(ඩයනා උදයංගනී)
ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතා ගමන් ගත් රියෙහි හැපුණු අලියා සම්බන්ධයෙන් සොයාබැලීමට වනජීවී දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් තුනක් යොමුකර ඇතැයි කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
එම අනතුර සිදුවූ ප්‍රදේශය අවටින් මෙතෙක් තුවාල ලැබූ අලියකු පිළිබඳ වාර්තා වී නොමැති බවත්, එබැවින් අදාළ අලියා සුවයෙන් ඇතැයි අපේක්‍ෂා කරන බවත් ඇමතිවරයා සඳහන් කළේය.
එම අනතුරට මුහුණ පෑ අලියා ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍යවල පළවන්නේ ඉන්දියාවේ දුම්රියක හැපුණු අලියකුගේ ඡායාරූප බව ද ඇමති මහින්ද අමරවීර මහතා කීවේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
දැනට අනතුරට ලක්වූ අලියා බව කියන අලියකු ගැන තොරතුරක් ලැබී ඇති බවත්, ඒ තොරතුරු සම්බන්ධයෙන් ද සොයාගෙන යන බවත් ඇමතිවරයා පැවසීය.
අනතුරට ලක්ව තුවාල ලැබූ ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව කී ඇමතිවරයා අනතුර සම්බන්ධයෙන් ද අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් වාර්තාවක් ඉල්ලා ඇතැයි ප්‍රකාශ කළේය.