“මෙත්සිරි සෙවණ“ ජනපති අතින් ජනතා අයිතියට


(බී. ජී. චතුරංග)
 
 
ජාතික වකුගඩු අරමුදලේ රුපියල් කෝටි 44 ක මුදලක් වැය කරමින් ඉදිකරන ලද “මෙත්සිරි සෙවණ“ වකුගඩු රෝගී සහන සත්කාර සුභසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානය අද (20) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අනුරාධපුරයේ දී ජනතා අයිතියට පත් කෙරිණි. 
 
මෙහිදී අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ පැවසීය.
 
‘මා ඉතාමත් සතුටු වෙනවා. අද මැදින් පසළොස්වක පුන් පොහෝ දවසේ, මේ අනුරාධපුර ප්‍රදේශයේ පමණක් නොව, මුළු ලක් වැසි ජනතාව අතරේ ප්‍රබල ප්‍රශ්නයක්ව පවතින වකුගඩු රෝගීන් වෙනුවෙන් අපි ගෙන යන පුළුල් ජාතික වැඩපිළිවලේ තවත් එක් වැදගත් අවස්ථාවක් විදිහට අද මේ නව ගොඩනැගිල්ල රෝගීන් සඳහා පරිත්‍යාග කිරීමට ලැබීම පිළිබඳව. අපි අනුරාධපුර මහ රෝහලට, පළාත් සභාවට, මේ ගොඩනැගිල්ලේ පරිපාලනය හා සේවාවන් බාර දුන්නත්. මෙහි සම්පූර්ණයෙන්ම ඒ සේවාවන් සිදුවන්නේ රෝගී ජනතාව වෙනුවෙන්.’ 
 
‘අපි ලෝක සෞඛ්‍ය සංවිධානයට පවා බාර දුන්නා ශ්‍රී ලංකා රජයෙන් මුදල් ගෙවලා, වකුගඩු රෝගීන් පිළිබඳව, මේ රෝගය කුමන ආකාරයෙන් ද ඇති වන්නේ කියල සොයා බලා වාර්තාවක් දෙන්න කියලා. ඒ අනුව 2012- 13 කාල වලදී තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වුණේ. ඒ වගේම අපේ විශ්ව විද්‍යාල අනිකුත් සෞඛ්‍ය පරීක්ෂණ ආයතන මේ රෝගය පිළිබඳව පුළුල් පරීක්ෂණ පැවැත්වූවා. මුලින් මෙය හැඳින්වූයේ හඳුනා නොගත් රජරට වකුගඩු රෝගය වශයෙන්, අපේ නිදහස් සෞඛ්‍ය සේවාවේ තිබෙන විශිෂ්ඨ සේවාව තුළ, අපේ විශේෂඥ වෛද්‍ය, හෙද, පරිපූරක වෛද්‍ය සේවාවන්වල ඒ හැම කෙනෙක්ම, මේ රෝගීන් සඳහා රජය දෙන සම්පත් පාවිච්චි කරමින් රෝගය මැඩපවත්වන්න විශාල සේවයක් ඉටු කළා.’
 
‘මේ සියලුම කටයුතු වලදී සෞඛ්‍ය අමාත්‍යාංශය, පළාත් සභාව, යුද නාවික ගුවන්, පොලිස් අංශ මේ සෑම අංශයක් වගේම, රාජ්‍ය අංශ වකුගඩු රෝගීන් සඳහා ගෙන යන පුළුල් ජාතික වැඩපිළිවෙළේ දී අපිට විශාල අනුග්‍රහයක් දක්වලා තිබෙනවා. විශාල සහයෝගයක් ලබා දීලා තිබෙනවා. මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව තුළ කෙරෙන පුළුල් රාජ්‍ය ආයෝජනය තුළ, අද විශාල  ප්‍රතිඵල තිබෙන බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා. රටේ නිදහස් අධ්‍යාපනයට, නිදහස් සෞඛ්‍ය සේවාවට, වැය කරන මුදල, ලෝකයේ ඉහළම සංවර්ධනයක් තිබෙන රටවල වත් මේ වගේ සම්පූර්ණ  වියදම්  කරන්නේ නැහැ, නිදහස්  සේවාවන් වලට, සෑම ධනවත් රටවලම මුදල් අය කරලා තමයි, සෞඛ්‍ය අධ්‍යාපනය සඳහා ප්‍රධාන වශයෙන්  ඒ ගොල්ලන්ගේ සේවාවන් ලබා දෙන්නේ'