් මේ කූඩාරම් තුළ සිටින විට, ඔවුන්ගේ ආත්මීය සැනසීම, ශාරීරික සහ මානසික සුවය සැලකිල්ලට ගෙන, අවශ්‍ය උපකාරක සේවාවන් සලසා ඇත. එහි අවසානයේ දී එනු ලබන සියලු බැතිමතුන්ට ආශීර්වාද පූජාව පවත්වනු ලබයි. තාවකාලිකව කූඩාරම් වල දින කිහිපයක්ම ගත කරන ඔවුන් අවසානයේ දී ලබාදෙනු ලබන ආශීර්වාදයත් සමග නිවෙස් කරා පිටව යන්නේ විශාල සැනසීමකිනි.
බැසිලිකාවේ පිහිටි විශාල වෘක්ෂලතා සහ වෙනත් කුඩා ශාක විශේෂ පරිසරයට ශාන්තියක්, සුවයක්, නිහඬ ගුප්ත බවක්, සම්මිශ්‍රිත සුවිශේෂ ප්‍රෞඩත්වයක් ලබා දෙයි. ඒවා සිසාරා හමා එන සිහිළැල් සුළං බැසිලිකාවට පැමිණෙන බැතිමතුන්ට ප්‍රසන්න ආශ්වාස - ප්‍රශ්වාස කිරීමකට ඉඩහසර සලසා දේ. විස්මය දනවන අරුමය නම් දේවස්ථානයේ කොයි කොනක සිට බැලුවත් දේවස්ථානයේ අල්තාරය දකින්නට ඒ කිසිදු වෘක්ෂයකින් කිසිදු බාධාවක් නොවීමයි. ඒ සියල්ල සැලසුම් කොට මේ ගස් පවා සිටවා ඇත. එදා සිටවා ඇති ඒ කුඩා ගස් අද විශාල ගස් වී ඇත. ඒ ගසක අත්තක් පවා කපද්දී ඉතා ප්‍රවේසමිනි.
ජාතික බැසිලිකා දේවස්ථානයේ ගේට්ටු වැසෙන්නේ නැත. පාස්කු ප්‍රහාරයත් සමග මාස කීපයක් රාත්‍රී කාලයේ ගේට්ටු වසා ආරක්ෂාව දැමූවද, වර්තමානය වන විට දවස පුරා ඕනෑම වේලාවක බැතිමතුන්ට දේවස්ථානයට එන පහසුවට දේවස්ථානයේ ගේට්ටු ඇරී ඇත. ඒ නිසාම රාත්‍රී කාලයේදීත් දේවස්ථානයේ ඉටිපන්දම් දැල්වී ඇත.

"මෙවර නත්තල්ට ජාතික බැසිලිකාවත් සූදානම් වෙනවා. නමුත් සිදු වූ ව්‍යසනයත් සමග උත්සව කටයුතු සිදු කරන්නේ නෑහැ. අවතැන් වුණු තුන්සිය පනහක් පමණ මේ දේවස්ථානයේ නතර වෙලා හිටියා. මම මගේ මුහුණු පොත හරහා "කවුරුන් කෙනෙක් ඉන්නවනම් ගෙදර ඉන්න බැරි මෙතනට එන්න" කියලා පණිවිඩයක් තිබ්බා. ඒ පණිවිඩයත් සමග බොහෝ අහිංසක මිනිස්සු මෙතනට ආවා. අපි මුල්ම වේලට ඔවුන්ට පානුයි, පරිප්පුයි, සම්බෝලයි, කන්න දුන්නා. පුදුමාකාර විදිහට මිනිස්සු මේ අයට උදව් කරන්න එකතු වුණා. මේ ව්‍යසනයත් සමග මනුස්සකම් කියන දේ මිනිසුන් තුළින් එළියට ආවා. මෙතැනින් එකතු වුණු බඩු අඩි හතළිහේ කන්ටේනර් තුන් කාල බැගින් තැන් අටකට යැව්වා. දේවස්ථානයට ඔය අතරෙදි ගම්පොළෙන් කට්ටියක් ආවා. දරුවො පහයි අම්මයි තාත්තයි. එයාලගේ ගේ තෙමුණා. මේ අය වඩු බාස් උන්නැහේ කෙනෙක්ට ගේ බලන්න කියලා කිව්වා. වහල බලපු එයා "වහල හොඳටම දිරලා ඒක සම්පූර්ණයෙන්ම හදන්න ඕනි. මේ ගෙදර ඉන්න එපා" කියලා කිව්වා. මෙයාලත් ඒ කීමට ගෙයක් කුලියට අරන් ගිහින්. කුලී ගෙදර මේ අයට ඉන්න ලැබුණේ එක දවසයි. අර හිටපු ගම්පොළ ගේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිහින් තිබුණා. කිසිම දෙයක් ඉතුරු වෙලා තිබුණේ නැහැ. තම මුළු පවුලම මේ විපතින් බේරා ගත්ත වඩුබාසුන්නෑහැට ස්තුති කරන්න ගියත් ඒ වඩුබාසුන්නෑහැත් ජීවතුන් අතරේ නෑහැ. පවුලේ අයත් නෑහැ.. ඔහුගේ නිවසත් තිබුණේ නැහැ. ඔවැනි ඛේදනීය සිදුවීම් බොහොමයක් අපට දකින්නට අසන්නට ලැබුණා. ඒ නිසා මෙවර නත්තල අපි මහා ඉහලින් සමරන්නේ නැහැ. බොහොම පොඩියට නත්තල් ගස් දෙකක් හදනවා. අපට දරුවන්ගේ සිත් කඩන්නට බැහැ. ඒ හැර අපි මහා සැරසිලි කරන්නේ නැහැ.නමුත් වත්පිළිවෙත්,දේව වන්දනා පූජාවල්, ඒ විදියටම සිදුවෙනවා."
රවීන් සඳසිරි පෙරේරා පියතුමෝ වැඩිදුරටත් කරුණු දක්වමින් “ඉරිදා ලංකාදීපය”ට ප්‍රකාශ කළහ.
මෙවර නත්තලේදී - අලංකාර සැරසිලි වලට වඩා, කඳුළු අතරින් උපන් ප්‍රාර්ථනා, නිහතමානී විශ්වාසය හා මිනිස් එකමුතුව මෙහි සැබෑ අනුහස ලෙස දකින්නට හැකි වේ.
දේව මාතාවනි, රෝගී සහ දුකින් පීඩා විඳින සියලු දෙනාට සුවය, ශක්තිය සහ සැනසීම ලබා දෙන්න. හදවත් වල බලාපොරොත්තු අලුත් කර, ආදරය සහ සාමයත් සමග ජීවිතය ගමන් කරන්නට හැකියාව ලබා දෙන්න.
දිශානි ජයමාලි කරුණාරත්න
ඡායාරූප - සුමුදු හේවාපතිරණ

