Youth Clubs කා වෙනුවෙන්ද


මේ දිනවල ජාතික තරුණ සේවා සභාව විසින් දිවයින පුරා පිහිටි ග්‍රාම සේවා වසම් 14,033ක් ඉලක්ක කරගනිමින්  Youth Clubs පිහිටුවීම ආරම්භ කර තිබේ. යෞවන සමාජ නමින් හැඳින් වූ මෙය මෙවර නූතන තාරුණ්‍ය ඉලක්ක කරගනිමින්, ඔවුන්ට වඩාත් සමීප කළ හැකි යැයි සිතෙන පරිදි සමාජගත කර ඇති බව පෙනී යයි. ජූලි 31 වැනිදා දක්වා දිවයින පුරා Youth Clubs පිහිටුවීම, ප්‍රතිසංවිධානය කිරීම, ප්‍රදේශීය බලමණ්ඩල හා දිස්ත්‍රික් බලමණ්ඩල පිහිටුවීමේ කටයුතු සිදු කෙරෙන අතර, අගෝස්තු 12 වැනිදා ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව යෞවන සමාජ සම්මේලනය පැවැත්වීමට නියමිතය. 

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මෙන්ම තම වසමේ ග්‍රාම නිලධාරී කාර්යාලය හරහා තම ප්‍රදේශයේ තරුණ සේවා නිලධාරියා සමග සම්බන්ධ වීමෙන් තරුණ තරුණියන්ට Youth Clubs සමග සම්බන්ධ විය හැකිය. වයස අවුරුදු 15ත් 29ත් අතර තරුණ තරුණියන්ට මේ සමග එකතු විය හැකි අතර, මෙය වත්මන් තරුණයා ඉලක්ක කරගත් වැඩපිළිවෙළක් ඔස්සේ ගමන් ගන්නේ දැයි සලකා බැලිය යුතුය. මෙම ලිපිය සකස් වන්නේ ඒ වෙනුවෙනි. පරම්පරා කිහිපයක් පසුකරමින් වර්තමානයේ අපට සම්මුඛ වන තරුණයා තරුණිය නියෝජනය කරන්නේ කුමන පරම්පරාව ද ? අපට ඔවුන්ට ආමන්ත්‍රණය කළ යුත්තේ කෙසේ ද යන ප්‍රශ්නය අප සතුව පවතියි. ඔවුන්ගේ ඉලක්ක, බලාපොරොත්තු , අපේක්ෂාවන් සහ අරමුණු වෙනුවෙන් රජය හෝ තරුණයින් වෙනුවෙන් වූ ආයතන වගකියන්නේ ද යන්න පිළිබදව අප විමසීමක් කළ යුතුය. නූතන තාරුණ්‍යයේ අගනාකම්, මූලික හරයන් සහ ඔවුන් සතු කුසලතා හඳුනාගනිමින් අප ඔවුන් සමග කටයුතු කරන්නේ ද යන්න පිළිබදව විමසීමට ලක්කිරීම වටියි.

වත්මන් රජයේ තෘප්තිමත් තාරුණ්‍යයක් 

නිවහල් චින්තනයක් යන ප්‍රතිපත්තිය මත ගමන් කරමින්, තරුණයන්ට අනාගතයක් වෙනුවට අනාගතයට ගැළපෙන තරුණයෙක් නිර්මාණය කිරීමෙන් වූ ප්‍රවේශය ජාතික තරුණ සේවා සභාව මගින් ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති සහ වැඩසටහන් තුළ අන්තර්ගත වී ඇත්දැයි සැලකිල්ලට ගත යුතු වෙයි. 

Youth Clubs සමග සම්බන්ධ වීමෙන් ප්‍රතිලාභ තිබේද ?

දිවයින පුරා විසිරි සිටින තරුණ තරුණියන්ට රජය සමග සම්බන්ධ විය හැකි ප්‍රධානතම මාර්ගය මෙය වන අතර, ඒ හරහා තරුණ තරුණියන්ට අවශ්‍ය මග පෙන්වීම සිදු කරයි. වෘත්තීය අධ්‍යාපනයට ප්‍රවේශ වීමට අපේක්ෂා කරන තරුණ තරුණියන්ට ඊට අවශ්‍ය මග පෙන්වීම මෙතුළින් ලබාදෙයි. එහිදී දේශීය රැකියා පමණක් නොව විදේශීය රැකියා ද ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙළ පිළිබදව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කර තිබුණි. මෙරට වෘත්තීය  අධ්‍යාපනය ලබාදෙන සියලු‍ම ආයතන සමග ඒකාබද්ධව වෘත්තීය පුහුණු පාඨමාලාවල ගුණාත්මකභාවය දේශීය, විදේශීය රැකියා වෙළෙඳපළට ගැලපෙන පරිදි සකස් කිරීමට සාකච්ඡා පවත්වන බව එහි සඳහන් විය. 

