ආපදාව කෘෂිකාර්මික අංශයට ඇති කරන බලපෑම


දින කිහිපයක් තුළ සිදුකළ හානිය සුළුපටු නොවෙයි. අපගේ බොහොමයක් නිෂ්පාදනය රඳා පවතින්නේ විවෘත භූමිවල, විශේෂයෙන් සමස්ත ශ්‍රම බලකායෙන් පමණම සිටින්නේ කෘෂි අංශයේ, ඒ අනුව කෘෂිකාර්මික රටක ‍ග්‍රාමීය අංශය ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස කෘෂිකර්මය ජීවනෝපාය කරගත් පිරිසකගේ ජීවන වෘත්තියට සිදුකරන බලපෑමත්, නාගරික ජනතාවට පාරිභෝජනය සඳහා අවශ්‍ය එළවළු සහ අනෙකුත් ආහාර සැපයීම මෙන්ම ඔවුන්ගේ ද සමස්ත පරිභෝජනයට සිදුකරන බලපෑමත් යන දෙඅංශයෙන් ආහාර සුරක්ෂිතතාවට මෙම හානිය සෘජුවම බලපානවා. 

ඒ නිසා  ඇතිවිය හැකි හානිකර තත්වයන්  පාලනයට හෝ අවම කරගැනීමට කෙටිකාලීන මෙන්ම දිගුකාලීන සැලසුම්වලට යා යුතු වෙනවා. මෙම අංශය කඩා නොවැටී රැකගැනීමට අප සියලු දෙනාටම ලොකු වගකීමක් තියෙනවා, කොහොම වුණත් අප මේ පිළිබඳ කටයුතු කිරීමේ දී පෙර ඇති වූ තත්ත්වයන්ද සැලකිල්ලට ගත යුතු වෙනවා. 

මෙවන් ආපදා ඇති වූ පළමු අවස්ථාවත් අන්තිම අවස්ථාවත් මෙය නොවන නිසා. නොවැම්බර් මාසය පිළිබඳ පසුගිය වසර 10 ක් සලකා බැලු‍වහොත් සෑම වසරකම කුමන හෝ වගා හානියක් මෙම කාලසීමාවෙහි සිදුව තියෙනවා, පසුගිය වසරෙත් කුඹුර හෙක්ටයාර් 125,000 ක් පමණම සම්පූර්ණයෙන්ම හානි වුණා. අපේ සමස්ත වී නිෂ්පාදනයට සිදු වූ බලපෑම සියයට 10 - 12 වගෙ ප්‍රමාණයක්. 

මෙවර හානිය වගාවට පමණක් නොවන නිසා තත්වය ගොඩක් වෙනස්, වගාවට පමණක් නොව වගාභූමියට, වාරිමාර්ග පද්ධතියට සිදුව ඇති සැලකිය යුතු හානිය නිසා මේ සඳහා රජය විශේෂ මැදිහත්වීමක් සිදුකරන්න අවශ්‍ය වෙනවා,

ගොවියාට රජයෙන් දිය යුතු සහාය 

මේ අවස්ථාවේ දී වගා බිම් ඇතුළු සැලකිය යුතු හානියක් ඇතිව තිබෙන ගොවි ජනතාවට තම ස්වෝත්සාහයෙන් නැගීසිටිය හැකි සීමාවක් තිබෙනවා. එතනින් එහාට අවශ්‍ය සම්පූර්ණ සහයෝගය රාජ්‍ය අංශය මගින් ලබාදිය යුතු වෙනවා. මේ වෙලාවේ විශාල වශයෙන්ම යටිතල පහසුකම් ලෙස මහාමාර්ග, වැව් අමුණු, විශේෂයෙන් කුඩා පරිමාණ මෙන්ම මහා පරිමාණ වැව් සහ වගා බිම් විශාල වශයෙන්ම හානියට පත්වෙලා තිබෙනවා. 

