ඇඟලුම් නිෂ්පාදනය සහ අපනයනය ලංකාවේ අපනයන ආදායමේ ප්‍රධානතම අංගයකි. වසර දෙකකට පෙර ඇඟලුම් ක්ෂේත්රයේ ලක්ෂ පහක සේවක පිරිසක් රැකියාවේ නිරතව සිටියත් මේ වන විට එම ප්‍රමාණය තුන් ලක්ෂ පනස් දහස දක්වා අඩු වී තිබේ.
ලංකාවේ ඇඟලුම් අපනයනයෙන් වැඩිම කොටස මිලදී ගන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය විසිනි. එම ප්‍රමාණය මෙරට සමස්ත ඇඟලුම් අපනයනයෙන් සියයට විසිතුනකි. 2024 වසරේදී සමස්ත ඇඟලුම් අපනයන ආදායම වූ ඇමෙරිකානු ඩොලර් බිලියන හතරක මුදලෙන් බිලියන දෙකකට ආසන්න මුදලක් ලැබී ඇත්තේ ඇමෙරිකාවට කළ ඇඟලුම් අපනයනයෙනි.
ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉකුත් දිනවල ලංකාව ඇතුළු රටවලට පැනවූ අධික තීරුබදු ප්‍රතිශතය මේ වන විට තුන් මාසයක කාලයක් සඳහා අත්හිටුවා ඇතත්, ඉදිරියේදී එම බදු ප්‍රමාණය ක්‍රියාත්මක වීමෙන් ඇමෙරිකානු වෙළෙඳපොළෙන් යම්කිසි විශාල කොටසක් මෙරට ඇඟලුම් කර්මාන්තයට අහිමි වීමේ අවදානමක් මතුව ඇත. මෙරට අපනයන ආදායම ඉහළ ගියේ ඇමෙරිකානු වෙළෙඳපොළ මෙරට ඇඟලුම්වලට විවෘත වීමත් සමගය. 1977 සිට 1994 දක්වා පැවැති එ.ජා.ප. රජය ගත් පියවර එයට හේතුවය.
මෙරට රෙදිපිළි ජාත්‍යන්තර වෙළෙඳපොළේ තරගකාරි අලෙවිය සඳහා ඉදිරිපත් කිරීමේ සැලසුම ඉදිරිපත් වූයේ 1978 දී එ.ජා.ප. රජය ආරම්භ කළ මහ කොළඹ ආර්ථික කොමිසම හා නිදහස් වෙළෙඳ කලාපය මගිනි. මහ කොළඹ ආර්ථික කොමිසමේ සැලසුම වූයේ ඇඟලුම් නිෂ්පාදනයෙන් අපනයන කටයුතු අරඹා යටිතල පහසුකම් වැඩි දියුණු වූ පසු ඉහළ තාක්ෂණය සහිත විද්‍යුත් උපකරණ නිෂ්පාදන සමාගම් ගෙන්වා ගැනීමය. එහෙත් ඇඟලුම් අංශයෙන් සාර්ථක වුව ද ඉහළ තාක්ෂණයෙන් යුත් විද්‍යුත් උපකරණ සමාගම් පැමිණියේ නැත.
1977 පත්වූ එ.ජා.ප. රජය ඇමෙරිකා රජය සමග “බහු කෙඳි ගිවිසුමට” අත්සන් කිරීම මෙරට ඇඟලුම් ව්‍යාපාරයේ ඓතිහාසික සංධිස්ථානයක් විය. එම ගිවිසුමට අත්සන් කළ රටවල් සමග ඇමෙරිකානු ආයෝජකයන් සබඳතා පැවැත්වූ අතර, ඇතැම් ඇමෙරිකා සමාගම්වල ශාඛා කාර්යාල ද එම රටවල විවෘත විය. “බහු කෙඳි ගිවිසුම” යටතේ එම රටවලට ඇමෙරිකාවෙන් අමුද්‍රව්‍ය සැපැයුණු අතර, නිපදවන ඇඟලුම්වලින් කොටසක් බදු රහිතව ඇමෙරිකාවට ගෙන්වා ගන්නට එම ව්‍යාපාරිකයෝ කටයුතු කළහ. මෙරට ඇඟලුම් ආදායම ඩොලර් ලක්ෂ ගණනක්ව තිබූ එම යුගයේ ඇමෙරිකානු වෙළෙඳපොළට ඇතුළු වීමට ලැබීම විශාල වාසියක් විය.
