(නාලක සංජීව දහනායක)
මන්ත්‍රී ධූරයට පත්වන ඇතැම් පුද්ගලයන් සමාජය ඉදිරියේ එය විහිළුවට පත්කර තිබෙන ඇයුරු මේ දිනවල අන්තර්ජාලයේ සංසරණය වන දුරකතන හඬපට වලින් පෙන්නුම් කෙරෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චරිත හේරත් මහතා අද (14) පැවැසීය.
එවැනි විහිළුකාරී පුද්ගලයන්ගෙන් තොර උගත්, බුද්ධිමත් වියතුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් බවට ඊළඟ පාර්ලිමේන්තුව පත්කළ යුතුයැයි ඔහු කීය.
ඔහු මෙසේද පැවැසීය.
‘‘මන්ත්‍රී ධූරයක් සඳහා පත්විය යුත්තේ දැනුමක් සහිත පුද්ගලයන් බව අපි සාම්ප්‍රධායිකව විශ්වාස කළා. මන්ත්‍රී ධූරය හිමි ඇතැම් පුද්ගලයන් එය විහිළුවට ලක්කර තිබෙන බව ලක්කර තිබෙන බව මේ දිනවල හුවමාරුවන දුරකතන සංවාද ඇතුළත් හඬපට මගින් අපට තහවුරු වෙනවා.
ඉකුත් ආණ්ඩුව යහපාලන බෝඩ් ලෑල්ලක් එල්ලගෙන ඉතාම දුර්වල පාලනයක් ගෙන යන බවට අපි පහුගිය කාලයේ චෝදනා කළා. එදා අපි කළ එම ප්‍රකාශයන් මෙම දුරකතන හඬපට මගින් ගහවුරු වෙනවා. උඩින් යහපාලන බෝඩ් ලෑල්ල දාගෙන ඉකුත් ආණ්ඩුව ඉතාම ප්‍රථමික ගණුදෙනුවක් ගෙනගොස් තිබෙනවා.
යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට ක්‍රියාකළ කණ්ඩායම් තවමත් මෙම දුරකතන හඬපට ගැන කිසිම ප්‍රකාශයක් කරලා නැහැ. තමන්ගේ පක්‍ෂයත්, මන්ත්‍රී ධූරයත්, යහපාලන ආණ්ඩුවත් අර්බුදයට ලක්කර තිබෙන බව සියළුම දෙනාගේ ඇස්වලට පේන්න තිබෙනවා. කන්වලට ඇහෙනවා.
නමුත් කවුරුවත් ඒ ගැන කිසිම දෙයක් කියන්නේ නැහැ. අපි දේශපාලනය කරන්නේ මේ වගේ අයත් එක්ක නෙවෙයි. වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රතිප්ති ක්‍රියාත්මක කළ හැකි උගත් බුද්ධිමතත් පුද්ගලයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් බවට ඊළඟ පාර්ලිමේන්තුව පත්විය යුතු යැයි‘‘ද ඔහු සඳහන් කළේය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී අද (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

