කටුවන පාසල් සිසුවාගේ මරණය ඝාතනයක්


 

කටුවන පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ දුරකථනයට ඉකුත් 19 වැනි දින පෙරවරුවේ දුරකතන ඇමතුමක් ලැබුණේ කටුවන රෝහලේ වෛද්‍යවරයා ගෙන්ය. දැන් රෝහලට ළමයෙක් ගෙනාව. ළමයා මැරිල. මට මේ මරණය ගැන සැකයි. කරුණාකරල මේ ගැන සොයා බලන්න.   
කටුවන පොලිස් ස්ථානාධිපති පො. ප. සුදත් සුදසිංහ මහතා රිසිවරය තැබුවේ පොලිස් ජීප් රථය සූදානම් කර ගන්නා ලෙසට රියදුරට උපදෙස් දෙමින්ය. පොලිස් ජීප් රථය කටුවන රෝහල භූමියේ නතර කරන්නට රියදුරුට වැඩි වේලාවක් ගියේ නැත.   


පුංචි කොලු පැටියෙකුගේ දේහය රෝහලේ ඇඳක් මත තබා තිබුණු අතර ඔහුගේ මව මුළු රෝහල් භූමියම දෙවනත් කරමින් හඬන අයුරු පොලිස් ස්ථානාධිපතිවරයාගේද හිත සසල කළේය.   


වටින් ගොඩින් තොරතුරු ලබාගත් පොලිස් ස්ථානාධිපතිවරයා තම නිලධාරීන් කණ්ඩායමක් සමග වහා මිය ගොස් සිටි ළමයාගේ නිවස බලා ඇදුණේ බුද්ධි අංශ නිලධාරීන්ටද මුළු ප්‍රදේශයේම සෝදිසි මෙහෙයුමක් සිදු කරන ලෙසට නියෝගයක් ද කරමින්ය.   


කටුවන, වල්ගම්මුල්ල, පුවක්ගස්ආර ප්‍රදේශයේ පිහිටි මුරුතවෙල ගෙදරට පොලිස් නිලධාරීන් යන විටත් අවට ජනයා එක් රොක් වී සිටියහ. වසා තිබූ දොර විවෘත කළ පොලිස් ස්ථානාධිපතිවරයා මූලික සොයාබැලීමක් සිදු කළේ වඩාත් ආරක්ෂාකාරී පියවර ද අනුගමනය කරමින්ය.  
ජනේලයේ එල්ලී සිය දිවි හානිකර ගෙන ඇති බවට පවසමින් කටුවන රෝහලට රැගෙන ආ දරුවා ගේ ගෙල ප්‍රදේශය පරීක්ෂා කළ රෝහල් වෛද්‍යවරයා ට දකින්නට ලැබුණේ ගෙල වැල දමා ගෙන මිය ගිය අයෙකු ගේ අංග ලක්ෂණ මෙම කුඩා දරුවාගේ සිරුරේ පෙනෙන්නට නොමැති බවයි. ගෙල ප්‍රදේශය පරීක්ෂා කළ වෛද්‍යවරයා මෙම මරණය සැක සහිත බවට අවබෝධ කර ගෙන තිබුණි. අනතුරුව මරණයේ සුලමුල සොයා ගැනීම සඳහා සිරුර ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙතට යොමු කරන්නට පියවර ගත්තේය.   


මාතර හා හම්බන්තොට දෙදිසාවේ නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, තංගල්ල කොට්ඨාසයේ පොලිස් අධිකාරී වයි.එල්. ලීලවංශ, තංගල්ල කොට්ඨාස සහකාර පොලිස් අධිකාරී (1) රත්නවීර එල්. අඩස්සූරිය යන මහත්වරුන්ගේ උපදෙස් මත කටුවන පොලිස් ස්ථානාධිපතිවරයා පරීක්ෂණ ආරම්භ කරනු ලැබුවේ 13වැනි වියේ පසු වූ නඳුන් නෙත්සරගේ මරණය ඝාතනයක් බවට සැකකොටය.   

