‘‘සෑම රටක් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට අප සූදානම්‘‘


( තිළිණි ද සිල්වා)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ දී කුමන යෝජනා සම්මත කරගත්ත ද , ශ්‍රී ලංකාව අනුගමනය කරන දේශීය යාන්ත්‍රණය රටේ ජනතාව වෙනුවෙන් අඛණ්ඩවම ක්‍රියාත්මක කරන බව විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා අද (23) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

රටේ ස්වෛරීත්වය, පැවැත්ම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මානව හිමිකම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා  පත්කර තිබෙන කොමිසමේ කටයුතු අඛණ්ඩවම ගෙන යන බවද විදේශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කීය.

විදේශ ඇමැතිවරයා‍ මේ බව සඳහන් කළේ ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාව පිළිබඳ ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය දැනුම් දීමට අද (23) පස්වරුවේ විදේශ අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එක්සත් ජාතීන්ගේ මූලික සිද්ධාන්ත ප්‍රතික්ෂේප කරමින් එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, මලාවි රාජ්‍යය, මොන්ටිනීග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව විසින් ඉදිරිපත් කළ යෝජනාව ජගත් මානව හිමිකම් කොමිසමේ ඡන්ද විමසීමේ දී බහුතර බලයක් ලබාගැනීමට නොහැකි වූ බව විදේශ අමාත්‍යවරයා කියා සිටියේය.

එසේ වුවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළුව අන්තර්ජාතික සංවිධාන සහ ලෝකයේ සෑම රටක් සමඟම සහයෝඟයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බවය.