ඇමෙරිකානු ආයෝජකයකු වන මාර්ටින් ට්‍රස්ට් 1986 වසරේ මෙරට එල්.එම්. ඇපරල් සමග හවුල් ව්‍යාපාරයක් ඇරැඹීම ද මෙරට ඇඟලුම් ඇමෙරිකානු වෙළෙඳපොළට පිවිසීම සඳහා විශාල අවස්ථාවක් විය. එල්.එම්. ඇපරල් පසුව බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරය බවට පත්විය. ඔහු ජනාධිපති ප්‍රේමදාස ඇරැඹූ ඇඟලුම් කම්හල් දෙසීයේ වැඩසටහනට ඍජුවම සම්බන්ධ වී ඇමෙරිකාවෙන් ලබාදෙන කෝටා ප්‍රමාණය යටතේ මෙරට ඇඟලුම් ඇමෙරිකාවේ වෙළෙඳපොළ තුළ ප්‍රචලිත කිරීමට උර දුන්නේය.
ලංකා ආර්ථිකයේ විශාල පිබිදීමක් ඇති වූයේ විදේශ ආයෝජන නිසාය. විදේශ ආයෝජකයන් මෙරටට පැමිණ තම කම්හල් තුළ නිෂ්පාදනය කරන භාණ්ඩ විදේශ වෙළෙඳපොළට යැවීම මගින් රටේ ඩොලර් සංචිතය තර වෙයි. විදේශ ආයෝජන රටකට මහා සම්පතකි. අතීතයේදී ඒ සඳහා මහ කොළඹ ආර්ථික කොමිසම ලෙස ආරම්භ වී, පසුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ලෙස නම වෙනස් වූ ආයතනය විශාල දායකත්වයක් ලබා දුන්නේය. 1994 බලයට පත්වූ රජය යටතේ 2000 වසර පසු කරන විට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කොඳු නාරටිය කඩා දමා තිබිණි. ලංකාවේ ඇඟලුම් ක්ෂේත්රය අද ලබා ඇති දියුණුවට රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ආරම්භ කළ ගමට ඇඟලුම් කම්හල් ගෙන යාමේ ඇඟලුම් කම්හල් දෙසීයේ වැඩසටහන විශාල සේවයක් ඉටු කර ඇති වග සටහන් කළ යුතුය. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ රජය ඇති කළ නිදහස් වෙළෙඳ කලාපවල පමණක් මුල් යුගයේ පැවැති ඇඟලුම් කම්හල් රට පුරා ව්‍යාප්ත වූයේ ප්‍රේමදාස ජනාධිපතිවරයා වශයෙන් පත්වී ආරම්භ කළ ඇඟලුම් කම්හල් දෙසීයේ වැඩසටහන අනුවය.
මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල ආයෝජන මණ්ඩල සභාපතිවරයාව සිටි යුගයේ ඇමෙරිකා එක්සත් ජනපදයට මෙරට ඇඟලුම් සහ නිමි භාණ්ඩ යැවීම වේගවත් විය. මහාචාර්ය වටවල අද ඒ පිළිබඳව මෙසේ සිහිපත් කරයි.
“ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වැඩි ඇඟලුම් කෝටා ප්‍රමාණයක් අපට ලැබුණේ 1991 වසරේදී. ඒ වන විට ඇඟලුම් කම්හල් දෙසීයේ ව්‍යාපෘතිය යටතේ රට පුරාම ඇඟලුම් කම්හල් පිහිටුවීමට රජය පියවර ගෙන තිබුණා. ඇමෙරිකාවේ ගැනුම්කරුවන් සඳහා කෝටාවක් අපටත් ලැබී තිබුණා. මෙම කෝටාව ආයෝජන කලාපවල ඇඟලුම් ආයතන සහ ඇඟලුම් කම්ගල් දෙසීයේ වැඩසටහන යටතේ පිහිටුවූ කම්හල් සඳහා බෙදා වෙන් කර දුන්නා. 1987 පමණ වෙනකොට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 579ක වගේ ආදායමක් තමයි තිබුණේ. ඒක ප්‍රධාන ආදායමක් නොවෙයි. 1991 වසරේදී ඇමෙරිකාවට කළ ඇඟලුම් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක ආදායමක් ලැබුණා. මේ තත්වය ටිකෙන් ටික දියුණු වුණා...” මහාචාර්ය වටවල සඳහන් කරයි.