 

 


මිය ගිය පාසල් සිසුවාගේ සිරුර තිබී ඇත්තේ පොළව මට්ටමේ සිට අඩි තුන හතරකට වඩා උස නැති ජනේලයකට හේත්තු කොටය. ජනෙල් ලීයක හා දරුවාගේ ගෙල සිරවෙන ලෙස රෙදි පටියකින් බැඳ තිබූ බවද පොලීසිය පවසයි. ඝාතකයා දරුවා එල්ලී මැරී ඇති බවට සනාථ කිරීම සඳහා උත්සාහයක් ගෙන ඇති බවට පොලීසිය සැක පහළ කරයි.   
වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් බී.එච්. කරුණාසිරි මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළේය. ඉන් අනතුරුව කටුවන රෝහලේ තබා තිබූ මියගිය නඳුන් නෙත්සරගේ සිරුරුද පරීක්ෂා කොට සිද්ධියට අදාළව සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලීසියට නියෝග කළේය.   
නඳුන් නෙත්සර ගේ ඝාතකයා පිළිබද යම් හෝඩුවාවක් ලබාගැනීම සඳහා නිල සුනඛයෙකු ගෙන්වීමට ද පොලීසිය පියවර ගෙන තිබුණි. මියගිය නඳුන් නෙත්සරගේ ගෙල ගැට ගසා තිබු රෙදි කඩ ඉව ඇල්ලු පොලිස් නිල සුනඛයා නෙත්සර පදිංචිව සිටි නිවස ඉදිරිපිට ඇති කැලෑ රොද පීරමින් අතුරු මාර්ග කිහිපයක් දිගේ ගමන් කොට නැවත නඳුන් නෙත්සර පදිංචිව සිටි නිවස ආසන්නයට පැමිණ නැවතත් කැලෑ රොද දිගේ යන්නට වූවේය. නිල සුනඛයා භාරව සිටි පො. සැ. මහේෂ් මහතාගේ අදහස වූවේ ඝාතකයා සුනඛයා පසු පසින් පැමිණෙමින් ඇති බවට සැක කරන බවත් සුනඛයා එකම මාර්ගයේ ගමන් කරන්නේ ඒ නිසා බවත්ය.   


පොලිස් සථානාධිපතිවරයා වහාම සුනඛයා පසු පස පැමිණි සියයකට වැඩි පිරිසක් නතර කරනු ලැබීය. අනතුරුව සුනඛයා නඳුන් නෙත්සර ගේ නිවසට ආසන්නයේ ඇති නිවසට ගොස් නාන කාමරයට ද ගොස් නිවැසියන් අසල නතර වූවේය.   


නඳුන් නෙත්සරගේ ඝාතනයට සම්බන්ධ බවට සැක කරන අයෙකු පිළිබදව පොලීසිය ඇස ගසා ගෙන සිටි අතර එම පුද්ගලයා අසලම සුනඛයා නතර වීම පොලීසියේ සැකය තවත් තහවුරු කිරීමට හේතුවූවේය.   


කෙටි ප්‍රශ්න කිරීමකින් අනතුරුව සැක පිට තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සිද්ධිය දැක ගැනීමට පැමිණි සියයකට වැඩි පිරිසක් අතරින් බොහෝ පිරිසක් කෝප වී සිටි අතර සැකකරුට පහර දෙන්නටද උත්සාහයක් ගනු ලැබීය. පිරිස සංසුන් කිරීමට පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පියවර ගනු ලැබීය.  
කටුවන පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූවේ මහියංගණය, ඌව තිස්සපුර ප්‍රදේශයේ පදිංචි 21 වියේ පසු වූ තරුණයෙකු බව පොලීසිය පවසයි. අත්අඩංගුවට පත් තරුණයාගේ සහෝදරිය පදිංචිව සිටින්නේ තරුණයා නැවතී සිටි නිවසේ බව පොලීසිය පවසයි. අත්අඩංගුවට පත් තරුණයා අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතා කරන අයෙකු බවද ඔහු සතුව තිබූ දුරකතනය සතුව තිබූ සියලු දත්තයන් මකා දමා තිබූ බවද පොලීසිය පවසයි. තරුණයා ගෙන් පොලීසිය ප්‍රශ්න කළ අතර ඔහු වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ පැය 24 ක රැඳවුම් නියෝගයක් ද ලබාගෙන සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය ප්‍රශ්න කරනු ලැබීය. අනතුරුව අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරු ලබන මස 04 දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙසට මහෙස්ත්‍රාත් සුරංග මුණසිංහ මහතා නියෝග කොට තිබිණි. 