කුඹුරුවල වැලි ගොඩවීම් දක්නට ලැබෙනවා. මේවා ඉවත් කරගෙන නැවත වගා බිම් යථාතත්ත්වයට පත්කරදීලා වැව්අමුණු නිසි ලෙස පිළිසකරදීලා ඒ වගාවන්ට අවශ්‍ය පහසුකම් ටික ලබාදීම මේ අවස්ථාවේදී රජයක් විසින් කළ යුතුව තිබෙනවා. 

එසේ නොමැති වුණොත් අපට කෙටිකාලීනව මෙන්ම දිගුකාලීනව ද ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ලොකු ගැටලු‍වක් වෙන්න පුළුවන්. මෙය වෙනත් අවස්ථාවලදී කෘෂිඅංශයට සිදුවූ බලපෑමට වඩා එහා ගිය බලපෑමක් වෙන්න පුළුවන්. මෙය පේරාදෙණිය කෘෂි ප්‍රධාන කාර්යාලයේ පටන් බොහෝ කෘෂි අංශවල ආයතන පද්ධතිවලට හානිවී තියෙන වේලාවක්. 

අභියෝග, කෙටිකාලීන හා දිගුකාලීන සැලසුම් 

ආහාර සුරක්ෂිතතාව පිළිබඳව නිවැරදි පුරෝකථනයක් සිදුකර රජයට අවශ්‍ය නිවැරදි තීරණ ගැනීම වෙනුවෙන් පවතින විශාලතම අභියෝගය වනුයේ කෘෂිකර්මාන්තය ආශ්‍රිතව පවත්නා වගා බිම් ප්‍රමාණය, භෝග වර්ග, ආපදාව වනවිට පැවති තත්ත්වය වැනි දත්ත හා තොරතුරු නිවැරදිව ප්‍රමාණවත්ව පවතිනවා ද යන්නයි. මේ සඳහා නව්‍යකරණයකින් යුතු ඩිජිටල්කරණය මත පදනම් වූ විධිමත් දත්ත පද්ධතියක අවශ්‍යතාව කෘෂිකර්ම අංශයෙහි දැඩිව පවතින බව මෙවැනි ආපදා තත්ත්වයකදී මැනවින් කියාපානු ඇත. එම නිසා ආහාර සුරක්ෂිතතාව පිළිබඳව ඇතිවෙන්නා වූ අවිනිශ්චිත තත්ත්වයන් නිවැරදිව පුරෝකථනය කරගත නොහැකිවීමෙන් තවදුරටත් අපේක්ෂා කළ නොහැකි අසාමාන්‍ය මිල උච්චාවචන සිදුවීමට ඇති හැකියාව වැඩිය. ඒ අනුව පාරිභෝගිකයා, නිෂ්පාදකයා, මෙන්ම පවත්නා රජයන් ද අපහසුතාවට පත්වීම වැළැක්විය නොහැකි කරුණකි.  මෙම අවස්ථාවේ කෘෂිකර්මයට අදාළ සියලු අංශ, ආයතන ඒකාබද්ධව නිවැරදි දත්ත ලබාගත හැකි යාන්ත්‍රණයක් සැකසිය යුතුයි. මෙය ප්‍රධානතම අභියෝගයක්. එතනින් එහාට අපට කෙටිකාලීන සහ දිගුකාලීන සැලසුම් පෙන්වා දෙන්නත් ක්‍රියාත්මක කරන්නත් පුළුවන් වෙනවා. ඕනෑම ආපදා කළමනාකරණ ක්‍රියාවලියක සාර්ථකත්වය රඳා පවතින්නේ තීරණ ගැනීමේදී භාවිත කරන දත්තවල නිරවද්‍යතාව මතයි. කෘෂි අංශයේ හානියට විසඳුම් සෙවීමේදී නිවැරදි දත්ත ඉතා වැදගත්වන්නේ මේ නිසයි.

කෘෂි අංශයේ හානියට කෙටිකාලීන විසඳුම්

කෙටිකාලීන විසඳුම් යොමු විය යුත්තේ ගොවීන්ගේ ජීවනෝපායන් ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සහ ඉදිරි කන්නය සඳහා ඔවුන් සූදානම් කිරීම කෙරෙහිය.