1989 වසර වන විට ඇඟලුම් ඇතුළු ආයෝජන කලාප කර්මාන්තවලින් ලද අපනයන ආදායම රුපියල් මිලියන 47,605ක් විය. 1990 වසරේදී මිලියන 65,130ක් ද, 1992 වසරේදී මිලියන එක්ලක්ෂ තිස්එක් දහස් හත්සිය දොළහක් ද, 1993 වසරේදී මිලියන දෙලක්ෂ අටදහස් තුන්සිය පහ දක්වා ද ආදායම ඉහළ නැග්ගේය.
නිදහස් වෙළෙඳ කලාපයේ ඇතැම් සමාගම් ආදායම් ලැබුවේ ඇමෙරිකාවේ වෙළෙඳපොළට රෙදි ආශ්රිත වෙනත් නිෂ්පාදන සැපැයීමෙනි. “ටෙයි ෂයි හැට්ස් ලංකා” සමාගම හිස්වැසුම් නිපදවන කර්මාන්තශාලාවකි. එම සමාගම 1994 වසර වන විට දිනකට හිස්වැසුම් දුසිම් 500ක් (තොප්පි හයදහසක්) නිපදවීය. එම සම්පූර්ණ ප්‍රමාණයම අපනයන කරන්නේ ඇමෙරිකානු වෙළෙඳපොළටය. එකක් ඩොලර් 8ක මුදලකටය. 1994 වැනි ඈත කාලයකත් ඇඳුම්වලින් බාහිරව රෙදි ආශ්රිත කර්මාන්තවලින් ඇමෙරිකානු වෙළෙඳපොළ ග්‍රහණය කරගන්නට ලංකාවේ ඇඟලුම් නිෂ්පාදකයෝ සමත්ව සිටියේය.
ප්‍රකට ව්‍යාපාරිකයකු වන, හිටපු ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රී තිලක් කරුණාරත්න ඇඟලුම් ක්ෂේත්රයේ ඇමෙරිකානු පිවිසුම ගැන මෙවැනි අදහසක් පළ කරයි.
“මැතිනිගෙ ආණ්ඩු කාලේ 1975දීත් ඇඟලුම් කම්හල් දෙක තුනක් මෙරට ක්‍රියාත්මක වුණා. කලිසම් සහ කමිස තමයි මහලා රට යැව්වේ. නිදහස් වෙළෙඳ කලාප ආවාම ආයතන දෙක තුනක් ඇමෙරිකාවට රෙදි යැව්වා. මුල් කාලයේ ඇඟලුම් සඳහා තිබුණේ කෝටා එකක්. පසු කාලීනව කෝටා ක්‍රමය නැති වූ පසු කලිසම් කමිස වෙනුවට ඉහළ මිලකට විකිණෙන කාන්තා පිරිමි යට ඇඳුම් ආදියට ඇඟලුම්කරුවෝ යොමු වුණා. එවැනි නිෂ්පාදනවල තාක්ෂණ ඉහළයි. මිලත් වැඩියි. මේ වෙනකොට අපේ ඇඟලුම් ඒ අංශයෙන් තමයි වඩාත්ම ඇමෙරිකාවට යන්නේ. ඊළඟට මංගල ඇඳුම්. එරට දුප්පත්ම කෙනකුගේ පවා මංගල ඇඳුමක් ඇමෙරිකා ඩොලර් දෙදහස් පන්සියයක් පමණ වෙනවා. ධනවත් අයගේ ඊට වඩාත් බොහොම ඉහළයි. එවැනි මංගල ඇඳුම්වල අමතර අංගෝපාංග වැඩි වෙනකොට මිල තවත් ඉහළ යනවා. බ්‍රයිඩ්ල් වෙයා ක්ෂේත්‍රයත් මෙරටට වැඩි ඩොලර් ප්‍රමාණයක් ගෙන එනවා. මලික් සමරවික්‍රමගේ කැබිතිගොල්ලෑව බ්‍රයිඩ්ල් වෙයා ෆැක්ටරියත් ඉහළ මට්ටමේ මංගල ඇඳුම් ඇමෙරිකානු වෙළෙඳපොළට සපයනවා. කෝටා ක්‍රමය අවසන් වූ පසු අපේ ඇඟලුම් ආයතන යට ඇඳුම්, ක්‍රීඩා ඇඳුම් හා මංගල ඇඳුම් අංශයෙන් ඇමෙරිකානු වෙළෙඳපොළ තුළ ස්ථාවර වී සිටිනවා...” තිලක් කරුණාරත්න සඳහන් කරයි.
ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල ලංකාවේ නිෂ්පාදිත යට ඇඳුම් ජනප්‍රිය වීමත් සමග එයට ඈඳුණු උප කර්මාන්ත ද වේගයෙන් දියුණුවට පත්විය. යට ඇඳුම්වලට යොදන ඉලාස්ටික් වර්ග එයට උදාහරණයකි. අද රට යැවෙන යට ඇඳුම් සඳහා අවශ්‍ය ඉලාස්ටික් සම්පූර්ණ ප්‍රමාණයම මෙරට නිෂ්පාදනය වෙයි. නූල් ද විශාල ප්‍රමාණයක් මෙරටම නිෂ්පාදනය වෙයි. හේලීස් සමාගම යටතේ රෙදි විශාල ප්‍රමාණයක් ද මෙරටදීම නිෂ්පාදනය වෙයි.
ශ්‍රී ලංකාව ඇඟලුම්වලට අමතරව ඇමෙරිකාවට ඊළඟට වැඩියෙන්ම සපයන්නේ ගල් ටයර්ය. සියයට සියයක්ම පිරිසුදු රබර්වලින් නිපදවන ගල් ටයර් විශාල ප්‍රමාණයේ යන්ත්‍ර සූත්‍ර සඳහා යොදා ගැනෙයි. ලෝකයට හොඳම ගල් ටයර් සපයන්නා ද ශ්‍රී ලංකාවය. ඉකුත් වර්ෂයේදී ඇඟලුම්වලින් ඩොලර් මිලියන 2000ක් මෙරට උපයා ගනිද්දී, ටයර් ඇතුළු රබර් නිෂ්පාදන අපනයනයෙන් උපයාගත් මුදල ඩොලර් මිලියන 500කි.
ප්‍රයිම් මුවර්ස්, ට්‍රැක්ටර්, බැකෝ යන්ත්‍ර සහ විශාල ප්‍රමාණයේ රෝද ඇති ට්‍රේලර් සඳහා ඇමෙරිකාවට ටයර් සපයන්නා ශ්‍රී ලංකාව බව බොහෝ දෙනා නොදන්නා තොරතුරක් විය හැකිය. ලෝක ප්‍රකට ජෝන් ඩියර් සමාගමට ද මෙරටින් ටයර් සැපැයෙයි. මිචලින්, සියැට් සහ යොකෝහාමා යන ජාත්‍යන්තර ප්‍රකට ටයර් සමාගම්වල ශාඛා ද මෙරට තුළ ආරම්භ කර ඇත.
එවැනි වාසිදායක තත්ත්වයක් ලෝකයේ ටයර් හා රබර් ක්ෂේත්රය තුළ පවතිද්දී මෙරට ස්වභාවික රබර් නිෂ්පාදනය අඩු වීම ප්රශ්නයකි. රබර් වගාවෙන් ජනතාව ඈත් වීම එයට හේතුවය. මේ වන විට මෙරට වියට්නාමයෙන් රබර් ආනයනය කර එම හිඟය පියවා ගැනීමට කටයුතු කළ ද ඒ සඳහා ද විදේශ විනිමය විශාල ප්‍රමාණයක් වැය වෙයි. රබර් වගාවට ජනතාව උනන්දු කරවීම ඒ සඳහා ඇති පිළියමය.
ප්‍රේමකීර්ති රණතුංග