‘‘ජාතික ගීය දෙමළෙන් ගායනා නොකිරීමෙන් බෙදුම්වාදය ශක්තිමත් කළා‘‘


(නිමල කොඩිතුවක්කු)

ශ්‍රී ලංකාවේ 72 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේදී ජාතික ගීය දෙමල භාෂාවෙන් ගායනා නොකිරීමෙන් ශ්‍රී ලාංකික අනන්‍යතාවය බෙදාගැනීමට දෙමළ ජනතාවට තිබූ  අවස්ථාව අහිමි වී ගිය බවත් ඒ පිළිබඳ  තමන් කණගාටු වන බවත් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා ලංකාදිපයට පැවසීය.

‘‘නමෝ නමෝ තායේ‘‘ යනුවෙන් දෙමළ භාෂාවෙන් ගායනා කරන්නේත් ශ්‍රී ලංකා මාතාව ගැනම බැවින් දෙමළ ජනතාවට එම අවස්ථාව ලබාදීම රජයේ වගකීමක් සහ යුතුකමක් බවද මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට රජය අවස්ථාවක් නොදීම බෙදුම්වාදය ශක්තිමත් කිරීමක් බවට තමන්ට පෙනී යන බවද ඔහු කියා සිටියේය.

දෙමළ ජනතාව මෙලෙස වෙන් කිරීමෙන් වෙනම රටක් වෙනම ජාතියක් යන ප්‍රභාකරන්ගේ සංකල්පය තහවුරු කිරීමක් වන බවත් ඔහු සඳහන් කළේය.

72 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේදී ජාතික ගීය දෙමල භාෂාවෙන් ගායනා කිරීට අවස්ථාව ලබා දෙන ලෙසට තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබූ බවත් මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් පැවැසීය.