වන්දි සහ මූල්‍ය සහාය: හානියට පත් වූ භෝග, ගොවිපළ උපකරණ සහ පශු සම්පත් සඳහා ඉක්මන් හා ප්‍රමාණවත් වන්දි ලබා දීම.

ගොවීන්ට නැවත වගා කටයුතු ආරම්භ කිරීමට අඩු පොලී ණය යෝජනා ක්‍රම හෝ සෘජු මුදල් ආධාර සැපයීම.

යෙදවුම් සැපයීම: බීජ, පැළ, පොහොර සහ අනෙකුත් කෘෂි රසායන ද්‍රව්‍ය කඩිනමින් හා සහනදායී මිලට ලබාදීම.

ප්‍රමාද වී හෝ කෙටිකාලීන වගාවට සුදුසු කල් පිරෙන බෝග වර්ග හඳුන්වා දීම.

තාක්ෂණික සහාය සහ උපදේශන: ගංවතුරෙන් පසු පසේ තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට සහ රෝග පාලනයට අදාළව කෘෂිකර්ම නිලධාරීන් මගින් උපදෙස් ලබා දීම.

ගංවතුරෙන් පසු වගා කළ හැකි නව භෝග වර්ග සහ පස ප්‍රතිෂ්ඨාපන ක්‍රම (Soil restoration)  පිළිබඳ දැනුම්වත් කිරීම.

ජල කළමනාකරණය: අවහිර වූ වාරිමාර්ග හා ජල අපවහන මාර්ග කඩිනමින් පිරිසිදු කර ප්‍රතිසංස්කරණය කිරීම.

කෘෂි අංශයේ හානියට දිගුකාලීන විසඳුම්

දිගුකාලීන විසඳුම් මගින් අනාගතයේදී ඇති විය හැකි සමාන ආපදාවලට ඔරොත්තු දෙන තිරසාර කෘෂිකාර්මික පද්ධතියක් ගොඩනැගීම ඉලක්ක කළ යුතුය.

ව්‍යුහාත්මක වැඩිදියුණු කිරීම්: වාරිමාර්ග සහ ගංවතුර පාලන පද්ධති වැඩිදියුණු කිරීම, ජලාශවල ධාරිතාව වැඩි කිරීම සහ ගංගා නිම්නවල ගංවතුර වැළැක්වීමේ ක්‍රමවේද ස්ථාපිත කිරීම.

ගොවිබිම්වල ජලය බැසයාම වැඩි දියුණු කිරීම සඳහා නව ජල අපවහන පද්ධති සැලසුම් කිරීම.

ආපදා ඔරොත්තු දෙන කෘෂිකර්මය: ගංවතුරට ඔරොත්තු දෙන භෝග වර්ග (විශේෂයෙන් වී වැනි ප්‍රධාන භෝග සඳහා) පර්‌යේෂණ කිරීම සහ ඒවා ප්‍රවර්ධනය කිරීම.

විවිධාංගීකරණය වූ වගා රටා (Diverted cropping patterns)  ප්‍රචලිත කිරීම - එක් භෝගයක් පමණක් වගා කිරීමේ අවදානම අඩු කිරීම.

කෘෂිකාර්මික රක්ෂණ යෝජනා ක්‍රම ශක්තිමත් කිරීම සහ පුළුල් කිරීම, විශේෂයෙන්ම කුඩා පරිමාණ ගොවීන් සඳහා.

භූමි හා සම්පත් කළමනාකරණය: ගංවතුර අවදානම් කලාප හඳුනාගෙන, එම ප්‍රදේශවල වගා කිරීම සඳහා වඩාත් සුදුසු භූමි භාවිත සැලසුම් (Land-use planning)  සකස් කිරීම.

ස්වාභාවික ගංවතුර ආරක්ෂණ පියවර (වගුරු බිම් සංරක්ෂණය, වන වගාව) ප්‍රවර්ධනය කිරීම.

