ළමා ස්ථූලතාවය (අධික තරබාරුව) සහ පෝෂණ ගැටලුවලට තිරසාර විසඳුම් ලබාදීමේ අරමුණින්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍යාරක්ෂිත පාසල් ආපනශාලා මාර්ගෝපදේශ සංග්‍රහය’ පසුගිය සඳුදා (ජූනි 22) දින නිල වශයෙන් හඳුන්වා දෙන ලදී. මෙය 2026 ජාතික පෝෂණ මාසයට සමගාමීව ක්‍රියාවට නංවා ඇත. මෙම නව මාර්ගෝපදේශ මාලාව යටතේ පාසල් ආපනශාලා තුළ ප්‍රධාන ආහාර වර්ග පහක් අලෙවි කිරීම සපුරා තහනම් කර තිබේ.
ඒ අනුව, ගැඹුරු තෙලින් බදින ලද ආහාර, සකසන ලද මස් වර්ග (Processed meats ), සීනි අධික නිෂ්පාදන, පෝෂණ ගුණයෙන් අඩු අධික කැලරි සහිත ආහාර සහ කාබනේටඞ් බීම වර්ග (පැණිබීම) මෙලෙස තහනමට ලක්ව ඇත. මෙමඟින් දරුවන් තුළ සෞඛ්‍යයට හිතකර ආහාර පුරුදු ඇති කිරීම සහ බෝ නොවන රෝගවලින් (NCDs ) ඔවුන්ව ආරක්ෂා කිරීම සඳහා දේශීයව සපයා ගන්නා ස්වභාවික කෙටි ආහාර ප්‍රවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ.
තැතිගන්වනසුලු පෝෂණ සංඛ්‍යාලේඛන
පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් 2025 ජූනි මාසයේදී පවත්වන ලද ජාතික පෝෂණ මාස සමීක්ෂණයට අනුව, පාසල් දරුවන් අතර ‘කෘෂභාවය‘ (උසට සරිලන බර අඩුකම - Wasting ) තවදුරටත් බරපතළ ගැටලුවක්ව පවතී. එහි ජාතික සාමාන්‍යය 18%ක් වන අතර බදුල්ල සහ අම්පාර වැනි දිස්ත්‍රික්කවලින් වඩාත් ඉහළ අනුපාත වාර්තා වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO ) ළමා වර්ධන ප්‍රමිතීන්ට වඩා දරුවෙකුගේ වයසට සාපේක්ෂව උස අඩු වීම, එනම් ‘මිටිභාවය’ (Stunting) මඟින් දිගුකාලීන පෝෂණ ඌනතාවය පිළිබිඹු වන බව එම වාර්තාව පෙන්වා දෙයි.
මිටිභාවයේ ජාතික ප්‍රතිශතය 6.5%ක් වන අතර, ඉහළම අනුපාතය අම්පාර දිස්ත්‍රික්කයෙන් (13.4%) වාර්තා වේ. කොළඹ වැනි දිස්ත්‍රික්කවලින් එය අඩු මට්ටමක පවතී. කෙසේ වෙතත්, කොළඹ මහා නගර සභා බලප්‍රදේශයේ පාසල් දරුවන් අතර ‘අධික බර’ (Overweight ) සහ ‘ස්ථූලතාවය‘ (Obesity) ශීඝ්‍රයෙන් වර්ධනය වන බව හෙළි වී ඇත. කොළඹ නාගරික කලාපයේ සෑම දරුවන් දස දෙනකුගෙන් එක් අයකුම අධික බරින් යුක්තය. ස්ථූලතාවයේ ජාතික සාමාන්‍යය 3.5%ක් වුවද, කොළඹ නාගරික කලාපයේ එය 6.5%ක් ලෙස වාර්තා වන අතර, එය ජාතික සාමාන්‍යය මෙන් දෙගුණයකි.
නිවැරදි මාවතට තැබූ පියවරක්
ශ්‍රී ලංකාවේ සිදුවන මරණවලින් 70%කටම හේතුව බෝ නොවන රෝග (NCDs ) වේ. වැරදි ආහාර රටාව, ශාරීරික ක්‍රියාකාරකම් මදිකම, මද්‍යසාර සහ දුම්කොළ භාවිතය මෙන්ම දුර්වල මානසික සෞඛ්‍යය මෙයට ප්‍රධානතම හේතු වේ. මෙයින් ආහාර රටාව ප්‍රධානතම අවදානම් සාධකයකි.
“බොහෝ අවදානම් සාධක අපගේ ජීවිතයට මුලින්ම එකතු වන්නේ පාසල් අවදියේදීයි,” යැයි රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු පවසයි. ”වයස අවුරුදු 18ට පෙර දරුවන්ගේ මනෝ-සමාජීය වර්ධනය අඩුයි. මේ නිසා ඔවුන් පාසල් කාලයේදී විවිධ වැරදි පුරුදුවලට ඇබ්බැහි වෙනවා. එම පුරුදු දිගුකාලීනව පවතින නිසා බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ ප්‍රවණතාව වැඩියි.”
ඔහු පෙන්වා දෙන්නේ පාසල් තුළ සෞඛ්‍යාරක්ෂිත වටපිටාවක් නිර්මාණය කිරීම සඳහා ආපනශාලා වෙනස් කිරීම අත්‍යවශ්‍ය බවයි. ”දරුවන් නිවසින් කෑම රැගෙන ආවත් ආපනශාලාවෙන් (Tuck shop ) මොනවා හරි කන්න කැමතියි. එහි ගුණදායක කෑම නැත්නම් ඔවුන් අහිතකර කෑම තෝරා ගන්නවා. මෙම නීති රීති ක්‍රියාත්මක කිරීම ඉතා හොඳ පියවරක්. අවම වශයෙන් පාසල් වේලාව තුළදීවත් දරුවන්ට අහිතකර ආහාර ලැබීම මින් වැළකෙනවා.”
