අම්මයි තාත්තයි මරා දැමූ ‘අජාසත්, පුතා’


දස මසක් කුස දරා ලේ කිරි කර පොවා අනේක දුක්ගැහැට විඳගනිමින්, දහදිය කදුළු මතින් දරුවන් හදාවඩා යහපත් මිනිසකු ලෙස සමාජගත කිරීමට මාපියන් උත්සාහ දරන්නේ - දරුවන්ගේ යහපතටත්, තමන් වියපත් කළ දරුවන් තමුනට ද ශක්තියක් වනු ඇතිය යන අපේක්ෂාවෙනි.

එ‌හෙත් පසුගියදා ඇඹිලිපිටිය කිරුලවැල්කටුව ප්‍රදේශයෙන් ඇසුණු ඒ මහා මූසල පුවතින් එම ප්‍රදේශය පමණක් නොව මුළු රටම කම්පනයට පත්වූයේ - එක්තරා මවකට හා පියකුට තමන්ගේම ලෙයින් උපන් පුතකුගේ යකඩ ඉනි පහරවලින් මෙලොව හැරයාමට සිදුවී යැයි කියැවුණු පුවතිනි.

පසුගිය13 වන දින රාත්‍රි 10.30 ට පමණ ඇඹිලිපිටිය පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.ජේ. බණ්ඩාර ගේ කාර්යාලය ඉදිරිපිටට පැමිණි තරුණයෙක්  ගල්ගැසී සිටින දුටු පොලිස් නිලධාරීහු එහි පැමිණි කාරණය විමසා සිටියහ.

“මම මගේ අම්මටයි, තාත්තටයි යකඩ ඉන්නකින් ගහලා මැරුවා.” 

එම ප්‍රකාශයෙන් පොලිස් නිලධාරීහු අන්ද මන්ද වූහ. ඔවුන් මනුෂ්‍ය ඝාතකයන් සේවා කාලය තුළ අපමණ දැක ඇතත් - තම මවත්, පියාත් දෙදෙනාම එක විට ඝාතනය කළ බව කියන පුත්‍ර ඝාතකයකු දැක නැත.  

ඒ කෙසේ වෙතත් සැකකාර ඝාතකයා එවේලේම සැකපිට අත් අඩංගුවට ගනු ලැබීය. නමුත් පැය දෙකක පමණ කාලයක් ගතවන තුරු  ඔහුගෙන් වෙනත්  අනාවරණයක් කරගැනීමට නොහැකිවු බවත්, සැකකරු කිසිවක් නොකී බවත්, පොලිසිය සඳහන් කළේය. 

සැකකරු මව හා පියා සමග පෞද්ගලික කරුණු හේතුවෙන් දිගින් දිගටම ආරවුල් ඇතිකර ගත් බව සැකකරුගෙන් පසුව සිදුකෙරුණු ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ බවත්, ඒ ඔස්සේ ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කරන  බවත්, පොලිසිය සඳහන් කරයි.

ඇඹිලිපිටිය කිරලවැල්කටුව කිරින්දේ ගෙදර ලිපිනයේ පදිංචිව සිටි වන්නිආරචිගේ සරත්, නම්මුණි ආරච්චිගේ කාන්ති යන මාපියන් එසේ ඝාතනය කර තිබුණු අතර, ඔවුහු පනස් අට හා පනස් හතර වැනි වියේ පසුවුවෝ වෙති.

පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.ජේ. බණ්ඩාර

විසිහය හැවිරිදි එම දෙපළගේ සැකකාර පුත්‍රයා සමග ඔවුන් එම නිවසේ පදිංචිවී සිට ඇති අතර, එම දෙපළගේ වැඩිමහල් දියණිය විවාහ වී නිවසින් පිට ප්‍රදේශයක පදිංචිව සිට ඇත. ඝාතනය සිදුවී ඇත්තේ ඔවුන්ගේ මහ ගෙදර දීම බව පොලිසිය සඳහන් කරයි.

මෙම මරණ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු - ඇඹිලිපිටිය වැඩබලන මහේස්ත්‍රාත් නිරෝෂන් ගමගේ විසින්  සිදුකරනු ලැබීය.

පශ්චාත් මරණ පරීක්ෂණ අධිකරණ විශේෂඥ වෛද්‍ය දිල්හානි අමරසිංහ  සිදුකළාය.සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් මාලන් ඉෂාර ජයසූරිය  නියෝග කළේය. 

මීට පෙර මත්ද්‍රව්‍ය චෝදනා හා මවට පහරදීමක් සම්බන්ධයෙන්  සැකකරු බන්ධනාගාරගතව සිටියදී කුෂ්ඨ රෝගයක් වැලඳී ඇති අතර, එය දුටු සැකකරුගේ මව්පියන් දැඩි වේදනාවට පත්වී ඇත.පසුව ඔවුන්ම    සැකකරු නිවසට ගෙන්වාගෙන ඔවුන්ට හැකි පමණින් සැලකුම් ලබාදීමට පියවර ගත්තද, අවසානයේ මේ ඛේදජනක ඉරණමට ලක්ව ඇත. 

මරණකරු දශක දෙකකට අධික කාලයක්  ශ්‍රී ලංකා යුද හමුදා සේවයේ යෙදී සිට මීට වසර කිහිපයකට පෙර විශ්‍රාම ලැබීමෙන් අනතුරුව, බරවාහන රියැදුරකු ලෙස පෞද්ගලික ආයතනයක සේවය තෝරාගෙන ඇත්තේ තම එකම පුතුට හා දියණියට බරක් නොවී - ඔවුන්ගේ දියුණුව සඳහා තවදුරටත් කටයුතු කිරීමේ අරමුණෙනි.

එහෙත් පුත්‍රයා මත්පැනට හා මත්ද්‍රව්‍යවලට අධික ලෙස ලොල්වීම හේතුවෙන් මව් පිය දෙපළ සමග නිතර බහින්බස්වීම් සිදුවෙන බව ප්‍රදේශ වාසීන්ට අසන්නට දකින්නට ලැබී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස එම පුත්‍රයා විසින් පසුගිය දිනෙක මවගේ හිසට පහර දී බරපතළ තුවාල සිදුකර ඇත.

සැකකරු යම් මානසික රෝගී තත්ත්වයකට වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් බවට තොරතුරක් අනාවරණය වුවද, එම රෝගී තත්ත්වය මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ ප්‍රතිඵලයක් ද එසේ නොමැතිනම් වෙනත් හේතු මත පදනම්වදැයි යන්න සොයා ඉදිරි පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පවසයි.

මෙම දෙපළගේ අවසන් කටයුතු ඉකුත්දා ඇඹිලිපිටිය කිරලවැල්කටුව පොදු සුසාන භූමියේදී සිදුකරනු ලැබීය. එහිදී වන්නිආරච්චිලාගේ සරත්ගේ අවසන් කටයුතු හමුදා ගෞරව සහිතව සිදුකරනු ලැබීය. 

ඇඹිලිපිටිය මුලස්ථාන පොලිස් පරීක්ෂක ඩබ්.එම්. ජේ.බණ්ඩාරගේ උපදෙස් මත එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති කේ.ජී.එස්.පී.ගමගේ, සැරයන් (35587) තිලකසිරි ඇතුළු පොලිස් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

පල්ලේබැද්ද - රෝහණ සමරවීර