“බූස්ටර් එන්නතක්” දෙන්න අවශ්‍ය තරම් එන්නත් මාත්‍රා තිබෙනවා’’


(නිමන්ති රණසිංහ)

කොරෝනා මර්දන එන්නත්කරණයේදී තුන්වන එන්නත් මාත්‍රාවක් වශයෙන් “බූස්ටර් එන්නතක්” ලබාදීම සදහා අවශ්‍ය තරම් එන්නත් මාත්‍රා පවතින බව රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.

මේ වන විට එන්නත් මිලියන 31.55ක ප්‍රමාණයක් මෙරටට ලැබී ඇති අතර ඉන් මිලියන 6.5ක් ආධාර වශයෙන් ද ඉතිරි ඒවා මිලදී ගැනීම් වශයෙන් ද මෙරටට ලබාගත් බව විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

මෙම බූස්ටර් එන්නත අදියර තුනක් යටතේ ඛාණ්ඩ 3කට ලබාදීමට නිර්දේශ කර ඇති බව සදහන් කළ විශේෂඥ වෛද්‍යවරයා, විශේෂිත අවශ්‍යතා සහිත අයවලුන්, ප්‍රතිශක්තීකරණය නොමැති අයවලුන් සහ වැඩිහිටියන් වෙනුවෙන් එය ලබාදීමට හැකියාව ඇතැයි ද කීය.

මෙම එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ රජයේ මැදිහත්වීමෙන් නොමිලේ සිදුකිරීම අරමුණ බවත් වසංගතය අවසන් වූ පසු රජය තීරණය කළ හොත් අවශ්‍ය අයකුට එන්නත් මිලට ගැනීමට ද තරම් එන්නත් මාත්‍රා පවතින බව ද විශේෂඥ වෛද්‍යවරයා සදහන් කළේය.

ඖෂධ නිතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍යවරයා එසේ සදහන් කළේ, “දරුවන්ගේ එන්නත්කරණය පිළිබද රජයේ සැලැස්ම සහ අභියෝග” යන මැයෙන් අද (23) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කරන ලද වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති මාධ්‍ය හමුවකදී ය.