“ඇඳිරිනීතිය මැද්දේ බාර් විවෘත කිරීම අනුවණ ක්‍රියාවක්’’


(ඩයනා උදයංගනී)

නිරෝධායන ඇඳිරි නීතිය මධ්‍යයේ තැබෑරුම් විවෘත කර මධ්‍යසාර  පෝලිම් නිර්මාණය කිරීම නැවත නැවතත් හෙලා දැකිය යුතු පිළිකුල දනවන අවාසනාවන්ත හා අනුවණ ක්‍රියාවක් බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති, ආචාර්ය, වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි.

කොවිඩ් බෝවීම සීඝ්‍ර කරවන මධ්‍යසාර සමාජගතකිරීමේ වගකීම් විරහිත ක්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බව ද සභාපතිවරයා සඳහන් කළේය.

  එය සමස්ත ප්‍රජාවේම ජීවිත අනතුරේ හෙලීමක් බව ද ඔහු පවසයි.

එන්නත්කරණය මගින් ජනතාව තුළ ගොඩනැංවූ ප්‍රතිශක්තිය පහත හෙළීමට ද හේතුවන මෙම කටයුත්ත කිරි කලයට ගොම මුසු කළා වැන්නක් බවත් මත්පැනට එරෙහිව හඬ නැගූ අනගාරික ධර්මපාල තුමන්ගේ ජන්ම දින සැමරුම යෙදුනු දිනයේ සිට මත්පැන් අලෙවිසැල් විවෘත කිරීම ගැන කණගාටු වන බවත් වෛද්‍ය සමාධි රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.