’’පාතාලයට කිසිදු බුරුලක් දෙන්නෑ’’


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අලුත් කඩේ අධිකරණයේ සිදුවූ වෙඩි තැබීම  ගැඹුරින් සලකා බලන බවත්  රජය පාතාලයට කිසිදු බුරුලක් නොදෙන බවත්  ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අලුත් කඩේ අධිකරණයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමිනි.

පාතාලය වෙනුවෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.

නලින්ද ජයතිස්ස මහතා මෙසේද පැවසීය.

අපි මේ කාරණය ගැන  ගැඹුරින් කල්පනා කරනවා. පාතාලය සම්බන්ධයෙන් දැනටමත් පියවර ගණනාවක් අරගෙන තිබෙනවා. ඉන්දියාවේ හා ඩුබායි හිටපු පාතාලකරුවන් කිහිපදෙනකු  මේ රටට ගෙන්වා ගැනීමට රජයේ  පසුගිය දිනවල කටයුතු කළා. පාතාල මර්දනය සම්බන්ධයෙන් ගත් සමහර ක්‍රියාමාර්ග මෙතන හෙළි කරන්න බැහැ.

පාතාලය කළු සල්ලි කුඩු ජාවාරම්   එකිනෙකට සම්බන්ධයි. මේවා මෙහෙයවන සමහර අය ලංකාවෙත් නොවෙයි  ඉන්නේ. සමහර තැන්වලදී ආරක්ෂක අංශ සාමාජිකයන්ද සම්බන්ධ වෙලා තියෙනවා. පාතාලය මර්දනයට විශේෂ කාර්ය බළකාය පොලිසිය බුද්ධි අංශ යොදවලා තියෙනවා.

සමගි ජන බලවේගය කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා

නීතිඥවරයෙකු විදියට පැමිණි පුද්ගලයකු අලුත් කඩේ උසාවියේ වෙඩි දැමීමක් කරලා ගිහින් තියෙනවා. මේක විශාල අර්බුදයක්. ඊට කලින් මිද්දෙණිය වෙඩි තැබීමක් සිද්ධ වුණා. මේක විහිළු කතාවක් නොවෙයි. නීතිඥවරුන්ගේ ආරක්ෂාව ගැනත් ප්‍රශ්නයක් මතුවෙලා. මේ ටිකටම මරණ 78කට වැඩියි. මේ විදිහට ගියොත් මේක කොයින්ද නතර වෙන්නේ?. අලුත් කඩේ වෙඩිතැබීම  ඉතා දැඩිව සැලකිල්ලට ගත යුතුයි.