එමෙන්ම ව්‍යවසායකත්ව, තාක්ෂණ, මාධ්‍ය, කෘෂිකර්ම, ගායන, නර්තන, රංගන, සාහිත්‍ය, ක්‍රීඩා ආදී වූ ක්ෂේත්‍ර ද ඇතුළත් ව මෙරට තරුණ තරුණියන් යොමු වීමට අපේක්ෂා කරන ඉලක්කයට ඔවුන්ට ළඟාවීමට අවශ්‍ය මගපෙන්වීම මෙතුළින් ලබාදෙයි. තරුණයෙක් හෝ  තරුණියක් අනාගතය තුළ අතරමං නොවන ලෙස ඔවුන්ට අවශ්‍ය ස්ථානයේ ඔවුන්ව ස්ථානගත කිරීමේ වගකීම පැවරෙන්නේ මෙම පද්ධතියටය.

විශේෂයෙන්ම දේශපාලනයට ප්‍රවේශ වීමට අපේක්ෂා කරන තරුණ තරුණියන්ට ද නායකත්වය ගැනීම වෙනුවෙන් වූ ආරම්භය මෙතුළින් නිර්මාණය වේ. තමන්ගේ අදහස් බෙදා ගැනීමට, ජනගත කිරීමටද අවස්ථාව තරුණයන්ට ලැබේ. ජාත්‍යන්තර තරුණ හුවමාරු වැඩසටහන් සමග සම්බන්ධ වීමට අවස්ථාවද මේ හරහා ලැබේ. එයින් ලෝකයේ වෙනත් රටවල තරුණ තරුණියන් සමග අදහස් හුවමාරු කරගැනීමට මෙන්ම තමන් සතු කුසලතා ප්‍රදර්ශනය කිරීමට ලැබෙන අවස්ථාව තුළ ලබාගන්නා අත්දැකීම තරුණයෙකුගේ හෝ තරුණියකගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය විය හැකිය.

Youth Clubs, Gen Z ආකර්ෂණය 

Gen Z පරම්පරාව ආරම්භ වන්නේ, කොතැනින් ද යන්න පිළිබඳව පරස්පර විරෝධී අදහස් කිහිපයක් තිබේ. ඇතැම් පිරිස් මෙම පරම්පාරව 1997 වසරේ සිට ඉපදුණු පුද්ගලයන්ගෙන් ඇරඹුණු බවත්, තවත් පිරිසක් 2000 වසරේ සිට ඉපැදුණු අය Gen Z පරම්පරාවට අයත් බවත් පවසති. මෙම පරම්පරාවේ ආරම්භය කුමන වසරක සිදු වුවද, මෙම පරම්පරාව නියෝජනය කරන පිරිස තරුණ මෙන් ම, තාක්‍ෂණයෙන් තොර ජීවිතයක් කිසි දා දැන නොසිටි පිරිසක් ලෙස හැඳින්වේ.

ඇමෙරිකානු මනෝ විද්‍යාඥ ආචාර්ය ජීන් ට්වෙන්ජ් ඉදිරිපත් කර ඇති පරිදි, Gen Z  පරම්පරාවේ විකල්ප නාමය iGen ලෙසට හඳුන්වනු ලැබේ. එම පරම්පරාවේ ඉපැදුණු පුද්ගලයින් අභිලාෂකාමී, ඩිජිටල් තාක්ෂණයෙන් ස්වයංපෝෂිත වූ සහ ආත්ම විශ්වාසයක් ඇති යන ලක්ෂණවලින් හෙබි අය ලෙස හැඳින්වේ. Gen Z පරම්පරාව නියෝජනය කරන පිරිස තාක්‍ෂණයෙන් තොර ජීවිතයක් කිසි දා දැන නොසිටි පිරිසක් ලෙස හැඳින්වෙන්නේ ද එබැවිනි. 

