’මැතිවරණයක් දිනාගත හැකි පක්ෂයක් මැතිවරණයට එරෙහිව උසාවි යන්නේ නෑ’


නාලක සංජීව දහනායක

 

මැතිවරණයක් දිනාගත හැකියැයි විශ්වාසයක් තිබෙන කිසිඳු දේශපාලන පක්‍ෂයක් මැතිවරණ පැවැත්වීමට එරෙහිව අධිකරණයට නොයන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (12) පැවසීය.

එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු තවත් දේශපාලන පක්‍ෂ කිහිපයක් මහා මැතිවරණයක් පැවැත්වීමට එරෙහිව අධිකරණයට යෑමෙන් සැබෑ ජනමතයට ඔවුන් තුළ ඇති බිය පෙන්නුම් කෙරෙන බවද ඔහු කීය.

මන්ත‍්‍රීවරයා මෙසේද කීය.

මැතිවරණයක් දිනාගත හැකියැයි විශ්වසායක් තිබෙන කිසිම දේශපාලන පක්‍ෂයක් මැතිවරණ පැවැත්වීමට එරෙහිව උසාවි යන්නේ නැහැ. නමුත් එක්සත් ජාතික පක්‍ෂය මහා මැතිවරණය පැවැත්වීමට විරුද්ධව අධිකරණයට යනවා. මැතිවරණය පවත්වන්නටත් පෙරම ඔවුන් පරාජය පිළිගෙන තිබෙන බව ඉන් වැටහෙනවා. එක්සත් ජාතික පක්‍ෂ රජය දිගින් දිගටම මැතිවරණ කල් දැම්මා. ඔවුන්ගේ එකම බළාපොරොත්තුව මැතිවරණ නොපැවැතවීමයි. ඔවුන් ජනමතයට බයයි.

නමුත් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ අපේ උනන්දුව තිබෙන්නේ මැතිවරණ පැවැත්වීම සඳහායි. මැතිවරණයක් පැවැත්වුවහොත් ලැබෙන ප‍්‍රතිඵලය කුමක්දැයි අපි දන්නවා. ඒ නිසා අපි මැතිවරණවලට බය නැහැ. මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීම කිසිසේත්ම වැරදි ක‍්‍රියාවක් නොවෙයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව කැඳවීමට, කල් තැබීමට අමාත්‍යධූර වෙනස් කිරීමට ජනාධිපතිවරයාට අසීමිත බලයක් තිබෙනවා.

අර්බුද මැදින් ඉදිරියට යන්න බැහැ. එම අර්බුද විසඳගැනීම සඳහා ජනතාව ඉදිරියට යෑම ඉතාම හොඳ දෙයක්. මේ මැතිවරණයෙන් පිරිසිදු ජනතා තීන්දුවක් ලැබෙනවා. පැවැති රජය දේශපාලන බලය ජනතාව වෙනුවෙන් යෙදවූයේ නැහැ. නමුත් අපිට ලැබෙන බලය ජනතා සේවය වෙනුවෙන් යොදවන්න අපි සූදානම්. ජනතාවට සේවය කිරීම සඳහා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට ඉලක්කයක් තිබෙන බවද ඔහු කීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී අද (12) පැවැති  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඡායාරූප - ඉෂාන් සංජිව