‘‘පාස්කු සැකකරුවන් 42කට ලබන මස නඩු පවරනවා‘‘


(ඩයනා උදයංගනී)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 42 දෙනකුට පමණ විරුද්ධව ජූලි මස තුන්වන සතියේදී නඩු පවරන බවට නීතිපතිවරයා තමන්ට පැවසූ බව මහජන ආරක්‍ෂක අමාත්‍ය, රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

පාස්කු ප්‍රහාරයට අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන විටත් 32 දෙනකුට විරුද්ධව නඩු පවරා ඇතැයි ද ඇමතිවරයා සඳහන් කරයි.

මාවනැල්ල බුදුපිළිම කැඩීම, ලැක්ටෝස් වත්ත ප්‍රදේශයෙන් පුපරන ද්‍රව්‍ය සොයාගැනීම, වනාතවිල්ලුව සිද්ධිය, තස්රීන් නැමැත්තාට වෙඩි තැබීම ආදී සිද්ධි සම්බන්ධයෙන් නඩු 8ක් එම චූදිතයන්ට විරුද්ධව පවරා ඇතැයි සරත් වීරසේකර මහතා කියයි.

ඒ නිසා මෙම විමර්ශන සම්බන්යෙන් ජනතාව රජයට දොස්කීමට හේතුවක් නැතැයි ද ඇමතිවරයා සඳහන් කළේය. අමාත්‍ය සරත් වීරසේකර මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (18) පැවති මාධ්‍ය හමුවකදීය.