(නිමන්ති රණසිංහ)
පාස්කු ඉරිදා ප‍්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් සහ වගකීමෙන් බැහැරවීමෙන් සාපරාධී මනුෂ්‍ය ඝාතන සිදුකර ඊට අනුබල දී වරදක් සිදුකළැයි කියන සිද්ධියට අදාළ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු යන මහත්වරුන් සම්බන්ධ මූලික විමර්ශන අවසන් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ සඳහන් කළේය.
මෙහි මූලික විමර්ශන අවසන් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධියේ උදෘත දෙකක් ද නිතිපතිවරයා වෙත යොමු කර ඇති අතර මෙතෙක් එම උපදෙස් ලැබී නැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළ සැකකරුවන් වන හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු යන මහත්වරුන් ඇප මත සිටිමින් අද (17) අධිකරණය හමුවේ පෙනී සිටියහ.

