’’ආණ්ඩුව ජනතා බලාපොරොත්තු පුස්සක් කරලා’’


(නිමල කොඩිතුවක්කු)

ජනාධිපතිවරයා සහ මාලිමාව පොරොන්දු වූ පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කෙසේ වෙතත් රටේ ලක්ෂ 220 ක ජනතාව ජීවත් වෙන්නෙත් අමාරුවෙන් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටේ ජනතාව පිට පිට මැතිවරණ 2කදී මාලිමා ආණ්ඩුවට විශාල ජනවරමක් ලබා දී තිබිය දී ගම සහ නගරයේ බලය ඉල්ලා සිටින බවත් ඔවුන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලා සහ යෝජනා කොතෙක් දුරට සාර්ථක දැයි සොයා ජනතාව තීරණ ගත යුතුු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ජනතා බලාපොරොත්තු සියල්ල පුස්සක් කර වැඩ බැරි ආණ්ඩුවක් ලෙස ජාතික ජන බලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන බවත් යටිනුවර ආසනයේ ඊයේ (29)පැවැති ජන හමුවක් අමතමින් ඔහු  පැවසීය.

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ආණ්ඩුව අලුත් බොරු ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇති බවත් තුන්වන වතාවටත් ආණ්ඩුවේ බොරු වලට රැවටෙනවද කියා ජනතාව තීන්දු කළ යුතු බවත් ප්‍රේමදාස මහතා කීවේය.

රජය පසුගිය දිනක ජාත්‍යන්තර තලයේ බොරු 2ක් කියා මාට්ටු වූ බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ ප්‍රතිචාරක බදු දින 90ට අත්හිටවූයේ මාලිමා ආණ්ඩුවේ ලියුමක් නිසා යැයි රජයේ ඇමතිවරයෙකු කිව්වත් මේ සහනය අපට පමණක් නොව බදු ගැසූ සෑම රටකටම ලබා දුන් බවත් ඔහු සඳහන් කළේය.

අපේ රටින් ගිය දූත කණ්ඩායම ඒ සම්බන්ධ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරනවා කිව්වත් අවසානයේ එවැනි නිවේදනයක්වත් නිකුත් නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට අවශ්‍ය නිවේදනය නිකුත් කර ඇති බවත් මේ නිවේදනයට ඇමෙරිකානු රජය සම්බන්ධ නොවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

රජය අයවැය යෝජනාවල නොමැති සංවර්ධන කටයුතු සහ සහන ලබා දෙනවා කියා ජනතාව තව වටයකින් රවටමින් යන බවත්  ආණ්ඩුවේ බොරු වලට රැවටීමට  ජනතාව තවදුරටත් සූදානම් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අලුත් අයි එම් එෆ් ගිවිසුමකට යනවා කිව්වත් එය ද නොවු බවත් හිටපු ජනාධිපතිවරයාගේ ගිවිසුමේම එළැඹ සිටින බවත් මේක වැඩ බැරි ආණ්ඩුවක් බවත්  ප්‍රේමදාස මහතා කීවේය.

රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරිමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අපොහොසත් වීම නිසා ජන සමාජය පාලනය කරන්නේ මිනිමරු මැර කල්ලි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

සමගි ජන බලවේගය පළාත් පාලන ආයතනවලින් බහුතරයක් ජයග්‍රහණය කළ පසු සෑම ගමකම ප්‍රජා ආරක්ෂක කමිටු ස්ථාපිත කර ප්‍රජාව කේන්ද්‍රීය ආරක්ෂක වැඩපිළිවෙළක් ඇති කර ආරක්ෂක අංශ හා එක්ව නිතිය හා සාමය සුරක්ෂා කරන වැඩපිළිවෙළක් ඇති කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.