 
ඉකුත් 20 දින ඇඹිලිපිටිය රෝහලේදි මියගිය නඳුන් නෙත්සරගේ මරණයට හේතුව කුමක්දැයි අනාවරණය කරගැනීමට පරීක්ෂණයක් සිදුකළ අතර විශේෂඥ අධිකරණ වෛද්‍ය එම්.ඩබ්ලිව්.කේ.එම්. විජේතුංග මහතා ගේ නිගමණය වූයේ නඳුන් නෙත්සරගේ ගෙල සිර කිරීමෙන් මෙම මරණය සිදුවී ඇති බවයි. ඝාතනය කරන ලද නඳුන් ට ලිංගික අප යෝජනයක් කර ඇත්දැයි සොයාබැලීම සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කොට ඇතැයි ද පොලීසිය පවසයි.   
අත්අඩංගුවට ගත් සැකකරු සිද්ධියේ වගකීම භාර ගෙන නැති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. ඒ අනුව තාක්ෂණික ක්‍රම වේද උපයෝගී කරගෙන නදුන් නෙත්සරගේ ඝාතකයා නිශ්චිත වශයෙන් හඳුනාගැනීම සඳහා පොලීසිය කටයුතු කරමින් සිටී.   


මේ රටේ බොහෝ අපරාධ සිදු වී ඇති බවත් එම අපරාධවලට මව, පියා, වැඩිහිටියන්, බිරිද ස්වාමියා යන සියලු කොටස් පවා චෝදනා ලැබ තිබෙන බව පොලීසිය පවසයි. එමෙන්ම අධිකරණ මගින් සියලු පාර්ශවයන්ට දඬුවම් ලබා තිබෙනවා. අපි කිසිවෙකු විශ්වාස කරන්නේ නෑ. අපි සියලු දෙනා ගැන සැකයෙන් බලනවා. ඒ අනුව පරීක්ෂණ කොට අපරාධකරු නිශ්චිත වශයෙන් ඉදිරි දින කිහිපය තුළ සොයා ගන්නවා’ යැයි කටුවන පොලිස් ස්ථානාධිපති පො. ප. සුදත් සුදසිංහ මහතා පැවසීය.   


2006 වසරේ අගොස්තු මස 24 වැනි දින මෙලොව එළිය දුටු නඳුන් නෙත්සර ඩයස් ගුණවර්ධන පවුලේ වැඩිමලා වූවේය. බොහෝ නිසොල්මන් චරිතයක් වූ නඳුන් නෙතසර ඉගෙනුම ලැබූවේ කටුවන, වල්ගම්මුල්ල මහා විද්‍යාලයේ 08 වැනි වසරේය. තම පියා සමග උදේ පාසලට යන නඳුන් පාසල ඇරී නිවසට එන්නේ තම පාසල් මිතුරන් කිහිප දෙනෙකු සමගය.   
නඳුන් ඉගෙනුම ලැබූ පන්තියේ සිසු දරුවන් හමු වූ අප, ‘නඳුන් ඔය දරුවන් ගේ යාළුවෙක්’දැයි ඇසූවිට බොහෝ පිරිසක් කදුළු සලන්නට වූහ. පන්ති භාර ගුරුතුමිය වූ විනීතා දමයන්ති මහත්මියද නඳුන් ගැන මතකය අවදි කරනු ලැබූවේ කඳුළු සලමින්ය. මේ රටේ බොහෝ ගුරුවරු තම දරුවාට මෙන්ම තමන්ගෙන් ශිල්ප හදාරන දරුවන්ටද දක්වන්නේ කුමන සෙනෙහසක්දැයි විනීතා දමයන්ති ගුරූ මාතාව අපට පසක් කර දුන්නාය.

 

 

 

සටහන-ඡායාරූප රන්න චන්ද්‍රසේන ගමගේ