වර්තමාන ජාතික තරුණ සේවා සභාවට කටයුතු කිරීමට සිදුව ඇත්තේ එම පරම්පරාව සමගිනි. එමෙන්ම Alpha පරම්පරාවේ ආරම්භකයන් ද මේ වන විට වයස අවුරුදු 15ට එළඹ සිටින බැවින් ඔවුන් ද මෙයට අයත් වේ. සමාජ පර්‌යේෂක මාර්ක් මැක්‍රින්ඩල් විසින් ඊළඟ පරම්පරාව එනම්, Gen Z පරම්පරාව පසු පරම්පරාව ඇල්ෆා ලෙස නම් කර ඇත. 2010 වසරේ සිට උපත ලැබූ සහ ලබන මෙම පිරිස් ඉතා විශාල කණ්ඩායමක් බවට පත්වනු ඇති බවට සැලකේ.

මෙම කණ්ඩායමෙහි විශේෂත්වයක් නොමැති අතර, ආචාර්ය ඇලෙක්සිස් ඇබ්‍රම්සන් අනාවැකි පළ කරන්නේ ඔවුන් පවුලට නැඹුරු වනු ඇති බව ය. එම පරම්පරාවේ දෙමාපියන් Gen X සහ millennials පරම්පරාවේ අය වනු ඇති බව පැවසෙයි. ඇල්ෆා පරම්පරාව ඔවුන්ට පෙර සිටි අනෙක් ඕනෑ ම පරම්පරාවකට වඩා ඩිජිටල් දැනුමෙන් පිරුණු අය වනු ඇති බව ද පැවසේ. 

එවැනි පරම්පරා දෙකක් ස්පර්ශ කිරීමට හා ආකර්ෂණය කිරීම වෙනුවෙන් වූ අභියෝගය ජාතික තරුණ සේවා සභාව භාරගෙන ඇති බවට අපට හඳුනාගත හැකිය. තරුණයින් රජය සමග සම්බන්ධ කිරීමටත්, ඔවුන්ට ඔවුන්ගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකි යාන්ත්‍රණයක් ලෙස  Youth app නමින් යෙදවුමක් හඳුන්වාදීමට යෝජනා කර ඇත්තේ එබැවින් විය යුතුය. ව්‍යවසායකයෙක් වීමට අපේක්ෂා කරන තරුණ තරුණියන්ට තම ව්‍යාපෘති යෝජනාව එම ඇප් එක හරහා යොමුකිරීමෙන් පසු එම ව්‍යාපෘතිය අධීක්ෂණය කිරීම, එය ක්‍රියාත්මක කිරීම සඳහා මඟ පෙන්වීම හා ක්‍රියාත්මක කිරීමේ දී අවශ්‍ය සහය දැක්වීම ආදිය යන කාර්යය ඉටු කිරීමට අපේක්ෂා කරන බව සඳහන් වුණි. තාක්ෂණය සමග කටයුතු කරන පරම්පරාවක් සමග ගනුදෙනු කිරීමේ දී, විශේෂයෙන්ම තාක්ෂණයෙන් තොර ජීවිතයක් පිළිබඳව නොදන්නා පරම්පරාවක් ආකර්ෂණය කරගැනීම උදෙසා ජාතික තරුණ සේවා සභාව යම් ප්‍රවේශයක් ලබාගෙන ඇතැයි සදහන් කළ යුතුය. 

ප්‍රවේශය සාර්ථක ද ? 

මැයි 23 වැනිදා සිට ආරම්භ වූ Youth Clubs පිහිටුවීමේ කටයුතු සඳහා මේ වන විට දින 15ක් ගතව තිබේ. අර්ධ මාසික කාලයක් තුළ දිවයින පුරා තරුණ තරුණියන් 40,000කට ආසන්න ප්‍රමාණයක් Youth Clubs සමග සම්බන්ධව ඇති බවට වාර්තා වේ. එමෙන්ම දිවයින පුරා Youth Clubs 1500කට වැඩි ප්‍රමාණයක් පිහිටුවීමට ද හැකි වී තිබේ. 

විශේෂයෙන්ම උතුරේ පළාතේ කිලිනොච්චි, වවුනියා, යාපනය දිස්ත්‍රික්කවල Youth Clubs පිහිටුවීම තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කර තිබුණි. දිවයිනේ ඇතැම් ස්ථානවල Youth Clubs පිහිටුවීමේ කටයුතු තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජෙනරාල් සුපුන් විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කර ඇත.

අංජුල මහීක