ප්‍රායෝගික ගැටලු සහ විසඳුම්
මෙම ප්‍රතිපත්තිය එක රැයකින් ක්‍රියාත්මක කිරීමට යාම ප්‍රායෝගික නොවන බව ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු පෙන්වා දෙයි. ”ඕනෑම ප්‍රතිපත්තියක් එක රැයකින් ක්‍රියාත්මක කරන්න ගියොත් එය අසාර්ථක වෙනවා. එහෙම වුණොත් දිගු කාලයකට එය නිවැරදි කරන්න බැරි වෙනවා. කළ යුත්තේ සියලුම පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කිරීමයි. ආපනශාලා හිමියන් දැනුවත් කර, ඔවුන්ට ගුණදායක ආහාර හඳුන්වා දීමට නිශ්චිත කාලයක් (පරිවර්තන සමයක්) දිය යුතුයි. නැතහොත් ඔවුන් කඩ වසා දමනු ඇත. එවිට දෙමාපියන් සහ ගුරුවරුන් මෙය ප්‍රායෝගික නැතැයි පවසා නැවත පැරණි ක්‍රමයටම යාවි. මාස හයක් වැනි කාලයක් ඇතුළත පියවර දෙක තුනකින් මෙය ක්‍රමයෙන් ක්‍රියාත්මක කිරීම වඩාත් සුදුසුයි.”
එමෙන්ම, දරුවන් ප්‍රිය කරන රසවත් හා ආකර්ෂණීය ආහාර සංකලන හඳුන්වා දීමට බලධාරීන් කටයුතු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
ආපනශාලා කුලී ගාස්තු අඩු කරන්න
සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ නිර්මාතෘ අසේල සම්පත් ප්‍රකාශ කළේ, පාසල් ආපනශාලාවල ඇති අහිතකර ආහාර පිළිබඳව තමන් 2006 වසරේ සිටම හඬ නැඟූ බවයි. “රජය මෙම පියවර ගැනීම ගැන මම ස්තූතිවන්ත වෙනවා. නමුත් ගැටලුවක් තිබෙනවා. විවිධ පාසල් ආපනශාලා හිමියන්ගෙන් අධික කුලී මුදල් අය කරනවා. එම වියදම් පියවා ගැනීමට ඔවුන්ට ලැබෙන ඕනෑම දෙයක් විකිණීමට සිදු වෙනවා. අනෙක් අතට, පාසල ඉදිරිපිට ඇති කඩවලින් ‘ෂෝට් ඊට්ස්‘ (Short eats ) විකුණනවා නම්, පාසල ඇතුළේ කුරක්කන් කැඳ තිබුණා කියා පලක් නැහැ. අවම වශයෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස හෝ පාසල් මඟින් ආපනශාලා හිමියන්ගෙන් අය කරන කුලී මුදල් අඩු කර ඔවුන්ට සහය විය යුතුයි.”
සෞඛ්‍ය සම්පන්න පරපුරක් උදෙසා දැක්ම
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය මොනිකා විජේරත්න මහත්මිය ප්‍රකාශ කළේ, පැණිරස කෑම සහ බේකරි නිෂ්පාදන මිලදී ගැනීමට යන වියදමට වඩා වට්ටක්කා සුප් වැනි සෞඛ්‍ය සම්පන්න ආහාරයක් පිළියෙල කිරීමට යන පිරිවැය ඉතා අඩු බවයි. ”අපි ආපනශාලා හිමියන්ට උපදෙස් දී තිබෙන්නේ ඒ ඒ ප්‍රදේශවලට ආවේණික දේශීය දේවලින් කෑම හදන්න කියායි. උදාහරණයක් ලෙස ‘කොස් කොත්තු‘ (Jackfruit kottu ), පීසා වෙනුවට ගුණදායක රොටී වර්ග හඳුන්වා දී තිබෙනවා. දෙමාපියන්ගේ කාර්යබහුලත්වය සහ වෙළෙඳපොළේ වෙනත් විකල්ප නොමැතිකම නිසා ඔවුන් දරුවන්ට ෂෝට් ඊට්ස් දීමට පුරුදුවී සිටිනවා.”
ඇය වැඩිදුරටත් කියා සිටියේ දරුවන් කුඩා කල සිටම සීනි සහ ලුණු රසයට ඇබ්බැහි වන බවයි. ”පසුව ඔවුන් හැම කෑමකින්ම ඒ රසයම සොයනවා. දෙමාපියන් තමන්ගේ දරුවන්ට දෙන ආහාර ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි. අධ්‍යාපන අමාත්‍යාංශය මේ සඳහා අපට විශාල සහයක් දෙනවා. ඔවුන් නිකුත් කරන චක්‍රලේඛයක් මඟින් පමණයි විදුහල්පතිවරුන්ට මෙය ක්‍රියාත්මක කළ හැක්කේ. මින් ඉදිරියට පාසල් ආපනශාලා ටෙන්ඩර් කැඳවීමේදී, ආපනශාලා හිමියන් අනිවාර්යයෙන්ම මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට එකඟ විය යුතුයි.”
කමන්ති වික්‍රමසිංහ

