‘‘විධායකයේ බලය තිබුණට ව්‍යවස්ථාදායකයේ බලය තවම නෑ‘‘


(පාලිත ආරියවංශ)

විධායක බලය තිබුණත් ව්‍යවස්ථාදායකයේ බලය තවම  තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය සතුව බව අධිකරණ ව්‍යවස්ථා සම්පාදාන සහ පුනරුත්තාපන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (02) පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ  “ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය ශක්තිමත් කරමු‘‘ යන මැයෙන් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකදීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදුන් බලය පූර්ණ බලයක් බවට පත්කිරීම සඳහා එළඹෙන මහමැතිවරණයේදී තුනෙන්  දෙකක බලයක් සහිත පාර්ලිමේන්තුවක් අපි ලබාදිය යුතු යැයිද ඒ මහතා එහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසීය

       ‘‘19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අපි බොහොම සත්භාවයෙන්  උදව් කළා නමුත් එතුළින් මෙරට රාජ්‍ය පාලනයේ අවුල්සහගත තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

අපි හිතුවා ස්වාධීන කොමිසන් සභා අවාම ඒවා තුළින් රටට ශක්තියක් ලැබෙයි කියලා.දැන් මේ වෙලා තියෙන දේවල් දිහා බලනකොට ස්වාධීන කොමිසන් සභාවලින් අප බලාපොරොත්තු වූ ප්‍රතිපල ලැබී නැති බව පැහැදිලියි.

මේ රටට ගැලපෙන රටේ ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීමට අවශ්‍ය බලතල සහිත පාර්ලිමේන්තුවක් ලබාදිය යුතුයි.

දැන් ජනතාව රැකියා ඉල්ලනවා , සංවර්ධනය ඉල්ලනවා නමුත් අපිට අවශ්‍ය අයවැය ලේඛනය සම්මත කරගන්නේ නැතිව ඒවා දෙන්න බැහැ.

අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුව විසුරුවාලා මැයි මාසය වනවිට පාර්ලිමේන්තුව පවත්වා තමුන්නාන්සේලාගේ ආශීර්වාදයෙන් ශක්තිමත් ආණ්ඩවක් පිහිටුවා ඒ වාට පිළිතුරු ලබාදිය හැකි‘‘ බවද ඇමතිවරයා පැවසීය.