කාලගුණික විපර්යාසවලට අනුගතවීම: කෘෂිකාර්මික අංශය සඳහා වැඩිදියුණු කළ කාලගුණ අනාවැකි සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති (Early Warning Systems)  ස්ථාපිත කිරීම.

නවීන ජල කළමනාකරණ තාක්ෂණය (උදා: ස්මාර්ට් වාරිමාර්ග) භාවිත කිරීමට ගොවීන් පුහුණු කිරීම.

මෙම කෙටිකාලීන සහ දිගුකාලීන විසඳුම් රජය, කෘෂිකර්ම අමාත්‍යාංශය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ගොවි ප්‍රජාව අතර සමීප සහයෝගීතාවෙන් යුතුව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. 2025 නොවැම්බර් ගංවතුරෙන් පෙනී යන්නේ කෘෂිකර්මාන්තය කෙටි, මධ්‍ය, දිගු කාලීන ක්‍රියාමාර්ග එකම දර්ශනයට යටත් කරමින්, Climate-Resilient Agriculture  වෙත ශ්‍රී ලංකාව වහාම ගමන් කළ යුතු බවය.

කෙටිකාලීනව වෙළෙඳපොළ ඉල්ලු‍මට, සැපයුමට මෙන්ම මිලට කරන බලපෑම

වැස්සට හසු වූ වගා බිම්වල ඇති නිෂ්පාදන එකවර වෙළෙඳපොළට පැමිණීම නිසා ඇතැම් වර්ග විශේෂයෙන් ගෝවා, ලීක්ස් නෝකෝල් වැනි වර්ග නිෂ්පාදන ප්‍රදේශයන්හි පවතින ආර්ථික මධ්‍යස්ථානවල තොග මිලගණන්වල පහළ අගයක් ගත හැකිය. නමුත් පාරිභෝගික ප්‍රදේශවලට පැමිණීමේදී දැනට පවතින ප්‍රවාහන අපහසුතා මත සහ ඒ ඒ එළවළු වර්ගයන්හි තත්වය (Quality)  මත මිල ගණන්වල සැලකිය යුතු වෙනස්කම් තොගමිලට සමානුපාතිකව පැවතිය හැකිය. නමුත් මේ තත්වය කෙටිකාලීනයි. 

එම නිසා මේ අවස්ථාවේ අසාමාන්‍ය මිල ගණන්වලට මිලදී ගැනීමට නොගොස් ඉල්ලු‍ම පහළයාම ඇතිකර මිල මට්ටම පහළ දමා ගතහැකි වනු ඇත. විශේෂයෙන් පවතින නිෂ්පාදන ප්‍රමාණයන් හොටෙල් ක්ෂේත්‍රය ඉලක්කකර ඉහළ මිලකට අලෙවි වේ. එම නිසා පාරිභෝගිකයා අසාමාන්‍ය මිල ගණන්වලට මිලදී ගැනීම්වලට නොයා යුතුය. මේ සඳහා කෙටිකාලීනව පාරිභෝගිකයා ආදේශන වෙත යොමුව ඉතා ඉහළ මිල ගණන්වලට එළවළු මිලදී නොගත යුතුය. එම ඉහළ මිල නිෂ්පාදකයාට ද නොලැබෙනු ඇත. 

රජය විසින් මේ සඳහා දැනට පවතින ආනයනික අර්තාපල්, ලොකුලූනු, ටින් මාළු, හාල්මැස්සන්, මුං ඇට වැනි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයන්හි පවතින බදු ඉවත්කර හෝ අඩුකර මිල සහනයක් ලබාදීමට අවශ්‍ය කටයුතු කළයුතුය. අසාමාන්‍ය මිල ගණන්වලට එළවළු අලෙවි වෙන්නේ නම් එම භෝග අවම වශයෙන් සංචාරක හෝටල් ක්ෂේත්‍රයට අවශ්‍ය ප්‍රමාණය ආනයනයට කෙටිකාලීනව අවසර ලබා දිය යුතුයි. 

