’විපක්‍ෂයේ හිඳිමින් සැලසුම් සහගත වැඩ පිළිවෙළක් හදනවා’


(නාලක සංජීව දහනායක)


ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීම සඳහා විපක්‍ෂයේ හිඳිමින් සැලසුම් සහගත වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (18) පැවැසීය.


අනිවාර්යයෙන්ම මෙම ආණ්ඩුව පවතින්නේතවත් මාස නවයක් පමණක් යැයිද ඔහු කීය.


එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය.


ස්ථාවර පාර්ලිමේන්තුවක් පත්කර ගැනීම සඳහා ජනාධිපතිවරය පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. නමුත් අධිකරණ තීන්දුවත් සමඟ ඒ ක‍්‍රියාදාමය ව්‍යර්ත වුණා. ඒ තීන්දුවත් සමඟ තවදුරටත් රටත් ජනතාවත් අසීරූතාවයට පත්නොකර මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිධූරයන් ඉල්ලා අස්වුණා. 


ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම විපක්‍ෂයේ කටයුතු කිරීමට තීරණය කරතිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයාගේ හා මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් ශක්තිමත් විපක්‍ෂයක් ගොඩනඟනවා. අනිවාර්යයෙන්ම තවත් මාස නවයකින් ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. එම ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීම සඳහා අපි සැළසුම් සහගත වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක කරනවා.


එක්සත් ජාතික පක්‍ෂයත් පුළුල් ජාතික පෙරමුණක් ගොඩනඟන බව අගමැතිවරයා කියනවා. ඒ පෙරමුණ ගොඩනඟන්නේ ජනතා විමුක්ති පෙරමුණට හා දෙමළ ජාතික සන්ධානයට යුතුකම් ඉටුකරන්නයි. ගාලූමුවදොර පිටියේ පැවැත්වූ ජනරැළියට එක්සත් ජාතික පක්‍ෂය බළාපොරොත්තුවූ තරම් සෙනඟක් ආවනම් මහා මැතිවරණයක් පවත්වන්න බය ඇයි?. ජනබලය ඔවුන් සමඟනම් මැතිවරණවලට බය වෙන්නේ මොකටද?. 


අගමැතිධූරයත්, කැබිනට් ඇමති මණ්ඩලයත් එක්සත් ජාතික පක්‍ෂයට හිමිව තිබෙන නිසා බය නැතුව මැතිවරණයකට යන්න පුළුවන්. ඒ නිසා ඔවුන් මහා මැතිවරණයකට යන්න සූදානම්නම් අපි ඒ සඳහා සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා.


එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවේ නැති නිසා එක්සත් ජාතික පක්‍ෂ කැබිනට් මණ්ඩලය තුළ ජනාධිපතිවරයා තනිවෙලා. ඒ නිසා තමන්ට කැමති විදියට කැබිනට්  මණ්ඩලයේ කටයුතු කරන්න හැකියැයි එක්සත් ජාතික පක්‍ෂය විශ්වාස කරනවා ඇති.


 ඔවුන්ට එහෙම කටයුතු කරන්න අපි ඉඩ තියන්නේ නැහැ. කැබිනට් මණ්ඩලය ගන්නා රටට අහිතකර තීන්දු තීරණ ගැන අපි සතිපතාම මාධ්‍ය මඟින් හෙළිකරනවා. ඒ තීන්දු තීරණ ක‍්‍රියාත්මකවීම වළක්වා ගන්න එළියේ ඉඳගෙන අපි සටන් කරනවා. 


කිසිම විදියකින් අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අගමැතිවරයා ශක්තිමත් කරන 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අපි සහය දුන්නේ 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට පොරොන්දුවූ නිසයි. 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා කොට්ඨාශ ක‍්‍රමයට ඇති වෙනවා. එහෙම වුණානම් පාර්ලිමේන්තුව අස්ථාවර වෙන්නේ නැහැ. මන්ත‍්‍රීවරුන් විකිණෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්‍ෂය හෝ අගමැතිවරයා සමඟ අපිට පුද්ගලික ප‍්‍රශ්නයක් නැහැ. රටට ආදරය කරන සහ රටට ආදරය නොකරන පිරිස අතර ප‍්‍රශ්නයක් මෙතන තියෙනවා.


බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු  ප‍්‍රධාන කාර්යාලයේදී අද (18) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කීය.

 (ඡායාරූපය ජයමාල් චන්ද්‍රසිරි)