‘‘හදිසිය දිගටම තියන්න අදහස් නෑ‘‘


(ඩයනා උදයංගනී)

හදිසි නීතිය දිගටම පවත්වාගෙන යාමේ බලාපොරොත්තුවක් රජයට නැතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

පාරිභෝගිකයා ආරක්ෂා කරගැනීමට අවශ්‍ය නීති මේ වනවිට සකස් කෙරෙමින් ඇති බවත්, එම කටයුතු අවසන් වන තෙක් හදිසි නීතිය යටතේ හෝ ජනතාව ආරක්ෂා කිරීමට සිදුවන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

ජනතාව අසාධාරණ ලෙස ගසාකෑමට කිසිවකුටවත් ඉඩ දිය නොහැකි බව කී අමාත්‍යවරයා ඒ වෙනුවෙන් ඉතා ශක්තිමත් නීති ප්‍රතිපාදන සකස් කෙරෙමින් පවතින බව ද කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

එමෙන්ම මෙහි අරමුණ ජනතාවට ඇති උද්ඝෝෂණ කිරීමේ අයිතිය අහිමි කිරීම නොවන බව ද ඇමතිවරයා කීවේය.