පෙබරවාරි මැද වෙනතුරු ඉහළ නිෂ්පාදනයක් උඩරට ප්‍රදේශයෙන් අපේක්ෂා කළ නොහැකි නිසා, දැනට ආපදාවට ලක්ව ඇති නුවරඑළිය, බදුල්ල මෙන්ම මහනුවර දිස්ත්‍රික්කයන්ගෙන් මෙම කාලසීමාව තුළ සෑම වසරකම ආපදාවක් නොවුණත් පවතින සැපයුම අවම මට්ටමකයි පවතින්නේ. පහතරට එළවළු නිෂ්පාදනය කරන දිස්ත්‍රික්කයන්හි සැපයුම් තත්ත්වයක් පවතිනවා. ඉදිරි සති දෙක කාලයෙහි දැනට පවතින අසාමාන්‍ය මිල මට්ටම් යම් පාලනයකට ලක්වෙන්න පුළුවන්.

ඇතිව තිබෙන තත්වය පෙර වසරවල පැවති තත්වයන් සමග ගැළපීමේ දී එය කෙතරම් දැඩි එකක් වුවද මෙම ආපදාව ඇති වූ කාලය සහ මෙම කාලසීමාවෙහි වෙනත් වසරවල නිෂ්පාදනය සහ මිල ඉල්ලුම් සැපයුම් තත්ත්වයන් කෙසේ ඇතිව තිබුණාද යන්න අධ්‍යයනය කළ හැකිය. එනම් මෙම නොවැම්බර් මස අවසන් සතිය සහ දෙසැම්බර් මස යනු අපගේ ප්‍රධාන කන්න දෙකෙන් එකම කන්නයකටවත් හසු නොවන යල සහ මහ කන්න දෙක අතර පවතින සංක්‍රාන්තික කාලසීමාවකි. 

මෙය විශාල වශයෙන් එළවළු වගාව භූමියෙහි නොපවතින කාලයකි. එනම් මෙම තත්ත්වය සෑම වසරකම උද්ගතවන බව ගොවි ජනතාව හොඳින් දනී. එසේම යලකන්නයේ නිෂ්පාදනය අවසන් අදියරේ නම් සියයට 95 පමණ බොහොමයක් නිෂ්පාදන ප්‍රදේශවල අස්වනු නෙළා අවසන්ව පවතී. මෙය මහ කන්නයට අදාළ වගාකටයුතු වෙනුවෙන් කෘෂිකාර්මික ඉඩම් සූදානම් කරමින් පවතින කාලවකවානුවකි. සියයට 30 - 40 ක් පමණ මහ කන්නය වෙනුවෙන් සිදුකළ වගාව, ගොවි බිමෙහි පැවතිය හැකිය. එම නිසා මෙම කාලයෙහි විනාශවීමට තරම් අසාමාන්‍ය වූ නිෂ්පාදන ප්‍රමාණයක් වගා භූමියෙහි නැත. එම කරුණු පිළිබඳව අපේ විශේෂ අවධාන යොමු කළ යුතුය.

එම නිසා මෙම අයහපත් කාලගුණය සමග වගාවට සිදුව ඇති හානිය පිළිබඳව අතිශයෝක්තියකින් යුතුව අසාමාන්‍ය පුරෝකථනවලට යාමට කිසිසේත්ම අවශ්‍ය නොවේ. මෙම කෘෂිකාර්මික නිෂ්පාදනය සඳහා වසර පුරා පවතිනුයේ යල සහ මහ කන්න දෙකක් මත පදනම් වූ වගා රටාවකි. එම වගා රටාවෙන් වසරේ සෑම මසකම පවතින ස්ථාවර ඉල්ලු‍මට සමානුපාතිකව සැපයුමෙහි ඇතිවන්නාවූ ඉහළ පහළ යාම මත මිල මට්ටම් උච්චාවචනය සිදුවේ. එවන් උච්චාවචන අනුව සැපයුම් තත්ත්වයේ අඩු මිල මට්ටම් සාපේක්ෂව ඉහළ කාලසීමාවක් තුළ මෙම ව්‍යසනය සිදුව ඇත. එම නිසා මෙම කාලසීමාව යනු ක්ෂේත්‍රයේ ඉතා විශාල ලෙස ඵලදාවීමට ආසන්නව වගාව පැවැති කාලසීමාවක් නොවේ.


සහල් හිඟයක් ගැන අවදානනමක් නෑ

වී වගාවෙහි ද කෙටිකාලීනව වගාවේ යම් ආරම්භක අවධියෙහි හානියක් සිදුවුව ද එහි ප්‍රතිපලය දිගුකාලීනව සමස්ත අස්වැන්නට සිදු කරන හානියෙන් කළ යුතු දෑ මොනවා ද යන්න අපට ඉදිරියේදී තීරණය කළ හැකිය. පසුගිය වසරේ ද මෙම කාලයෙහි ඇති වූ අසාමාන්‍ය වර්ෂාවෙන් වී වගාවේ හෙක්ටයාර් 125,000 ක් පමණම සම්පූර්ණයෙන්ම හානි විය. 

නමුත් සමස්ත අස්වැන්නට සිදුකළ හානිය සියයට 10 - 12 ක් පමණ විය. සාමාන්‍යයෙන් මහ කන්නයේ හෙක්ටයාර් ලක්ෂ 08 ඉක්මවූ වගා බිම් ප්‍රමාණයක වගාව සිදුවේ. 

මෙම වසරෙහිද එසේම ය. ඒ නිසා මෙම ඇතිව තිබෙන තත්වය පිළිබඳ දැනට කලබල විය යුතු නොමැත. මන්ද කෙතරම් වගා භූමියෙහි වී වගාව සඳහා මේ අවස්ථාවේ හානියක් සිදුව ද දැනට වෙ​ෙළඳපොළට ලැබෙමින් පවතිනුයේ මෙම වසරේ මුල පැවැති මහ කන්නයේ සහ වසර මැද පැවති යල කන්නයෙහි නිෂ්පාදනයෙන් ලැබූ සහල් තොග වේ. එම නිසා මෙම අවස්ථාවේදී අනවශ්‍ය බියක් ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ඇති කරගත යුතු නොවේ. 

දැනට සිදුවන වගාව කිසිසේත්ම දෙසැම්බර් මස හෝ ජනවාරි මස පරිභෝජනයට නොලැබෙන අතර එම වී අස්වනු ලැබෙනුයේ පෙබරවාරි මස පළමු සතියෙන් පසුව එන කාලයෙහිය. එම නිසා දැනට රට තුළ කිසි සේත්ම එවැනි සහල් හිඟයක් හෝ සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් හෝ සහල් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොපවතී. මෙම අවස්ථාවේ පවතිනුයේ පවතින තොග නිසි ලෙස වෙෙළඳපොළ තුළ බෙදාහැරීමක් සිදුවනවාද යන්න පිළිබඳ ප්‍රශ්නයයි. 

එනම් බොහොමයක් ප්‍රදේශවල ප්‍රවාහන කටයුතුවලට ඇති බාධා මෙන්ම බොහෝ වෙළෙඳසල් ආපදාවට ලක්වීම වැනි අනෙකුත් අවශේෂ කරුණුය. නිසි සැපයුම් හෝ ඉල්ලු‍ම් සැපයුම් කළමනාකරණයක් සිදුවනවාද යන්න පිළිබඳ මිස රට තුළ සහල් හිඟයක් නොමැත.  සුරක්ෂිතාව ලෙස අපගේ ප්‍රධාන ආහාරය වන බත සපයාගැනීම වෙනුවෙන් අවශ්‍ය සහල් ප්‍රමාණය මේ වන විට රට තුළ පවතින නිසා කිසි සේත්ම එවැනි අනවශ්‍ය බියක් ඇතිකරගෙන ගතයුතු නොමැත.